Sep 30, 2013

සංකලනී - පලමු කොටස


පාන්දර ඉර එලිය සෑහෙන්න සැරට කාමරේ ජනේලෙන් ඇතුලට එනවා. ඉරිදා කියලා ඉර නිවාඩු ගන්න එකක්ද, කිසිම ඉස්පාසුවක් නැතිව උදේ හයේ විතර ඉඳගෙන හවස හයවෙනකම් තුන්සිය හැටපස් දවසෙම වැඩ කරන ඉර ඉරිදට නිවාඩු ගත්තනම් හොඳයි කියලා හිතෙන අය අතරේ ඉන්න එක්තරා කොල්ලෙක් කාමරේ ඇඳේ පෙරලි පෙරලි නිදි. කොට්ටෙන් මූණත් වහගෙන නිදි, නැගිටින්න කිසිම වුවමනාවක් නෑ වගේ. ගැටළුවක් නෑ..මොකද ඉරිදා දවස නිසා.

“චූටි පුතා....චූටි පුතා....නැගිටින්නේ නැද්ද...දැන් අටහමාරටත් ලඟයි....හා හා නැගිටිනවා දැන්...“

අම්මගේ සද්දෙට චූටි පුතාගේ එක කණක් විතරක් ලාවට හෙලවුණා. ඒත් ඇඟේ අනිත් කොටස් සැපසේ නින්දේ. අම්මා ඊළඟට කාමරේ ඇඳ ලඟටම ඇවිත් දෙවනි සහ අවසන් නිවේදනය නිකුත් කලා.

“චූටි පුතා...නැගිටිනවා දැන්....අද මොකක්ද වැඩක් තියනවා කිව්වා නේද අටට....පොඩි හාමුදුරුවන්ට පොරොන්දු උනා නේද අද මොකක්ද කොරන්න එනවා කියලා...දැනටමත් අටහමාරයි...“

Sep 9, 2013

පන්සලේ භූත ගුහාවේ යකාට වුණු අකරතැබ්බ


ලියන්න යන්නේ අද අපේ අහල පහල වුණ සිද්ධියක්. අහල පහල දේවල් ලියන්න ගියාට මොකද දැන් සෑහෙන්න අවදානමක් තියනවා ඒකෙත්. මොකද පොඩ්ඩක් හරි ගැස්සුණෙත් ගමට බැහැලා ඉවරයි. ඒක තේරුණේ පහුගිය දවසක ගමට බැස්සම ගමේ ගොඩක් අය මගේ බ්ලොග් රාජයා පුරුද්දක් වශයෙන් කියවන බව. 

   වැඩිය ඕන නෑ ගිය සතියේ හංදියේ කඩේට ගියපු වෙලාවේ කඩේ අංකල් කාරයා කියනවා.."අහා පුතා...ඔයා අර ඉන්ටර්නෙට් එකට ලියන ඒවා හරි ෂෝක්නේ..මම කියෙව්වා අර මැජික් කරන සිද්ධිය ( ප්‍රශ්න තුනක් අසා හිතේ රහස් එලියට ගන්නා අපූරු ක්‍රමය)  ක මරුනේ..කව්ද අප්පා ඒ යාළුවා..ඒ විතරක්නම් මදැයි තව ගමේ ඉන්න ආන්ටි කෙනෙක් කියනවා හංඳියෙදි මුණගැහිලා...පුතා අර ඉන්ටර්නෙට් එකේ ලියන ආටිකල් අපේ දුව කියවනවා..මටත් පෙන්නුවා පහුගිය දවසක..හොඳට ලියනවනේ පුතා..අර දයාසිරිගේ ලිපිය (දයාබර දයාසිරි එන්න මල් පිපීදැයි බලන්න) බොහොම හොඳයි..
 
ඔන්න ඕක නිසා ගමේ ඒවා ලියන්න වෙන්නේ පරිස්සමින් තමයි.. කොහොම වුනත් මේ සිද්ධිය වෙන්නේ අපේ අහල පහල පන්සලක. ගමේ නව යොවුන් තරුණයේ ටික පොසොන් වලට පන්සලේ භූත ගුහාවක් හදන්න සූදානම් කලාලු. දන්නවනේ භූත ගුහාවක් කියන්නේ ගුහාවක් හදලා ඇතුලේ හොල්මන් කරන්න කට්ටිය සෙට් කරන එක. ඉතින් වැඩේ නැගලා යනවා. මීටර් තුන්සීයකටත් වැඩි දිග තියන ගුහාවේ ඇතුලේ එක එක හොල්මන් වැඩ තියනවා. ඇතුල් වෙද්දිම නයෙක් ඇස් දෙක  රතුපාට පත්තු වෙන. ඊළඟට සොහොන් පිට්ටෙනියක්..මල මිනී නැගිටලා එනවා මස් හැලි හැලි..ඔය වගේ ගොඩක් ඒවා අස්සේ ඇතුලේ ශබ්ද ප්‍රයෝග එහෙමත් දාලා බොහොම බය ඇතිවෙන විදියට හදලා තිබුණා.