Jan 23, 2014

පොලීසියෙන් ගේ වටලා මහා මෙහෙයුම


අබරං පාන්දර ජාමෙට නාගෙන එහෙම ඇවිත් ගෙදර ඉස්තෝප්පුවේ වාඩි වුණේ කෝපි කෝප්පෙකුත් හදාගෙනමයි. පාන්දර හීතලට හිරිගඬු පිපෙද්දි කෝපි කෝප්පය අබරංගේ හීතල ටිකක් විතර අඩුකරලා දුන්නා. ගෙදර උන්දැයි පුතයි නෑගමනක් ගියපු නිසා මේ ටිකේ අබරං ගෙදර හිටියේ තනියම. කලින් දවසේ ගෙදර උන්දැගේ මල්ලි එහෙම නැත්නම් අබරංගේ මස්සිනා ගෙදර ආපු නිසා අබරංට පාළුවක් තිබුණේ නෑ. මොකද මස්සිනා සේතං කතාබහට බොහොම දක්ෂ මිනිහෙක්. ඒත් ඊයේ හවස ආපු මහන්සියටද කොහෙද වැඩි කතාබහක් නැතුවම රෑට පොල්සම්බෝලයි,පරිප්පුයි එක්ක සුදුහාලේ බත් පංගුවක්ම දෙසාබාපු සේතං කලින්ම නිදාගත්තා. ඒ විතරක් නෙවෙයි තාම උදේට නැගිටලත් නෑ.

   ඉස්තෝප්පුවට වෙලා අබරං කෝපි කෝප්පේ අහවර කරනකොට වටින් ගොඩින් එළිය වෙන්න ගත්තා. ගෙදරට දාර විස්සක් තිහක් විතර එහායින් තිබුණ වැටට ඔබ්බෙන් තිබුණේ මහපාර. උදේ ඉදන්ම මහපාරේ එක එක වාහන එහෙට මෙහෙට යනවා අබරං පුරුදු විදියටම බලං හිටියා. ටිකකින් මහා සද්දකරගෙන වාහන ගණනාවක් අබරංගේ ගේ ඉස්සරහ ඇවිත් නතර කරා..දඩ බඩ ගාල පොලීසියේ බර ගාණක් ආයුධත් අරගෙන ඒ වාහන වලින් බැහැලා අබරංගේ ගේ ඉස්සරහ බැරියර් දාන්න පටන් ගත්තා. අබරං ඇස් දෙක නලලේ තියාගෙන මේක බලන් හිටියා.

Jan 18, 2014

සංකලනී - 8 වැනි කොටස


 
සංකලනී පසුගිය කොටස්  1 2 3 4 5 6 7 
 
 
“ආදරේ කටු සටහන් අපේ..
ඉතිරිවී තියෙනවනම් හිතේ..
ආයෙමත් ආයෙමත්
ආයෙමත් වෙමු අපි අපේ..“
 
මිතුල සාලේ සෝපාවට වෙලා බර කල්පනවක ඉන්න ගමන් සිංදුවේ වචන ටිකත් ඉබේම වගේ කියෙව්වා. මිතුලගේ හිතේ තිබුණෙම සිසුරු කියපු කතාව. සංකලනි දැනටමත් අර කියපු කොල්ලට හිත දීලද දන්නේ නෑ කියලා හිතුනා. නැත්නම් මෙච්චර ගෙම්බර් දාන්න දෙයක් නෑනේ. මිතුල දිගින් දිගටම කල්පනා කලේ ඒක ගැන.
 
“මේ හලෝ...මොනවද ඔච්චර කල්පනා කරන්නේ..හිත ගෙවෙයි...“
 
අක්කා ඇවිත් මිතුල හිටපු කල්පනා ලෝකේ සුන්නද්දූලි කරලා දැම්මා. ෂික්.මේ ගෙදර හිතන්නවත් නිදහසක් නෑනේ හරියට.මිතුලට එහෙම හිතුනා.
 
“මොනවා කල්පනා කරන්නද හලෝ..මම මේ සින්දු අහනවා..“
 
“ඔව් මම දැක්කා සින්දු අහනවා..මේ ඒක නෙවෙයි මම දෙයක් අහන්න හිටියේ..“
 
“මොකක්ද අප්පා ඒ..“

Jan 10, 2014

දිනමිණ පත්තරේ මිනී මරන්න පටන් අරගෙන යකෝ..


සමන්මලී හිටියේ මිදුල අතුගාන ගමන්. සමන්මලීගේ ගෙදර එක්කෙනා වෙච්ච සුරංග ඉස්සරහා කාමරේට වෙලා අල්මාරියේ පරණ ලිපිගොනුවක් හොයමින් හිටියා. සමන්මලීට කඩුල්ල පැත්තෙන් බෙල් එකක් වදින සද්දයක් ඇහුණා. ඒ හැමදාම වගේ තමන්ගේ ගෙදරට පත්තරේ අරන් එන පත්තර විකුණන මනුස්සයා ඇවිත් බෙල් කරන සද්දේ. සමන්මලීගේ තාත්තා ගෙදර ඉන්න කාලේ ඉඳන් ගත්තේ දිනමිණ පත්තරේ. ඒත් කසාද බැඳලා බින්න බැහැපු තමන්ගේ මනුස්සයා මුල් කාලේ දිනමිණ ගන්නවට එච්චර කැමති නැතිවුණත් පස්සේ කම්මලේ බල්ලා වගේ දිනමිණටම හුරුවුණා. 

   සමන්මලී පත්තරේ අරන් ඉස්තෝප්පුවට ඇවිත් පුරුදු විදියට පත්තරේ බලන්න පටන් ගත්තා. ඉස්සරහ කාමරේ හිටපු සුරංගට ටිකකින් සද්දයක් ඇහුණා..ඒ ගේ ඉස්සරහ ලිඳ පැත්තෙන්..ජබුග්..ගාලා සද්දේ ආවේ හරියට කව්රුහරි ලිඳට පැන්නා වගේ..සුරංග කෝකටත් කියලා හොයමින් හිටපු ලිපිගොනුවකුත් අරගෙනම එලියට ආවා.එතකොට දැක්කේ සාලේ පුරා විසිරිලා තියන දිනමිණ අද පත්තරේ පිටු ටික වගේම මිදුල මැද බිම වැටිලා තියන ඉදල. සුරංගගේ හිතට අනියත බියක් ආවා. ලිපිගොනුව බිම දාලා අඩියට දෙකට ලිඳ ගාවට දිව්වා..දෙයියනේ සමන්මලී ලිඳේ පැනලා..ලිං පතුලේ යමරෙට දඟලනවා..

Jan 4, 2014

සංකලනී - 7 වැනි කොටස


පසුගිය කොටස්  1  2  3  4  5  6 

ආදරයක් හිතේ මෝදු වෙද්දි ඒකට සීමා මායිම් තියෙන්න විදියක් නෑ. මොකද එහෙම සීමා මායිම් එක්ක වැඩෙන දෙයක් නෙවෙයි ආදරේ කියන්නේ. මිතුලගේ හිතේ සංකලනී ගැන ආදරේ දවසින් දවස ටිකින් ටික වැඩිවෙන්නේ කොල්ලා කෙල්ල ගැන හිතන වාර ගණන වැඩිවෙනවත් එක්කමයි. ඒ අතරේ සංකිගේ අහංකාරකම් නිසා තව තවත් ඒ ආදරේ වැඩිවෙනවා මිසක් අඩුවුනේ නම් නෑ. ඒත් මිතුලගේ හිතේ තිබුණ වේදනාව තමයි තමන් කරන කිසි දේකට සංකි ආදරේ වෙනුවෙන් ප්‍රතිචාරයක් නොදෙන එක.

   ඒ අතරේ සංකි අනිත් පැත්තේ ගෙදරට වෙලා හිටියේ තරහින් පිපිරි පිපිරි. කෙල්ලට හිතාගන්න බෑ පන්සලේදී තමන්ව වතුර බාල්දියකින් නාවලා ඉවරවෙලා බලහත්කාරයෙන් වගේ සමාව ගන්නත් හදලා ඒ මදිවට දැන් පාරෙ තොටේ යන්නවත් දෙන්නේ නැතුව මේ යකා කරදර කරන්නේ ඇයි කියලා. කොච්චර කිව්වත් සංකිගේ හිත පිළිගන්නෙම නෑ එදා පන්සලේදී තමන්ගේ ඔලුවට මිතුල වතුර බාල්දිය පෙරලුවේ අත්වැරැද්දකින් කියලා. ඒක තවත් ඔප්පු වෙන්න හේතුවුනේ මිතුලගේ මුරණ්ඩු වැඩමයි. දවසේ වැඩි හරියක් සංකිට මතක් වෙන්නේ මිතුල.හැබැයි ඒ මතක්වෙන වාරයක් පාසා හිතට එන තරහා නිසා මේ වෙනකොට බර ගාණක් සංකිගෙන් බැනුම් අහලා තිබුණා. ඒ නිසාම සංකි මේ ටිකේම ඉන්නේ හරි නොසන්සුන්කමකින්. සංකි හිතාගත්තා ආයෙත් තමන්ට කරදර කරන්න ආවොත් මිතුලට හොඳ දෙකක් කියනවා ආයෙත් රෙදි ගැලවෙන්නම කියලා. ඒ අතරේ මිතුල හිතින් සැලසුම් හදන්නේ සංකිට කොහොමහරි ලංවෙන්න..හැමදෙයක් මැදින්ම හෙනේට හිටියේ කෙහෙල්මල් වතුර බාල්දියයි ගමේ තමන්ගැන තිබුණ නසරානි ප්‍රතිරූපයයි කියලා මිතුල තේරුම් අරගෙන තිබුණා.