Feb 26, 2014

“බිහිරි අලින් මැද වීණාව“ අපේ ඉසව්වෙන් ඔබ වෙත



වසර හතරක් පුරාවට අපේ ඉසව්ව බ්ලොග් අඩවිය හරහා මා විසින් රචනයේ යෙදුන කාලීන සහ දේශපාලනික ලිපි සියයකට අධික ප්‍රමාණයක් අතරින් තෝරාගත් ලිපි මාලාවක් අන්ර්ගත කරමින් නිර්මාණය කල “බිහිරි අලින් මැද වීණාව“ The Fiddle among Deaf Elephants මෙලෙසින් ඊ-පුස්තකයක් ලෙස ඔබට තිළිණ කරන්නට තීරණය කලා. වසර හතරක් පුරාවට අපේ ඉසව්ව සමග නිරතුරුවම රැඳෙන සහෘද පාඨකයින් වෙනුවෙන් තිළිණ කරන මේ කෘතිය මෙහිදී ඔබට භාගතකල හැකියි.

Feb 23, 2014

මලී සහ අත්තම්මා තුලින් වන සමාජ බලපෑම


 
මලී සහ අත්තම්මා යන සිංහල මෙගා ටෙලි නාට්‍යයක පළමුවෙනි සහ දෙවැනි කොටස්ය. අනෙකුත් සිංහල මෙගා ටෙලි වලින් මලී යන යථෝක්ත කතා මාලාවේ පළමුවැන්න වෙනස්වන්නේ එය ලාංකේය ජනසමාජය තුල මුල්බැසගත් යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ආශ්‍රකරගෙන ගැමි සමාජය තුල තවමත් නොනැසී පවතින් විශ්වාස වල බලපෑම විදහා දක්වන වෘත්තාන්තයක් වූ බැවින්ය. එයට ලැබුණු අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවේ “මලී“ නැමති පළමුවෙනි කොටසින් නොනැවතී “අත්තම්මා“ නැමති දෙවනි කොටස දක්වාද අධ්‍යක්ෂවරයා දිගුවක් ලබාගන්නේ මෙහි ඇති ලාභදායිත්වය මැනවින් විදහා දක්වමින්ය. කතානායිකාව වන ඩිංගිරි අම්මානම් වූ පාරම්පරික වෙදකම සහ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයද පරපුරෙන්ම ප්‍රගුණකල මැදිවයසේ වැන්ඳඹු කාන්තාවක් සහ ඇගේ දියනිය වටා ගෙතී ඇති මෙම කතාමාලාවේ ඔවුන්ගේ සතුරා වන්නේ ඩිංගිරිගේම ඥාතියෙක් වන යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සහ වෙදකම ප්‍රගුණ කල උක්කුවා ගුරුන්නාන්සේ වටාය. එහි දෙවන කොටස වන අත්තම්මා හි වෙනසක් වන්නේ මලී ලෙසින් හඳුන්වාසිටි ඩිංගිරිගේ දියණිය වෙනුවට ඇගේ මිණිපිරිය වන සාරධී එක්වීමය. කතා මාලාව පුරාවටම යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම්වල බලය සහ ඒවායේ විශ්මයජනක හැකියාවන් පෙන්වන අතර ඒවායින් බොහොමයක් දකුණෙන් හැදෑරු ඒවා බවද සඳහන්වේ. කෙසේ වෙතත් මෙයට ලොල්වූ රසිකයන් සත්‍ය ලෙසම රසවින්ඳනයට එම සිදුවීම් එක්කරගන්නේ තමන්ගේ යටි සිතට ලබාදෙන විධානයත් සමගය. එම විධානයනම් තමන්ටද මෙවන්වූ අකටයුතුකම්, අසරණවීම් සිදුවූ විට මෙම ගුප්ත විද්‍යා ශාස්ත්‍රයේ පිහිට ලබාගත හැකිවේය යන්නයි.

Feb 22, 2014

සංකලනී - 10 වැනි කොටස



පසුගිය කොටස් 1 2 3 4 5 6 7 8 9 
සිසුරුගේ කෑගැහිල්ලට ඊට ඉස්සරහ පිටබැද්දර ගෙදර දුමින්ද අයියා නාන්න යන ගමන්ද කොහොද බාල්දියත් අතේ අරගෙනම එළියට ආවා. ගුණසිරි අංකල්ගේ හාමිනේ විතරක් නෙවෙයි තව අහල පහල කීපදෙනෙක්ම ගෙවල් වලින් එළියට ඇවිත් සිද්ධිය බලාගෙන හිටියා. කට්ටිය එහෙන් මෙහෙන් වට වෙනකොටත් සිසුරු කෑගහනවා.
“අයියෝ බං මිතුලයා..උඹ මෙහෙම හදිසි අනතුරකින් මැරෙන්න හිටපු එකෙක් නෙවෙයි බං..ඊටත් වඩා මේ හරියට පයින් යන්නවත් බැරි කෙල්ලෙක්ගේ බයික් එකට යටවෙලා මැරෙන්න හිටපු එකෙක් නෙවෙයි බං..මොනතරම් නින්දාවක්ද බං උඹට මේ වුනේ..අනේ අයියෝ “
කට්ටිය එහෙන් මෙහෙන් මතුවෙද්දි සංකලනි ස්කූටියේ ස්ටෑන්ඩ් එකවත් ගහන්නේ නැතුව බයක් එක බිම අතෑරලා මිතුල වැටිලා හිටපු තැනට ආවා. කෙල්ල බය වෙච්ච තරමට දාඩිය බේරෙනවා, ඉකි ගහ ගහ ඇඬෙනවා..කොච්චර තද හිතක් තියන කෙල්ලෙක් වුනත් අනුන් වැරදි කරාම කඩු පොලු උස්සගෙන ගියාට තමන් වැරැද්දක් කරාට පස්සේ පූස් පැටියෙක් වගේ අඬන එකනම් කෙල්ලන්ටම පොදු අනන්‍යතාවක්. කට්ටිය වැඩිවෙද්දි මෙච්චර වෙලා බොරු එහෙත් සාර්ථක රංඟනයක නිරතවෙලා හිටපු මිතුලගේ බාගෙට වහගෙන හිටපු ඇස්දෙකට වැඩිවෙන සෙනග පෙනුනා. තවත් රංගනේ නිරතවුනොත් මේ පාරත් ඇණගන්නේ තමන්මයි කියලා තේරුම්ගත්ත මිතුල හෙමින් සිසුරුට පයින් ඇන්නා. එතකොටම නිකන් සේරම තේරුණා වගේ සිසුරුත් තමන්ගේ අඳෝනාව නවත්ත ගත්තා. මිතුල ඇස් ඇරලා අමාරුවෙන් වගේ බිම වාඩිවුණා. පස්සේ අතපයේ වැලි පිහිදාගත්තා. මිතුලගේ වැලමිට තුවලා වෙලා ටිකක් ලේත් ඇවිත්. 

Feb 14, 2014

සමුගන්නට අවසරයි..


 
මේ ආදරෙන් මම ඈතට ගියේ ඔයාගේ හොඳට..ඇය අකුරු කලා. නිහඬතාවයේ කෙළවර ඔහුද අකුරු කලා.
 
ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු දේ නැතිවුණාම තවත් වෙන හොඳක් කොහෙද නංගි..
 
ඔහු සංවේගය කැටිවුණු අකුරුවලට චිත්තස්වරයේ කම්පිත රාවය යාන්තමට එක්කලා.
 
ඔයාට තේරෙන්නේ නෑ අයියේ..
 
වෙන්න ඇති..නොතේරුන හැමදේම කවදාහරි තේරේවි..ඒත් එදාට තවත් නැතිවෙන් දෙයක් නැතිවෙයි..
 
තවත් නිහඬතාවයක් සංවාදයට එක්කලා. අකුරුවලින් ඔබ්බට ගිහින් හඬින් හඬ එකට හමුවෙන තැනකට. ඒත් නිහඬතාවය එහෙම්ම ඉතිරිවුණා.
 
මට ඔයාට ලංවෙන්න බෑ..ඒ බව ඔයා දන්නවා..
 
ඇය කිව්වා. ඒත් ඔහු දැනන් හිටියා ඇයට ලංවෙන්න බැරි තමන්ට විතරක්ම වග. ඒ සිතුවිල්ල විසින් ඔහුව ආත්මානුකම්පාව නැමති දැලෙහි පතුලටම සිරකර බැඳ දැමුවා.

Feb 13, 2014

ඇමතිතුමාට අමුතුම ලෙඩක් !


 
ඇමතිතුමාලා ගැන කතා කරන්න බොහෝ දේ තියනවා. ඒ බොහෝ දේ ලියන්න පටන්ගන්න කොට ලියලා ඉවරකරන්න බැරි තරමට රසබර සිදුවීම් එහෙමත් තියනවා. මේකත් එහෙම සිදුවීමක් කියලා ගත්තට කිසි තරහක් නෑ ආයුබෝන්. ඔන්න යටගියදවස බරණැස බ්‍රහ්මදත්ත කියලා නිරිඳෙක් දසරජ ධම් අනුව රාජ්‍ය කරන කාලයට වසර තුන්දහසකට විතර පස්සේ කාලෙක එක්තරා රටක එක්තරා දුරබැහැර පළාතක එක්තරා ඉස්කෝලයක් තිබුණා. සාමාන්‍ය පාසල් දිනයක් නිසා එදත් පුරුදු විදියට දරුවන් පාසල් භූමියේ ඉගනීම් කටයුතු, ක්‍රීඩා කටයුතු, කෙලිකවටකම් වගේ බොහොමයක් දේවල් කර කර හිටපු වෙලාවක්.
 
එතකොටම ඉහල අහසේ මහ සද්දයක් ඇති කරමින් හෙලිකොප්ටරයක් විද්‍යාල භූමියේ පැත්තක තිබුණ පිට්ටනියට පහත් කරන්න පටන්ගත්තා. ජීවිතේ පලමුවෙනි වතාවට සද්දන්ත හෙලිකොප්ටරයක් අහසේ යනවා දැක්කට මෙහෙම ඇස්මානෙට දැකලා නැති දරු දැරියෝ විතරක් නෙවෙයි පිටිසර පාසලේ ගුරුභවතුන් පවා පිටිය වටේට එකතුවුණා. මහ දූවිලි වලාවක් අතරින් හෙලිකොප්ටරය පහත් කරද්දිම ආරක්ෂක හමුදා සහ පොලීසියේ වාහන ගණනාවක් ඇවිත් පිටිය වටකරලා සන්නද්ධ ආරක්ෂාව දෙන අතරේ හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම බිමට බාලා නතර කරා. දරුවෝ ටික බොහොම උනන්දුවෙන් සහ සතුටෙන් එකිනෙකාට මත පලකරමින් සද්දන්ත යන්තරේ දිහා බලන් ඉන්න අතරේ පිටියේ එක් පසකින් විශාල කන්ටේනරයක් පිටිය මැදිට ආවා. ඒකේ අලුත්ම පාටට දිලිසෙන කාර් දෙකක්ම රැගෙන ආවා. ඇසිල්ලකින් එක කාර් දෙකම කන්ටේනරයෙන් බිමට බැහැලා හෙලිකොප්ටරය ලඟට අවා. දැඩි ආරක්ෂාව මැද්දේ හෙලිකොප්ටරයෙන් එලියට බැස්සේ ළමයි හොඳට ටෙලිවිෂන් එකෙන් දැකලා පුරුදු ඇමතිතුමෙක්. තමන්ගේ කරේ දාගෙන හිටපු දිග රෙදි කඩකින් දාඩිය පිහිදාගත්ත එතුමා පිළිගන්න හෙලිකොප්ටරය ලඟටම පළාතේ දේශපාලන ප්‍රධානියත් තමන්ගේ සුඛෝපභෝගී වාහනයෙන් ඇවිත් හිටියා. ඇමතිතුමා අත් අල්ලලා පිළිගත්ත මෙහොතෙම අඩියක් දෙකක් තියලා අර කන්ටේනරේ ගෙනාපු කාර් එකට ඇමතිතුමා නැග්ගා. විදුලි වේගයෙන් දූවිල් වලා මැද්දේ ගෙනාපු කාර් දෙකයි, පළාත් ප්‍රධානියාගේ වාහනෙයි, ආරක්ෂාවට ආපු වාහන තොගයයි සේරම ගියා. ඒත් හෙලිකොප්ටරය පැත්තටවත් කාටවත් යන්න බැරිවෙන්න ආරක්ෂාවට සෙබළු හිටියා. දැන් පාසලේ දරුවන්ට ප්‍රශ්න ගණනාවක් හිතට මතුවෙලා තිබුණා.
 

Feb 11, 2014

සංකලනී - 9 වැනි කොටස



පසුගිය කොටස්  1 2 3 4 5 6 7 8
 
 
මිතුල කල්පනා ලොව මල් වනේ..සිහින රජදහනේ අතරමං වෙලා ඉන්න වෙලාවේ ගලා කඩාගත්ත හරකෙක් වගේ මොකෙක්ද මිතුලගේ කාමරේට රිංගනවා සද්දේ සහ හතිදාන සද්දේ විතරක් මිතුලට ඇහුණා. ඇසිල්ලකින් වගේ දැක්කේ මිතුලගේ ඇඳේ වාඩි වෙලා හතිදාන ඕෂධයා. හතදාන දැමිල්ලට මෙතනම හුස්මයයි කියලා කොල්ලට හිතුනා.
 
“මේ බං උඹට පාරේ යද්දි ඇදුම හරි හතිය හරි හැදිලා මගේ කාමරේට රිංගුවා එහෙම නෙවෙයි නේද..?“
 
මිතුල ඇහුවම හතිදාන ගමන්ම ඕෂධ අතින් නෑ කියලා සංඥා කලා. තව ටිකක් හයියෙන් හතිදාන්නත් පටන් ගත්තා.
 
“ආ එහෙමනම් කමක් නෑ..නැත්නම් මේ නිවාඩුත් නැති එකේ උඹගේ මරණෙට කොඩි දාන්නයි, ගොක්කොල් කපන්නයි යන්නේ කොහොමද“
 
ඒ කතාවට ඕෂධයගේ හතිය නැවතුනා.
 
“ඒ මගුලෙන් වැඩක් නෑ..මොකක්ද උඹ අර පොතුත් එක්ක රටකජු කාපු එක ටවුන් එක මැද කෙල්ලෙක් නිසා..“
 
ඕෂධ එහෙම ඇහුවම මිතුලට හීන් දාඩිය දැම්මා. උඩට  ගත්ත හුස්ම පහලට දාන්න වුනෙත් නෑ.