May 1, 2016

සයිබර් සිහින බක්මහ උළෙලට පසු වචන කිහිපයක්....


2016 අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල හෙවත් සයිබර් අවකාශයේ බ්ලොග් රචකයන්, සමාජ ජාල පරීශීලකයන්, බ්ලොග් පාඨකයන් එක්ව වින්දනීයව සංවිධානය කරන අලුත් අවුරුදු උත්සහව වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදී සාර්ථකව අවසන්වුණා. මුලින්ම එහි වැඩකටයුතු ඉතාමත් හොඳින් සහ දහසක් රාජකාරී අතරේ අතිරේක කාර්යයක් වන (කිසිඳු මූල්‍යමය හෝ වෙනත් ආකාරයක ප්‍රතිලාභයක් නොලැබෙන ස්වේච්ඡා සේවයක් වන) මේ වැඩසටහන සංවිධානය කරන්නට යෙදුන අපේ හිතවත් පිරිසට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

2011 අවුරුද්දේ නිර්මාණයවුණ සංකල්පයක් විදිහට එම වසරේ දෙහිවල එස්.ද.එස් ජයසිංහ ක්‍රීඩංගනයේදීත්, 2012 වසරේ වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේත්, 2013 වර්ෂයේ පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදීත්, 2014දී මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගනයේදීත්, 2015 දී නැවත වැල්ලවත්ත කුරේ ක්‍රීඩංගනයේදීත් සයිබර් සිහින බක්මහ උළෙල යථාර්තයක් බවට පත්වුණා. එතකොට 2016 පැවැත්වුනේ 6 වැනි වැඩසටහනයි. ඒ වගේම කුරේ පිටියේ පැවැත්වුණ තුන්වන වැඩසටහනයි. එදා ඉඳන්ම වෙනසක් නැතිව තිබෙන සහෝදරත්වය සහ සහභාගිත්වය පිළිබඳ අවංක සතුටක් තිබෙනවා. පුද්ගලිකව 2012 වර්ෂයේ ඉඳන් නොවරදවාම සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගිවෙන්නට ලැබීම නිසා මෙහි විකාශනය සහ වෙනස්කම් ගැන හොඳ අවබෝධයක් තිබෙනවා කියලත් කියන්න ඕන.