Sep 6, 2015

ඒස්.බී.දිසානායක නම් වර්තමාන ලාංකේය දේශපාලනයේ සැබෑ නිරුවත



අගෝස්තු 18 බහුතරයක් සරසවි ශිෂ්‍යයන් ඉතාමත් සතුටින් පසුවන්නට ප්‍රධාන හේතුවක් තිබුණි. එසේම ශ්‍රී ලංකාවේ ශිෂ්ට සම්පන්න දේශපාලනයක ක්ෂේම භූමිය දකින්නට දතකන ජනතාවටද එම දිනය සතුටින් ගතකරන්නට හේතුවක් තිබුණි. එස්.බී.දිසානායක ඇතුළු ලංකාවේ දේශපාලනය තුල මජර මාර්ක් දමා තිබූ දේශපාලනඥයන් බරගාණක් ජනතාව විසින් පශ්චාත්භාගයට පයින් ගසා එළවා දමා තිබුණි. ජනතා ඡන්දයෙන් මෙතෙක් කලක් රැකගත් පාර්ලිමේන්තු අසුන පවා අහිමිවීම යනු එවැනි දේශපාලඥයෙක්ට දිය හැකි උත්තරීතරම කණේ පහර බවට සැක නැත. එහෙත් ඒ චිත්තප්‍රීතියට වැඩි ආයුෂ නොමැතිවූයේ ජනාධිපති උතුමාණන් විසින් පාර්ලිමේන්තුව තුල සහ රජයක් තුල නැතිවම බැරි දේශපාලන උත්තමයන් ලෙස සලකා එස්.බී. ඇතුලු තවත් ඔළු ගෙඩි කීපයක් විශේෂ වරප්‍රසාද යටතේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ගත කිරීමයි. එයින්ද නොනැවතී රනිල් වික්‍රමසිංහ නැමති ප්‍රතිපත්තිගරුක දේශපාලඥයා සහ ජනපති උත්තමයාණන් එක්ව ඇමති ධූරයකින්ද පිදීම තුලින් මෙරට ජනතාවගේ ජනමතයට එල්ලකලේ අන්තිම අසික්කිත ප්‍රහාරයකි.

Sep 5, 2015

සුරේකා “මේ කතාව“ තුල නොකී කථාවක් ද ඇත.


ඈත හද්ද පිටිසර ගම්වලින් දහදුක් විඳගෙන සරසවි වරම් ලබන කොල්ලන්ට,කෙල්ලන්ට විශ්වවිද්‍යාල තුල ශිෂ්‍ය දේශපාලනය අමුතු රහක් එහෙමත් නැතිනම් ඊටත් එහා ගිය ආශ්වාදයක් වන්නේ නිරායාසයෙන්මය. අවුරුදු 18ක් තිස්සේ දිව නොගෑ දේශපාලනික පැණි හට්ටිය තුල ඇද වැටී හොල්මන්වීමට අතිශ්‍යය බහුතරයක් විශ්වවිද්‍යාල දරුවන්ට සිදුවන්නේ දේශපාලනය යනු කුමක්ද සහ “ලාංකේය“ දේශපාලනය තුල තමන්ගේ භූමිකාව කුමක්ද යන්න හරියාකාරව තෝරා බේරා ගැනීම සිදු නොකරන නිසාවෙන්ය. ඒ පිළිබඳ තර්ක තිබිය හැක. නමුත් එකසේ පිළිගත යුතු පරම සත්‍යය වන්නේ විශ්වවිද්‍යාල තුල ඇති දේශපාලනය රටේ සංවර්ධනයටවත්, අධ්‍යාපනයේ ආරක්ෂාවට වත් ඔය කියන තරම් දායකත්වයක් නොදන්වන බවයි.

   වාමවාදී ව්‍යාපාර වල පොත්ත ඝන රතුය, දකින දකින පැත්තෙන් පෙන්නේ දෑකැති, කුළු ගෙඩි, ලේ, දහඩිය සහ ප්‍රතිපත්ති පමණක්මය. ඒ පොත්ත ඇතුලේ කුණුවී පණුවන් ගැසූ ගන්දස්කාර ලෝකයක් ඇති බව මෑතකාලීනව දරුණුවටම කියාපාන්නේ සුරේකා සමරසේන නම් කාලෝචිත මාධ්‍යවේදිනිය විසින් ලියා පලකරන “මේ කතාව“ නම් කුළුදුල් පොත තුලින්ය. ඇයගේ ඒ කතාව තුලින් පෙරකී වාමවාදී ව්‍යාපාරවල ඝන රතු පොත්ත හිල්වෙන්නට අනින කිණිස පහර නිසාවෙන් ඒ අභ්‍යන්තරයේ ඇති කුණු ටික ටික එළියට එන්නේ සාහත්‍යයටද කොකා පෙන්වමින්ය. පොත ආරම්භයේම “පොත පුම්බන්නා“ ට අනුව ( සාමාන්‍යයෙන් පොතක මුල්පිටු අතර පොත ගැන පෙරවදන් සපයන කර්තෘ නොවන පුද්ගලයන් සියල්ල සිදුකරන්නේ පොත පිමිබීමය) සුරේකා එල්ල කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්ය. “මේ කතාවේ“ එන ගාමක චරිතය අරුන්දතී බණ්ඩාර ලවා සුරේඛා එල්ල කරන මරාගෙන මැරෙන ප්‍රහාරය අතීතය,වර්තමානය, අනාගතය යන තුන්කල්හිම මහා විනාශයක් සිදුකරන “බංකර් බ්ලාස්ට්“ මාදිලියේ ප්‍රකාශනයක් ලෙස හැඳින්වීම වඩාත් උචිතය. ඒ මන්දයත් වාමවාදී දේශපාලනික ව්‍යාපාර ප්‍රතිපත්ති,විප්ලවය, රතු ස්මාරක වැනි සුන්දර වදන් පෙන්වා ගොඩනගාගෙන සිටින කුණු බංකර් බිඳවැට්ටීමට සුරේඛාගේ බෝම්බ ප්‍රමාණවත් බැවින්ය.

Sep 3, 2015

රනිල් වික්‍රමසිංහ සමග පොෂ් වෙමු


බැරක් ඔබාමාට හෙණ කැත පුරුදු ඇත.ලෝකෙට ලොක්කා ලෙස පොර සේ ජීවත් වූවද ඔබාමාටද කැත පුරුදු ඇත. නිල නිවසේ තමන්ගේ කාමරයේ කව්රුත් නැති අවස්ථාවල දිග කලිසම ගලවා යට කලිසම පිටින් සිගරට් පත්තු කරගෙන දුම් දමමින් කාමරයේ එහා මෙහා යාම ඔබාමාගේ තවත් කැත පුරුද්දකි. අපට එය කැතවුණත් ඔබාමාට එය දරුණු ආතල් එකක් ලැබෙන වැඩකි. ISIS පෙන්නා ලෝකෙම බයකර ගන්නා ආතල් එකටත් වඩා එය ආතල් බව දන්නේ ඔබාමා පමණක්ම බව සීයට එකසිය පනහක් විශ්වාසය. තමන්ගේ මායියා මිචෙල් හෝ පින්පාට කළු කෙල්ලන් දෙදෙනා නැති හැම විටම ඔබාමා කාමරයට වී ෂෝට පිටින් දුම්ඉරීම අත්හැර නොගතහැකි පුරුද්දක් බවට පත්ව තිබිණි.

    දිනක් උදේ පාන්දරම විශේෂ ප්‍රකාශක් කරන්නට නියමිතව තිබුණ හෙයින් අත්දික ෂර්ට් එක ඇඳ යට කලිසමද ඇඳ, ටයි පොල්ලත් දාගෙනම දිග කලිසම නොඇඳ ඉක්මණටම සිගරට් එකක් අදින්නට ඔබාමාට අවැසි විය. සාක්කුවේ තිබූ රැජිනගේ ලාංජනය සහිත රත්තරන් පාට සිගරට් අසුරනයෙන් ගත් සිගරට්ටුව කටේ ගසාගෙන සාක්කු සේරම පුරා ලයිටරය සොයන්නට විය. අවසානයේ කාමරයේ කණ්ණාඩි මේසය උඩ තිබී ලයිටරය වෙනුවට සූර්යයා ගිනි පෙට්ටියක් සොයාගැනීමට ඔබාමාට හැකිවිය.

Sep 2, 2015

අසහනෙන් ඉන්නේ පිරිමි ද?


නාන ලිඳ ලඟ සෝමක්කාගේ දුව දිය රෙද්ද ඇඳගෙන නාන ලිඳෙන ගොඩවන විට ඇගේ සිරුලෙ ලාලිත්‍ය, රසමුසු තැන් දැක හවස් වරුවෙම ලන්ද අයිනේ කණ් අඩි පැලෙන්නට කසිප්පු වඩි දෙක තුනක්ම වක්කරගත් උපාලිට සැණින් වෙරි බහින වාතාවරණයක් උදාවීම පුදුමයක් නොවෙයි. ලිඳ ලඟ දෙල් ගහේ දෙබල අස්සෙන් බැලූවිට පෙනෙන් නාන ලිඳේ සොබා සෞන්දරත්වය ඉක්මවා ගිය ලැජ්ජා හිතෙනා දර්ශන ටිකට් නැතිවම බලන්න අවස්ථාව ලද පිරිස අතර උපාලිට හිමිවුණේ ගැලරියේ තැනකි.

“ෂික් විතරක්..කෙල්ලෙක්ට දිය රෙද්දක් ඇඳගෙන කැලෑ පාරකින්වත් යන්න බැරි වෙලානේ දැන්,.. දිය රෙද්ද නොතිබ්බනම් මෙලහකට මුගේ කටේ සෙවල සේරම එළියේ“