Jul 31, 2013

Ex-Alien විප්ලවීය හැඩගැස්ම සහ ගීතයකින් ඔබ්බට


ලිපියේ ශීර්ෂය දුටු විටම එහි එක් වදනකින් ඔබ මේ ලිපියට පාදක වන වස්තූ බීිජය හොඳාකාරවම දන්නවා ඇත. අන්තර්ජාලය තුල සමාජ ජාල හෝ වෙනත් සිංහල බ්ලොග් අඩවි පරිශීලනය කරන්නෙක් නම් ඔබ වඩාත් හොඳින් මෙය ගැන දන්නවා ඇත. මේධානි දේශප්‍රිය නම් කඳුරට වයස අවුරුදු 15 ක තරම් කුඩා පාසල් දැරියක් ගායනා කරන මේ Ex-Alien ගීතය අඩංගු වීඩියෝව තරම් වීඩියෝවක් මෑත කාලයේ ලංකාවෙන් Youtube වෙත එක්නොවුණ බවනම් සහතිකය. එසේම ඒ තරම් විවේචන සංඛ්‍යාවක් එල්ල වූ  ගීතයක් මෑත කාලීනව දක්නට නොලැබුණි. මෙම ගීතයට එවැනි ප්‍රතිචාර ලැබීමට හේතු ගණනාවක් විය.

Jul 24, 2013

දයාබර දයාසිරි..එන්න මල් පිපීදැයි බලන්න..


දයාසිරි මතුවූයේ පඬුවස්නුවරින්ය. ලංකා ඉතිහාසයේ සුවශේෂී මතක සටහන් රැඳි තැනකි. දයාසිරි අද මැදමුලනට පය තැබුවේය. එය වර්තමානයේ ලංකාවේ ඉතිහාසය ලියන තැන බවට පත්කරගෙන ඇත. දයාසිරි 97 පළාත් පාලන මැතිවරණයෙන් පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ වැඩිම මනාප ලබාගත්විට  චන්ද්‍රිකා මැඩම් වැඩි මනාපය නොසලකා වැඩි හිතවතාට තැන ලබාදුන්හ. දයාසිරිගේ හිත බිඳුනේ එතනින්ය.

එදා දයාසිරි එජාප යට ගොස් පාර්ලිමේන්තුවට ඇතුල්විය. දයාසිරිගේ කාර්යශූරත්වය සහ කථිකත්වය මෙන්ම මහජන ආකර්ශණය නිසාවෙන් දයාසිරිට ඉක්මණටම එජාපයේ ඉහලට යන්නට ලැබුණි. 2002 මැතිවරණයේදී කුරුණෑගල ගිය රනිල් දයාසිරි ඉහලින්ම ඔසවා තැබුවේය. කොහොම වුනත් දයාසිරි ඉහලින්ම වැජඹෙන්නට වූයේ පාර්ලිමේන්තුව තුල සහ මැතිවරණ අතරතුරය. දයාසිරි කුරුණෑගලින් පසුව එජාපයේ ප්‍රබලයා විය.

Jul 22, 2013

අපේ සිනමාවට කජු කිරි කොල්ලන්ගෙන් පවා ගතයුතු යමක් ඇත


සිනමාව යනු විශ්වීය මාතෘකාවක්, ලෝකයේ සිනමා සම්ප්‍රදායන් අනන්තවත් බිහිවී ඇත අතර ඇතිවීමටද නියමිතය. බොහෝ සම්ප්‍රදායන් වලින් නවපරපුරට ගතයුතු බොහෝ දේ ඉතිරිකර ඇත. ඉන්දියානු සිනමාව භූගෝලිය වපසරියක් තුල බිහිව ලෝකයට එන්නත් කල සිනමාවක් ලෙස ඉහලින්ම වැජඹුන අතර අද එය ලොව සුපිරිම වාණිජ චිත්‍රපට කර්මාන්තයක් බවට පත්ව ඇත. බටහිර සිනමාව අදවන විට වාණිජ සිනමාවක් මෙන්ම, නිර්මාණශීලී සහ නවතාවයක් සහිත පර්යේෂණ නිර්මාණ දක්වා පුළුල්ව පැතිරී ඇත. දැන් විමසිය යුත්තේ අපේ ලාංකේය සිනමාව ඇත්තේ කොතනද යන්නයි.
  
    දශක කීපයකට පෙරාතුව අපේ සිනමාව ඉතා ඉහල ජනප්‍රසාදයක් සහිත සිනමාවක්ව තිබූ අතර චිත්‍රපට ශාලා  ඉහල ලාභ ලැබූ අතර සිනමාව කර්මාන්තයක් ලෙස ඉහල තලයක රැඳිණි. වාණිජ මෙන්ම සම්භාව්‍ය නිර්මාණ බිහිකරන සිනමාවක සිට අද වැටී ඇති කසිකබල් සිනමා කර්මාන්තයක් දක්වා අපේ සිනමාව පැමිණියේ කෙසේද. අද වනවිට වසරකට බිහිකරන නිර්මාණවලින් අත බහුතරයක් අමු ඉන්දියානු පිටපත්ය. වෙනසකට ඇත්තේ භාෂාව සිංහලවීම සහ රඟපාන්නට බැරි ලංකාවේ නළුවන් සහ හරියකට නටාගන්නවත් බැරි වංගෙඩි නිලියන් ඒවායේ රඟපානවා වගේ යමක් කිරීම පමණි. එසේත් නැත්නම් ඉතිහාසය සිද්ධි හෝ රජ පෙලපතක් අල්ලාගෙන පට්ටා ගසයි, දේශපාලනික තල්ලුවකින් පාසල්වලටද නිර්දේශ කිරීම තුලින් සහ තඩි ප්‍රචාරණ ක්‍රමවේද තුලින් යන්තම් වියදම් කල ගාන ශේප් කරගනිති. එයිනුත් එහා ගියවිට පශ්චාත් යුධ නිර්මාණ ලෙස කොටි ත්‍රස්තවාදීන් පතුරු ගසා හීන් ආතල් එකක් ලබා දේ. එයට රාජ්‍ය අනුග්‍රහයද නොමදව ලැබෙන නිසා චිත්‍රපටයට වැයකල මුදලම නොලැබුණත් ඊට වඩා වරප්‍රසාද ලැබීමට හැකිය.

Jul 17, 2013

"හුරුකමක්ද සසරේ" ගීතය ලියවුණු හැටි



කැම්පස් එකේ ගල්බැම්ම උඩ වාඩි වෙලා හවස්වරුවේ ජංගම දුරකතනයේ අතට අරගෙන ගේම් එකක් ගහමින් හිටියේ ඒ මොහොතේ කරන්න වෙන යමක් නොතිබුණු නිසා. ඉර හැංෙඟන්න යන බ්‍රවුන්ස් කඳුවැටිය පැත්තෙන් එන මුහුදු හුලං පාරට සීතල කරන ගත හිතට ගෙන්නේ අමුතුම සුවයක්. සිතිවිලි වලින් හිත පේවෙන වෙලාවක්.

"උඹ මොකද ඔතනට වෙලා අල හාරනවද?"

හිතවත් මිත්‍රයා ශානක දසනායක පිටට තට්ටුවක් දාලා ලඟින් වාඩිවුණා. ජේෂ්ඨ සහෝදරයෙක් වුනත් දන්න කාලේ ඉඳන් මචං කියලා කියනවා මිසක් අයියා මල්ලි හෝ සහෝදරයා අපි අතර කියවුනේ නෑ.

"නෑ බං..කරන්න දෙයක් නෑ දැන්..ගෙදර යන්නත් කම්මැලියි..වාඩියක් දාලා හිටියා.."

ශානකයා හැඟීමකින් තොරව ඈතින් පේන සයුරු මායිම දිහා බලන් හිටියා. හරියට භාවනාවක් කරනවා වගේ. සරසවි පිවිසුම් දොරට ඔබ්බෙන් ඉහත්තාවේ පේන් උපකුලපති නිලනිවහන සහ සරසවි ගිමන්හලට ඔබ්බෙන් ඉර බැහැලා යන හැටි බලන්න අපූරුයි. ඒත් ශානකයගේ මූණේ තිබුණේ කණගාටුවක්.

Jul 14, 2013

හීනේ කළුවර වෙන්න කලින් ඉක්මණට සනීප වෙයං ශෂී..

බ්ලොග් ලියන සහෘදයෝ ඇතමෙක් මේ ඡායාරූපය දැක්කම කව්ද කියලා අඳුනනවා ඇති. එහෙම අඳුනගන්න බැරි අය ඇතැම් විට නමින් දන්නවා ඇති. මේ කළුවර හීනය බ්ලොග් අඩවිය රචනා කරන ශෂී එදිරිසිංහ සහෝදරිය. බොහොම සංවේදී විදියට නිර්මාණකරනයේ යෙදෙන්න වගේම හැමෝගෙම හිත් දිනාගෙන සුහදව කටයුතු කරන්න දන්න හිතවතියක්. ඒ වගේම බ්ලොග් අවකාශයේ බොහෝ කටයුතු වලදි එකතුවෙන මුණ ගැහෙන චරිතයක්. මීට දින කීපයකට කලින් සිදුවෙච්ච හදිසි අනතුරක් නිසා ඇය මේ වනවිට ඉන්නේ රෝගී තත්වයෙන්. එක් පාදයකට වෙච්ච අනතුරක් නිසා ඇවිදීමට පවා නොහැකිව රෝගී සයනයට වෙලා කාලය ගතකරන්නට ඇයට සිදුවෙලා. ඉතිං ආරෝග්‍ය පරම ලාභය බව හොඳින් දන්නා අපි හැමෝම මේ වගේ අවස්ථාවකදි බොහොම අසරණ වෙන එක සාමාන්‍යයි.

Jul 13, 2013

දෑවැදි මල්ල සියතින්ම වියන යුවතිය


ඇය මට මුණ ගැසෙන්නේ ගාල්ල නගරයට නුදුරු අවන්හලකදීය. ඒ සිය ජීවිතය ගැන මා දැනගන්නට රිසි වූ සියල්ල මා හට පැවසීම උදෙසා පමණක්ය. ඇය රැකියාව කලේ ගාල්ලට නුදුරු කර්මාන්ත පුරයක පිහිට කම්හල් ගොන්නේ එක් කම්හලකය. ඇයගේ රැකියාව වායුසමනය කල කාර්යාලයක සැප පුටුවක් මත හිඳ සුරතල් ඇඟිලි තුඩින් කරන යමක් නොවීය. දහඩිය පෙරාගෙන පිට කොන්දේ වේදනාව ඉවසාගෙන යන්ත්‍රයක් සමග ඔට්ටු වෙමින් ඇය පාවහන් මසන්නීය. ඒ සමගින් ඇය ජීවිත කඩතුරාවද සෙමෙන් මසන්නීය.

"නංගිගේ ගම්පලාත කොහේද...ඇයි මෙහෙට ඇවිත් මෙහෙම රස්සාවක් කරන්න ගත්තේ"

මගේ පැණයට ඇය පිලිතුරු දුන්නේ දිගු හුස්මක්ද ගෙනය. ඒ සුසුම් පොද ඇගේ ආවර්ජනයට උත්තේජනයක් සැපයුවාද නැතිනම් සිතේ ද්වාරය විවර කිරීමට උත්සුක වුවාද මම නොදන්නෙමි.

Jul 2, 2013

ජීවිතයක් බේරා ගන්නට දයාබර ඉල්ලීමක්

රත්නපුර ලෙල්ලුපිටය පතුල්පානේ ජීවත්වෙන දමිඳු තත්සර ජයවර්ධන පුංචි පුතාට තාමත් අවුරුදු 13. ඉගනගන්න බොහොම දක්ෂයෙක්, සීවලී විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍ය පංතියේ බොහොම කැපී පෙනෙන චරිතයක්. ඒත් කවුරුවත් නොහිතපු විදියට දමිඳු තත්සර පුතා ලෙඩ ඇඳට වැටුනේ කාටවත් දරාගන්න පුළුවන් විදියට නෙවෙයි. දමිඳු පුතා දවස පතා බොහෝ වේදනාවක් වින්දා. අවසානයේ වෛද්‍යවරුන්ගේ නිගමනය වුනේ දමිඳු පුතා දරුණු ගනයේ අස්ථි රෝගයකින් පෙලෙන බවයි.


දුමිඳු පුතාගේ අම්මා පාසල් ගුරුවරියක්, ඇගේ නම මල්කාන්ති. තාත්තට තවම ස්ථිර රැකියාවක් නෑ. වැඩිමහල් අක්කලා දෙන්නම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන බොහොම අමාරුවෙන් ඉගනගත්තු දරුවන්. ඔවුන් හැමෝටම දුමිඳු පුතාගේ මේ රෝගී තත්වය නිසා අසරණවෙලා. මේ ජූලි 20 වැනිදාට පෙර සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදී රුපියල් ලක්ෂ 90 ක වියදමකින් සැත්කමක් කරන්න වෙලා.