Sep 22, 2011

සිංහල සිනමාවේ නොමැකුණ සිංහල ලකුණ..

....ඈ යකෝ තෝ කාටද හොරා හොරා කියන්නේ?..මං තොගෙ අහවල් එකක් හොරකං කරලද?...
 මේ දෙබස සිදුවන්නේ සිංහල සිනමාවේ අද්වතීය නළුවෙකු හා කූඩුවක සිටින කට දොඩවන ගිරවෙකු අතරයි. ඒ හිඟන කොල්ලා චිත්‍රපටයේදීය. කූඩුවේ සිටින තිරිසන් සතෙකු සමග වුවත් මනා ලෙස රංගනයේ යෙදිය හැකි නිර්මාණාත්මක හා යථාර්ථවාදී රංගන ශිල්පියෙක් වේ නම් ඔහු ජෝ අබේවික්‍රම හැර වෙන අන් කවරෙකුවත් නොව. සිය ජීවිතය සිනමාව කරගෙන සිනමාවට ජීවයක් එක් කල මේ අද්වතීය රංගන ශිල්පියා අද අප අතර නැත. එනමුත් ඔහු කල රැඟුම් හා කී දෑ තවමත් අප අතර නොමියෙමින් නොමැකෙමින් පවතින්නේ හෙළ සිනමාව නැමති මව්තුමියගේ සුජාත පුතෙක් බව කඳුලින් කියාදෙමිනි.

   1927 පැල්මඩුල්ලේදී මෙලොවට බිහිවූ ජෝන් අබේවික්‍රම පසු කලෙක ජෝ වූයේ ඔහුගේ ක්‍රියාකාරකම් පවා එතරම් රැඩිකල් මතදාරී වූ නිසාය. අධිරාජ්‍යවාදී පසුබිමක් තුල උපත ලැබ ජීවිතයේ කුඩාකල හා ඇරඹුම් යොවුන් විය ඔහු ගතකලේ සුදු අධිරාජ්‍යයේ කුරුස කොඩියේ සෙවනැල්ල යටය. එයට කිසිසේත්ම සිය කැමැත්ත පලනොකල ජෝ කුඩා අවදියේ සිට සුද්දන්ට සමච්චල් කරන මට්ටමේ ජීවන රංගනයක නිරතවන්නට විය. රංගනය ඔහු උපතින් මිට මොලවාගෙන ආ සඳුන් හුලක් මැයි අතිශෝක්තියක් නොව, එය ඔහු ජීවිතයේ වසරින් වසර පරිණත වන විට තව තව ඔප් නංවා ගත්තේ එයට භාවිතාවෙන් සාධක සපයමිනි.

    දේව සුන්දරී චිත්‍රපටයේ සුරතල විකට චරිතයකින් රංගනයට පිවිසි ජෝ පසුකලෙක ඒ විකට සිනමා ප්‍රතිරූපය තුලට කොටු නොවී ඒ රාමුවෙන් පිට විවිධ ප්‍රතිභාපූර්ණ මට්ටමේ සම්භාව්‍ය චරිත වලට පණ පෙව්වේ මේ ජෝ මදැයි සිතාගන්නටවත් නොහැකි පරිද්දෙන්ය. පුරහඳ කළුවර යනු එයට ආසන්නතම උදාහරණයකි. ජෝ හාස්‍යඋත්පාදක චරිතයකට පණපොවද්දි මට දැනෙන්නේ ඔහු නාගරික සමාජයේ හර සංකල්ප පපුවේ තියාගත් ඉලන්දාරි තරුණයෙක් ලෙසය, එහෙත් ඔහු සම්භාව්‍ය රංගනයක යෙදෙද්දී දැනෙන්නේ ග්‍රාමීය කටුක බව ශරීර කූඩුවට සිව්කොණින් ඇතුලු වූ අව්‍යාජ ගැමියෙක් ලෙසය. ඒ ඔහුගේ කලාවයි.

  චිත්‍රපටි ගණනාව සඳහන් කල නොහැකි මට්ටමේ රංගන අවස්ථා ලද ඔහු හෙල සිනමාවේ පතාක යෝධයන් බඳුවූ විජය කුමාරතුංඟ, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, රවින්ද්‍ර රංදෙණිය හා මාලනී ෆොන්සේකා වැන්නන්ටද නිබඳ සෙවනැල්ලක් ලෙස සිය රංග කුසලතාව ප්‍රතිපාදනය කල රංගධරයෙකි.

  ජෝ නොමැකෙණ සිංහල සිනමාවේ සිංහල ලකුණ වන්නේ ඔහු තරම් නිර්ව්‍යාජ රංගන ශිල්පියෙක් අදටත් මේ සිනමාවේ නැතිහෙයිනි. පුයර බබෙක් වැනි නළුවාගේ භූමිකාවට මරු පහර දෙමින් පොලවේ පය ගසමින් ඔහු කල රංගනයේ වාර්තා බිඳ දමන්නට දැන් කාලයේ පඳුරක් පඳුරක් පාසා බිහිවෙන නළු බට්ටන් තොගයක් එකට දැම්මත් කල නොහැක්කක් බව ලාංකීය සමාජය සාක්ෂි දරයි. මිය ගිය සිංහල සිනමාවේ මීනී වලේ අවසන් පස් පිඩත් වල තුලට දමමින් ජෝ අබේවික්‍රම අප හැර ගොස් ඇත.

 ඔබට අජරාමර නිවන් සුව!

2 comments:

  1. සොදුරු මිනිසෙකුගේ නික්මයාමක්..

    ReplyDelete
  2. ඇත්තටම අපේ කාලයේ අව්‍යාජ රංගධරයාගේ නික්ම යාම

    ReplyDelete