Jul 27, 2017

SEX, ඉරාජ් සහ තවත් කතා


අප පාසල් යන සමයේ අපේ ගම් පළාතේ චන්දන නමින් තරුණයෙක් ජීවත්විය. දක්ෂ වඩු කාර්මික ශිල්පියෙකුගේ එකම පුත්‍රයා වූ චන්දනට වඩු කාර්මික ශිල්පය ගුරුමුෂ්ටි නොමැතිවම ප්‍රදානය කිරීමට ඔහුගේ පියා කටයුතු කරන ලදි. එයින්ද නොනැවතී තමන්ගේ සහජ හැකියාවක් වූ කැටයම් ශිල්පය සහ පොල්කටු ආශ්‍රිත නිර්මාණකරණයද ප්‍රගුන කල චන්දන තමන්ගේ ජීවිකාව ලෙස කලේ කැටයම් නිර්මාණකර අලෙවි කිරීමයි.ගමේ පමණක් නොව අසල ගම්වලද පන්සල්වල ප්‍රමුඛ තරුණ දායකයෙක් මෙන්ම ගමේ සමිති සමාගම්වල ඉතා යහපත් ක්‍රියාකාරී චරිතයක් වූ චන්දන ප්‍රකට තරුණයෙකි. 

ප්ලාස්ටික්,සිමෙන්ති සමගින් ගෙවල් ලස්සන කරගන්නා මිනිසුන් ජීවත්වන සමාජයක ලී කැටයමට ඇති ඉල්ලුම එන්න එන්නම අඩුවීමෙන් චන්දන පත්වන්නේ බරපතල ආර්ථික ප්‍රශ්නයකටය.අවසානයේ ලී කැටයක් පාර අයිනේ තබාගෙන විදේශිකයන්ට සහ ස්වදේශිකයන්ට විකුණා කීයක්හරි හොයාගෙන ජීවිතය ගැටගසාගත් චන්දනට අවසානයේ එයද වැඩිකල් කිරීමට ඉඩක් නොලැබුනේ අලෙවිය එතරම් සාර්ථක නොවූ නිසාය. දහඅතේ කල්පනා කරමින් පවුල ආරක්ෂා කරන්නට තැත්කල චන්දනගේ උදව්වට එන්නේ පාසල් සමයේ ඔහුගේ මිතුරෙකු වූ ප්‍රසන්නය, නවීන පන්නයේ මෝටර් රථයක් පවා හිමි කිසිඳු දෑතේ කර්මාන්තයක් නොදන්නා ප්‍රසන්න දෑතේ කර්මාන්තයේ ප්‍රවීණයෙක් වූ චන්දනගේ ආර්ථිකය ගොඩගන්නට අත දෙන්නේ ඔහුගේ මනසට නව කැටයම් වෙනුවට කේරල ගංජා ඇතුලත් කිරීමෙන්ය. 

Jul 23, 2017

වරද : ලිංගික අතවර කිරීම, දඬුවම : විදේශීය ශිෂ්‍යත්වයක්..


වරක් අප පාසලේ දරුවෙක් නව නිර්මාණයක් බිහිකිරීම නිසා ලංකාව තුලදී සම්මානයට පාත්‍රවිය. ඒ දරුවාට එම නිර්මාණය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය තාක්ෂණික ඥානය ලබාගැනීම සඳහා කෙටිකාලීන විදෙස් ශිෂ්‍යත්වයක් ලබාදෙන ලෙස පාසලේ විදුහල්පතිවරයා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයා ඒකමතිකව කල ඉල්ලීමට ආන්ඩුව හිත්පිත් නැතිලෙස පයින් ගැසුවේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව නැති බව කියමින්ය.

මීට කෙටිකලකට පෙර විදේශ අමාත්‍යංශයේ අවුරුදු ගණනක් එකතැන පල්වෙමින් සිටින පැවති ආන්ඩුවට මෙන්ම මේ ආන්ඩුවටද එකසේ කඩේ යන උසස් නිලධාරියෙක් අමාත්‍යංශයට අලුතෙන් ස්ථාන මාරුවක් නිසා පැමිණි රූමත් කළමණාකරණ සහකාරවරියකට තම කාර්යාල කාමරය තුලදී ලිංගික අතවර කිරීමේ සිදුවීම අමාත්‍යංශය තුල ප්‍රධාන මාතෘකාවක් වූවත් අදාල ඉහළ නිලධාරියාගේ බලපෑම් මත දේශපාලන බලයද සමගින් මාධ්‍යයට හෝ රටට එතරම් හෙළිදරව් නොවීය. විදේශ අමාත්‍යංශයේ පෙරකී ඉහළ නිලධාරියා දවසට කිහිපවරක්ම හරිහමන් හේතුවක්ද නොමැතිව විටින් විට අදාල රූමත් නිලධාරිනිය තම කාර්යාල කාමරයට ගෙන්වා ගැනීම සති ගණනක් තිස්සේ සිදුව ඇත. 

Jul 20, 2017

මැරුණම දුක හිතෙන්නේ බල්ලෝ ගැන විතරමද?



පසුගිය දිනවල ලංකාවේ මාධ්‍යවල මෙන්ම දන මන තුඩ තුඩ රැව්දුන් මාතෘකාව වූයේ මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ නිදැල්ලේ සිටි සුනඛයන් රැසක් විෂ ශරීරගත කර මරා දැමීම සහ වෙනත් ප්‍රදේශයක වළදැමීමේ පුවතය. ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනයට පමණක් නොව සරසවි ශිෂ්‍යයන්ට පවා බරපතල වාග් විවේචන එල්ලවනු දැකිය හැකිවිය. කිසිඳු තර්කයක් නැත එය අමුම අමු නින්දිත ඝාතනයකි. මැරෙන්නේ සතාද මනුෂ්‍යාද යන සාධකය ඝාතනය යන වචනයනයට වෙනස් අර්ථයක් හිමිවන්නේ නැත. ඒ නිසා විෂ ශරීරගත කර සතුන් පිරිසක් මරා දැමීම කෲරතර ඝාතනයකි. ඒ සඳහා නීතියෙන් දඬුවමක් නැතත් ස්වභාව ධර්මයා විසින් දඬුවම් පැමිණවීම කවදා හෝ සිදුවනු ඇත.

විශේෂයෙන්ම බුද්ධ දර්ශනය ප්‍රමුඛ කොටගත් රටක් ලෙස යම් පුද්ගලයෙක් බෞද්ධයෙකු ලෙසින් පිළිපදින්නා වූ ප්‍රථම ප්‍රතිපදාවේ පළමුවැනි සංකල්පය වන්නේද "පාණාතිපාතා" හෙවත් පණඇති සත්ත්වයින්ගේ පණ නැසීම උල්ලංඝනය කිරීම හේතුවෙන් මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය සාධාරණය. සමාජ ජාලවල, මාධ්‍යවල පලවුණු වේදනාවිඳ මිය ගිය සුනඛයන්ගේ ඡායාරූප වලින් හදවත තෙත්වූ සංවිධාන,පුද්ගල කණ්ඩායම්, පුද්ගලයින් එල්ලකර චෝදනා ප්‍රධාන ලෙසම මානව වර්ගයා සතු සංවේදීත්වය පදනම් කරගත් ප්‍රතිචාරයන්ය.

Jul 14, 2017

ලංකාවේ දුප්පත්කමට හේතුව අමනකමද? - ජීවන ප්‍රනාන්දු සහ අජිත් පැරකුම්ගේ ලිපිවලට පිළිතුරක්



අජිත් පැරකුම් මහත්මා සහ ජීවන ප්‍රනාන්දු මහත්මා තමන්ගේ ලිපිවලින් සාධක සහිතව පෙන්වා දී ඇති ආකාරය අනුව ලංකාවේ දුප්පත්කමට හේතුව ඉතාමත් සරල උත්තරයකි. එනම් අමනකමයි, අජිත් පැරකුම්ගේ ලිපියෙන් එය තවත් සාධනීය ලෙස කරුණු ගෙනහැර දක්වමින්ද පෙන්වා ඇත. ඒ කරුණු සියල්ල සත්‍යය එය සම්බන්ධයෙන් ගැටළුවක් නැත. නමුත් ලංකාවේ දුප්පත්කමට හේතුව යන සමාජ,ආර්ථික සහ දේශපාලනික ප්‍රශ්නයට පිළිතුර එතරම් සරල එකක්ද? යන ගැටළුව මෙහිදී පැන නගී.

ලංකාවේ ආර්ථිකය නිරපේක්ෂව හෝ සාපේක්ෂව බැලූකල්හි දුර්වල මෙන්ම පසුගාමී ආර්ථිකයකි. රටේ ජනග්‍රහනයෙන් ඉතා සුළු පිරිසක් අතර රටේ සමස්ත ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් බෙදී යන අතර ඒ හේතුවෙන් නිර්මාණය වන ආදායම් විෂමතාව නිසාවෙන් රටේ බහුතරයක් දුප්පත් මිනිසුන් ලෙස ලේබල් ඇලවී තිබේ. ලංකාවේ සිටින ඇතැම් ව්‍යාපාරිකයන්, දේශපාලඥයන්ගේ වාර්ෂික දළ ආදායම ක්‍රමවත් ලෙස ලයිස්තුගත කළහොත් එය සිතාගැනීමට පවා අසීරු අංකයක් ලබාදෙන විශ්ලේෂණයක් වනු ඇත. එසේනම් ඇත්තටම ලංකාවේ දුප්පත්කමට හේතුව අමනකම හෝ අදාල මහත්වරුන් සඳහන් කළ කරුණු කිහිපයට කැටිකල හැකි කරුණක් නොවන්නේය.