Apr 19, 2012

“චිරාන්“ අපි ආයෙත් නැගිටිමු දෙපයින්...උඹට ඉක්මණ් සුවය..


සිංහල බ්ලොග් අවකාශයේ ඔබගේ මෙන්ම මගෙත් සහෘදයෙක් වන හිතවත් චිරාන් මධුරංග සහෝදරයා හෙවත් Chiran's Blog අපේ හිතවතා මේවන විට සැත්කම් හේතුවෙන් රෝහල් ගතවෙලා සිටින මොහොතක්. පසුගිය අලුත් අවුරුදු දිනයේ පුණ්‍යකර්මයක් සිදුකිරීමට ගමේ පන්සලට පියනගමින් ඉන්නාවිට පාදයේ ඇතිවූ සුළු තුවාලයකට විෂබීජයක් ඇතුල්වීම නිසා ඔහුට ශෛල්‍යකර්මයක් සිදුකිරීමට සිදුවූ බවයි දැනගන්නට ලැබී ඇත්තේ. කෙසේ වෙතත් මේ වනවිට චිරාන්ගේ තත්වය යහපත්. ඔහු ඉක්මණ් සුවය ලබමින් සිටිනවා. නමුත් බොහෝවිට මේ හේතුවෙන් ඔහුට සයිබර් සිහින උළෙලට සහභාගීවීමට නොහැකිවනවා ඇති. 

  මේ වෙලාවේ රෝහලේ ඇඳක් මත සුවය ලබමින් ඉන්න ඔබේත් මගේත් හිතවතාට ඉක්මණ් සුවය පැතූ කෙටි පණිවුඩයක් හෝ දුර ඇමතුමක් ලැබෙනවානම් මේ මොහොතේ හැමදේටම වඩා ඔහුගේ හිත ශක්තිමත් වේවි. හිතවත් හැමගෙන් ඒ පුංචි ඉල්ලීම සිදුකරනවා.( චිරාන් මධුරංග - 071-5954135)

චිරාන් ඔබට ඉක්මණ් සුවය ලැබේවා !

Apr 18, 2012

2 වසරක සැමරුම - අපේ ඉසව්ව සහ සිතුවිලි පලස


අපේ ඉසව්ව සහ සිතුවිලි පලස බ්ලොග් අඩවි යුගලය අද දෙවැනි උපන් දිනය සමරනවා. මේ මොහොත පුද්ගලිකව ඉතාමත් සතුටුදායක අවස්ථාවක්. 2010 වර්ෂයේ අප්‍රේල් මස 18 වෙනිදා ගාල්ල වටරැක සිට මුලින්ම සයිබර් අවකාශයට මුදාහල අපේ ඉසව්ව සහ සිතුවිලි පලස බ්ලොග් අඩවි දෙක වෙනස් අන්ත දෙකක සිට මගේ සංකල්පනා ලෝකයට දායාද කරන මාධ්‍යයන් දෙකක් බවට පත්වුනේ එතරම්ම ලොකු හැඟීමකින් නොවෙයි. නිවහල් මතය පවසන්නට “අපේ ඉසව්වත්“ කාව්‍ය සංකල්පනා එලිදක්වන්න “සිතුවිලි පලස“ත් නිර්මාණය කරාට එය නියම තත්වයට ගෙන එන්නට මාස කීපයක් ගතවුණා. ඒත් අද ඒ අඩවි දෙක සිටින තත්වය ගැන හදවතින්ම සතුටු වෙන්න පුළුවන්.

   සිංහල බ්ලොග් අවකාශය තුල විවිධ ක්ෂේත්‍රයන් යටතේ විවිධ දේ අකුරු කරන හිතවතුන් අතර අපේ ඉසව්ව හා සිතුවිලි පලසටත් පොඩි හරි ඉඩක් ඒ හදවත් වලින් ලැබුණනම් ඒ තමයි ලැබුණු ලොකුම සම්මානය. ඒ වගේම නිවහල් අදහස් අගය කරන වචනයක් මේ අඩවි දෙක වෙනුවෙන් කිසිවෙක් පැවසුවානම් එය තමයි ලැබුණු හොඳම ඇගයීම. කාර්යබහුල ජීවිතයේ කාලයක් යොදාගෙන මේ බ්ලොග් අඩවි දෙකත් එක්ක ගෙවුණු ජීවිතය හරි සුන්දරයි. හරියට වෙනස් හැකියාවන් ඇති පුංචි දරුවෝ දෙන්නෙක් එක්ක ජීවිතය ගෙවනවා වගෙයි.

Apr 16, 2012

මා බාල කාලේ සිංහල අවුරුද්දේ මතක


මේ පාර අවුරුදු කොහොමද කියලා යම් කෙනෙක් ඇහුවම පුරුද්දට අවුරුදු ජයයි කියවුණා මිසක් වෙනදා වගේ ඇඟට සහ හිතට දැනුනු අවුරුද්දක් නොවන බව ඔබටත්  දැනෙන්න ඇති. එයට හේතු සාධක වුනු කාරණා බොහොමයක් අතරේ සමාජය කෙමෙන් කෙමෙන් සංස්කෘතික හා ජාතික වශයෙන් වැදගත්කමක් ඇති උත්සව ඇල්මැරුණු ස්වභාවයෙන් සමරන බව පෙනෙන්න තිබෙනවා. එහෙම හුදෙකලා අවුරුද්දක් ගෙවෙද්දි කාර්යබහුල ජීවිතයක් ගත කරන්න සිදුවෙලා තිබෙන මටත් සිහිවුණේ කුඩා කාලයේ අවුරුදු සමරපු විදියයි.

    දකුණේ මාතර ප්‍රදේශයේ කොහොමත් සිංහල අලුත් අවුරුද්ද බොහොම ඉහලින් සමරනවා. මිනිස්සුන්ට කොතරම් අගහිඟකම් තිබුණත් අවුරුද්ද වෙනුවෙන් කොහොමහරි තමන්ගේ අරමුදල් කළමණාකරණය කරගෙන බොහොම ජයට අවුරුදු සමරනවා. ඉස්සර අලුත් අවුරුදු ලිත ලැබුණ ගමන් අපි පෙරලලා බලන්නේ අවුරුද්ද කවද්ද සහ අවුරුදු චාරිත්‍ර යෙදිලා තියන නැකත් වෙලාවන්. ඒ නැකත් වෙලාවන් බලලා අම්මා කියන වදන් පෙලක් තියනවා...“ ආ...මෙදා සැරේ අවුරුදු කන්න  තියෙන්නේ රෑට...උයන්නනම් හොඳට වෙලාව තියනවා..නැත්නම් ගිය අවුරුද්දේ කිරිබත වඩවා ගන්නවත් වෙලාවක් තිබුණෙ නෑ“ මෙතනින් ඉඟි කරන අවුරුද්දට කලින් ලැබෙන පාසල් නිවාඩුවෙන් පස්සේ තමයි සිංහල අවුරුද්ද කියන එක හොඳටම දැනෙන්නේ. අවුරුද්දට වත්ත පිටිය සුද්ද කරලා ගෙදර සායම් පිරියම් කරලා ගෙවල් හෝදනකොට අපිට පැවරෙන රාජකාරි බොහොම කැමැත්තෙන් කරන්නේ අවුරුද්දේ තමන්ට ලැබෙන වතාවතක් කරනවා වගේ.

Apr 6, 2012

“පෙරටුගාමී සමාජවාදී පක්ෂය“ රටේ අවශ්‍යතාවයක්ද?

     අපේ රටට අවශ්‍යය ඇත්ත වශයෙන්ම දේශපාලන පක්ෂයද? නැතිනම් සමාජ ව්‍යාපාරද? පොදුවේ පිලිගැනීම අනුව වර්තමානයේ හතු පිපෙන්නාක්සේ බිහිවෙන පක්ෂ විනා සෘජු හා ජනමූල සමාජ ව්‍යාපාර බිහිවීම විරල සිදුවීමක් වී ඇත. එබැවින්ම සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාව දැඩිව දැනෙන අවධියක සමාජ ව්‍යාපාරයක් වෙනුවට තවත් එක් පක්ෂයක් බිහිවීම එක්තරා සිදුවීමක් පමණක් තත්වයට ඇද වැටීම වැලැක්විය නොහැක්කකි. එසේනම් “පෙරටුගාමී සමාජවාදී පක්ෂය“ යුගයේ අවශ්‍යතාව හඳුනානොගත් විකල්පයක් බව කිව යුතුය. මෙහිදී ශ්‍රී ලංකාව වැනි බහු වාර්ගික,බහු ආගමික හා බහු පාක්ෂික නාමික සමාජවාදී රාජ්‍යයකට වඩාත් උචිත වන්නේ ධනේෂ්වර ක්‍රමය උද්දීපනය කරමින් ක්‍රියාත්මක වන පක්ෂ ක්‍රමයක්ද? නැතහොත් සමාජයීය ප්‍රතිසංශෝධනයකට පාර කියන සමාජ ව්‍යාපාරයක්ද යන සමාජ යථාර්ථය වටහා ගැනීම වඩාත් වැදගත් වේ.