Showing posts with label අපේ අදහස්. Show all posts
Showing posts with label අපේ අදහස්. Show all posts

Nov 4, 2025

අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?

 


රජයේ පාසල් පැවැත්වෙන කාල සීමාව සංශෝධනයක් සම්බන්ධයෙන් පක්ෂ සහ විපක්ෂ වාද-විවාද ඇතිවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විරෝධයක් දක්වන බවක් පෙනෙන්න තියනවා. ශිෂ්‍යයන්ගේ පැත්තෙන් වුනත් මේ අදහසට එකඟවෙයි කියලා හිතන්න තියන ඉඩකඩ අඩුයි. ලෝකයේ ඉහළ සහ විධිමත් අධ්‍යාපන ක්‍රමවේද අනුගමනය කරන එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ෆින්ලන්තය, ස්වීඩනය, ජපානය වගේම ආසන්නයේ තියන ඉන්දියාව සහ මැලේසියාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සලකලා බැලුව මේ අධ්‍යයන කාලය, දරුවන්ගේ සංවර්ධනය සහ ගුරුවරුන්ගේ මැදිහත්වීම ගැන ටිකක් හොයලා බලන එක වැදගත්.

අධ්‍යාපනය සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට සෘජු ඉගැන්වීම් කාලය සහ අතිරේක ක්‍රියාකාරකම් වගේම ස්වයං-අධ්‍යයන, බාහිර අධ්‍යයනයන්ට වැය කරන කාලය විදිහට කොටස් දෙකකට වෙන් කරලා හඳුනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සෘජු ඉගැන්වීම් කාලය (අනිවාර්යය) කලින් කියපු රටවල් කිහිපයේ එකිනෙකට වෙනස් අගයන් තමයි දකින්න ලැබෙන්නේ.

Oct 27, 2025

ශ්‍රී ලංකාවේ දරුවන් පාසල් හැරයාම සහ අපරාධකරුවන් බවට පත්වීම


ඉතිහාසයේ ඉඳන්ම ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සැලකියයුතු උනන්දුවක් වගේම ප්‍රමුඛතාවක් තිබුණා කියන එක අවශ්‍ය තරම් සාක්ෂි පොත්පත්වල වගේම කතා සාහිත්‍යයේත් තියනවා. සමහරවිට ඒ නිසා වගේම නිදහස් අධ්‍යාපනය වගේ සාධකත් එක්ක අදටත් ලංකාවේ අධ්‍යාපනයට යොමුවීමේ ප්‍රවණතාවය සාපේක්ෂව වැඩියි.

උදාහරණයක් විදිහට ලෝක බැංකුවේ වාර්තාවකට අනුව 2022 අවුරුද්දේ ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයට දරුවන් ඇතුලත් කිරීම 95.9% ක්. සරලවම කිව්වොත් වයස අවුරුදු 5-6 අතරේ දරුවන් 100 දෙනෙක්ගෙන් 96 දෙනෙක් විතර පාසලේ ප්‍රාථමික අංශයට ඇතුලත් වෙනවා. හැබැයි දරුවන් 4 දෙනෙක්ට විවිධ හේතු නිසා ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ.

හැබැයි මේ දරුවන් අතරින් ද්විතියික අධ්‍යාපනයට යොමුවෙන ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩුවෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ කුසලතා වගේම වෘත්තියක් වෙනුවෙන් අවශ්‍ය කරන දැනුම ලබාගන්න පුළුවන් කාලය වෙද්දි දරුවන් සැලකිය යුතු පිරිසක් එක්කෝ පාසල් අතහැරලා යනවා, නැත්නම් පාසලට එන්නෙම නෑ.

Sep 6, 2024

පිළිතුරු තැපෑලෙන්


ඊයේ දවසේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භවුණා. ඕනෑම මැතිවරණයකදි තමන්ගේ මතය මුලින්ම ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ රාජ්‍ය සේවකයන්ට. තමන්ගේ රාජකාරීමය බැඳීම් එක්ක බොහෝවිට තමන්ගේ දේශපාලන මතවාදය සඟවගෙන කටයුතු කරන්න සිද්ධවෙන රාජ්‍ය සේවකයන්ට, අනිත් ඡන්දදායකයන්ට කලින් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න ලැබෙනවා.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම් සම්බන්ධයෙන් ඊයේ සහ අද පුවත්පත් වාර් තාවලින් කියවුණේ, මේ පාර වෙනදාට වඩා තැපැල් ඡන්ද ප්‍රකාශ කරන්න රාජ්‍ය සේවකයන්ගේ උනන්දුව වැඩියි කියලා. බොහෝ තැන්වල් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම 100% සටහන් වෙලා තිබුණා කියලත් පුවත්පත් වාර් තා සඳහන් කරනවා.

May 30, 2022

අම්මලා ගිනි උහුලන රටක් !

 


රාජකාරී ආයතනයේ එක පැත්තක කවුළුවෙන් බැලුවම අනිත් පැත්තේ SLIDA එකේ රථ අංගනයත් මිදුලත් පේනවා. ඒ කැටගල් අල්ලපු මිදුලේ අම්මා කෙනෙක් ගිනි අව්වේ බිම වාඩිවෙලා දැන් දවස් කීපයක් තිස්සේ ඒ කැට ගල් අතරේ වැස්ස එක්ක මතුවුණු පුංචි පුංචි තණකොල සහ පැල උදුරනවා. මට එතකොට මතක්වුණේ ප්‍රවීණ සාහිත්‍යවේදී නන්දන වීරසිංහයන්ගේ ‘දුම්මල ගලට ගිය අම්මා’ පැදි පෙල. ඒ එක්කම ඇස්දෙකට කඳුළු උනන එක නවත්තන්න මට බැරිවුණා. මොකද මට එතකොට මතක්වෙන්නේ මගේ අම්මව.

May 10, 2022

ඔබ සිහින දකින අළුත් ලෝකය සහ මිලේච්ඡත්වය

 


ඊයේ දවස මේ රටේ ඉතිහාසයේ ‘අඳුරු දිනයක්’. ප්‍රචණ්ඩත්වය, උසිගැන්වීම්, සාමකාමී විරෝධතාවන්ට පහරදීම්, හිංසනය සහ විනාශය එක්ක නපුර රජකරපු දවසක්. අද දවස වෙද්දිත් එහි ශේෂ පත්‍රය පැහැදිලි නැති නිසා වසර 33කට පසුව ක්‍රියාත්මක මහජන ආරක්ෂණ ඇඳිරි නීතිය යටතේ රටේ ජනතාව ඊළඟට වෙන්නේ කුමක්ද කියන අවිනිශ්චිතතාවයෙන් පසුවේ.

Feb 4, 2021

නිදහසේ සිට ජාතිය දක්වා විතැන්වීම සහ පරිණාමණයවීම

 


අද ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ යටත් වැසියන් සමරමින් සිටින්නේ 73 වැනි නිදහස් දිනය බව පොල්ගෙඩි අකුරින් ලියවුණු පත්තර සිරස්තල ගණනාවක් දුටුවෙමි. 1948 බ්‍රිතාන්‍ය පාලකයන් විසින් ලංකාව අතහැර යන්නේ ලංකාවේ සිදුවූ මහා නිදහස් විප්ලවයක ප්‍රතිඵලයක් ලෙස අපගේ වත්මන් පරපුර සිතා සිටියි නම් එසේ සිතාගෙන සිටියාට වරදක් නැත.

නමුත් සිතීම සහ අවබෝධය අතර ඇත්තේ විශ්ලේෂණාත්මක,ගවේශණාත්මක සහ බුද්ධිමය වෙනසක් බව වටහාගත යුතු නිසාම ලංකාවේ යටත් විජිත පාලනයෙන් ගිලිහීම යන මාතෘකාව අරඹයා වත්මන් පරපුර සොයා බැලිය යුතු කරුණු බො‍හෝ ය. 1948 වන විට ලංකාවේ යටත් විජිත පාලනය ගිලිහීමට බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාව අතහැරීම සහ ඉන්දියාව නොමැතිව පෙරදිග බලය පවත්වාගැනීමේ අවශ්‍යතාවයක් නොවීම එක් හේතුවකි.

Oct 11, 2020

කොරෝනා කොතනින් අවසන් වෙයිද? 1918 වසංගතයෙන් පාඩමක්

 


ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කොට මාස හයකට වැඩි කාලයක් ගතවී ඇත. විද්‍යාත්මක පර්යේෂණ හා දත්ත වාර්තාවන් පෙන්වන ආකාරයට නව කොරෝනා වෛරසය හෙවත් Covid-19 දැන් දැන් වෙනස්වීම හෝ පරිණාමණයවීම අරඹා ඇත. ඒ සියල්ල අතරේ ලෝකවාසීන්ගේ හිත්වල එක් ගැටළුවක් ඉතිරිව තිබේ. එනම් මේ වසංගතය අවසන් වන්නේ කවදාද යන්නය.

Apr 30, 2020

අපේ ඉසව්වට අවුරුදු 10 යි! දැන් ඇති වගේ..


අපේ ඉසව්ව බ්ලොග් අඩවියට අවුරුදු 10 යි. අවුරුදු දහයක් කියන්නේ පොඩි පහේ කාලයක් නෙවෙයිනේ, ඒක නිසා අවුරුදු 10ක් ඇතුලේ මොනතරම් දේවල් වෙන්න ඇතිද. කොහොම වුනත් ජීවිත කාලයෙන් දශකයක්ම ගෙවුණ මේ බ්ලොග් එක කියන්නේ ලිවීම කියන එක හිතට දැනෙන්න කරන්න හැදුණු සුන්දරම තැන. ඒ වගේම ජාතික පුවත්පතක ලියන්නෙක් වෙන තැන දක්වාම රැගෙන ගියපු බ්ලොග් එකක්.

Feb 22, 2020

'තණමල්විල කොල්ලෙක්' එක හුස්මට බැලුවෙමි..


'තණමල්විල කොල්ලෙක්' ටෙලි නාට්‍ය ගැන කපිල.එම්.ගමගේ හිතවතා මුහුණුපොතේ ලියලා තිබුණ සටහනක් එක්ක කතාව බලන්න හිතුනා. යූ ටියුබයේ පිරික්සුම් සීමාවේ නම සඳහන් කරලා පළවෙනි කොටසින් පටන් අරගෙන එකින් එක බලන්න පටන්ගත්තා. ඒත් ඇත්තටම ට්‍රැක් එකට වැටෙන්නේ තණමල්විල සීමාවේ සිද්ධවුණු සිදුවීම් දාමය එකින් එක දිගහැරෙන්න පටන්ගත්තමයි. ඇත්තම කියන්න එක හුස්මට බලාගෙන යන්න හිතෙන තරමට.

Aug 17, 2017

රනිල් වික්‍රමසිංහ Naughty Forty


සාමාන්‍යයෙන් කියන්නේ මිනිස්සු අවුරුදු 40 වයසට ආවම ටිකක් විතර නෝටි එහෙම නැත්නම් ශිෂ්ට සම්පන්න නොවන දේවල්වලට පෙළඹෙන්න ටිකක් වැඩි ඉඩක් තියනවා කියන එක. ඕක මේ ආසියාතික සමාජයේ එහෙම ලොකුවට පිළීගන්න වත් විශ්වාස කරනවත් සංකල්පයක් නෙවෙයි ( සමහරවිට ඒකට හේතුව වෙන්න ඇත්තේ ආසියාවේ එවුන් බඩගාන කාලේ ඉඳන වලපල්ලට යන දවස දක්වාම නෝටි එවුන් නිසාද විය හැකියි) ඒත් මේ බටහිර රටවල් පිළිගන්න නෝටි ෆෝටි කතාව නැත්නම් දඟකාර, නරක හතලිහේ කතාව රනිල් වික්‍රමසිංහ සිරිමතාණන්ට අදාල වෙන විදිහ ටිකක් කල්පනා කරන්න වෙනවා.

මේ දවස්වල කොළඹ පුරා බෝඩ් ගහලා, බැනර් ගහලා තියනවා රනිල්ගේ 40 ට අපේ සුබ පැතුම් කියලා. දන්න තරමින් අවුරුදු 70ටත් ලඟ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෝටි ෆෝටි පැනලා දැන් හොට බිම ඇනෙන කාලේ. ඒත් ඉතින් පුරාණ චීන රජවරු එහෙම අවුරුදු අසූව අනූවේදීත් නෝටි වී ඇඳ උඩම නැත්නම් ගෑණු බඩ උඩම වලකජ්ජ ගැසූ පුවත් අපමණ අසා ඇති නිසා 70 පැන්නත් රනිල්ටත් මහින්දලා මෙන් නොටි සෙවන්ටි වෙන්නත්  බැරි නැත. එහෙත් ලංකාවේ ආර්ථිකේ හදන්නම ඔළුව වෙහෙසලා පිස්සෙක් වගේ..පිස්සෙක් වගේ ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට කොහෙද නෝටි වෙන්න වෙලාවක්ද.

Jul 27, 2017

SEX, ඉරාජ් සහ තවත් කතා


අප පාසල් යන සමයේ අපේ ගම් පළාතේ චන්දන නමින් තරුණයෙක් ජීවත්විය. දක්ෂ වඩු කාර්මික ශිල්පියෙකුගේ එකම පුත්‍රයා වූ චන්දනට වඩු කාර්මික ශිල්පය ගුරුමුෂ්ටි නොමැතිවම ප්‍රදානය කිරීමට ඔහුගේ පියා කටයුතු කරන ලදි. එයින්ද නොනැවතී තමන්ගේ සහජ හැකියාවක් වූ කැටයම් ශිල්පය සහ පොල්කටු ආශ්‍රිත නිර්මාණකරණයද ප්‍රගුන කල චන්දන තමන්ගේ ජීවිකාව ලෙස කලේ කැටයම් නිර්මාණකර අලෙවි කිරීමයි.ගමේ පමණක් නොව අසල ගම්වලද පන්සල්වල ප්‍රමුඛ තරුණ දායකයෙක් මෙන්ම ගමේ සමිති සමාගම්වල ඉතා යහපත් ක්‍රියාකාරී චරිතයක් වූ චන්දන ප්‍රකට තරුණයෙකි. 

ප්ලාස්ටික්,සිමෙන්ති සමගින් ගෙවල් ලස්සන කරගන්නා මිනිසුන් ජීවත්වන සමාජයක ලී කැටයමට ඇති ඉල්ලුම එන්න එන්නම අඩුවීමෙන් චන්දන පත්වන්නේ බරපතල ආර්ථික ප්‍රශ්නයකටය.අවසානයේ ලී කැටයක් පාර අයිනේ තබාගෙන විදේශිකයන්ට සහ ස්වදේශිකයන්ට විකුණා කීයක්හරි හොයාගෙන ජීවිතය ගැටගසාගත් චන්දනට අවසානයේ එයද වැඩිකල් කිරීමට ඉඩක් නොලැබුනේ අලෙවිය එතරම් සාර්ථක නොවූ නිසාය. දහඅතේ කල්පනා කරමින් පවුල ආරක්ෂා කරන්නට තැත්කල චන්දනගේ උදව්වට එන්නේ පාසල් සමයේ ඔහුගේ මිතුරෙකු වූ ප්‍රසන්නය, නවීන පන්නයේ මෝටර් රථයක් පවා හිමි කිසිඳු දෑතේ කර්මාන්තයක් නොදන්නා ප්‍රසන්න දෑතේ කර්මාන්තයේ ප්‍රවීණයෙක් වූ චන්දනගේ ආර්ථිකය ගොඩගන්නට අත දෙන්නේ ඔහුගේ මනසට නව කැටයම් වෙනුවට කේරල ගංජා ඇතුලත් කිරීමෙන්ය. 

Jul 23, 2017

වරද : ලිංගික අතවර කිරීම, දඬුවම : විදේශීය ශිෂ්‍යත්වයක්..


වරක් අප පාසලේ දරුවෙක් නව නිර්මාණයක් බිහිකිරීම නිසා ලංකාව තුලදී සම්මානයට පාත්‍රවිය. ඒ දරුවාට එම නිර්මාණය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය තාක්ෂණික ඥානය ලබාගැනීම සඳහා කෙටිකාලීන විදෙස් ශිෂ්‍යත්වයක් ලබාදෙන ලෙස පාසලේ විදුහල්පතිවරයා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයා ඒකමතිකව කල ඉල්ලීමට ආන්ඩුව හිත්පිත් නැතිලෙස පයින් ගැසුවේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව නැති බව කියමින්ය.

මීට කෙටිකලකට පෙර විදේශ අමාත්‍යංශයේ අවුරුදු ගණනක් එකතැන පල්වෙමින් සිටින පැවති ආන්ඩුවට මෙන්ම මේ ආන්ඩුවටද එකසේ කඩේ යන උසස් නිලධාරියෙක් අමාත්‍යංශයට අලුතෙන් ස්ථාන මාරුවක් නිසා පැමිණි රූමත් කළමණාකරණ සහකාරවරියකට තම කාර්යාල කාමරය තුලදී ලිංගික අතවර කිරීමේ සිදුවීම අමාත්‍යංශය තුල ප්‍රධාන මාතෘකාවක් වූවත් අදාල ඉහළ නිලධාරියාගේ බලපෑම් මත දේශපාලන බලයද සමගින් මාධ්‍යයට හෝ රටට එතරම් හෙළිදරව් නොවීය. විදේශ අමාත්‍යංශයේ පෙරකී ඉහළ නිලධාරියා දවසට කිහිපවරක්ම හරිහමන් හේතුවක්ද නොමැතිව විටින් විට අදාල රූමත් නිලධාරිනිය තම කාර්යාල කාමරයට ගෙන්වා ගැනීම සති ගණනක් තිස්සේ සිදුව ඇත. 

Jul 20, 2017

මැරුණම දුක හිතෙන්නේ බල්ලෝ ගැන විතරමද?



පසුගිය දිනවල ලංකාවේ මාධ්‍යවල මෙන්ම දන මන තුඩ තුඩ රැව්දුන් මාතෘකාව වූයේ මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ නිදැල්ලේ සිටි සුනඛයන් රැසක් විෂ ශරීරගත කර මරා දැමීම සහ වෙනත් ප්‍රදේශයක වළදැමීමේ පුවතය. ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනයට පමණක් නොව සරසවි ශිෂ්‍යයන්ට පවා බරපතල වාග් විවේචන එල්ලවනු දැකිය හැකිවිය. කිසිඳු තර්කයක් නැත එය අමුම අමු නින්දිත ඝාතනයකි. මැරෙන්නේ සතාද මනුෂ්‍යාද යන සාධකය ඝාතනය යන වචනයනයට වෙනස් අර්ථයක් හිමිවන්නේ නැත. ඒ නිසා විෂ ශරීරගත කර සතුන් පිරිසක් මරා දැමීම කෲරතර ඝාතනයකි. ඒ සඳහා නීතියෙන් දඬුවමක් නැතත් ස්වභාව ධර්මයා විසින් දඬුවම් පැමිණවීම කවදා හෝ සිදුවනු ඇත.

විශේෂයෙන්ම බුද්ධ දර්ශනය ප්‍රමුඛ කොටගත් රටක් ලෙස යම් පුද්ගලයෙක් බෞද්ධයෙකු ලෙසින් පිළිපදින්නා වූ ප්‍රථම ප්‍රතිපදාවේ පළමුවැනි සංකල්පය වන්නේද "පාණාතිපාතා" හෙවත් පණඇති සත්ත්වයින්ගේ පණ නැසීම උල්ලංඝනය කිරීම හේතුවෙන් මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය සාධාරණය. සමාජ ජාලවල, මාධ්‍යවල පලවුණු වේදනාවිඳ මිය ගිය සුනඛයන්ගේ ඡායාරූප වලින් හදවත තෙත්වූ සංවිධාන,පුද්ගල කණ්ඩායම්, පුද්ගලයින් එල්ලකර චෝදනා ප්‍රධාන ලෙසම මානව වර්ගයා සතු සංවේදීත්වය පදනම් කරගත් ප්‍රතිචාරයන්ය.

Jul 14, 2017

ලංකාවේ දුප්පත්කමට හේතුව අමනකමද? - ජීවන ප්‍රනාන්දු සහ අජිත් පැරකුම්ගේ ලිපිවලට පිළිතුරක්



අජිත් පැරකුම් මහත්මා සහ ජීවන ප්‍රනාන්දු මහත්මා තමන්ගේ ලිපිවලින් සාධක සහිතව පෙන්වා දී ඇති ආකාරය අනුව ලංකාවේ දුප්පත්කමට හේතුව ඉතාමත් සරල උත්තරයකි. එනම් අමනකමයි, අජිත් පැරකුම්ගේ ලිපියෙන් එය තවත් සාධනීය ලෙස කරුණු ගෙනහැර දක්වමින්ද පෙන්වා ඇත. ඒ කරුණු සියල්ල සත්‍යය එය සම්බන්ධයෙන් ගැටළුවක් නැත. නමුත් ලංකාවේ දුප්පත්කමට හේතුව යන සමාජ,ආර්ථික සහ දේශපාලනික ප්‍රශ්නයට පිළිතුර එතරම් සරල එකක්ද? යන ගැටළුව මෙහිදී පැන නගී.

ලංකාවේ ආර්ථිකය නිරපේක්ෂව හෝ සාපේක්ෂව බැලූකල්හි දුර්වල මෙන්ම පසුගාමී ආර්ථිකයකි. රටේ ජනග්‍රහනයෙන් ඉතා සුළු පිරිසක් අතර රටේ සමස්ත ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් බෙදී යන අතර ඒ හේතුවෙන් නිර්මාණය වන ආදායම් විෂමතාව නිසාවෙන් රටේ බහුතරයක් දුප්පත් මිනිසුන් ලෙස ලේබල් ඇලවී තිබේ. ලංකාවේ සිටින ඇතැම් ව්‍යාපාරිකයන්, දේශපාලඥයන්ගේ වාර්ෂික දළ ආදායම ක්‍රමවත් ලෙස ලයිස්තුගත කළහොත් එය සිතාගැනීමට පවා අසීරු අංකයක් ලබාදෙන විශ්ලේෂණයක් වනු ඇත. එසේනම් ඇත්තටම ලංකාවේ දුප්පත්කමට හේතුව අමනකම හෝ අදාල මහත්වරුන් සඳහන් කළ කරුණු කිහිපයට කැටිකල හැකි කරුණක් නොවන්නේය. 

Jun 3, 2017

සුසන්තිකාලා සහ දයාසිරිලා


සුසන්තිකා ජයසිංහ යනු මෙරට මලල ක්‍රීඩාව ලද සුපිරිතම සම්මානය බවට හැඳින්වූවාට කිසිඳු වරදක් නැත. හද්දා පිටිසර ගමකින්, කොස් දෙල් කා ක්‍රීඩාවට පිවිසි සුසන්තිකා අපේ මතකයේ රැඳී ඇති සමයේ ලෝකයම හෙල්ලූවේ ශ්‍රී ලංකාව නම් පුංචි දිවයිනේ හයිය 2000 සිඩ්නි ඔලිම්පික් උළෙල අවස්ථාවේ මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා දෙමින්ය. එකල සුසන්තිකා “ආසියාවේ කළු වෙළඹ“ ලෙස හැඳින්වූයේ ඇය ලංකාවට පමණක් නොව ආසියාවටම ආභරණයක් වූ නිසාවෙන්ය. 2007 අවුරුද්ද වන විට ඇය ඔලිම්පික් රිදී පදක්කමක් (මේරියන් ජෝන්ස්ට රන් පදක්කම අහිමිවූ නිසා), ලෝක මළල ක්‍රීඩා ශූරතා තරඟ වෙනුවෙන් එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්, ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් එක් රන් පදක්කමක්,රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක්, ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 6ක් සහ රිදී පදක්කමක් සමගින් ජයග්‍රහණ ගණනාවක් ලංකා ධජය ඉදිරියේ තබා ඇත. සුසන්තිකා තරම් ලංකාවට මලල ක්‍රීඩාවෙන් ජයග්‍රහන ගෙනා ආ කිසිවෙක් නොමැති. එසේම ක්‍රිකට් වලින් පමණක් ජාත්‍යනතරය දිනා සිටි ලංකාව මලල ක්‍රීඩාවේ නමින් ලෝකය පුරා සන්නිවේදනය වන්නේ සුසන්තිකා, දමයන්ති දර්ශා, ශ්‍රීයාණි කුලවංශ,සුගත් තිලකරත්න වැන්නවුන් නිසාය.

May 22, 2017

වැල්ලවත්තේ අනතුරේ වරදකරුවා හිරේ - එතකොට මීතොටමුල්ලේ?


පහුගිය මැයි 18 වෙනිදා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව පිටිපස්සේ රථගාල එක්කම තිබෙන මහල් ගණනාවකින් යුත් ගොඩනැගිල්ල කඩාගෙන වැටිලා කීපදෙනෙක් මියගියා, තවත් විශාල ගණනක් තුවාල ලැබුවා. මේ ගොඩනැගිල්ල කඩාගෙන වැටෙන්නේ ගොඩනැගිල්ල තුල පිරිසක් රැඳී සිටින අවස්ථාවකයි. කොහොම වුනත් එක පැත්තකින් මේක බරපතල අනතුරක්, අනික් පැත්තෙන් ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට එල්ලවන වේගවත් අතුල් පහරක්.

මෙගාපොලිස් ඇමති සහ කොළඹ නාගරික කොමසාරිස් හැකි ඉක්මණින් බෝලය පාස්කරලා කිව්වේ අනුමත සැලසුමෙන් පිට ගොඩනැගිල්ල ඉදිකරපු එක අනතුරට හේතුවයි කියලා. ගමක හද්ද කැලෑවේ ඉඩමක අනවසර තාප්පයක් බැන්ඳත් අදාල පළාත් පාලන ආයතනයේ ටී.ඕ(තාක්ෂණික නිලධාරී) ඇවිත් තහනම් කරන රටේ කොළඹ නගරය ආසන්නයේ තඩි බිල්ඩිමක් අනුමත සැලසුමෙන් පිට හැදුවේ නිකම්ම නෙවෙයි කියන එක ඕන ගොනෙක් දන්නවා. දැන් මෙතන මේ බිල්ඩිම විතරක් නෙවෙයි කොළඹ තියන බොහොම තට්ටු ගොඩනැගිලිවල ඉදිකිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් සහ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වෙලා තියනවා. ඒක නිසා අනෙක් ගොඩනැගිලිවලත් තත්ත්වය පරික්ෂාකරලා බලන එක නුවණට හුරුයි.

May 18, 2017

අවුරුදු 8 ක් ආපස්සට යාම සහ මැයි 18 යටගැසීම


අද මැයි 18. ලංකාව මිනිස්සුන්ට අමතක ඇති සමහරවිට ලංකාවේ එල්.ටී.ටී.ඊ එහෙමත් නැත්නම් කොටි කියලා ත්‍රස්තවාදී සංවිධානයක් තිබුණා. නෑ..නෑ..පුල්ලි තියන කකුල් හතරේ කොටින්ගෙන් නෙවෙයි කකුල් දෙකේ අපේම රටේ මිනිස්සු පිරිසක් කොටි කියන ලේබලේ ගහගෙන ත්‍රස්තවාදීකම් කලා. පරණ පත්තර එහෙම පෙරලලා බැලුවොත් වැඩි විස්තර ටිකක් හොයාගන්න බැරිකමක් නෑ.

ඒ කොටි කරපු දේවල් දැන් අමතක වුණාට ඒ දවස්වල ජාතියක්,ආගමක්,භේදයක් නැතිව ලංකාවේ මිනිස්සුන්ට මතක තිබුණා. උදේ බත් එක බැඳගෙන ගෙදරින් එලියට බහින අම්මා,තාත්තා,දරුවා සමහර වෙලාවට නගරේ මැද බස් එකක, කෝච්චියක, හංදියක කෑලි කෑලිවලට පුපුරලා ගිහිල්ලා බත් එක උඩම වැටිලා මැරිලා ඉන්නවා. ගෙදරට පය තියනකල් විශ්වාස නෑ. තව උතුරේ මිනිස්සුන්ගේ ගම්බිම්වලට කඩා වැදිලා පවුල් පිටින් පෙති ගහන කාලයක් තිබුණා, උඩින් ගිහිල්ලා දාන බෝම්බවලින් බුරුතු පිටින් සාමාන්‍ය මිනිස්සු මැරුණ කාලයක් තිබුණා. අත දරුවෝ පෙතිගහලා මරලා දාන කාලයක් තිබුණා. අන්න ඒ කාලය, ඒ ත්‍රස්තවාදි සංහාරය ඉවරවුණේ 2009 අවුරුද්දේ මැයි 18 වගේ දවසක. ඒ අවුරුද්දවත් දවසවත් මතක නෑ කියලා හොඳටම විශ්වාසයකි. කමක් නෑ ඒක එහෙම වෙනවා. ඒක සාමාන්‍යයි.

Apr 5, 2017

නතරවිය යුත්තේ රසායනික අවි ප්‍රහාර පමණක්ම ද?


දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කුරිරු යුද්ධයකින් බැටකෑ අපිට යුද්ධයක ඇති බිහිසුණුබව අමුතුවෙන් කියා දිය යුතු නැත. සීතල බටහිරට නොදැනෙන යුධ වේදනාවන් අප අනන්තවත් විඳ ඇත. වසර ගණනාවක් තිස්සේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් එකම රටේ එකම භූමියක ඉපදුණු මිනිසුන් දෙපැත්තකට වී මරා ගණිමින් මිනී කඳු ගොඩගැසූ යුගයක් අපදැන් පසුකර සිටින්නෙමු. ත්‍රස්තවාදය අවසන් කර ඇත, එහෙත් එකිනෙකා මරාගන්නා එක තවමත් නතර කර නැත.

සිරියාවේ දේශසීමාවක යුද ගැටමු පවතින ප්‍රදේශකයට එල්ලවුණු රසායනික අවි ප්‍රහාරයක් නිසා යුදමය තත්ත්වයට එළඹී සිටින කැරලිකරුවන්, සාමාන්‍ය ජනතාව,කුඩා දරුවන්, සහන සේවා නිලධාරීන් ඇතුළු 72ක් ඝාතනයට ලක්ව ඇති බව වාර්තාවේ. මෙය ලෝක ඉතිහාසයේ රසායනික අවි ප්‍රහාර එල්ලවූ මුල්ම අවස්ථාව නොවේ. එහෙත් මෙය අවසන් අවස්ථාව කරගැනීමේ හැකියාව මේ ලෝකයේ බල සංතුලනයට හැකියාව ඇත.

Apr 3, 2017

අපිට ජංගම දුරකතන හදන්න බැරි ඇයි?


අද වෙනකොට ජංගම දුරකතන නිෂ්පාදනය ලෝකයේ ගෘහ කර්මාන්තයක් බවට පත්කරගෙන සාපේක්ෂ සහ නිරපේක්ෂ වාසි ලබාගන්න රටවල් බිහිවෙලා. විශේෂයෙන්ම නැගී එන ආර්ථිකයන් සහිත වියට්නාමය,කාම්බෝජය,තායිලන්තය වගේ ආසියාතික රටවල් වගේම සංවර්ධිත ආර්ථිකයන් සහිත ජපානය,කොරියාව,එක්සත් ජනපදය වගේ රටවල් පවා ජංගම දුරකතන නිෂ්පාදනය ගෘහ මට්ටමට සහ සුළු කර්මාන්ත මට්ටමට ව්‍යාප්ත කරලා අවසන්. අද ලංකාවේ ජංගම දුරකතන පරිශීලනය කරන බොහොමයක් දෙනෙක්ගේ ජංගම දුරකතනය අතට අරගෙන නිෂ්පාදිත රට මොකක්ද කියලා පරික්ෂා කරලා බැලුවොත් ඉන් වැඩිම ප්‍රමාණයක් චීනයේ නිෂ්පාදිත ජංගම දුරකතන, එහෙමත් නැත්නම් කොරියාවේ,තායිලන්තයේ නැත්නම් තායිවානයේ නිෂ්පාදිත ඒවායි. සමහර විට ඊටත් වඩා ඉන්දියාවේ නිෂ්පාදනය කරපු ජංගම දුරකතන තිබෙන්නත් පුළුවන්. ඒ අතරේ අතීතයේ ජංගම දුරකතන ලෝකයේ පෙරලිකාර නිෂ්පාදක රාජ්‍යයන් වුණ එක්සත් ජනපදය,හන්ගේරියාව, ජපානය වගේ රටවල දුරකතනත් හොයාගන්න පුළුවන්. ඒත් සුළුතරයක් විතරයි. එතකොට මේ චීනය, ඉන්දියාව වගේ රටවල් අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල ජංගම දුරකතන වෙළඳපොල ඇල්ලුවේ කාරණා කීපයක් නිසායි.

Sep 15, 2016

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තවත් ජාතිවාදී මුහුණවරක් විතරයි


ජනතා විමුක්ති පෙරමුණ යනු ලංකාවේ වාමවාදී දේශපාලනයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්වූවාට කිසිඳු වරදක් නැත. එහෙව් වාමවාදීන් අද “වම“ භාවිතා කරන්නේ වැසිකිලියේදී පමණක්ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇතිවීමද වැලැක්විය නොහැකිය. එවැනි වාතාවරණයකදී ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන භාවිතාව පිළිබඳව සහ මතවාදීමය වශයෙන් ඔවුන්ගේ විතැන්වීම සම්බන්ධයෙන් කතා බහකට එක්වූයේ මීට දශක තුනකට පෙර සරසවි ශිෂ්‍යයෙක් ලෙස ජ.වි.පෙ ඉදිරිපෙළ නියෝජනය කරමින් සිපිරිගෙය තුල පවා ජ.වි.පෙ දේශපාලනයේ නිරතවූ සුවිශේෂී පුද්ගලයෙක්. ජ.වි.පෙ සම්බන්ධ සිවිල් සංවිධාන ගණනාවක් ප්‍රධාන ක්‍රියාකාරී චරිතයක් වූ හෙතෙම අද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්ව සාමාන්‍ය ජීවිතයක් ගතකරමින් සිටියි. එබැවින් ඔහුගේ අනන්‍යතාව හෙළිනොකර අදහස් පමණක් හෙළිදරව් කරීමට අදහස් කරන්නෙමි.