Oct 19, 2015

ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට අභාගයක් නොවන්නට..


ශිෂ්‍යත්වත විභාගය යන කඩයිම ලංකාවේ කිසිඳු දරුවෙක්ට රැකියාවක් සොයාදෙන හෝ උසස් අධ්‍යාපන වරම් ලබාදෙන අත්‍යාවශ්‍ය සුදුසුකමක් නොවන බව අපි ඉතා හොඳින් දන්නා කරුණකි. හුදෙක්ම අතීතයේ “අට පාස්“ සාධකය තරම්වත් අද “පහ පාස්“ සාධකය පුද්ගල ජීවිතයේ උන්නතියට දායකත්වය සපයන කරුණක් වී නොමැත. එවැනි තත්වයක් යටතේ දෙමව්පියන් විසින් තමන්ගේ සුරතල් දරුවන් අවුරුදු හතරේ, පහේ සිට ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගෙන සූදානම්වීම කොතරම් ප්‍රායෝගිකදැයි ප්‍රශ්නකර යුතුය.

            ශිෂ්‍යත්ව විභාගයේ ඇති එකම වටිනාකම ගම්බද හෝ දුෂ්කර පාසලක අධ්‍යාපනය ලබන පහ ශ්‍රේණියේ දරුවාට නගරයේ පාසලකට යන්නට වරම් ලැබෙනා එකම අවස්ථාව එය විය හැකි නිසාය. නමුත් ගම්බද පාසල්වල සහ නගරබද පාසල්වල පහසුකම්, අධ්‍යාපන තත්ත්වය වැනි සාධක අතර විෂමතාවක් ගොඩනැගීමට ඉඩදීම නිසාම එවැනි වටිනාකමක් පැමිණියා මිසක මීට දශක කීපයකට පෙර පැවති ග්‍රාමීය අධ්‍යාපන මට්ටම එසේම පැවතියානම් එම වටිනාකමද හුදෙක් පුස්සක් වන්නට ඉඩ තිබිණි. තවද පහ ශ්‍රේණියේ දරුවන්ට තමන්ගේ වසර පහක පාසල් අධ්‍යාපනයේ ප්‍රතිඵල මැනීමට යම්කිසි වැදගත් සන්ධිස්ථානයක් වන්නට ඉඩ තිබිණු ශිෂ්‍යත්ව විභාගය තුල එම මැනීමටද ඇති ඉඩකඩ ඇහිරී ඇත්තේ අසාමාන්‍ය තරඟය සහ පොරය නිසාවෙන්මය.

Oct 8, 2015

අධික විශ්වාසය කෙළවීමට මුලයි...


“ජීවිතේට මිනිස්සු විශ්වාස කරන්න එපා යකෝ“ මේ කියමන තරම් වැදගත් කියමනක් උඹලගේ ජීවිත කාලෙටම අහන්න වෙන්නේ නෑ. ඒ වගේම උඹලගේ ජීවිතකාලේ මේ කියමන තරම් නොපිලිගන්න වෙන කියමනක් නෑ. හැබැයි ජීවිතේ නැතිවෙන්නම කෙළවගත්ත දවසට මේ කියමන කොච්චර සත්‍යතාවක් තියන කියමනක්ද කියලා තේරුම්ගන්න පුළුවන් වෙයි. හැබැයි අපි මේ කියමන කවදාවත් තඹේකට මායිම් කරන්නේ නෑ. ඇත්තටම මිනිස්සු විශ්වාස කිරීම මත කෙළවෙනවා කියන එක අති බහුතරයක් සාක්ෂි වලින් තේරුම්ගන්න පුළුවන්. මොකද “විශ්වාසා පරමාඥාතී“ හෙවත් විශ්වාසය තරම් ඥාති සබඳතාවක් වෙන නැත කියන කියමනම තමයි ඒකට පදනම් වෙන්නෙත්. මොකද තියුණුම පන්නරයක් තියන පිහියෙන් හොඳටම එළවලු කපන්න පුළුවන් වගේම ඒ පන්නරයෙන්ම හොඳටම කාගේ හරි අඟල් හතරක් පහක් ඇඟ ඇතුලට බස්සවන්නත් පුළුවන්වීම නිසා.