May 3, 2019

බුද්ධි අංශයෙන් කෝල් එකක්! - ජනයාගේ කොලම



පහුගියදා ලංකාවේ සිදුවුණු මරාගෙන මැරෙන පිපිරීම් සම්බන්ධව බුද්ධි අංශ කලින් කල දැනුවත්කිරීම් ගැන හාංකවිසියක්වත් තමන් නොදන්නා බව ජනාධිපතිතුමා කොහේදී හෝ කියනු අහන්නට ලැබුණු. ජනාධිපතිතුමාගැන දැනුනේ අපමණ සංවේගයකි. අපමණ අගයක් දෙන්නට පැමිණි පොළවෙන් උපන් මිනිසා බ්‍රහ්ම දණ්ඩණයෙන් කොණ්කර දමා ඇතැයි නිකමට වගේ හිතුණු වාර අනන්තය.

ඒත් කිව්ව විදිහට ඇත්තටම ජනාධිපතිතුමාට බුද්ධි අංශ වාර්තා ගැන අහන්න නොලැබුණා වෙන්න බැරිද? ඇත්තටම එතුමට කව්රුවත්ම මේ ගැන කියලා නැතිවෙන්න පුළුවන් නේද? මෙහෙම හිතලා බලද්දි මෙහෙම සිද්ධි කීපයක් ඇත්තටම වෙන්න බැරිද.


 *********
“ට්‍රීං ට්‍රීං” ජනාධිපතිතුමාගේ සිරියහන් ගබඩාවේ දුරකතනය නාද වේ.. එතුමා විශාල කොළයක් ඇඳ මත දිගහැරගෙන ප්‍රසිද්ධ ගීතයක තනුව අල්ලන්නට සෑහෙන්න මහන්සිවෙන බවක් පෙනෙන්නට විය. දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේ ජනාධිපති ආර්යාව වේ.

“හෙලෝ..”

“හෙලෝ මැඩම් මම බුද්ධි අංශයෙන්..සර්ට පණිවිඩයක් තියනවා කියන්න පුළුවන්?” එහා පැත්තෙන් එන්නේ ඉල්ලීමකි. ආර්යාවට සිහින් දාඩිය දමන්නට විය.

‘දැන් ඕවා කියන්න බෑ..ජනාධිපතිතුමා සිංදුවක් පුරුදු වෙනවා..’

බුද්ධි නිලධාරියා රවුම් කිහිපයක් කරකවා අතහැරියා වැනි සේ පුදුමයට පත්විය.
‘අනේ මැඩම්..මේක හදිස්සි පණිවිඩයක්..ත්‍රස්තවාදී තර්ජයනයක් ගැන කියන්න..’

ආර්යාවට නහුතෙට තදවෙන්නට ඔන්න මෙන්නය. ඒත් ජනාධිපතිතුමාට ඇසෙන නිසා කෑ ගසන්නට බැරියා, කෑ ගසා සිංදුවේ තනුව ආයෙත් වැරදුනොත් වසලා හමාරය.

‘මේ හලෝ පස්සේ කතාකරනවද..ජනාධිපතිතුමා වැදගත් වැඩක් කියලා කිව්වනේ..’ දඩස් ගා දුරකතනය තැබූ ආර්යාව බැලුවේ ජනාධිපතිතුමාට ඇහුණාවත්ද කියාය.. ‘ආාාා..ආාා’ යනුවෙන් කෑගසනවා මිස ජනාධිපතිතුමාට ඇහුණ බවක් පෙනේනට නැත. පසුදින පොළොන්නරුවේ මධ්‍ය මහා විද්‍යාලයක පැවැත්වෙන සංගීත වැඩසටහනකදී ගීයක් ගයන්නට පුරුවෙන බවත් තමන්ට කිසිඳු බාධාවක් නොකරන ලෙසත් කලින්ම ජනාධිපතිතුමා පවසා තිබුණි.

***************

නැවත සවස් වරුවේ ජනාධිපතිතුමාට දුරකතන ඇමතුමක් ගත්තද ජංගම දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ රියඳුරු තැනය.

‘හෙලෝ..ජනාධිපතිතුමාද..මම මේ බුද්ධි අංශයේ අහවලා..’ නිලධාරියා බොහොම ගරුසරුව එහෙත් හදිස්සියෙන් අමතන්නට විය.

‘මම මේ ජනාධිපතිතුමාගේ ඩ්‍රයිවර් උන්නෑහේ..ජනාධිපතිතුමා හදිසි වැඩක’ බුද්ධි අංශ නිලධාරීයාගේ ඉහ මොළ රත්වන්නට පටන්ගත්තේ ඉන් පසුවය. මේ උන්දෑට වැඩ නැති වෙලාවක් නැතිය,

‘පොඩ්ඩක් ජනාධිපතිතුමාට පෝන් එක දෙනවද..හදිසි ත්‍රස්ත ප්‍රහාරයක් ගැන බුද්ධි අංශ තොරතුරු දෙන්න කතා කලේ’

මේ නිලධාරියාගේ හදිස්සිය ගැන රියඳුරු තෙමේටද මළ පැන්නේ ඒ සමගය.
‘මේ..තමුසෙට දැන් සැරයක් කිව්වනේ..ජනාධිපතිතුමා කැවුම් හදනවා.. මේ හදිස්සියේ කෝල් ගන්න ගියොත් කැවුමේ කොණ්ඩේ අපස්ට් යනවා..පස්සේ වෙලාවක ගන්නවා’

කියා විසන්ධි කරනු ලැබීය. දිගු හුස්මක් ගත් බුද්ධි නිලධාරිය පෝන් එක පොලවේ ගසා දොරත් වසා පිටත් විය

*****************

පසුදින උදේ වරුවේත් එන්නට එන්නටම දරුණු අනතුරු ඇඟවීම් ලැබෙද්දි පෙරකී බුද්ධි නිලධාරියා විලිලැජ්ජාව බල්ලාට දමා නැවතත් ජනාධිපතිතුමාට දුරකතන ඇමතුමක් ගත්තේය. එවර දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේ ජනාධිපතිතුමාගේ පුතාය. රැය පුරා නිදිවරාගෙන දුකසේ පාඩම් කල ජනපති පුත්‍රයා තවමත් සිටින්නේ නිදිමරගාතේය.

‘හෙලෝ..’

‘හෙලෝ මම මේ කතාකරන්නේ බුද්ධි අංශයෙන් අහවලා..ජනාධිපතිතුමාද කතාකරන්නේ..’ බුද්ධි අංශ නිලධාරියා ඉතා යටහත් පහත්ව විමසීය.

‘නෑ..මේ..තාත්තා නම් හදිස්සි වැඩක ඉන්නේ..’ ජනපති පුත්‍රයා එසේ කියන විට බුද්ධි නිලධාරියාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නට විය.

‘සර්..මේකත් හදිස්සියක් තමයි..හදිසි ත්‍රස්ත ප්‍රහාරයක් ගැන තොරතුරු ආවා..ඒක කියන්න ඕන ජනාධිපතිතුමාට..පිංසිද්ධවෙයි පෝන් එක දෙනවද..?’ බැරිම තැන නිලධාරියා පිංසෙන්ඩු වෙන්නට පටන්ගත්තේය.

‘තාත්තා දන්න ළමයෙක්ට අවුරුද්දට තෑගි දෙන්න ගෙනාපු සිතාර් එකක් ටෙස්ට් කරලා බලනවා.. ඇහෙන්නේ නැද්ද සද්දේ..”

බුද්ධි නිලධාරියාට පසුබිමෙන් මීයන විණාවක් කා වනසන ශබ්දය අපූරුවට ඇසෙන්නට වූයෙන් නැවතත් දුරකතනය පොලවේ ගසා බුද්ධි තොරතුරු අඩංගු ලිපිය ගුලිකර කුණු බාල්දියට දමා නිලධාරියා යන්නට විය.

*****************

සිදුවූයේ මෙය නොවේයැයි කාහටත් කිව නොහැකිය. විනාශය අතිමහත්ය, එය විහළුවට ගතයුතු යමක් නොවුණද දැන් අපිට බන්දුලාට, ටෙනීලාට වඩා විකට නළුවන් විශාල සංඛ්‍යාවක් සිටින බව ඇත්තය. ඇත්තටම කාට කාටත් බෝල් පාස් කරනවා වෙනුවට දේශපාලන ප්‍රධානීන් කරන වෙනත් යමක් නොපෙනෙන නිසා පුරවැසියාට සාධාරණව මෙහෙම සැකයක් නොසිතේවිද?

ජනයාගේ කොලම
2019.05.02

2 comments: