Sep 21, 2012

“සඳ දුටු සඳ“ විඳින්නට එනු සබඳ..

“පේරාදෙණියේ ගස් ගල් පවා කිව සිතුවිලි උපද්දවද්දි ඒ පරිසරය තුලින් බිහිවුණු ඉරංගා තුලින් ඒ නිර්මාණාත්මක හැකියාව මතුවීම පුදුමයක් නෙවෙයි..“ මේ කතාව ඇහෙන්නේ මීට තෙවසරකට කලින්. ඒ ඉරංගා සචින්තිකා යද්දෙහිගේ නම්වූ සොඳුරු කවි චින්තනාධාරිණියගේ කුළුඳුලු පුස්තකය “බැඳි නොබැඳි බැවි“ දොරට වැඩමෙව් අවස්ථාවේ ප්‍රවීණ සාහිත්‍යධර රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගේ මුවින්. ඒ කතාව කොතරම් සත්‍යද යන්න එතන හිටපු බොහෝ දෙනෙක් හොඳින් දැනගෙන හිටියා. එයට දිගුවක් එක්වන මොහොතක..නැතිනම් වෛද්‍ය ඉරංගා සචින්තිකා යද්දෙහිගේ තමන්ගේ සාහිත්‍ය නිර්මාණ පොකුර තවත් සුගන්ධවත් මලකින් තර කරන මොහොතේ යමක් නොලියා ඉන්න හිත ඉඩදෙන්නේ නෑ. 

   “සඳ දුටු සඳ“ පොත ගැන ඉරංගා සහෝදරිය මුලින්ම මාත් එක්ක කතා කරන්නේ “බැඳි නොබැඳි බැමි“ පොත ප්‍රසිද්ධියට පත්කරලා මාස තුන හතරකට පස්සේ. පලමු පොත එලිදැක්වීමත් එක්ක හිතට දැනුණු සැබෑ සංතුෂ්ටිය සහ තෘප්තිමත්භාවය එක්ක ඇයට තවත් එයට එහා ගිය නිර්මාණයක් කරන්න කියලා දිරිගැන්වීම් අනන්තවත් ලැබුණා.. එහෙම ලැබුණු ආරාධනා අතරතුර දිනක් වෛද්‍ය ඉරංගා “සඳ දුටු සඳ“ කෘතිය වෙනුවෙන් කරපු පලමු නිර්මාණය තමන්ගේ හඬින්ම මගේ ඉදිරියේ ඉඳන් කියවපු වෙලාවේ මම කියපු එකම දේ “අනිවාර්යයෙන්ම අක්කේ මේ පොත ඔයාට කරන්නම වෙයි..මොකද නැත්නම් ඔයා හඳ දිහා බලාගෙන කරන මේ නිර්මාණ ටිකම දවසක ඔයාට කරදර කරාවි..“ මේ වචන ටික බොහොම කෙටි කාලයකින් යථාර්ථයක් වෙයි කියා නොහිතූ බවනම් සත්‍යයි. මොකද ඒ සමයේ කවි පොතක් මෙන්ම නවකතාවක් ද රචනය කරමින් හිටපු නිසාවෙන් ඒ දෙකෙන් කුමක් ඉස්සර වෙයිද යන්න මට හිතාගන්නට බැරිවුණු නිසා. නමුත් “සඳ දුටු සඳ“ ඉස්සර වෙලා.


   මහජන චින්තනය කියන පරාසයේ ගැටෙමින් නිර්මාණකරණයේ යෙදෙන වෘත්තිකයන් අපි දකිනවා. අපි ඔවුන්ගේ නිර්මාණ දයාබරව වැළඳගන්නවා..නමුත් ඉරංගාගේ යම් වෙනසක් තිබෙනවා..ඒ සම්ප්‍රදාය හෝ සීමා පවුරු මත කොටු නොවී චින්තන නිදහස උපරිමයෙන් යොදාගෙන කරන නිර්මාණයන් නිසාවෙන් ඇය තමන් තුලම මෙන්ම කලාව තුලත් ස්වකීය අනන්‍යතාවක් ගොඩ නගාගෙන..“සඳ දුටු සඳ“ ඇගේ කුටප්‍රාප්තිය නොවෙයි..ඒ මන්ද ඇය තුලින් තවත් නිර්මාණ බිහිවිය යුතු නිසාවෙන්ය..කතාවකට කියනවා වගේ හොඳම කවිය තියෙන්නේ පෑන් තුඩ අග්ගිස්සේ කියා මෙන්.

  “සඳ දුටු සඳ“ සැප්තැම්බර් 22..ඒ කියන්නේ හෙට සොඳුරු මාතර පුරවරයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී හවස 2.30 ට විඳින්නට ඉඩ ලැබෙනවා..ඇය ආරාධනා කරනවා කලාකාමී ඔබට සොඳුරු පිළිසඳරකට..අගෙයි ඇත්තටම සොඳුරු පිළිසඳරක් කලකට පස්සේ සොඳුරු නිමැවුමක් එක්ක..ඇත්තටම “සඳ දුටු සඳ“ කුමක් වෙයිද..“සඳ දුටු සඳ“ නිර්මාණය ගෙන ඒවී ඒ අරුම සුන්දරත්වය..විඳින්නට ඇරයුම මගෙනුත්..ඒ වගේම සදා ආදරණීය වෛද්‍ය ඉරංගා සචින්තිකා යද්දෙහිගේ සොයුරියේ...නුඹට තවත් දිගු දුරක් යන්නට තිබේ...“සඳ දුටු සඳ“ එමග සුබ සලකුණක් වේවා!

1 comment:

  1. නියමයි.අන්න එහෙම චින්තකයන් තමා ඕනි.

    ReplyDelete