Nov 16, 2015

ඒ මහින්දගේ හැටි..


මහින්ද රාජපක්ෂ මහතා 2004 අවුරුද්දේ වේදිකාවක ජනතාව අමතමින් සිටින අතර කතාව අවසන්වූ විගසම එම ප‍්‍රදේශයේ සිටි ප‍්‍රකට රාජ්‍ය සේවකයෙක් මෙන්ම ශ‍්‍රී.ල.නි.ප කාර්යධරයෙක් ප‍්‍රසිද්ධ වේදිකාවේ සිටි මහින්දගෙන් ප‍්‍රශ්නයක් ඇසීය.

ඇයි ඔබතුමා පොදු පෙරමුණ ජේ.වී.පී එකත් එක්ක එකතු වෙනවට විරුද්ධ?

එයට සෘජුවම පිළිතුරක් නොදුන් මහින්ද රාජපක්ෂ කියා සිටියේ යන ගමන් එයට හේතුව කියන්නම් යනුවෙනි. කතාව අවසන්කර ඔහු යමින් ගමන් කිසිවක් නොකීබව සහතිකයක. ඒ මහින්දගේ හැටිය.

Oct 19, 2015

ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට අභාගයක් නොවන්නට..


ශිෂ්‍යත්වත විභාගය යන කඩයිම ලංකාවේ කිසිඳු දරුවෙක්ට රැකියාවක් සොයාදෙන හෝ උසස් අධ්‍යාපන වරම් ලබාදෙන අත්‍යාවශ්‍ය සුදුසුකමක් නොවන බව අපි ඉතා හොඳින් දන්නා කරුණකි. හුදෙක්ම අතීතයේ “අට පාස්“ සාධකය තරම්වත් අද “පහ පාස්“ සාධකය පුද්ගල ජීවිතයේ උන්නතියට දායකත්වය සපයන කරුණක් වී නොමැත. එවැනි තත්වයක් යටතේ දෙමව්පියන් විසින් තමන්ගේ සුරතල් දරුවන් අවුරුදු හතරේ, පහේ සිට ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගෙන සූදානම්වීම කොතරම් ප්‍රායෝගිකදැයි ප්‍රශ්නකර යුතුය.

            ශිෂ්‍යත්ව විභාගයේ ඇති එකම වටිනාකම ගම්බද හෝ දුෂ්කර පාසලක අධ්‍යාපනය ලබන පහ ශ්‍රේණියේ දරුවාට නගරයේ පාසලකට යන්නට වරම් ලැබෙනා එකම අවස්ථාව එය විය හැකි නිසාය. නමුත් ගම්බද පාසල්වල සහ නගරබද පාසල්වල පහසුකම්, අධ්‍යාපන තත්ත්වය වැනි සාධක අතර විෂමතාවක් ගොඩනැගීමට ඉඩදීම නිසාම එවැනි වටිනාකමක් පැමිණියා මිසක මීට දශක කීපයකට පෙර පැවති ග්‍රාමීය අධ්‍යාපන මට්ටම එසේම පැවතියානම් එම වටිනාකමද හුදෙක් පුස්සක් වන්නට ඉඩ තිබිණි. තවද පහ ශ්‍රේණියේ දරුවන්ට තමන්ගේ වසර පහක පාසල් අධ්‍යාපනයේ ප්‍රතිඵල මැනීමට යම්කිසි වැදගත් සන්ධිස්ථානයක් වන්නට ඉඩ තිබිණු ශිෂ්‍යත්ව විභාගය තුල එම මැනීමටද ඇති ඉඩකඩ ඇහිරී ඇත්තේ අසාමාන්‍ය තරඟය සහ පොරය නිසාවෙන්මය.

Oct 8, 2015

අධික විශ්වාසය කෙළවීමට මුලයි...


“ජීවිතේට මිනිස්සු විශ්වාස කරන්න එපා යකෝ“ මේ කියමන තරම් වැදගත් කියමනක් උඹලගේ ජීවිත කාලෙටම අහන්න වෙන්නේ නෑ. ඒ වගේම උඹලගේ ජීවිතකාලේ මේ කියමන තරම් නොපිලිගන්න වෙන කියමනක් නෑ. හැබැයි ජීවිතේ නැතිවෙන්නම කෙළවගත්ත දවසට මේ කියමන කොච්චර සත්‍යතාවක් තියන කියමනක්ද කියලා තේරුම්ගන්න පුළුවන් වෙයි. හැබැයි අපි මේ කියමන කවදාවත් තඹේකට මායිම් කරන්නේ නෑ. ඇත්තටම මිනිස්සු විශ්වාස කිරීම මත කෙළවෙනවා කියන එක අති බහුතරයක් සාක්ෂි වලින් තේරුම්ගන්න පුළුවන්. මොකද “විශ්වාසා පරමාඥාතී“ හෙවත් විශ්වාසය තරම් ඥාති සබඳතාවක් වෙන නැත කියන කියමනම තමයි ඒකට පදනම් වෙන්නෙත්. මොකද තියුණුම පන්නරයක් තියන පිහියෙන් හොඳටම එළවලු කපන්න පුළුවන් වගේම ඒ පන්නරයෙන්ම හොඳටම කාගේ හරි අඟල් හතරක් පහක් ඇඟ ඇතුලට බස්සවන්නත් පුළුවන්වීම නිසා.

Sep 6, 2015

ඒස්.බී.දිසානායක නම් වර්තමාන ලාංකේය දේශපාලනයේ සැබෑ නිරුවත



අගෝස්තු 18 බහුතරයක් සරසවි ශිෂ්‍යයන් ඉතාමත් සතුටින් පසුවන්නට ප්‍රධාන හේතුවක් තිබුණි. එසේම ශ්‍රී ලංකාවේ ශිෂ්ට සම්පන්න දේශපාලනයක ක්ෂේම භූමිය දකින්නට දතකන ජනතාවටද එම දිනය සතුටින් ගතකරන්නට හේතුවක් තිබුණි. එස්.බී.දිසානායක ඇතුළු ලංකාවේ දේශපාලනය තුල මජර මාර්ක් දමා තිබූ දේශපාලනඥයන් බරගාණක් ජනතාව විසින් පශ්චාත්භාගයට පයින් ගසා එළවා දමා තිබුණි. ජනතා ඡන්දයෙන් මෙතෙක් කලක් රැකගත් පාර්ලිමේන්තු අසුන පවා අහිමිවීම යනු එවැනි දේශපාලඥයෙක්ට දිය හැකි උත්තරීතරම කණේ පහර බවට සැක නැත. එහෙත් ඒ චිත්තප්‍රීතියට වැඩි ආයුෂ නොමැතිවූයේ ජනාධිපති උතුමාණන් විසින් පාර්ලිමේන්තුව තුල සහ රජයක් තුල නැතිවම බැරි දේශපාලන උත්තමයන් ලෙස සලකා එස්.බී. ඇතුලු තවත් ඔළු ගෙඩි කීපයක් විශේෂ වරප්‍රසාද යටතේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ගත කිරීමයි. එයින්ද නොනැවතී රනිල් වික්‍රමසිංහ නැමති ප්‍රතිපත්තිගරුක දේශපාලඥයා සහ ජනපති උත්තමයාණන් එක්ව ඇමති ධූරයකින්ද පිදීම තුලින් මෙරට ජනතාවගේ ජනමතයට එල්ලකලේ අන්තිම අසික්කිත ප්‍රහාරයකි.

Sep 5, 2015

සුරේකා “මේ කතාව“ තුල නොකී කථාවක් ද ඇත.


ඈත හද්ද පිටිසර ගම්වලින් දහදුක් විඳගෙන සරසවි වරම් ලබන කොල්ලන්ට,කෙල්ලන්ට විශ්වවිද්‍යාල තුල ශිෂ්‍ය දේශපාලනය අමුතු රහක් එහෙමත් නැතිනම් ඊටත් එහා ගිය ආශ්වාදයක් වන්නේ නිරායාසයෙන්මය. අවුරුදු 18ක් තිස්සේ දිව නොගෑ දේශපාලනික පැණි හට්ටිය තුල ඇද වැටී හොල්මන්වීමට අතිශ්‍යය බහුතරයක් විශ්වවිද්‍යාල දරුවන්ට සිදුවන්නේ දේශපාලනය යනු කුමක්ද සහ “ලාංකේය“ දේශපාලනය තුල තමන්ගේ භූමිකාව කුමක්ද යන්න හරියාකාරව තෝරා බේරා ගැනීම සිදු නොකරන නිසාවෙන්ය. ඒ පිළිබඳ තර්ක තිබිය හැක. නමුත් එකසේ පිළිගත යුතු පරම සත්‍යය වන්නේ විශ්වවිද්‍යාල තුල ඇති දේශපාලනය රටේ සංවර්ධනයටවත්, අධ්‍යාපනයේ ආරක්ෂාවට වත් ඔය කියන තරම් දායකත්වයක් නොදන්වන බවයි.

   වාමවාදී ව්‍යාපාර වල පොත්ත ඝන රතුය, දකින දකින පැත්තෙන් පෙන්නේ දෑකැති, කුළු ගෙඩි, ලේ, දහඩිය සහ ප්‍රතිපත්ති පමණක්මය. ඒ පොත්ත ඇතුලේ කුණුවී පණුවන් ගැසූ ගන්දස්කාර ලෝකයක් ඇති බව මෑතකාලීනව දරුණුවටම කියාපාන්නේ සුරේකා සමරසේන නම් කාලෝචිත මාධ්‍යවේදිනිය විසින් ලියා පලකරන “මේ කතාව“ නම් කුළුදුල් පොත තුලින්ය. ඇයගේ ඒ කතාව තුලින් පෙරකී වාමවාදී ව්‍යාපාරවල ඝන රතු පොත්ත හිල්වෙන්නට අනින කිණිස පහර නිසාවෙන් ඒ අභ්‍යන්තරයේ ඇති කුණු ටික ටික එළියට එන්නේ සාහත්‍යයටද කොකා පෙන්වමින්ය. පොත ආරම්භයේම “පොත පුම්බන්නා“ ට අනුව ( සාමාන්‍යයෙන් පොතක මුල්පිටු අතර පොත ගැන පෙරවදන් සපයන කර්තෘ නොවන පුද්ගලයන් සියල්ල සිදුකරන්නේ පොත පිමිබීමය) සුරේකා එල්ල කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්ය. “මේ කතාවේ“ එන ගාමක චරිතය අරුන්දතී බණ්ඩාර ලවා සුරේඛා එල්ල කරන මරාගෙන මැරෙන ප්‍රහාරය අතීතය,වර්තමානය, අනාගතය යන තුන්කල්හිම මහා විනාශයක් සිදුකරන “බංකර් බ්ලාස්ට්“ මාදිලියේ ප්‍රකාශනයක් ලෙස හැඳින්වීම වඩාත් උචිතය. ඒ මන්දයත් වාමවාදී දේශපාලනික ව්‍යාපාර ප්‍රතිපත්ති,විප්ලවය, රතු ස්මාරක වැනි සුන්දර වදන් පෙන්වා ගොඩනගාගෙන සිටින කුණු බංකර් බිඳවැට්ටීමට සුරේඛාගේ බෝම්බ ප්‍රමාණවත් බැවින්ය.

Sep 3, 2015

රනිල් වික්‍රමසිංහ සමග පොෂ් වෙමු


බැරක් ඔබාමාට හෙණ කැත පුරුදු ඇත.ලෝකෙට ලොක්කා ලෙස පොර සේ ජීවත් වූවද ඔබාමාටද කැත පුරුදු ඇත. නිල නිවසේ තමන්ගේ කාමරයේ කව්රුත් නැති අවස්ථාවල දිග කලිසම ගලවා යට කලිසම පිටින් සිගරට් පත්තු කරගෙන දුම් දමමින් කාමරයේ එහා මෙහා යාම ඔබාමාගේ තවත් කැත පුරුද්දකි. අපට එය කැතවුණත් ඔබාමාට එය දරුණු ආතල් එකක් ලැබෙන වැඩකි. ISIS පෙන්නා ලෝකෙම බයකර ගන්නා ආතල් එකටත් වඩා එය ආතල් බව දන්නේ ඔබාමා පමණක්ම බව සීයට එකසිය පනහක් විශ්වාසය. තමන්ගේ මායියා මිචෙල් හෝ පින්පාට කළු කෙල්ලන් දෙදෙනා නැති හැම විටම ඔබාමා කාමරයට වී ෂෝට පිටින් දුම්ඉරීම අත්හැර නොගතහැකි පුරුද්දක් බවට පත්ව තිබිණි.

    දිනක් උදේ පාන්දරම විශේෂ ප්‍රකාශක් කරන්නට නියමිතව තිබුණ හෙයින් අත්දික ෂර්ට් එක ඇඳ යට කලිසමද ඇඳ, ටයි පොල්ලත් දාගෙනම දිග කලිසම නොඇඳ ඉක්මණටම සිගරට් එකක් අදින්නට ඔබාමාට අවැසි විය. සාක්කුවේ තිබූ රැජිනගේ ලාංජනය සහිත රත්තරන් පාට සිගරට් අසුරනයෙන් ගත් සිගරට්ටුව කටේ ගසාගෙන සාක්කු සේරම පුරා ලයිටරය සොයන්නට විය. අවසානයේ කාමරයේ කණ්ණාඩි මේසය උඩ තිබී ලයිටරය වෙනුවට සූර්යයා ගිනි පෙට්ටියක් සොයාගැනීමට ඔබාමාට හැකිවිය.

Sep 2, 2015

අසහනෙන් ඉන්නේ පිරිමි ද?


නාන ලිඳ ලඟ සෝමක්කාගේ දුව දිය රෙද්ද ඇඳගෙන නාන ලිඳෙන ගොඩවන විට ඇගේ සිරුලෙ ලාලිත්‍ය, රසමුසු තැන් දැක හවස් වරුවෙම ලන්ද අයිනේ කණ් අඩි පැලෙන්නට කසිප්පු වඩි දෙක තුනක්ම වක්කරගත් උපාලිට සැණින් වෙරි බහින වාතාවරණයක් උදාවීම පුදුමයක් නොවෙයි. ලිඳ ලඟ දෙල් ගහේ දෙබල අස්සෙන් බැලූවිට පෙනෙන් නාන ලිඳේ සොබා සෞන්දරත්වය ඉක්මවා ගිය ලැජ්ජා හිතෙනා දර්ශන ටිකට් නැතිවම බලන්න අවස්ථාව ලද පිරිස අතර උපාලිට හිමිවුණේ ගැලරියේ තැනකි.

“ෂික් විතරක්..කෙල්ලෙක්ට දිය රෙද්දක් ඇඳගෙන කැලෑ පාරකින්වත් යන්න බැරි වෙලානේ දැන්,.. දිය රෙද්ද නොතිබ්බනම් මෙලහකට මුගේ කටේ සෙවල සේරම එළියේ“

Jul 1, 2015

ජනතා විමුක්ති පෙරමුණ කොතනටද?



2010 ජනාධිපතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණට වැරදුණ තැනකි. සෘජුවම එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ සමග ඒකාබද්ධව එවකට පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මහතාට සහය පලකිරීම තුලින් අවසානයේ ලැබූ පරාජය හේතුවෙන් ජ.වි.පෙට බොහෝ දේ අහිමිවිය. ඒ අහිමිවූ දේ අතර එතෙක් ජ.වි.පෙ රැකගත් දේශපාලන දර්ශනයේ හර සම්පන්න කාරණාද විය. එය ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ.වි.පෙ නිර්මාතෘ එහි අසහාය නායක රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කල එක්සත් ජාතික පක්ෂය සමග සමගි සන්ධානගතවීම තුලින් ධනවාදයේ රෙදි කඩේ එක් කොණක ගැට ගැසීම තුලින් සෝමවංශ ඇතුලු පිරිස විශාල වරදක් කරගත්හ.

   ඊටත් පෙරාතුව චන්ද්‍රිකා ආණ්ඩුව සමග පරිවාස ආණ්ඩු ගසන්නට ගොස් ජ.වි.පෙ තමන්ගේ බිම් මට්ටමේ කාඩරය මෙන්ම පක්ෂ පරිපාලන ව්‍යූහයද විශාල අර්බුදයකට නතු කරන ලදි. විශේෂයෙන්ම මනාප පොරයට වැටීම තුලින් වසර තිහකට අාසන්න ජ.වි.පෙ දේශපාලන ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලම් තබාගත්හ. එහෙත් එසමයෙහි ජ.වි.පෙ ස්වර්ණමය සමයක් ලෙස සැලකිය හැකි යමක් වන්නේද එහි වැඩිම පාර්ලිමේන්තු නියෝජනයක් සිදුවූ සමය මෙන්ම වැඩක් කල හැකි ඇමති ධූර කීපයක්ද ජ.වි.පෙ ට හිමිවූ නිසාවෙනි. එහෙත් පරිවාස ආණ්ඩුවෙන් දික්කසාද වූ ජ.වි.පෙ ට නන්දන, විමල් වැනි ප්‍රමුඛ පෙල චරිත අහිමිවූ අතර අවසානයේ පක්ෂ අර්බුද මැද පක්ෂයේ තිරය පිටුපස ක්‍රියාකාරීම චරිතයක් වූ කුමාර් ගුණරත්නම් ඇතුලු පිරිස ජනරළ ලෙසින් කඩාගෙන යන්නට ගියහ. 

Jun 30, 2015

අපේ අයියා ගෙනා මනමාලයා..



කට්ට කෙළවරටම මහන්සි දවසක ඉස්කෝලේ ඇරිලා සී.ටී.බී එකේ අමර දුකක් විඳලා හන්දියෙන් බැහැලා මම ගෙදර එමින් හිටියේ. මහන්සියටයි,බඩගින්නටයි ගෙදරට දුවලා යන්න හිතුන වාර අනන්ත වුනත් අමාරුවෙන් බරබාගේ ඇදගෙන එනවා වගේ ගෙදර පැත්තට ගොඩවුනා. කඩුල්ලෙන් පනිනවා එක්කම ගේ පැත්තෙන් ඇහුණ සද්දෙන් තේරුනේ ගෙදර වාතාවරණේ එච්චර හොඳ නෑ කියලා.

   අපේ අප්පොච්චා කවදාවත් අරක්කු සිගරට් කටේ තියපු කෙනෙක් නෙවෙයි. තැපැල් පියුන් කෙනෙක් විදියට අවුරුදු ගානක් තිස්සේ බයිසිකලෙන් කඳු පල්ලම්, ගම් ගාණකම ඇදපු අපේ අප්පොච්චා කවදාවත් අම්මා එක්ක ගෝරි දාගන්නේ නැති තැන්පත් මනුස්සයෙක්. අපේ අම්මා ඉඳලා හිටලා අල්ලපු ගෙදර සොපි නැන්දලා එක්ක බර බර දාගත්තට ඒවත් අද තරම් සද්දෙන් ගිගුම් දෙන මට්ටමේ කචල් නෙවෙයි. 

   කොල්ලොම තුන්දෙනෙක් වෙච්ච අපේ ගෙදර බැනුම් අහන්න තරම් වැඩක් කරන්න හිටියේ මම විතරයි. ලොකු අයියා ඉතාලි හීනයක් හිතේ තියාගෙන කොළඹට වෙලා ජොබ් කට්ටක් කරනවා, පොඩි අයියා කැම්පස් එකේ දෙවැනි අවුරුද්දේ..එහෙව් එකේ අපේ ගෙදර අම්මගේ සද්ද පූජාව මෙච්චර ප්‍රබල ඇයි කියලා මට ලොකු ප්‍රශ්නයක් ආවා. ගෙට ඇතුල් වෙන තැනම අම්මා කම්මුලේ අත තියාගෙන අඬ අඬ බෙරිහන් දෙනවා, අප්පොච්චා පඩි කොණේ වාඩිවෙලා වැඩිය සද්දෙ නැතුව බෙරිහන් දෙන අම්මට බනිනවා. මට හිතාගන්න බැරිව හිටියේ මොකක් නිසාද මේ රණ්ඩුව කියලා.

Jun 27, 2015

දේදුණු කොඩියට ඇමරිකාවේ ඉඩ [ඉරිදා විචාර]


ක්ෂණිකව ලොවම කතාබහට ලක්වන මාතෘකාවක් වූ දේදුණු කොඩිය හෙවත් අමරිකා එක්සත් ජනපදය තුල සමරිසි විවාහ හෙවත් සමලිංගික විවාහ නීතිගත කිරීම දැඩි මතභේදයට තුඩුදුන් සිදුවීමක් බවට පත්වෙලා. සතියක් පුරාවටම අමරිකාව පුරාවට සුළිසුලඟක් පරිද්දෙන් ඇදී ගිය සමලිංගික විවාහ නීතිගත කිරීමේ ප්‍රතිපත්තිය අවසානයේ ජනපද 50 තුලම ක්‍රියාත්මක කල හැකි පරිදි නීතිගත කිරීමට අමරිකානු ඉහළ අධිකරණය තීන්දු කිරීමත් තුලින් අමරිකාව පුරාම දේදුණු පැහැති ධජ ඉහල නැංවුණේ ලොවම අපේක්ෂා නොකල පරිදිය.

   එක්සත් ජනපද මීළඟ ජනාධිපතිවරණයට ඇත්තේ තව මාස කීපයකි. හිලරි ක්ලින්ටන් සහ ජෙබ් බුෂ් තරඟයට පිවිසෙන බව පෙනෙන්නට ඇත. සමලිංගික විවාහ නීතිගත කිරීමත් මැතිවරණය උදෙසා වත්මන් රජය ගත්තා වූ පියවරක් යන්න සැක සහතිය. ඒ මන්දයත් ඉදිරි මැතිවරණයේදී පක්ෂ මාරුවක් සිදුවන බව පෙනේනට ඇති නිසාවෙනි.

Jun 24, 2015

ෆීනික්ස් කුරුල්ලා නැවත නැගී සිටිනු ඇත!


“එක්සත් ජාතික පක්ෂය ඉවරයි, කවදාවත් ආයෙත් ආණ්ඩුවක් ගන්නවා බොරු“ යන්න එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය නිරතුරුවම සිය පාක්ෂිකයන් පිනවීමට භාවිතා කල තේමා පාඨයයි. එය බහුතරයක් ජනතාව අතර පැවති විශ්වාසයක් විය, එපමණක් නොව එය එ.ජා.ප පාක්ෂිකයන් පවා පිළිගෙන තිබූ යමක් විය. මැතිවරණ 20 කට වැඩි ප්‍රමාණයක් පරාජයට පත්වීමෙන් අනතරුව එ.ජා.ප යට ප්‍රධාන පෙළේ හැඩගැස්මක අවශ්‍යතාව දැඩිව දැනී තිබිණි.

   එසේම එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන දේශපාලන පක්ෂ අතර සීඝ්‍රයෙන් සිය ජනප්‍රියත්වය අහිමිකරගනිමින් සිටි පක්ෂයක් බව පොදුවේ පිළිගත යුතුය. එසේම එ.ජා.ප ප්‍රබල ඡන්ද පදනම වේගයෙන් අඩුවීම සිදුවෙමින් තිබිණි. එයට හේතු ලෙස එ.ජා.ප ඡන්ද දායකයින් සිය පක්ෂයෙන් දුරස්වීම හා තීරණාත්මක මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකීසිටීම දැක්විය හැකිය. අතැම් පාක්ෂිකයින් එ.ජා.ප ය හැරදා සන්ධානය සමග එක්වීමද එසමයෙහි සිදුවිය. ඒ අතර ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සිටීම විශේෂයක් විය. එසේ පක්ෂ මාරුකල ඇත්තන් සන්ධානකාරයන් මෙන්ම “එක්සත් ජාතික පක්ෂයට දිනන්නට බෑ“ යන තේමා පාඨයම දේශපාලන වේදිකාවල ගායන කිරීම පටන් ගන්නා ලදි. නමුත් වර්තමානයේ ඔවුන් අයිතිවන්නේ අවාසනාවන්තයින්ගේ ගොන්නටය. ඒ මන්දයත් ඔවුන් නොසිතූ පරිදි එක්සත් ජාතික පක්ෂය පාලක පක්ෂය බවටත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බවටත් පත්ව ඇති බැවින්ය.

Jun 21, 2015

ජනතාව ඉල්ලුවේ UNP ආණ්ඩුවක්ද? [ඉරිදා විචාර]


සුමනා සහ සරත් දැඩිසේ ආදරය කරන පෙම්වතුන් වෙති. දෙදෙනාගේම ගෙවල් වලින් මෙම සම්බන්ධයට දැඩි ලෙස බාධා එල්ලවන්නට වූ අතර නමුත් කිසිවිටක දෙදෙනා සම්බන්ධය නවත්තන්නට සූදානම් නොවුණි. කෙසේ වෙතත් බාධකවල පීඩනය ඉවසාගත නොහැකි තැන දෙදෙනාගේ අවසන් තීරණයවූයේ ගෙවල්වලට හොරෙන් පැන ගොස් විවාහවී පාඩුවේ ජීවත් වීමයි. දෙදෙනාම කඩිනමින් සිය තීරණය ක්‍රියාත්මකකල අතර මිතුරන් කීපදෙනෙක්ගේද සහය ඇතිව හඳපානේ පැන ගොස් විවාහවී ඈත ගමක කුලී නිවසක ජීවත්වන්නට විය. විවාහයේ නැවුම් සුවඳින් සහ ආදරයේ ජීවයෙන් දෙදෙනා සතුටින් කෙටි කලක් ජීවත් විය. අගහිඟකම් සහ අනෙකුත් ප්‍රශ්න නිසා අඩදබර පැමිණියේ ඉන් අනතරුවය, අන්තිමට දෙදෙනාට දෙදෙනා එපා වන තරමටම ප්‍රශ්න තදබල විය.

Jun 19, 2015

2020 ජනපති... පාඨලී චම්පික රණවක


පාඨලී චම්පික රණවක 2020 දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වනු ඇතැයි යන කතාව කලඑළි බසින්නේ ලංකා දේශපාලනයේ සංක්‍රාන්ති සමයකය. වත්මන් ජනපතිවරයා ප්‍රමුඛ රජය විධායක බලතල සංශෝධනයකට සැරසෙන විට එයට එරෙහිව මතදැක්වූ චම්පික එවකට ප්‍රධාන මාතෘකාවක් විය. ඇතැම් අය පැවසුවේ චම්පිකට ජනාධිපති හීනයක් ඇති හෙයින් විධායක ජනපති ධූරය නැති කරනවාට කැමති නැති බවයි.

Jun 5, 2015

මට මේ ජනාධිපතිකම එපා යකෝ !



උදේ පාන්දරම කාමරේ අස්කරන්න කියලා පටන් ගත්තා. ඊට පස්සේ ජනේලේ එහෙම ඇරලා වැඩ පටන් ගන්නකොටම ගෙදර ඉස්සරහ වැට ගාවින් වාහනයක් ජරාස්... ගාලා බ්රේක් පාරක් ගහලා නැවැත්තුවා..සුදු අත්කොට ෂර්ට් එකක් ඇඳගත්තු කොල්ලෙක් වාහනේ පිටිපස්සේ දොරෙන් බහිනවා දැක්කා..ඒත් එක්කම ඉස්සරහ දොර ඇරගෙන බැස්සේ හොඳට දැකලා පුරුදු කෙනෙක්..හත්තිලව්වේ මේ අතිගරු ජනාධිපතිතුමා..නෑ නෑ අතිගරු අයින්කරගත්තා නේ.මේ ජනාධිපති මෛත්‍රීපාල උන්නැහේ නේද..සෑහෙන්න කලබලෙන් උන්නැහේ වාහනෙන් බැහැලා ගේ පැත්තට ඇවිදගෙන එනවා..ගාර්ඩ් එකේ දෙන්නෙක් පස්සෙන් දුවගෙන එනවා..හදිස්සියටද කොහෙද මෛත්‍රීතුමා දුඹුරුපාට සපත්තු දෙකත් අතේම අරගෙන එනවා..

   ඉස්තෝප්පුවට ඇවිත් දොරෙන් ගේ ඇතුලට කොක් බැල්මක් දාලා විපරම් කරපු මෛත්‍රීතුමා හොයන්නේ මාව කියලා ඉවෙන් වගේ දැනුනා. ඒ පාර මොන බාල්දියක් පෙරලෙන්න එනවද කියලා මට හිතාගන්න බැරිවුණා. 

Jun 1, 2015

ඉරුණු ජොකා සහ ආර්ථික අවපාතය


පහුගිය දවසක ගමේ දන්න හඳුනන මිත්‍රයෙක් මුණගැහෙන්න මිත්‍රයගේ වාසභූමියට යනකොට මිත්‍රයා කාලෙකට පස්සේ වැටෙන වැස්සේ ආශිර්වාදයෙන්ද මන්දා රෙදි ටිකක් පිළිවෙලට හෝදනවා. හෝදලා මිරිකලා රෙදි වැලේ එල්ලනවා අව්වට වේලෙන්න. සාදරයෙන් මාව පිළිගත්ත මිත්‍රයා රෙදි එකින් එක එල්ලන ගමන්ම කතාව පටන් ගත්තා. මේ අතරේ මිත්‍රයගේ අතින් වතුර මිරිකිලා වැලේ එල්ලුන මිත්‍රයාගේ පරණ ජොකෙක් එහෙමත් නැත්නම් යට ඇඳුමක් කණ කැස්බෑවෙකුට හරි අගේට ඔළුව දාලා වර්තමාන සමාජ ආර්ථික තත්වය ගැන විමසුමක් කරන්න පුළුවන් මට්ටමේ හිල් කීපයකින්ම සමන්විත වෙලා තියනවා දැකලා මට “හෑ...“ කියවුනේ ඉබේටමයි.

   අවුරුදු ගාණක් තිස්සේ රස්සාවක් කරන, තවමත් පවුල් බරක් නොදැනෙන, අම්ම තාත්තා දහදුක් විඳලා හදලා දුන්න ගෙදරක ගෙවල භූතයෙක් වගේ අරක්ගෙන ඉන්න මිත්‍රයට ජොකාගේ හිල් හැදෙනකන් පිහිටපු අහේනිය මොකක්ද කියලා හිතාගන්න බැරිවුණා.

May 21, 2015

කපුගේ නැමති සංගීතය


කපුගේ මියයන විට මම පොඩි කොල්ලෙකි. ඔහුට අදටත් කපුගේ කියා කියන්නට මට කිසිඳු අවසරයක් නැත, ඔහු විශාරද ගුණදාස කපුගේ මහතාමය. ඒ ගෞරවයේ කිසිඳු අඩුවක් නැත. එහෙත් මම ඔහු කපුගේ කියා සහෝදරත්වයෙන් අමතමි. කපුගේ නැමති සංගීතය පිළිබඳ ලංකාවේ පත්තර පිටු පිරෙන්නට ලියා තිබෙනු දැක ඇත්තෙමි. ඒත් කපුගේ යන සංගීතය දැනෙන සමාජ ස්ථරය තුල සිට කපුගේ දකිනවා මිස සැපපහසු කාමර තුල සිට කපුගේ ස්පර්ශ කල සමාජය දැකීම පට්ටපල් බොරුවකි. 

   කපුගේ මියගිය දවසේ මගේ පොඩි අයියා පොඩි දරුවෙක් මෙන් හඬාවැටෙන අයුරු මම අත්වින්ඳෙමි. යන්තම් අවුරුදු දහයක් දොළහක් වූ මට උසස් පෙළත් පැන්නූ පොඩි අයියා හඬා වැටෙන්නේ ඇයිදැයි ගැටළුවක් විය. විශේෂයෙන්ම අඩුම තරමේ අපේ ගමේ සංගීත සංදර්ශනයකටවත් අඩිය නොතැබූ කපුගේ අභාවය ගැන පොඩි අයියා විස්සෝප වීම හරස්පද ප්‍රහේලිකාවක් විය. මොහිදීන් බෙග් සැත්කමකට භාජනය කරන්නට සිහිනැති කොට අවසානයේ සිහිය ගන්නට නොහැකිව මියගිය දවසේ අපේ ආච්චි හඬා වැටුණු අයුරු තාත්තා කියා ඇත. එයට ප්‍රධාන හේතුව වූයේ බෙග් ගැයූ බොඳු බැති ගීත වලට ආච්චි ගැලරියේ සිට සාදුකාර දුන් රසිකාවියක් වීම නිසා වන්නට ඇත. ඒත් පොඩි අයියා කපුගේ අභාවය නිසා අඬාවැටීම මා හට පෙනුනේ කැමිලස්ගේ කොමඩි කාටුන් එකක් ලෙසටය.

May 20, 2015

බොදු බලේ මුල සිඳුණු හැටි


බොදු බල සේනා නැමති බෞද්ධ පදනමක් ගත්තාවූ සිවිල් සංවිධානයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කලේ පූජ්‍ය කිරම විමලජෝතී හිමියන්ය. නැදිමාල බෞද්ධ සංස්කෘතික නිකේතනයේ නිර්මාතෘ හිමියන් වන විමලජෝති හිමියන් ඉන්ද්‍රීය සංවර, දැනුමෙන් පෝෂිත, දර්ශනයක් ඇති බෞද්ධ යතිවරයෙකි. පසුගිය සමයේ ලංකා ජන සමාජයේ වැසියන්ට ගැටළුක් පැවතිනි. එයනම්,

X = තැන්පත්, විද්වත් කිරම විමලජෝති හිමි
Y = ආවේගශීලී, සඟ විනය නොරකින ගලගොඩඅත්තේ ඥානසාර හිමි
Z = බහුතරයක් අන්තවාදී මත දරණ අනුගාමිකයින්
B = බොදුබල සේනා සංවිධානය

May 19, 2015

මහින්ද රාජපක්ෂ තවමත් ප්‍රබලයි


මහින්ද රාජපක්ෂ යනු මෙරට දේශපාලනයේ අදූරදර්ශීම ජනාධිපතිවරයාය. තම පාලන කාලය තුල මෙන්ම පාලන කාලය අවසාන සමයේ අන්ත ආකාරයට පිරිහුණු චන්ද්‍රිකා බණ්ඩාරණායක හිටපු ජනපතිනියත් වසර 11 ජනපතිකම් කරද්දී තමන්ගේ ධූරකාලය තුල දශක තුනක යුද්ධය අවසන් කිරීමටද හැකිවූ මහින්ද රාජපක්ෂට වසර 09 කින් ගෙදර යන්නටවීම තරම් ප්‍රබල සාක්ෂියක් තවත් එයට වේද. ඒ කෙසේවතත් ජනතා තීන්දුව මත මහින්ද රාජපක්ෂට ජනපති ධූරය අතහරින්නට විය. මෛත්‍රීපාල සිරිසේන නව ජනපතිවරයා බවට පත්විය. බොහෝ දෙනෙක් සිතුවේ මහින්ද රාජපක්ෂ චරිතය එතනින් අතුගෑවී යාදෝ කියාය. ඒ මන්දයත් ශ්‍රී ලංකාවේ පරාජයට පත්වූ එකම ජනපතිවරයා ඔහු වීම, සියළු රාජ්‍ය බලය භාවිතා කර මැතිවරණය සිදුකිරීම වැනි කාරණාත් නිසාවෙනි. එහෙත් මහින්ද රාජපක්ෂ යනු මෙරට දේශපාලනයේ දක්ෂ නළුවෙක් බව ඔහු අදටත් පෙන්වා දෙමින් සිටියි.

May 12, 2015

බෞද්ධයා අන්තවාදී විය යුතුද?


අන්තවාදිත්වය පිළිබඳව ලොව අතීතය මෙන්ම වර්තමානය දෙස බලද්දී අපමණ උදාහරණ දැකගත හැක. එහෙත් ලොව දරුණතම ත්‍රස්තවාදීන් අතර ආගමික අන්තවාදීන් සිටීම තුලින් ආගමක් බැතිමතෙක් හට ප්‍රදානය කර ඇත්තේ යථාර්ථයද යන්න පිළිබඳ ගැටළුවක් ඇත. ඉස්ලාමීය අන්තවාදී කල්ලි නිසාවෙන් ලොව රටවල් ගණනාවක් කෝටි සංඛ්‍යාත ජනතාවක් අදටත් දුක් විඳිති. මේ ලිපිය ලියන මොහොතේ පවා එවැනි ආගමික අන්තවාදය පදනම් කරගත් සංවිධානයක් කුමන රටක බෝම්බ පුපුරවනවා ඇත්දැයි අපි නොදන්නෙමු. එහෙත් එය වර්තමානයේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබීම ඛේදවාචකයකි. එය හරියටම මීට දශක ගණනාවකට පෙර වසූරිය නිසා මිනිසුන් ලක්ෂ ගණන් මිය යන විට අවසානයේ වසූරිය නිසා මියයාම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වුනා වැනිය.

   එහෙත් බෞද්ධයා අන්තවාදී විය යුතුද? මෙය දැඩි ලෙස විවාදයට බඳුන් වූ සහ බඳුන් වන කරුණකි. ලංකා ජන සමාජය තුල මීට වසර කිහිපයකට පෙර ඇරඹි බෞද්ධයා පදනම් කරගත් බොදුබල සේනා, සිංහල රාවය, රාවණා බලය වැනි සංවිධානවලට බෞද්ධ අන්තවාදී ලේබල් ඇලවුනේ කුමක් නිසාද යන්න රටට අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඉස්ලාමීය අන්තවාදී සංවිධාන ලෙස ආගම අරඹයා මරා ගැනීම, මරා දැමීම බෞද්ධයා විසින් කල යුතුද යන්න ගැඹුරු ඇසින් බැලිය යුතු කාරණයක් නොව සරලවම තේරුම්ගත හැකි කරුණකි.

May 7, 2015

පෙර පාසල් අධ්‍යාපනය මොන ලබ්බටද?


මගේ නිවස ආසන්නයේ හුරුබුහුටි කෙළි පැටියෙක් ජීවත් වෙයි. යන්තම් අවුරුද්ද පිරුණු කාලයේ සිට පාරේ ගමන් කරන හැමදෙනාටම ලෝභ නැතිව අත වනන, හිනා වපුරන මේ කෙළි පැටික්කිය සුව දසුනක් මෙන්ම සැමගේ ආදරය දිනාගත් චරිතයකි. එහෙත් දැන් කෙල්ලට හිනාවෙන්නට, අත වනන්නට වෙලාව නැත. ඒ ඇය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදයේ තවත් එක බිල්ලක් බවට පත්වූ නිසාවෙනි.

   යන්තම් අවුරුදු තුන පසුවූ විටම දරුවා පෙර පාසල වෙත දක්කන්නට අම්මාටත්, තාත්තාටත් කලින් සීයා සහ ආච්චී මැදිහත් විය. කාර්යබහුල දෙමව්පියන් සැනසීමක් ලෙසින් සිතා කටේ කිරි සුවඳ යන්නට පවා කල් මදිවූ දරු පැටියා බෑග් මල්ලක් පිටේ එල්ලාගෙන, වතුර බූලිය අතේ එල්ලාගෙන, නිදිගැට කඩමින් පෙර පාසල දක්වා කැන්දාගෙන යන දෙමව්පියන්ගේ අභිලාෂයන් දරුවන් විසින් ඉටුකර ඇත්ද? මෙහි දෙපැත්තක් ඇත. 

May 5, 2015

විප්ලවවාදියෙකුගේ අවසානය, දයාබර සෝමවංශ..!


නිදහස් චතුරස්‍රයේ කණුවකට හේත්තු වී තනිවම දෑතින් අකුරු ලියූ සුදුපැහැති බෝඩ් දෙකක් ඔසවාගෙන සිටින සෝමවංශ රූපවාහිනියෙන් දුටු මොහොතේ මුලින්ම ඇතිවූයේ අතිශ්‍යය සංවේගයකි. ක්ෂණිකව මාහට දැනුන හැඟීම සමාන වූයේ මාගේ මුත්තා සුදුපැහැති බැනියමත් ඇඳ සරමත් වලාපට ගසාගෙන වයස අසූවේදීත් බැරි බැරි ගානේ කුඹුරු කොටනු දුටු මුණුපුරාට එදා ඇතිවුණ සංවේගයටම පමණක්ය. සෝමවංශ අමරසිංහ මෙසේ බෝඩ් ඔසවාගෙන නිදහස් චතුරස්‍රයේ එරමිණියා ගොතාගෙන බිම ලැගිය යුතු අයෙක්ද? ගැටළුවකි.

May 1, 2015

රනිල්, මංගල සහ මඩ දේශපාලනය


රනිල් වික්‍රමසිංහ යනු මෙරට වත්මන් අග්‍රාමාත්‍යවරයාය. හෙතෙම එම තනතුර දරන්නේ තෙවැනි වතාවටය. සාමාන්‍යෙයෙන් ඔහු එම තනතුර දැරූ උපරිම කාලය වසර දෙකකි. මංගල සමරවීර යනු වත්මන් රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයාය. තැපැල්,විදුලි සදේශ,වරාය, ගුවන්සේවා වැනි අමාත්‍යංශ ගණනාවක හසල අත්දැකීම් මෙන්ම වැඩි වැඩ කොටසක් කල පුද්ගලයෙකි. මේ දෙදෙනා තකට තක ගැලපෙන චරිත බව සඳහන් කල යුතුමය. 

   රනිල් දේශපාලන භෞතීස්මය ලබන්නේ ජේ.ආර් ජයවර්ධන සෙවණේය. ඒ සෙවන රනිල්ට අම නිවනක් වූ බව දේශපාලන ඉතිහාසය දන්නා ඇත්තන් දනිති. දශක තුනකට වැඩි දේශපාලනය තුල රනිල් වික්‍රමසිංහ චරිතය නගින්නට මෙන්ම බසින්නටද හේතු වූයේ රනිල්ගේ දේශපාලනික හැසිරීම පමණක් නොව ඔහු වටාගොඩනැගුනු විවිධ බලවේගත් නිසාවෙනි. රනිල්ගේ දේශපාලන දර්ශනය තුල තිබෙන්නේ පිරිසිදු බවකි, බොහෝවිට එය ලංකා දේශපාලන ක්‍රමයට නොගැලපෙන්නක් බව පෙනුනේත් ඒ නිසාමය. නමුත් රනිල්ගේ දේශපාලන ක්‍රමවේදය තුල මඩ දේශපාලනය විශේෂ ස්ථානයක් ගන්නේ රනිල්ගේ ස්වකැමැත්තෙන්මද යන්න ගැටළුවකි.

Apr 23, 2015

සයිබර් සිහින බක්මහ උළෙල 2015 - නොකී කතා


ගියවර සයිබර් සිහින බක්මහ උළෙල සමාප්තවී කුණු බැනුම් අසන්නට සතියක් පුරාම සිදුවූ යම් දෙයක් ඇත. එයනම් සයිබර් සිහින බක්මහ උළෙලේ නොකී කතා ලිපියයි. එය වනාහි ඉල්ලාගෙන කෑමක් ලෙස යථෝක්ත සත්‍ය ලෙසම ඉදිරිපත්කල හැක. නමුත් ඒ කෑම නිසාවෙන් පශ්චාත් සයිබර් සිහින බක්මහ උළෙල සමය ඉතා විවෘත මෙන්ම රසවත් කාලපරිච්ඡේදයක් වූයේ අදාල ලිපිය තුල පලවූ ජවනිකා සොයා යාමට ගත් උත්සහය නිසාවෙනි. කෙසේ වෙතත් මෙවරද නොකී කතා නොකියාම සිටියහොත් පලක් නොවන නිසාවෙනි.

   නමුත් හැමදේටම පෙරාතුව 2015 සයිබර් සිහින බක්මහ උළෙල පිළිබඳ කතා කිරීමේදී බොහෝ දෙනෙක් පැවසූ පරිදිම සාර්ථකව සහ දැඩි කැපවීමකින් එය අවසන් කල හැකිවූ බව පැවසිය යුතුමය. එය නන් අයුරින් සහය දුන් සංවිධායක කමිටුව ඇතුලු පිරිසට ස්තූතිවන්ත විය යුතුය. මන්ද 5 වැනි සංවත්සරික සයිබර් සිහින බක්මහ උළෙල ලෙහෙසියෙන් පැත්තකට දැමිය හැකි ඉසව්වක් නොවූ බැවින්ය. 

   දැන් නොකී කතා කිව යුතු වේලාවයි. මෙහි එන සිදුවීම් සත්‍ය සිදුවීම් වන අතර හෘදයාබාධ, උදරාබාධ, ක්ෂණික කෝපය වැන භයානක රෝගාබාධ ඇති පාඨකයන් මෙය කියවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි.

Apr 15, 2015

මහින්ද රාජපක්ෂ භීතිකාවක් ද, මේනියාවක්ද නැතිනම් වෛරසයක්ද?


පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ හෙවත් මහින්ද රාජපක්ෂ යනු කවරෙක්ද? මහින්දවාදීන්ට නම් හෙතෙම “ජාතියේ ගැලවුම්කාරයාය“. මහින්ද විරෝධීන්ට නම් හෙතෙම “ඒකාධිපතියෙක්ය“. එහෙත් මෙම ගැලවුම්කාරයා සහ ඒකාධිපතියා යන අන්ත දෙක මැද තවත් නිශ්චිත මෙන්ම අවිනිශ්චිත නිර්නායකයන් ගණනාවක්ම පවතින බවද සඳහන් කල යුතුය. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ යනු ආසන්නම සහ සරලම නිර්වචනය ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු ජනාධිපතිවරයා යන්නයි. ජනපති මහින්ද සිට හිටපු ජනපති මහින්ද දක්වා තල්ලුවෙන වසර 9 ක කාල පරිච්ඡේදය තුල තීරණාත්මක අවසන් වසර දෙක තුල එයට විශාල වශයෙන් දායකත්වය ලැබුණු සමයක් බව සිහිපත් කල යුතුය.

Mar 15, 2015

යාපනය සංචාරය සහ නාගදීපේ වන්දනාව


ආයතනික සමුළුවක් සඳහා ජීවිතේ ප්‍රථම වතාවට යාපනයට යන්නට ලැබුණු ගමන බොහොම මතක සටහන් එක්කල ගමනක් වුනා. දකුණේ දෙවුන්දර තුඩුවේ ඉඳන් උතුරේ යාපනය දක්වා ගිය ගමන බොහොම සුන්දර ගමනක්. මාතරින් පිටත් වෙලා කොළඹ, පුත්තලම හරහා අනුරාධපුරයට ඇවිත් ඒ9 මාර්ගය ඔස්සේ වවුනියා, ඕමන්තේ,කිලිනොච්චි, අලිමංකඩ, චාවකච්චේරි හරහා යාපනයට ලඟාවෙන්න පැය 10 කට ආසන්න කාලයක් ගතවුනා. 

   මගේ නවාතැන වුනේ යාපනය රෝහල පාරේ පිහිටි යූ.ඒස් හෝටලය නැමති සුඛෝපභෝගී හෝටලය. යාපනයේ ප්‍රථම සංචාරක අත්දැකීම නිසා යාපනයේ මෙවැනි තැන් තියනවද කියන එකත් පුදුමයක් වුනා. ඒත් මීට දශක කීපයකට කලින් කොළඹටත් එහා ගිය සංවර්ධනයක් තිබුණ යාපනය යුද්ධයේ අළු මතින් නැගිටලා ආයෙත් සංවර්ධනය පැත්තට යන එක ලොකු සතුටක්.

Mar 14, 2015

සම-රිසි බව නොහොත් Homosexuality


මම රැකියාව කරන ආයතනයේ මගේ කණිෂ්ඨ සේවක මණ්ඩලයේ ඉන්න කාන්තා නිලධාරිනියක් ඉන්නවා ඇය බොහොම සුහද කෙනෙක්. ඇයගේ විශේෂත්වය තමයි ඇගේ මිත්‍ර කාන්තා නිලධාරිනියන්ට ආමන්ත්‍රණය කරන්නේ “මගේ වස්තුව...මගේ පණ..පැටියෝ..සුදූ “ යනාදී විශේෂ ආකාරයටයි. ඒක ඇයගේ පුරුද්දක් මිස මෙම ලිපියේ මාතෘකාවට අදාල වන්නක් නොවිය හැක. ඒත් අප ආයතනයේ බොහොමයක් නිලධාරීන් ඇය එවැනි ආමන්ත්‍රණයක් කාන්තා නිලධාරිනියකටම සිදු කරන විට..“ආ ආ තාම ලංකාවේ ඕවා තහනම්...ටිකක් ඉවසන්න වෙයි සම්මත කරනකං“ ආදී විහිළු තහළු කිරීමයි. 

   සම-රිසි බව නොහොත් “සමලිංගිකත්වය“ එහෙමත් නැතිනම් Homosexuality යන නමින් හඳුන්වන මෙම තත්වය පිළිබඳ කතා කිරීම ලංකාවේ බහුලව සිදුවන්නේ නෑ. නමුත් බොහොමයක් රටවල මේ පිළිබඳව කතා කරනවා පමණක් නොව නීති මගින් සමලිංගික ඇසුර මෙන්ම සමලිංගික විවාහද නීත්‍යානුකූල කර තිබීම අප ශ්‍රී ලාංකිකයන් ලෙස මදක් කුතුහලයෙන් යුතුව විමසන කරුනක්. ඇත්තටම සම-රිසි බව යනු කුමක්ද සහ ඒ පිළිබඳව මදක් විවරණාත්මකව කතා කිරීම මෙම ලිපියෙන් සිදු වෙනවා.

Jan 28, 2015

පසු දානය



අභරණ මුතුද මිණි මෙවුලද හැඳින්නෙමි
කටු වැලි බොරළු ගොරහැඬි බව දකින්නෙමි
ආ මග මෙන්ම යා හැකි මග සිතන්නෙමි
මා හැඟි සිතට නීරස බව පෙනෙන්නෙමි

හිමියනි දෙසා මා හට රළු බණ තරම
නොඅසා එදා රජවී කල හැම දෙයම
කැරකී මෙදා මා පසුපස එන ලෙසම
පුදුමයි මුනි බනේ එය දුටුවේ පෙරම

නැත මෙමා හිතේ කලඳක තරහක් අදද
මේ බෙදා දෙන්නේ පෙර හිතමයි නිබඳ
වැරදුණ තරම නොපෙනුනෙ හිමියනි කිමද
පහන් සිතින් මේ දන් පිලිගනු සබඳ

- ජනරඟ විජඉඳු දේවසුරේන්ද්‍ර -


Jan 21, 2015

ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන්නට පෙර


නව ජනාධිපතිවරයා සහ රජය පත්වී තවම සති දෙකක්වත් ගතවී නැත. මහා විශ්ලේෂණ හෝ පුරෝකථන කිරීමට තවමත් මේ දරුවා වැඩී නැත. ඉස්සරනම් ගම්වල නොමේරූ දරුවන්ට කේන්දරවත් නොහදන්නේ ජීවිතය පිළිබඳ විශ්වාස තැබිය හැකි මට්ටමකට වැඩී නොමැති බැවින්ය. නමුත් වර්තමානයේ එසේ නැත. එහෙම හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන බව අප දන්නා කරුණකි. වෛරීය ආකල්පයකින් තොරව විවේචනාත්මකව නව පාලනය දෙස බැලීම අපේ අරමුණයි. රජයෙන් වරප්‍රසාද හා වරදාන ලබා කට බඩ පුරවාගන්නවාට වඩා වැරදි තැන වැරදි බව කියා, හොඳ තැන හොඳ කියා, තදින්ම වැරදි තැන තදින්ම පහරදීම පුද්ගලිකව මේ ලියුම්කරුගේ ක්‍රමවේදයයි. 

   නව පාලනයකට මෙරට ජනතාව තීන්දුව ගත්තේ පැවති පාලනය තුල පැවති හොරකම්, දූෂණ, වංචා වලට එරෙහිව පැවති දැඩි ජනතා මතය ඔප් නංවමින්ය. රටේ එක්තරා පිරිසකට ඒකාධිපතිත්වයේ සංඥා සලකුණු මීට බොහෝ කලකට පෙර දැනුණු නිසාවෙන් ඔවුන් එකලම රාජපක්ෂ පාලනයට විරුද්ධ වූහ, පසුව එහි කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් මෛත්‍රී පාලනයක සංකල්පනාත්ම විධික්‍රම පිළිබඳ විශ්වාසය තබමින් බහුතරයක් ජනතාව නව පාලනයට පියවර ගත්හ. නව පාලනයක් යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නව පාලනයක් ලෙස ලංකාවේ දේශපාලන පරිසරය තුල බලාපොරොත්තුවීම අට්ටික්කා ගහේ මල් බලාපොරොත්තුවීම වැනි විය හැක. නමුත් පැවති පාලනයේ විශාල වැරදි මුලින්ම නිවැරදි කරගෙන, පසුව සෙසු වැරදි නිවැරදි කරගෙන සමස්ත ක්‍රමවේදයම වෙනස් කරගෙන කටයුතු කිරීම නව පාලනයකදී සිදුවිය යුතුය. එහෙත් දින 100 ක් තුල ඒ අපේක්ෂා වලින් කීයෙන් කීයක් ඉටුවේවිද යන්න පිළිබඳ ගැටළුවක් ඡන්දය ලබාදුන් පිරිසගේ සිත් තුලද ඇතිවන ආකාරයේ හැඩගැසීමකට නව පාලනය යන ආකාරය පෙනේ.

Jan 19, 2015

යහපාලනය යනු ආතල් හුවමාරුව නොවේ


මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ගෙදර යන්නට සිදුවුණේ දූෂණ, වංචා හෝ පවුල් පාලනය නැතිනම් ඒකාධිපතිත්වය නිසා පමණක් නොවන්නේය. ඉහත කී කාරණා දැනෙන්නේ සමාජයේ ස්ථර කීපයකට පමණි. සමාජයේ කම්කරු පන්තියේ සිවිල් ජනතාවට ඊට එහා ගිය දේ දැනුණු බව අමතක කල යුතු නැත. විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලයේ සිට පලාත් පාලන ආතනයේ මන්ත්‍රී වරයාගෙන් නොනැවතී පක්ෂ ශාඛා සමිති සභාපති දක්වාම පැතිර ගියා වූ “බොරු ෂෝ දේශපාලනය“ මහින්ද රාජපක්ෂ පාලනයට නැවතීමේ තිත තියන්නට සෘජු හේතුවක් වූ බව කිසිවෙක්ට ඉවත දැමිය නොහැක. සත්‍යම කතාවනම් “තොරණ් ආර්ථිකයක“ සිට “සංදර්ශන මානසිකත්වය“ හරහා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ වන්දිභට්ටයින් සහ ගෝලයින් සිදුකලාවූ ප්‍රදර්ශනකාමී ක්‍රියාකාරකම් නිසා අවසානයේ වන්දි ගෙවන්නට වූයේ ඒවායේ ගුරු වූ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ටමය.

   මා මිත්‍ර චතුර විජේකෝන් අන්තර්ජාලයේ තබා තිබූ සටහනක් අනුව මා හට සිහිවූ යමක් විය. ඔහු කියා තිබුණේ පසුගිය සමයේ තනි වාහනයකින් කිසිඳු ආරක්ෂකයෙක් නැතිව යස අගේට ගමන් බිමන් ගිය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඇමති පදවියක් ලැබ පරිවාර රථ ගණනාවකින් සහ ආරක්ෂකයින් ගණනාවක් සහිතව සිය ප්‍රදේශයේම රැස්වීමකට සහභාගීවන මොහොතේ මාර්ගයේ ගමන් කල ජනතාව රථවාහන තදබදය නිසා අසීරුවට පත්වූ අයුරු සඳහන් කර තිබිණි. ඒ නිසා යහපාලනය උදෙසා පාලනය මාරු කලේ එහි නියෝජිතයන්ගේ ආතල් මාරු කිරීමට නොවන බව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ප්‍රමුඛ රජය තේරුම්ගත යුතුය. මෙරට ජනතාවගෙන් බහුතරයක් බලාපොරොත්තු වූයේ මේ ක්‍රමය වෙනස් කිරීමකි. ඒත් කියන්නාක් මෙන් වෙනස් බෝතල් තුල එකම වයින් යන සංස්කෘතිය බිහිකර ප්‍රයෝජනයක් නැත. එයින් වැඩිම හානිය වන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ටත් වඩා එක්සත් ජාතික පක්ෂ රජයකටය. වසර 8 ක දීර්ඝ කාලීන පරාජයකින් පසු 2002 දෙකේ ජයක් අත්කරගත් එජාපයේ ජයග්‍රහණය වසර 8 ක පාලන කාලයේ පොඩි විවේකී නිවාඩුවක් පමණක්ම බවට පත්කරගැනීමට එදා පොදුජන එක්සත් පෙරමුණට හැකිවූයේ රනිල් පාලනය පෙරලා දමා 2004 නැවත බලයට පත්වීමෙන්ය. එයට හේතුවූයේදී කැහැ ගෑනි පන්නලා හොටු ගෑණි ගෙන ඒමක් ලෙස එජාප රජයද ජනතාවට පෙනුන නිසාවෙනි. නැතිනම් චන්ද්‍රිකා මොනදේ කලත් එජාප රජය පන්නාගන්නට වෙන්නේ නැත.

Jan 17, 2015

මර්වින් සිල්වා නැමති.....



මීට වසර දෙක තුනකට පෙර මාගේ මිත්‍රයෙක් කියූ කතාවක් මාගේ මතකයේ හොඳින් තැන්පත්වී ඇත. එයට අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමන් තමන්ගේ ආරක්ෂක අංශ විසින් දෙනු ලබන නියෝගයන් එතරම් මායිම් නොකරන කාලයක් තිබී ඇත. විශේෂයෙන්ම යුද්ධයේ තීරණාත්මක අවධියේ එවැනි හිතුවක්කාර හැසිරීම් නිසාවෙන් මහින්දට මොනවාහරි සිද්ධවුණානම් ආරක්ෂක අංශවලට සියළු වගකීම් බාරගන්නට වෙන නිසා ඒ දවස්වල ජනපති ආරක්ෂක අංශය සිට ඇත්තේ ඉබේ බිත්තර තැම්බෙන පපු කුහරයන් සහිතවය. 

   ඒත් මැදමුලන ගමේ කොලු කාලයේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමග තලගොයින්ට පවා වැඩේ දුන් හොඳ යාළු පිට් එකක් ජනපති ආරක්ෂක අංශයේ සාමාන්‍ය තනතුරක් දරණ නිලධාරියෙක් වශයෙන් සිට ඇත. ජනපති ආරක්ෂක අංශ ප්‍රධානියා කියන දේ මහින්ද නොපිළිගත් විට අංශ ප්‍රධානියා වහාම ගොස් මහින්දගේ මිත්‍ර සුළු නිලධාරියා හමුවී ඉල්ලා සිටින්නේ කෙසේ හෝ මහින්ද මහත්තයා තමන්ගේ ආරක්ෂක සංවිධාන කටයුතු වලට එකඟ කරගන්නා ලෙසය. ලොක්කා කියන දේ පිළිනොගත් මහින්ද සොක්කා ඇවිත් කියූ විට පිළිගන්නේ ලොක්කාට වඩා සොක්කා තමන්ගේ පිට් එක බැවින්ය. 

Jan 15, 2015

සනී ලියෝන් සහ සංස්කෘතිය (Sunny Leone & The Culture)


පසුගිය දිනක මාගේ අතිජාත මිත්‍රයෙක් බැහැදැකීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ බාල සොහොයුරා මගෙන් බරපතල ප්‍රශ්න කීපයක් ඇසීය. එම ප්‍රශ්න කීපය පහත පරිදිය.
  1. සනී ලියෝන් අච්චර ලස්සනක් තියාගෙන ඇයි නිල් චිත්‍රපටිවල රඟපෑවේ?
  2. එහෙම නිල් චිත්‍රපටිවල රඟපාපු කෙනෙක් හින්දි ෆිල්ම්වල දැන් කෙල්ලගේ චරිතේ කරද්දි ඉන්දියානු ප්‍රේක්ෂකයන් කිසිම හිරිකිතයක් නැතිව ඒවා බලන්නේ කොහොමද?
  3. නිල් චිත්‍රපටිවල වෙන වෙන අය එක්ක හැසිරෙන සනී ලියෝන් එක්ක එයාගේ ස්වාමිපුරුෂයා කිසිම අවුලක් නැතිව ජීවත් වෙන්නේ කොහොමද?
  4. සනී ලියෝන් වගේ කෙනෙක් අපේ සිනමාවට ආවානම් අපේ ප්‍රේක්ෂකයෝ,විචාරකයෝ, සිවිල් සංවිධාන මොනවා කරාවිද?

කොලුවාට තිබූ ප්‍රශ්නවල බරපතලකම ඔබට වැටහෙනවා ඇති. මේ ප්‍රශ්න මා වෙත යොමකල යුතු ඒවා නොවුනත් කොලුවාගේ තේරුම්කම අනුව ආසන්නවම තමන්ට පිලිතුරු සොයාගත හැකි පුද්ගලයාගෙන් ඔහු ඇසුවා විය හැක. ඔහුගේ ප්‍රශ්න මාලාවේ වැඩි ප්‍රතිශතයක් අන්තර්ගතව ඇත්තේ නිල් චිත්‍රපට සහ එයට සමාජයක් ලෙස ප්‍රතිචාර දක්වන ආකාරය ලෙස වටහාගත හැක.