Oct 30, 2025

නැපෝලියන් නම් ජීවිත දිගහැරුම - පළමු කොටස

 


හරියටම 1769 අවුරුද්දේ අගෝස්තු මාසේ 15 වැනිදා අජස්සියෝ නගරයට බොහොම සෞම්‍ය හිරු කිරණ පතිත වෙමින් තිබුණා. අජස්සියෝ කියන්නේ ඒ කාලේ කොර්සිකන් රටේ අගනුවර. ප්‍රංශ අධිරාජ්‍යයට අයිතිවෙලා තිබුණු මේ කොර්සිකාව මධ්‍යධරණී මුහුදේ පිහිටලා තිබුණු දූපතක්. ධීවර කර්මාන්තයට තිබුණු ප්‍රසිද්ධිය වගේම නාවික ගමනාගමනයේ ප්‍රධානතම සංධිස්ථානයක් වීමත් එක්ක ප්‍රංශ අධිරාජ්‍යයට කෝර්සිකාව කියන්නේ බොහොම වැදගත් තැනක්. 

මේ කලින් කියපු දවසේ කොර්සිකන් දූපතේ, අජස්සියෝ නගරයේ මුහුදු වෙරළේ ඉඳන් සැතපුම් කිහිපයක් ඈත නගරයේ කෙළවරක නිවසකින් පුංචි දරුවෙක්ගේ හැඬීමක් ඇහුණා. ඒත් ඒ වෙද්දිත් මේ පුංචි හඬ පරයමින් අජස්සියෝ නගරයේ වගේම කොර්සියන් දූපත පුරාම පැතිරෙමින් තිබුණේ විරෝධතා හඬ විතරමයි. ඊට අවුරුද්දකට කලින් ජෙනෝවා රාජ්‍යට අයිතිවෙලා තිබුණු කොර්සිකන් දූපත ප්‍රංශ අධිරාජ්‍යයා මිළට ගත්තා. ඇත්තම කිව්ව‌ොත් බලෙන් අල්ලගන්න කලින් විකුණන්න සිද්ධවුණා.

ඒත් මේ දූපතේ ජීවත්වුණු ජනතාව ප්‍රංශ අධිරාජ්‍යයාගේ පාලනය පිළිගන්න සූදානමක් තිබ්බේ නෑ. අවුරුද්දක් ගතවෙලත් ජනතාව විවිධ විරෝධතා දක්වමින් ප්‍රංශ පාලනයට විරුද්ධව කැරළි ගැහුවා. ඒ කැරලි කෝලාහල අස්සේ තමයි මේ පුංචි කොළු පැටියා අජස්සියෝ නගරයේ උපදින්නේ. හැබැයි කව්රුවත් හිතුවේ නෑ කවදහරි මේ කොළු පැටියා ප්‍රංශයේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේම ඉතිහාසය වෙනස්කරන තරම් බලවතෙක් වේවි කියලා. අඩුම තරමේ අළුත උපන් කොළු පැටියා අතේ තියාගෙන, කඳුළු සලමින් හුරතල් බලමින් හිටපු අම්මාවත් මේ ගැන දශමයක්වත් හිතන්නේ නැතිව ඇති. ඒත් ඉතින් හැම අම්මෙක්ටම තමන්ගේ පුතා රාජ කුමාරයෙක් කියන එක බොරුවක් නම් නෙවෙයි.

Oct 27, 2025

ශ්‍රී ලංකාවේ දරුවන් පාසල් හැරයාම සහ අපරාධකරුවන් බවට පත්වීම


ඉතිහාසයේ ඉඳන්ම ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකියයුතු උනන්දුවක් වගේම ප්‍රමුඛතාවක් තිබුණා කියන එක අවශ්‍ය තරම් සාක්ෂි පොත්පත්වල වගේම කතා සාහිත්‍යයේත් තියනවා. සමහරවිට ඒ නිසා වගේම නිදහස් අධ්‍යාපනය වගේ සාධකත් එක්ක අදටත් ලංකාවේ අධ්‍යාපනයට යොමුවීමේ ප්‍රවණතාවය සාපේක්ෂව වැඩියි.

උදාහරණයක් විදිහට ලෝක බැංකුවේ වාර්තාවකට අනුව 2022 අවුරුද්දේ ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයට දරුවන් ඇතුලත් කිරීම 95.9% ක්. සරලවම කිව්වොත් වයස අවුරුදු 5-6 අතරේ දරුවන් 100 දෙනෙක්ගෙන් 96 දෙනෙක් විතර පාසලේ ප්‍රාථමික අංශයට ඇතුලත් වෙනවා. හැබැයි දරුවන් 4 දෙනෙක්ට විවිධ හේතු නිසා ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ.

හැබැයි මේ දරුවන් අතරින් ද්විතියික අධ්‍යාපනයට යොමුවෙන ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩුවෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ කුසලතා වගේම වෘත්තියක් වෙනුවෙන් අවශ්‍ය කරන දැනුම ලබාගන්න පුළුවන් කාලය වෙද්දි දරුවන් සැලකිය යුතු පිරිසක් එක්කෝ පාසල් අතහැරලා යනවා, නැත්නම් පාසලට එන්නෙම නෑ.