Dec 31, 2011

2012 න් ඔබ්බට...නව ලොවකට විරිත්තන ගෝත්‍රික සමාජයක සිට


2011 වර්ෂය අවසන් වෙලා දැන් 2012 නව වසරට පියවර තබමින් ඉන්න මොහොතකයි අපි ඉන්නේ. දැන් සිටම ඔබගේ දුරකතනයට, විද්‍යුත් තැපැල් ලිපිනයට, මුහුණු පොතේ තැපැල් පෙට්ටියට මිටිගණන් සුබ පැතුම් පැමිණ විවිධ වැකි වලින් ඔබව ආමන්ත්‍රණය කරනවා ඇති. ඒ අතරින් ඔබ කීයක් කියවනවාද, කීයකට පිළිතුරු සපයනවාද සහ කීයක් පිළිපදිනවාද යන්න ඔබම සිතා අවබෝධකරගත යුත්තක්.

මායාවරුන්ගේ පුරාතන දින දර්ශනය 2012 වර්ෂයේ අගභාගයත් සමග අවසන් වීමත් එක්ක ලෝකවාසි ජනතාව අතර මතයක් ගොඩනැගුණා ඔවුන් එයින් පුරෝකථනය කර තිබුණේ ලෝකයේ අවසානය එම වර්ෂයෙන් සිදුවන බව. නමුත් විවිධ තර්ක ප්‍රතිතර්ක අතරේ තවමත් නොඑළඹුනු 2012 වර්ෂය දෙස නෙත් අයාන බලා සිටිනවා. ලෝකය විනාශ වීම එක්වර සිදු නොවන්නක් බවත් එය ක්‍රමක්‍රමයෙන් ජනතා ක්‍රියාකලාප, හැසිරීම් හා තවත් සාධක ගණනාවක් අනුව සිදුවන්නක් බව සිතාගත යුතුය. එබැවින් 2012 පිළිබඳ ඒ අදහසින් නොබලනවානම් වඩාත් හොඳය.

Dec 20, 2011

හමුවුණා...අනේ හමුවුණා සයිබර් නවකතාව පොතක් ලෙසින් එළිදකී...


අපේ ඉසව්ව බ්ලොග් අඩවියේ කොටස් වශයෙන් පලකල “ හමුවුණා..
අනේ හමුවුණා“ නව කතාව E-book එකක් වශයෙන් ඉදිරිපත් කිරීමට හැකිවීම සතුටින් යුතුව සඳහන් කල යුතුය. බොහෝ දෙනෙක් ආසාවෙන් කියවූ මාතර සුන්දර ආදර පුවතක් කැටිවුණු මෙම නවකතාව පහත බැඳිය ඔස්සේ ඔබට භාගත කරගත හැකිය.


මෙම කෘතිය පිළිබඳ ඔබගේ අදහස් උදහස් බලාපොරොත්තු වෙන අතර මිතුරන් වෙත මෙම කෘතිය යොමු කිරීමෙන් නොමිලේ වින්දනාත්මක යමක් හුවමාරු කිරීමේ අවස්ථාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටිමි

Dec 18, 2011

අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - 6 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5



උදෑසනම වැඩ කටයුතු ආරම්භකර සිටි ගානර් සිටියේ කෝපි කෝප්පයක් පානය කරමින්ය. මහාචාර්යවරයාගේ මිතුරා මෙන්ම මහාචාර්යවරයාගේ ඝාතනය පිළිබඳ සැක කරන රුඩී මැන්ඩල් ගැන සෙවීම ස්ටීවන්ට බාරදී තිබූ අතර ඔහු එම කටයුතු අරඹා තිබිණි, එසේම මරණය සම්බන්ධව සැකකරන මහාචාර්ය බින්ස් හා මහාචාර්ය කොන්ටෝ ගැන අවධානයෙන් සිටීමට මැක්ට හා සහයකයන් කීප දෙනෙක්ට පවරා තිබිණි. ජෙෆ් ගානර් තම ජංගම දුරකතනය සූදානම් පිට තබාගෙන සිටියේ කොයි මොහොතේ හෝ ලැබෙන දුරකතන ඇමතුමක් වෙනුවෙන්ය. ඔහු හදිසි තොරතුරක් අපේක්ෂා කලේය.

Dec 17, 2011

නොදුටුවෙමි අල්තීනායි....


අයිලය හෝ පොප්ලර් ගස් තවදුරටත් ඉතිරිව නැතිබව හොඳාකාරවම දනිමි. අයිලයක් හෝ පොප්ලර් ගස් සෝවියට් දේශය පුරා තිබිය හැක. එහෙත් ඒ පොප්ලර් ගස් දෙක, ඒ අයිලය කිසිවිටකත් තිබිය නොහැක. තිබුණත් එය තවත් දුෂෙයින් කෙනෙක්ට හෝ අල්තීනායි කෙනෙක්ට කතා මාතෘකා සපයන්නක් විය නොහැක. අප හදවතට දැනෙන මට්ටමට ආදරයක් ගොඩනගා  ගැනීමට එම පොප්ලර් ගස්වලට හැකිවණු නොහැකිය. ආදරය සමපාතනය කිරීමට වස්තු බීජ සොයන්නෙක්ට අයිලය හෝ පොප්ලර් ගස් තවමත් සුවිශේෂී මතක වනවා නොඅනුමානය.

Dec 7, 2011

අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - 5 වැනි කොටස

පසුගිය කොටස් - 1  2  3  4


බ්‍රිතාන්‍යයේ පමණක් නොව මුළු මහත් ලෝකයේම අවධානය දිනාගනිමින් මහාචාර්ය ඩෙවන්ස්ගේ අවසන් කටයුතු ගැමන්ටන් දේවස්ථානයේදී සිදුකෙරිණි. එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ මෙවන් උතුම් හා වටිනා පුද්ගලයෙක් බ්‍රිතාන්‍යයට අහිමිකල ත්‍රස්තවාදීන් සොයා උපරිම දඬුවම් ලබාදීමට බ්‍රිතාන්‍ය රජය හා ආරක්ෂක අංශ බැඳී සිටින බවයි. අවසන් කටයුතු සිදුවන අතරේ පවා ස්කොට්ලන්ඩ්යාඩ් බුද්ධි අංශ සීරුවෙන් සිටියේ අවමගුලට සහභාගීවන්නේ කව්ද සහ ඔවුන්ගේ හැසිරීම් සහ සහභාගී නොවන්නේ කව්ද යන්නය.

Dec 2, 2011

උණුසුම් සුබ පැතුම්.... “සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ“

අපේ ඉසව්ව බ්ලොග් අඩවිය නිර්මාණය කරලා දැනට අවුරුද්දයි මාස අටක විතර කාලයක් වෙනනවා ඒ අතරේ අපේ ඉසව්වට ආඩම්බර වෙන්න පුළුවන් සිදුවීම් ගණනාවක් සිදුවුණා. ඒ අවස්ථාවන් රාශියක් පාඨකයන් එක්ක බෙදා හදා ගන්නත් ලැබුණා. ඒ අතරේ එවැනිම තවත් ඉහලින් ආඩම්බර විය හැකි, අහිංසක සතුටකින් ඒ ආඩම්බරය විඳින්න පුළුවන් සිදුවීමක් සිදුවුණා. 

ඒ තමයි සඳරාණි ප්‍රියලංකා සුදුසිංහ හෙවත් අපේ ඉසව්ව අතීතයේ පෝෂණය කල අතිදක්ෂ ලේඛිකාව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතික පුවත්පතක් වන “මව්බිම“ පුවත්පතේ ප්‍රධාන ලේඛක මණ්ඩලයට එක්වීම හා ඇයගේ හරවත් සහ සවිමත් ලිපි මව්බිමේ ප්‍රකාශයට පත්වීම. එය සම්බන්ධයෙන් අපේ ඉසව්වට ආඩම්බර විය හැක්කේ ඇය අතීතයේ අපේ ඉසව්වේ ලිපි පලකරමින් අපේ ඉසව්වට සවියක් වූ සොහොයුරියක් වීම හේතුවෙන්.

Nov 19, 2011

මොටාගෙදර කවි මඩුව (පොදුරද මඩුලු උළෙල)


ස්ථානය - මොටාගෙදර ග්‍රාම සංවර්ධන සමිති ශාලාව
මුලසුන- උඩඅපරැක්කේ චන්ද්‍රානන්ද ස්ථිවිර

මුලසුන:

තිසරණ සරණ ලැබගෙන සිරිමත් කවි පබඳ
අද සැම පිළිගනිමි බැතියෙන් පිරුණ හද
පසුගිය දිනක නොලැබුණු සිරිලක වෙතඳ
පොදුරද මඩුලු තරඟය ලැබුණානම් හොඳද

මොටාගෙදර දොන් ජනරබෙල් කවියා:

සිටියානම් හොඳයි හම්බන්තොට බිමෙහි
දිනුවානම් හොඳයි තරඟයෙ ලංසු එහි
කෙරුවානම් ජයයි පොදුරද මඩුලු මෙහි
ලැබුණානම් සිරිය පරදයි කැන්ගරු බිමෙහි

Nov 18, 2011

සුභ උපන්දිනයක්...ජනාධිපතිතුමනි!

විවිධ කාලයට විවිධ නායකයන් බිහිවෙති.විවිධ නායකයන් නැතිවෙති. නමුත් ඉතිහාසයට නම් තැබූ ඉතිහාසය වෙනස්කල නායකයන් අල්පය. ඒ අතරින් ඉතිහාසයේ රටවෙනුවෙන් අතිමහත් සේවයක් කර නරේන්ද්‍රයන්ට ලැබෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි. පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නොහොත් මහින්ද රාජපක්ෂ නැමති මැදමුලනෙන් ඉපිද,බෙලිඅත්තෙන් දේශපාලනය ජනමලාභය දුන් මහින්ද රාජපක්ෂ මැතිඳුන් රටේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව රට වෙනස්ම මගකට යොමුකරමින් ශ්‍රී ලාංකේය අභිමානයට නව පණක් දුන්හ. එහෙයින් ජනපතිතුමන්,ආරක්ෂක ලේකම්තුමන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, මහජන නියෝජිතයන් ඇතුලු පොදු මහජනතාවගේ සියල්ලන්ගේම සමූහ ප්‍රයත්නයක් ලෙස රට ඝාතකයාගෙන් බේරාගත්හ. එයට තවමත් අප ණයගැති වෙමු. කොතරම් විවේචන පැවතුනත් හදවතට එකඟව එම කටුක සත්‍ය අප පිලිගත යුතුය.

Nov 17, 2011

වසා මගේ නෙතුකැන්- නුඹ හිඳී වළාකුල මෙන්

ජීවිතය කියන වන්දනා ගමනට තනියම සහභාගීවෙලා තනියම පාද යාත්‍රා කිරීම කොතරම් හුදෙකලා සිතුවිල්ලක්ද?ඒත් සමහර අයට එම සිතුවිල්ලම සුවයක් ගෙනෙන දෙයක්. ඒත් මේ ජීවිත වන්දනාවට හදවතේ පැත්තක් පුරා අසුන් අරගෙන නැත්නම් එක් අතක වෙලිලා තනියට පරිපාද චාරිකාව වෙන්න කෙනෙක් ඉන්නවනම් එම චාරිකාවේ වටිනාකම ඊටත් වඩා ඉහල යනවා. ඒ වගේමයි ඒ චාරිකාවේ තමන්ට ඉගනගන්න තියන දේවල්, තමන්ට කියලා දෙන්න පුළුවන් දේවල් ගණනාවක්ම ලැබෙනවා. එතකොට ඒ ජීවන චාරිකාව සංසාරය පුරාම මතක සටහන් එක් කරන චාරිකාවක් බවට පත්වෙනවා.

Nov 13, 2011

අදිසි වෙඩික්කරු(The Invisible Shooter) - 4 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3

**************************************************************
සවස් භාගය වන විටත් රට තුල මහාචාර්ය ඩෙවන්සගේ රහසිගත මරණය පිළිබඳ කතාබහ සිදුවීම් කෙලෙසක වත් අඩුවීමක් සිදුනොවුණි. මහාචාර්යවරයාගේ මරණය පිළිබඳ විදෙස් පුවත්පත් ද විවිධ පුවත් පලකරමින් මෙම සිදුවීම විවේචනයට ලක්කලහ. විශේෂයෙන්ම අමරිකානු පුවත්පත් හා වෙබ් අඩවි දැඩිලෙස විවේචනය කලේ බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව පිළිබඳවයි. එක් අඩවියක් පවසා තිබුණේ බ්‍රිතාන්‍යයේ මහාචාර්යවරුන්ට අමරිකාවට පැමිණෙන ලෙසත් ඒ මන්ද ඔවුන්ට ආරක්ෂාව සැපයීමට බ්‍රිතාන්‍යය අසමත්වීමය. මෙම පුවත් සියල්ල ගැන ජෙෆ් ගානර් නම් වූ අසාමාන්‍ය ගනයේ අපරාධ පරික්ෂකයා දැනුවත් වූවත් ඔහුගේ ස්වභාවයේ හෝ පරීක්ෂණ කටයුතු සිදුකරගෙන යන ආකාරය දශමයක්වත් වෙනස් කලේ ඔහු නොවේ. විටක ගානර්ගේ මේ හැසිරීම සහයක බොබ් ස්ටීවන්ට විශ්මයජනක කාරණයක් විය.නමුත් ඔහු අතීත සිදුවීම් රාශියකින් ගානර් ගැන වැඩිමනක් හදාරා තිබිණි.

Nov 10, 2011

කැන්ටරය - (කෙටි කතාව)

ඈම්..ඈම්..ඈම්..පීක් පීක් පීක් පීක්...

මතෝදිර් තම දෑත් සුක්කානම මත හසුරවන්නා මෙන් හසුරවමින් රථයක් පදවන ආකාරයට ගේ පුරා දුවමින් සිටියේය. මතෝර්දි තවමත් පස් හැවිරිදිය. පසුගිය දිනක තම පියා සමගින් රාජ්කන්ඩ් හි තම නැන්දාගේ නිවසට ගිය මොහොතේ මතෝර්දි අපූරු දෙයක් දුටුවහ. ඒ විශාල කැන්ටර් රථයකි. සුරූපි තරුණියක් දුටුකල පෙමින් වෙලෙන තරුණයෙක් මෙන් එය දුටු පමණින් මතෝර්දි එයට පෙම් කරන්නට පටන් ගත්හ. එම කැන්ටරය ගමන් කරන අයුරු, එහි රියදුරු තැන එය තේජාන්විත අසරුවෙක් මෙන් හසුරවන ආකාරය කුඩා මතෝර්දි ගේ සිත තදින්ම ඇද බැඳගත්හ. නිවසට පැමිණි පසුවත් මතෝර්දිට කැන්ටරය අමතක කල නොහැකිවූ අතර එය අනුකරණය කරමින් ගේ පුරා දිව යාම මතෝර්දිගේ දින චර්යාවේ සුවිශේෂී අංගයක් බවට පත්විය.

Nov 8, 2011

අදිසි වෙඩික්කරු(The Invisible Shooter) - 3 වැනි කොටස

පලමු කොටස   දෙවන කොටස
******************************


ස්ටීවන් හා ගානර් එකතුව විවිධ කරුණු ගැන බොහෝ වේලාවක් කතා බහ කල අතර හෝඩුවාවක් සේයාවක්වත් ඔවුන් වෙත ලඟාවීම සිදුනොවුණි. අනතුරුව මොහොතක් තනිවම කල්පනා කල ජෙෆ් ගානර් නමැති මේ සුපිරි අපරාධ පරීක්ෂකයා වහා හිතට ආ අදහස ක්‍රියාත්මක කරන්නට විය. අසුනින් නැගී සිටි ගානර් ස්ටීවන් ඇමතීය. ස්ටීවන් ද සිය අසුනින් නැගී සිට ගානර්ගේ කතාවට සවන් දෙන්නට විය.

... ස්ටීවන් දැන් වෙලාව රෑ 12.30. හෙට උදේ 7 වෙද්දි මාව හමුවෙන්න ස්ටොක් පෝටර්ස් හි තාක්ෂණ සරසවියේ ගේට්ටුව අසලදී. මේ සිදුවීම නිසා හෙට සරසවිය අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන එකක් නෑ. ඒක නිසා අපි හෙට උදෑසන එහිදී අපේ කටයුතු ආරම්භ කරමු...

Nov 5, 2011

අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - දෙවන කොටස



වේගයෙන් පැමිණි ගානර්ගේ රථය විද්‍යා හා තාක්ෂණ සරසවියේ පිවිසුම් දොරකඩ ඉදිරිපිට නතර කෙරිණි. එවිට එහිවූයේ අති ප්‍රබල ආරක්ෂාවකි. ගානර් ගේ සිතතුල වූ ගැටළුවත් එයමයි. මෙතරම් ප්‍රබල ආරක්ෂාවක් තිබියදී කෙසේනම් මහාචාර්යවරයා ඝාතනය කලේද යන්නයි. මෙවන් සිදුවීමක් සිදුවීමට ඇති ඉඩකඩ සලකා බලමින් මෙහි ආරක්ෂක සැලසුම් නිර්මාණය කලේද ජෙෆ් ගානර්මය, එසේම මෙහිවූ සෑම ආරක්ෂක පියවරක් වෙනුවෙන්ම මූලික වගකීමක් තිබූ තැනැත්තා තමන්මය. පනස් දෙනෙක්ට ආසන්න පොලිස් කණ්ඩායමක් ආරක්ෂාවට යෙදවූවත් තමන්ට නියමිත වේලාවට මෙතැනට පැමිණීමට නොහැකිවීම ගැන ගානර් දැඩි සේ කණගාටුවිය.

Oct 28, 2011

ඇවිත් රැඳී සිත් ගං ඉවුරේ නුඹ ....(ආත්මීය කෙටි කතාව)

හැන්දෑවට ගං ඉවුර හරියටම පුංචි පාරාදීසයක් වගේ වෙන්නේ ඉවුරට වෙලා ආදරයෙන් බලන් ඉන්න නුඹ නිසාවත්ද කියලා හිතෙන දවස් අන න්තයි. ඒත් ඒ ගං ඉවුරේ පිපෙන නෙළුම් මල් ඒ වෙලාවට පොහොට්ටු වගේ තිබුණත් ඒවයේ ලස්සන අඩු නොවෙන්න වගේ නුඹ කොහෙම හිටියත් මේ ගංඉවුරේ මට දැනෙන එකම දේ නුඹේ ලස්සන මේ ඉවුරට ලැබිලා කියන එක විතරමයි. හැමදාම  බැරිවුණත් ගම පටන් ගන්න තැනින් හීන් හඬින් තමන්ගේ පාඩුවේ ගලාගෙන යන ගඟට තනිරකින්න කොහොම හරි නුඹත් එනවා. නුඹ නැති දවසටත් ඉන්නවා වගේ දැනෙන්නේ ඒ අඩුව නිසාම තමයි. පුංචි කෙල්ලෙක් පාට මල් ගවුමක් ඇඳගෙන ගංඉවුරේ මහා විසාලෙට හැදිලා අතුපතර විහිදාගෙන ඉන්න මාර ගහ යට ඉන්න කොට හරියටම මැවෙන්නේ ලස්සන චිත්‍රයක්. කිසිම හැලහොල්මනක් නැතිව අඳින්න පුළුවන් ලස්සන චිත්‍රයක්.

Oct 26, 2011

අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - පලමු කොටස


වෙලාව සවස 7 ට මිනිත්තු කීපයක් තිබියදී ස්ටොක් පෝටර් ප්‍රදේශයට වැටී තිබුණේ ගණ අදුරකි. හරියටම රාත්‍රී 10 ට පමණ පෙනෙන කළුවරකින් ප්‍රදේශයම වැසී තිබිණි. හාත්පස අදුර වසන්නට දැඩි විදුලි ආලෝක ධාරා එල්ලවී තිබූ විශේෂ ස්ථානයක් විය. එයනම් ස්ටොක් පෝටර්ස් විශේෂ තාක්ෂණ විශ්ව විද්‍යාලයීය භූමියයි. විශාල භූමි භාගයක් පුරා පැතිරී තිබුණු මෙහි අද රාත්‍රියේ පවත්වන්නට යෙදී තිබෙන විශේෂ කර්තව්‍යයක් නිසා මෙසේ ආලෝකමත් වී ඇත. රාත්‍රී 7 ට මෙහි පවත්වන්නට තිබූ විශේෂ කාරණය නම් සමස්ත බ්‍රිතාන්‍යයටම තාක්ෂණයේ සුපිරි ඵලය නිර්මාණය කිරීමේ කටයුත්ත භාරව සිටින බ්‍රිතාන්‍ය විද්‍යා හා තාක්ෂණ සංගමයේ සභාපති මහාචාර්ය ඇලන් ඩෙවන්ස් ගේ කටයුත්තකි. එම කටයුත්ත මදක් රහසිගත කටයුත්තකි. එය රහසක් වන්නේ එංගලන්තයේ රජයට හෝ විද්‍යා හා තාක්ෂණ සංගමයේ බල අධිකාරියට නොවේ, එය රහසක් වන්නේ එංගලන්තය, වේල්සය හා අයර්ලන්ත වැසියන්ට පමණි. අනෙක් ලෝකවාසීන් මේ පිළිබඳ අල්පමාත්‍ර තොරතුරක් නොදනී.

Oct 24, 2011

තැබූ තැනම ඇත මගේ හිත..නොබලා නුඹ යන්න

කලකින් නොකැපූ රැවුල අතට ගෙනෙන ගොරෝසුබවට හිතත් දැන් කැමති වෙලා වගේ.ඒ ගොරෝසු බව හිතටත් ලැබෙනව
නම් හිතත් හදාගන්න තිබුණා ඉක්මණටම. ඒත් එහෙම කරන්න බැරිවුණේ නුඹ ගියාම දැනුනු ලෝබකම නිසාද නැත්නම් නුඹත් එක්කම මාව දාලා ගියපු ආදරයේ උණුහුම නිසාද කියලා මට තේරෙන්නේ නෑ. ඒත් මම දන්නවා ඔයානම් අද ගොඩක් සතුටින් කෙනෙක් එක්ක ඉන්නවා. එයාගෙ හිනාව බල බල, එයාගෙ ගතිගුණ වර්ණනා කරකර. ඔව්නේ ඉතින් මගේ වර්ණනා කරන්න දෙයක් තිබුණේ නෑනේ. ඔයා හැමදාම කරේ මට බැනපු එකනේ. ස්ථීර, අවිඡ්චින්න තීරණ නෑ කියලා, සෘජු පැවැත්මක් තියන චින්තනයක් නෑ කියලා නැත්නම් කෙනෙක්ගේ චිත්තාභ්‍යන්තරයට කිඳා බැහැලා අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් නෑ කිය කිය. හරි ඉතින් මට ඒවා නොතිබුණා නම් ඒකට මම බැනුම් ඇහුවා, ඒත් ඒ හැමදේම තිබුණු ඔයා බොහොම ඉක්මණට මගෙන් වෙන්වෙලා ගිහින් තවත් ඇස්දෙකක්, හිනාවක් වර්ණනා කරන්නේ කොහොමද කියලා මට හිතාගන්න බෑ.

Oct 20, 2011

ගඩාෆිට සිදුවූ දෙය ලංකාවේ සිදුනොවෙන්නට නම්...

මේ සමය ලෝකයේ සදාකාලික නායකයින් ලෙස විරාජමාන වූ නායකයන්ට එතරම් සුබ කාලයක් නොවන බව දැන් දැන් වඩාත් පැහැදිලිව පෙනෙන්නට ඇත. ඊජිප්තුව දෙසින් හමා ආ බටහිර උෂ්ණය ගැබ්වූ විප්ලවකාරී මහජන ශක්තිය නම්වූ සුළඟ විසින් ලිබියාවද කළඹා දැමූ අතර අද එහි කූටප්‍රාප්තිය සිදුවිය. එනම් දශක හතරක් මුළුල්ලේ ලිබියාවේ නොසැලෙන හා නොනැමුණ නායකත්වය ලෙසින් කිරුළ දරා සිටි කර්නල් මොහම්මත් ගඩාෆිගේ ඝාතනයයි. ලිබියා ජනතා කැරැල්ල ජයග්‍රහණය එලෙසින් අවසන් වෙද්දී මුසල්මානුවන් පිරිසක් විසින් තමත් මුසල්මානුවෙක් ඝාතනය කර දැමුවා මෙන්ම එය සැමරුවා යන්නද ඉස්මතුව පෙණිනි. නමුත් ඒ කැරළි කරුවන්ගේ හැසිරීම් හා ඔවුන් සටන්වැදි ආකරයෙන් නිතැතින්ම ඉස්මතුව පෙනුනේ දශක ගණනාවක් මුළුල්ලේ ලිබියාව ලෝකයට කොතරම් ශක්තිමත් හා සෞම්‍ය රාජ්‍යයක් ලෙස පෙනුනද අභ්‍යන්තරයේ ජනතාව කොතරම් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පීඩනයකට ලක්ව සිටියේද යන්නය.

Oct 19, 2011

ශතකයෙන් ඔබ්බට හෙවත් 100 ට පසු අපේ ඉසව්ව


අද ඉතින් අපේ ඉසව්ව බ්ලොග් අඩවියට බොහොම වැදගත් වගේම සතුටුදායක දවසක්. එයට හේතුව තමයි අපේ ඉසව්ව බ්ලොග් අඩවිය තමන්ගේ ශතයක සම්පූර්ණ කිරීම හෙවත් 100 වැනි ලිපිය පලකිරීම. ඉතින් මේ සුභදායක මොහොතේ අපේ ඉසව්ව බ්ලොග් අඩවිය එක්ක රැඳලා ඉන්න හැමෝටම කියන්න ඕන දේවල් ටිකක් තිබෙන නිසාවෙන් තමයි මේ සියවෙනි ලිපිය බොහොම නිහතමානී ආඩම්බරයකින් හා චිත්තප්‍රීතියකින් යුතුව ප්‍රසිද්ධ කරන්නේ.

සිංහල බ්ලොග් කලාව ගැන අවබෝධයක් නොවුණත් මම 2009 වර්ෂයේ සිට බ්ලොග් ක්ෂේත්‍රෙය් විවිධ දේ කරමින් සිටියා. මුලින්ම සිංහල බ්ලොග් අඩවියක් ගැන අදහස දුන්නේ මගේ ඥාති සොයුරා මෙන්ම දැනුම් හවුල්කරුවන ජනිත චතුරංග ප්‍රේමරත්න සොයුරා තමයි. ඔහු සිංහල බ්ලොග් පාඨකයෙක් වීම හේතුවෙන් ඔහු තමන්ගේ අදහස අන්තර්ජාල මාධ්‍ය භාවිතය පිළිබඳ දරුණු උණකින් පෙලුණු මට ප්‍රකාශ කලා. ඒ හරියටම 2010 වර්ෂයේ පෙබරවාරි මස.

Oct 15, 2011

හමුවුණා..අනේ හමුවුණා (පසුවිපරම)

හමුවුණා..අනේ හමුවුණා කියන්නේ මම විසින් සයිබර් අවකාශය වෙත ලියා පලකරන ලද කුළුඳුල් නවකතාවයි.කොටස් 13 කින් මේ කතාව අවසන් වෙද්දි ඒ කතාවේ කතා වස්තුව හා සිදුවීම් මාලාවේ ගලායාමට ගොඩක් අය ආසාවෙන් ඉඳලා තියනවා කියලා දැන්ගන්නට ලැබුණා. ඒ හේතුවෙන් පුද්ගලිකව අතිශ්‍යයින්ම සතුටුවන බව නිහතමානීව හා නිරාමිස ප්‍රීතියකින් යුක්තව ප්‍රකාශ කලයුතුමයි. කතාවේ අවසන් කොටස පලකිරීමත් සමග මෙන්ම කතාව පලවුණු ජූලි මාසේ මුල් සතියේ සිට ඔක්තොම්බර් මස දෙවන සතිය දක්වා මාස තුනක කාල පරිච්ඡේදය පුරා ලද පැසසුම් හා ගැරහුම් සියල්ල කියාපෑවේ ඒ ප්‍රයත්නයේ සාර්ථකත්වය කියලා කිව යුතුමයි.

Oct 12, 2011

කොළොන්නාවේ ජන හද පියුම

..මේ රට වෙනුවෙන් අපි කලයුතු වගකීම් කොටසක් තිබෙනවා. ඒ කොටස උපරිමෙන් ඉටුකරන්න තමයි විජය කුමාරතුංග ශ්‍රීමතානන් ශ්‍රී ලංකා මහජන පක්ෂය පිහිටුවලා එයට දේශප්‍රේමී හදවත් ටිකක් එකතුකලේ.අන්න එවැනි දේශප්‍රේමී ජනතාවක් ඉදිරියේ කතා කරන්නට ලැබීමත් මට සතුටක්...

මේ කතාව සිදුවන්නේ 1994 වර්ෂයේ අගෝස්තු මාසයේ මාතර, මොටාගෙදර, හිරිදෙණිය වත්ත ෆෝමන් මහත්තයාගේ ගෙදර මිදුලේ. රැස්වෙලා ඉන්න කැකණදුර හා මාතර ප්‍රදේශවල විශාල පිරිසක් අමතමින්. පිරිසට ඉන්න තරම් ඉඩ කඩක් නොමැති මිදුලේ පොදිකන ජනතාවට මේ මහා පෞර්ශය පෙන්වන නාදයකින් ඔවුන් අමතන්නේ අන් කවරෙක්වත් නොවෙයි, ඔහු නම් කොලොන්නාවෙන් පිපී කොටිකාවත්තෙන් ජන හදවත් හැරදමා මිලින වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නොහොත් ලකී අයියා නම්වූ සොඳුරු මිනිසාය.

Oct 11, 2011

හමුවුණා...අනේ හමුවුණා - අවසන් කොටස

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8  9  10  11  12
**********************************************


රාජගිරියේ නිවසට යනකන් අපි හතරදෙනාම හිටියේ හරියට ගොළුවෙලා වගේ. වචනයක් හුවමාරුවුනේ ගොඩක් අඩුවෙන්. ගෙදරින් පිටවෙද්දිම මුහුණ දෙන්නට වුණු අසුභදායී සිදුවීම නිසා හැමෝම හිතින් බයවෙලා වගේ හිටියේ. ටිකක්හරි දිරිමත් හිතක් තිබුණු ධනංජය අයියා පවා මේ සිදුවීමත් එක්ක ගොඩක් කැළඹීමට පත්වෙලා හිටියා. ඒත් ඉරුදිකා මේ කිසිදෙයක් නොදැනුනා වගේ වාහනේ පිටිපස්සේ අසුනේ කවුලුවෙන් පිට බලන් යන විදිය දැක්කම මට පුදුමත් හිතුනා. කණ්ණාඩියෙන් එයා දිහා බලද්දි එක සැරයක් එයා ඒක දැක්කා. සුපුරුදු හීන් හිනාව මූණෙ ඇඳුනෙ ඔයා බයවෙන්න එපා සදීප අයියා..මරණෙටවත් අපි දෙන්නා වෙන් කරන්න බෑ කියනවා වගේ. වෙලාවකට පුදුමත් හිතෙනවා මේ කෙලපොඩ්ඩ ගැන.

Oct 8, 2011

මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ...

ඉන්දියානු නිදහස් සටන වෙනුවෙන් ප්‍රබල ඉන්දියානු ජාතික සංගමය පිහිටවලා එහි කටයුතු ප්‍රභාමත් ආකාරයෙන් ක්‍රියාත්මක වෙද්දි ඉතාමත් දේශානුරාගයෙන් ඔද තෙද වැඩුණු පිරිසක් එය වට රොක්වුණා. මහත්මා ගාන්ධි, ගන්ගාධාර් තිලක්, ජවහර්ලාල් නේරු, මෝති ලාල් නේරු වැනි පිරිස් මෙයට නායකත්වය සපයද්දි සාහිත්‍යමය පැත්තෙනුත් මෙයට උපරිම දායකත්වයක් ලැබුණා. විශේෂයෙන්ම බංකිම් චැටර්ජි...වන්දේ මාතරම්..ගීතය ලියද්දි තවත් සුවිශේෂ කවියක් ඉන්දියානු නිදහස් සටනේ ප්‍රාණවත්භාවය වැඩි කලා.

Oct 7, 2011

හමුවුණා..අනේ හමුවුණා - 12 වැනි කොටස

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8  9  10  11
*************************************
ජීවිතේ එක පැත්තකින් ගෙවුනේ සතුටින්. ඒ මොකද කවදාවත් ජීවිතේට නොහිතපු  කෙල්ලෙක් අහම්බෙන් හමුවුණා. ඒ හමුවීම හිතේ ආදරේකට කප් රුකක් හිටවලා ගියා විතරක් නෙවෙයි අන්තිමට ඒ ආදරේ ලංකරගන්න යන්තම්හරි ඉඩක් ලැබිලා. ජීවිතේ එක පැත්තකින් ඒ විදියට සතුට දෙද්දි අනිත් පැත්තකින් ලොකු දුකකුත් ඉතිරි කරලා. ඒ ඉරුදිකාගේ අසනීපේ. ඉරූගේ ඉස්සරහා වීරයා වගේ අසනීපේ තුට්ටුවට දාලා කතාකරාට තනියම ඉන්න හැමවේලේම හිතට වද දුන්නේ ඉරුදිකා නැතිවෙයි කියන බය. ඒත් ඉරූ ඉන්නේ සතුටින් නිසා එහෙම දෙයක් බුදුන්ගේ සරණින් වෙන එකක් නෑ කියලා හිත කියනවා. ඒත් ගස් ගල් වගේ ඉන්න මිනිස්සු මැරිලා යද්දි කොහොමද හිත හදාගන්නෙ කියලා හිතාගන්නත් බෑ.

Oct 4, 2011

හමුවුණා..අනේ හමුවුණා - 11 වැනි කොටස

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8  9  10
****************************************
හිතේ තිබුණු නිදහස කොහේදෝ පාවෙලා ගිහින්. හැමදෙයක්ම වෙනස් වෙන්න පටන් අරගෙන. මේ සිතුවිලි ගංගාව කොහේ ගිහින් කොහේ නතර වෙයිද කියලා හිතාගන්නත් බැරි තරම් සංකීර්ණ වෙලා. ජීවිතේ ආදරේ කියන දේ ගොඩක්ම ළඟට ඇවිත දුරට ගියපු වාර අනන්තයි. ඒත් ඒවට කවදාවත් සැලුනේ නැති මහමේරුවක් වගේ හිටපු මගේ හිත අද පුංචි හුළඟටත් වැනෙන විදියට වෙනස්වෙලා.

 ඉරුදිකා හුළඟක් වගේම මගේ ජීවිතේට ඇවිත් හිතට මහා දුකක් ඉතිරි කරලා යන්න හදනවා. එයාට යන්න දුන්නොත් කවදාවත්ම මගේ හිත මට සමාව දෙන එකක් නෑ.

  මම උදේම හිතාගත්තු විදියටම ඉරුදිකාගේ ගෙදරට ආයෙත් යන්න පිටත් වුණා. අම්මටත් කිවවා යන ගමන ගැන. ඉරූගේ ගෙදර අය මොනවා කියයිද කියලා හිතේ අදහසක් තිබුණේ නෑ ඒත් මට ඕන වුනේ ඉරුදිකා වෙනුවෙන් කව්රු නැතිවුණත් මම ඉන්නවා කියන එක කෑගහලා ඒ අයට කියලා දෙන්න. ඒ වගේම දවස් ගාණක් තිස්සේ නොදැකපු ඉරූගේ රත්තරන් මූණ බලලා ටිකක් හිත හදාගන්න. ඒ මූණ දැක්කත් ඇති මගේ ජීවිතේම මගෙන් ඈත් කරන්න.

Sep 29, 2011

ආවර්ජනාව...මතක ගං දෑලක නුඹ උන් තැන...

වේලාව රාත්‍රී නවයයි..මෙතැන් සිට ප්‍රවෘත්ති ප්‍රකාශයට මැදිරිය බාරයි..මම ආයෙත් ඔයගොල්ලන්ව හමුවෙන්න ලස්සන ගීත රැසක් අරන් එනවා..එතෙක් සුබ  රාත්‍රියක්...

තනුජ් කියලා ඉවර වෙනකොටම ලස්සන ගීතයක් වාදනය වුණා...

....එක කුඩයක් යට ගෑවි නොගෑවී දවසක් හැන්දෑවේ
    මතකද ඔබ මා පියවර මැන්නා පිණිමල් වරුසාවේ....

Sep 28, 2011

සිංහ චර්යාව

දේශපාලනයේ යෙදෙන්නා වූ පුද්ගලයන් ගැන අප අනන්තවත් විවිධ කතා අසා තිබේ. නමුත් බහුතරයක් අප්‍රසන්න, නිරර්ථක කතා වේ.එහෙත් ඒ අතර දේශපාලනය නැමති මඩ ගොහොරුව මත පිපී එහි නොවැදී සිටින අතලොස්සක් වූ නායකයන් දරණී තලයේ පිනට පහල වුනි. ඒ අතින් පණ්ඩිත් ජවහර්ලාල් නේරු යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් එයට සාධාරණ අර්ථකථනයක් භාවිතාවෙන්ම සැපයූ පුද්ගලයෙකි. විවිධ මත දරන්නන් අතර එතුමන් පිළිබඳ විවිධ මත පැවතියත් මේ සිදුවීම අප්‍රකට මෙන්ම වැදගත් සංසිද්ධියකි.

  වරක් පණ්ඩිත් නේරු අමරිකානු සංචාරයක් අවසන් කර නැවත භාරත් දේශය වෙත පැමිණෙන මොහොතේ ඉතාලියේ රෝම නගරයට ගොඩ බැසීමට සිදුවිය. ඒ එවකට සෘජු ගමන් සේවා අමරිකාවේ සිට ඉන්දියාවට නොතිබුණු බැවින්ය. පණ්ඩිත් නේරුට තවත් කීපදෙනෙක් සමගින් ඉතාලියේ රෝමයේ ගුවන් තොටුපලේ සවස 6 වනතෙක් ගිමන් හැරීමට සිදුවිය. 

Sep 27, 2011

ජාතික ගීය ජාතියේම හදගැස්ම බැවින්..

මින් පෙර ලක්බිම ඉරිදා සංග්‍රහයට පරාක්‍රම කොඩිතුවක්කු මහතා විසින් "හද බසින් ජාතක ගීය ගැයීම වරදක්ද?" මැයෙන් ලියූ ලිපියට පිළිතුරු ලිපියක් ලිවීමට අදහස් කලේ කරුණු කීපයක් පාදක කරගෙනය. වර්තමානයේ මාධ්‍යවල තාක්ෂණික ක්‍රමවේදයන්ට පින්සිදු වෙන්නට පුවත් ලොවපුරා ව්‍යාප්තවීමට ගතවන්නේ ඉතා සුළු කාලයකි. මේ දිනවල ශ්‍රී ලංකාවේ ජාතික ගීය නැමති මාතෘකාව වසර කීපයකට පසු නැවතත් විවාදයට බඳුන්වන ලෙසින් කල එළි බසින්නේ ජාතික දේශපාලන වටපිටාවත් උණුසම් මොහොතකය. වර්තමාන ජාතික ගීය සම්බන්ධ ගැටළුවට හේතුව ලෙස දකින්නේ ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනය කල යුතු බවට රජය සම්මත කරගැනීමට උත්සහ කරන පනතත් සමගය. පුරුදු පරිද්දෙන්ම මේ සඳහා පක්ෂ, විපක්ෂ මෙන්ම මධ්‍යස්ථ මතධාරීන් පිරිසක් මේ වනවිට දස්කම් පාමින් සිටිති. කෙසේ වෙතත් මහා පරිමාණ ප්‍රශ්නයක් වූ ත්‍රස්ත උවදුර අවසන් කිරීමෙන් පසු විසඳුම් සොයන ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීමේ නිරතවන රජයක් විසින් කලයුතු දේවල් හා නොකල යුතු දේවල් පිළිබඳව පරාක්‍රම කොඩිතුවක්කු මහතාගේ ලිපිය ඇතුලුව අනෙක් පෙර ලිපිවල සඳහන් විය.

Sep 24, 2011

හමුවුණා...අනේ හමුවුණා - 10 වැනි කොටස

පසුගිය කොටස් කියවන්න 1  2  3  4  5  6  7  8  

***********************************************************************

උදේ පාන්දර හිත දැඩි කරගත්තේ ජීවිතේ ගන්න වැදගත්ම වගේම තීරණාත්මකම තීරණයට මුහුණ දෙන්න. ඇල්ටො පොඩ්ඩට ගොඩවුණාම ඇල්ටෝ පොඩ්ඩත් ටිකක් විතර අදිමදි කරනවා වගේ දැනුනේ හිතේ බයටමද මංදා. ඒත් මාතර බෝධිය ගාවින් බැහැලා පඬුරක් දාලා වඳින්න අත්දෙක එකතු කරද්දි හිතට ලොකු හයියක් ලැබුණා වගේ දැනුණා. හක්මණ පාර දිගේ වාහනය ටික ටික ඉස්සරහට යද්දි ඉරුදිකාගේ දුරකතනයට ඇමතුවත් පුරුදු විදියටම දින කීපයක් පටන්ම ක්‍රියා කලේ නෑ. කමක් නෑ ඉරූ මම කරන්න යන්නේ වැරදි දෙයක් නෙවෙයි. ඔයා වෙනුවෙන් වගේම මම වෙනුවෙනුත් කරන දෙයක්, ඒක නිසා මම මේ දේ කරනවමයි ඉරූ.

  තුඩාව හංදියෙන් හරස් පාරට වාහනය හරවද්දි හිතේ ගැස්ම පිස්ටන් එකේ චලනයටත් එහා ගිහින් තිබුණා. එදා ඉරුදිකා ගේට්ටුවෙන් ඇතුලු වුණු ගෙදර හොයාගන්න අමාරුවක් නෑ. වාහනේ ගේට්ටුව ලග නතර කරලා හිමින් ගේට්ටුව ඇරගෙන යද්දි කකුල් දෙක ගැහුණේ ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ දෙයක් කරන්න යන නිසා වෙන්න ඇති. හිතන්න තරම් වාතාවරණයක් හිතේ තිබුණේ නෑ. 

Sep 22, 2011

පින්තූරය.... (කෙටි කතාව)

පුටුවෙන් මම නැගිට්ටේ හිතේ තිබූ දුක තරහ සියල්ල දෝතට රැගෙනය. හදවතේ රිද්මය නොසැලකිල්ලෙන් වයන සිතාරයක තත් පරිද්දෙන් වේගයෙන් ක්‍රියාත්මකවේ. නුඹ මෙතරම් ඉක්මණ් වේයයි මා කිසි දිනක නොසිතුවෙමි. නුඹ මා ළයට ළය බැඳී ආදරය කල පරිද්දෙන් නුඹ මෙතරම් ඉක්මණින් නුඹ වෙන හිතකට ලංවේයයි මා කිසි දිනක නොපැතුවෙමි. ඒ පුවත මා නෙත් දෙකින් දකිනතුරු මා හද සන්තානයට නොදැනුනි. නමුදු දැන් එය නුඹේ වදන් වලින්ම මා නෙත් ඉදිරිපිටට දෘශ්‍යමාන කර ඇත. එය එසේනම් මා කල යුත්තේ කුමක්ද.

සිංහල සිනමාවේ නොමැකුණ සිංහල ලකුණ..

....ඈ යකෝ තෝ කාටද හොරා හොරා කියන්නේ?..මං තොගෙ අහවල් එකක් හොරකං කරලද?...
 මේ දෙබස සිදුවන්නේ සිංහල සිනමාවේ අද්වතීය නළුවෙකු හා කූඩුවක සිටින කට දොඩවන ගිරවෙකු අතරයි. ඒ හිඟන කොල්ලා චිත්‍රපටයේදීය. කූඩුවේ සිටින තිරිසන් සතෙකු සමග වුවත් මනා ලෙස රංගනයේ යෙදිය හැකි නිර්මාණාත්මක හා යථාර්ථවාදී රංගන ශිල්පියෙක් වේ නම් ඔහු ජෝ අබේවික්‍රම හැර වෙන අන් කවරෙකුවත් නොව. සිය ජීවිතය සිනමාව කරගෙන සිනමාවට ජීවයක් එක් කල මේ අද්වතීය රංගන ශිල්පියා අද අප අතර නැත. එනමුත් ඔහු කල රැඟුම් හා කී දෑ තවමත් අප අතර නොමියෙමින් නොමැකෙමින් පවතින්නේ හෙළ සිනමාව නැමති මව්තුමියගේ සුජාත පුතෙක් බව කඳුලින් කියාදෙමිනි.

Sep 21, 2011

ඔබට වරම් නැති..මටද වරම් නැති..

ජවිතයේ සමහර තැන්වලදි, සමහර තීරණ වලදි අපි කොතරම් අසරණ වෙනවද. අපි කොතරම් ව්‍යාකූල වෙනවද කියලා දන්නේ ඒවා විඳින අපේම හිත් තමයි. පිටින් ඉඳන් ඒවට විවරණ සපයන්න ගොඩක් අමාරුයි කියලා සමස්ත සමාජයම නොදන්නවා උනාට. ඒත් අපි ගන්න තීරණවල අග්‍රඵලය විවරණය හා විවේචනය කරන්න මහ සමාජය දෑස් දල්වා බලාගෙන ඉන්නවා කියන දේ අපිට අමතක කරන්න බෑ. සමහර දේවල් තියනවා කරන්න බැරි තරමටම අසරණ තත්වයට පත්වුණත් නොකර බැරි දේවල්, තවත් සමහර දේවල් අතඅරින්න බැරි විදියටම හිත බදාගෙන තිබුණත් අත ඇරීමෙන් සමාජයට වැඩක් වෙන ඒ විතරක් නෙවෙය තවත් සමහර දේ ලංකරගන්න අපිට කොච්චර වුවමනාවක් තිබුණත් ලංකරගන්න ඉඩක් නැති.

Sep 19, 2011

හමුවුණා..... අනේ හමුවුණා 9 වැනි කොටස

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8

*******************************************************

සෙනසුරාදා වෙනකන් හිත තිබුණේ කියාගන්න බැරි හදිස්සියකින් ගැහෙමින්. මම දන්නවා මම කියන්න යන දේ ඉරුදිකාගේ හිත දන්නවා කියලා. ඒත් ඒක නියම විදියට නොකිව්වොත් ආදරේ කරන මේ හිතට අසාධාරණයක් වෙයි කියලා හිතන නිසා මේක කියන්න හොඳම අවස්ථාව ඇවිත් කියලා හිත කියනවා. ආදරේ කියන දේ හිතේ උපදින්නේ අහම්බෙන්.අහම්බෙන් උපදින ඒ සිතුවිල්ල කූටප්ප්‍රාප්තියට ආවම ආදරේ අග්‍රඵලය විඳින්න හිත කියාගන්න බැරි තරමක ලෝබකමක් විඳිනවා.
  ජීවිතේ ආදරේ හොඳම සිදුවීමක් විඳින්න පැමිණෙන මොහොතක ඒ සිදුවීමට හිත සූදානම් කරගන්න දවස් ගාණක් ගියා. ඒත් සෙනසුරාදට දවස් කීපයක් කලින් ඉරුදිකාගේ දුරකතනයට ඇමතුම් කීපයක් ගත්තත් දුරකතනය ක්‍රියාවිරහිතකර ඇති බව සුපුරුදු සුකුමක කටහඬකින් කිව්වා. කෙටි පණිවුඩ කීපයක්ම යැව්වත් එකක් වත් ගියබවට සලකුණක් ලැබුණේ නෑ. හිත අනියත බියකින් වෙලෙන්නට පටන් ගත්තා. ඉරුදිකාට කරදරයක්වත්ද? නෑ එහෙම වෙන්න විදියක් නෑ..එහෙමනම් මට දැනේවි..ඒත් ඇයි මෙහෙම එයාගෙන් කිසිම ආරංචියක් නැත්තේ.

Aug 30, 2011

හමුවුණා...අනේ හමුවුණා...8 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5  6  7
******************************************************

වාහනය පදවමින් සිටියත් නෙතත් හිතත් රැදුනේ රුවැති ඇය ලගමයි. වෙලාවකට බයත් හිතෙනවා වා‍හනේ කොහේ ගිහින් නවතියිද කියලා. කතරගම  කොළඹ පාර නිසා වැල්ලමඩම හරියේ මුහුද තීරය ලගින් යන ප්‍රධාන පාරේ වාහන ගොඩක් ‍එහෙ මෙහේ යනවා. වා‍හනේ සුක්කානම මත රැදුනු අත දහස් වාරයක් ඒ සුදු අත්දෙක අල්ලගන්න හැදුවා..ඒත් හිත ඒකට ඉඩදුන්නෙම නෑ. මම කෑ ගහපු නිසා බයවෙලා ඉන්න කෙල්ල තවත් බයවෙයි එහෙම කලානම්. ඉරූ ඉස්සරහ බලාගෙන වාඩිවෙලා හිටියා. හොරෙන්වත් මම දිහා බැලුවේ නෑ.මම විතරයි හොරාටවත් එයා දිහා බලන්නේ. රස්සන්දෙණිය අම්බලම ඉස්සරහින් යද්දි නිකමට වගේ කාර්එකේ ගුවන් විදුලිය ක්‍රියාත්මක කලා...

මේ නිහඩබව බිදින්න
තව මොනවහරි කියන්න
ඔය නෙත්අගින් සිනාසී
මා දිහා දැන් බලන්න...

වෙලාවට ගැලපෙනම සින්දුව යද්දි මටත් ඉරූටත් එකපාරටම දෙන්නගෙම මූණු බැලුනා..එකපාරටම ලස්සන හිනාවක් ගියා ඒ මූණේ..මටත් ඒත් එක්කම හිනාවක් ගියේ හිතේ තිබුණු දුක් දොම්නස් සේරම එක්කයි..ඒ වෙනකොට අපි හිටියේ රුහුණ කැම්පස් එක ඉස්සරහා. හවස දේශන ඉවරවෙලා කඩිමුඩියේ තමන්ගේ බෝඩිං වලට තනියම යන ළමයි සහ කිසිම කලබලයක් නැතුව අත් අල්ලගෙන කතාබහේ යන යුවලවල් අතරින් අපි හිමින් සීරුවේ ආවා.

Aug 20, 2011

හමුවුණා...අනේ හමුවුණා...7 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5  6
*******************************************************
ජංගම දුරකතනය අතට වගේම හිතටත් එච්චරටම ලංවුණු කාලයක් තිබුණේ නැති තරම්. ජංගම දුරකතනේ මිලට ගත්තු මුල්ම දවස්වලවත් මම එච්චරටම ඒකට ආසාවෙන්නේ නැතුව ඇති දැන් තරම්. ඉරූ ගේ කෙටි පණිවුඩයක් කියවන වාරයක් වාරයක් ගාණේ කියාගන්න බැරි ආදරයක් හිතේ දගලනවා. 

   තත්තපරයක් තත්පරයක් ගානේ ඉරූ හිත මගෙන් උදුරගනිද්දි මම හරි අසරණ විදියට තනියම බලන් ඉන්නවා. ඒත් ඒක වැඩි කාලෙකට නෙවෙයි. 
හැමදෙයක් අතරින් කාලයත් ඔහේ ඉදිරියට යනවා. නිසල්ගේ කමිනියුකේෂන් එක විවෘත කරන දිනෙත් ලග ලග එනවා. දුල්මිණි නංගිත් නිසල් එක්ක හරි හරියට මහන්සිවෙලා ඒකේ වැඩ. මටත් පුළු පුළුවන් විදියට ඒකට උදව් කලා. දවසක් මමයි නිසලුයි එකට ඉන්න වෙලාවක මම නිසල්ගෙන් දෙයක් ඇහුවා.

...මචං මම කඩේ ඕපනින්ග් එක ඉරුදිකාට කියන්නද?...

Aug 13, 2011

හමුවුණා...අනේ හමුවුණා...6 වැනි කොටස

1 කොටස 2 කොටස 3 කොටස 4 කොටස 5 කොටස

*****************************************************

 මේ සදීප අයියද කියලා අහපු කටහඩින්ම වගේම ඒ අහපු විදියෙන්ම තීරණය කලා මේනම් ඉරූම තමයි කියලා. මොකද මේ වෙනකොට ඉරූ මගේ ලේ නහර වලට ඇතුල්වෙලා ඉවර නිසා.
 
...ඔව් මම සදීප තමයි කව්ද මේ?...

නොදන්න ගාණට ඇහුවා. කෙල්ල ටිකක් ලැජ්ජාවෙන් වගේ ගොතත් ගැහුණා. අනේ ඉතින් මේ අවස්ථාව එනකං කොච්චර බලං හිටියද මම.

...මම මේ ඉරුදිකා කියලා කෙනෙක්...අයියා ම‍ට නම්බර් එක දුන්නේ පොඩි උදව්වක් ඉල්ලලා...අර ෆ්ලොරන්ස් එකේදි...

කෙල්ල යාං හෑල්ලක් කියාගෙන ගියේ මට එයාව මතක නෑ කියලා හිතාගෙන වෙන්න ඇති. එහෙම අමතක කරන්නේ කොහොමද මගේ ජීවිතේම අරං ගියපු ඔයාව.

...ඔච්චර විස්තර කියන්න ඕන නෑ කෙල්ලේ...මම ඔයාව අදුනගත්තා...

Aug 9, 2011

හමුවුණා...අනේ හමුවුණා...5 වැනි කොටස



*********************************************************************************

  මම ෆ්ලොරන්ස් එකෙන් එලියට බැස්සේ හීනෙන් වගේ. හිතේ මහා බරක් තිබුණා. අතේ තිබුණු බෑග් දෙකේ බර කලින් ගොඩක් දැනුනත් දැන් තදින්ම දැනෙන හිතේ බර නිසා බෑග් බර අමතක වෙලා වගේ. කාත් එක්කද ඉරූ අරවිදියට ආදරෙන් කතාකලේ. දෙයියනේ මගේ හීන ලෝක සේරම එකම තැන බිදිලා යාවිද? හිතාගන්න බැරි විදියට මම අසරණ වෙලා. ඉරූ කාටහරි අයිතිනම් මම මොකද කරන්නේ. ඇයි මට ඒක හරියටම දැනගන්න බැරිවුණේ.

   ෆ්ලොරන්ස් එකෙන් එළියට බැහැලා හීමිට ඇල්ටො පොඩ්ඩට නැගලා බෑග්දෙක පිටිපස්සේ ෂීට් එකට දැම්මා. ටික වෙලාවක් සුක්කානම අත්දෙකෙන්ම අල්ලගෙන කල්පනා කලා. වාහනේ පණගන්වන්න වත් හිතක් නෑ..ඒත් හිත ඒ සිද්ධිය සාධාරණීකරණය කරලා මම සාමකාමී කරන්න හදනවා...කව්රුහරි ඉරූ අදුරන කෙනෙක් වෙන්න ඇති...ඒත් අරවිදියට කතාකරනවද කොල්ලෙක් එක්ක ඇරෙන්න..

   නොදැනීම වගේ ඇස්දෙකත් රතුවෙලා. වා‍හනේ පණගන්වගෙන පුරුද්දට වගේ හිමින් හිමින් බෝධිය පහුකරලා ආවා. මහනාම පාලම උඩදි තදබදය අතරේ නවත්තගෙන හිටිද්දි ඈත මෝය කට පැත්තෙන් පේන දර්ශනේ දකිද්දි හිතට හරිම අසරණ කමක් දැනුනා..ඉදලා ඉදලා මම කරන්න ගත්තු ආදරණීය ආදරය ඇරඹුමම කදුලක් වේවිද?..‍අනේ මංදා..ටිකක් වේගය වැඩිකරලා ගෙදර ආවා. ඇවිත් කතා නොකරම කාමරේට ගිහින් දොර වහගෙන ඇදට වැටුණා.

Jul 31, 2011

හමුවුණා...අනේ හමුවුණා...4 වැනි කොටස

ආදරේ කියන අකුරු ටිකේ තේරුම මට හරියාකාරව දැනිලා තිබුණේ නෑ. ඒත් දැන්නම් ඒක ඇතිවෙන්න දැනෙනවා. ඉරූ...මම ඔයාට ආදරේ කරනවා...ඉරුදිකා මම ඔයාට ආදරෙයි කියලා කෑ ගහලා කියන්න පුළුවන් තරමට හිත දගලනවා. ඒත් දෙයියනේ මම එයාට ආදරේ කලාට එයාට කව්රුවත් ලංවෙලා ඉන්නවද..එහෙමත් නැත්නම් එයා මට කවදාවත් කැමති වෙන එකක් නැද්ද කියලා මම කොහොමද දන්නේ. ඒකත් ඇත්ත..හදිස්සිවෙන එක හොදනෑ..හැමදේම හොයලා බලන්න ඕන හොදට..

 හිතේ දගලන පෙම් කතාව ලියන්න ටිකක් ප්‍රමාදවෙයි වගේ කියලා මට දැනෙන්න පටන් ගත්තා. ආයෙත් හමුවුණොත්..අම්මපා දෙකෙන් එකක් දැනගන්නවා..මොකක්ද දෙක..කැමතිද අකමැතිද කියලද? නෑ..තනිකඩද දෙකඩද කියලා. හිත මාත් එක්ක තර්ක විතර්ක කරනවා රෑ ජාමයක් වෙනකම්ම. ඉරුදිකා මගේ හිතට කොච්චර බලපෑමක් කරනවද කියලා දැන් තමයි දැනෙන්නේ.
   රෑ තිස්සෙ නින්ද යන්නෙත් නෑ. හීනෙන් පේන්නෙත් සොදුරු රුවැත්තියම තමයි.ඉතිං රෑට නින්ද යන්නේ එයාව හිතේ තියාගෙන උදේට නැගිටින්නෙත් එහෙමමයි. ඔයා මේ ජීවිතේට එනකම් මේ ජීවිතේ හරි පාළුයි ඉරූ..

Jul 28, 2011

හමුවුණා...අනේ හමුවුණා...3 වැනි කොටස

මිතුරෙක්ගේ සාදයකට දවසක් හැන්දෑවේ තිහගොඩට යන්න සිද්ධවුණා. යාළුවන්ගේ සාද කිව්වම කොටත් සමහර වෙලාවට එපා වෙනවා එහෙම කියලා යාළුවෝ නැතිකරන්නත් බෑනේ. ඒක නිසා වාහන පොඩ්ඩත් පදවගෙන මාතර හරහා යන්න ආවා. පල්ලිමුල්ල හරියෙන් වාහනේ පදවගෙන එනකොට පුරුදු විදියට මොනැකෝ ක්ලාස් එක ඉවරවෙලා යන ගෑනු ළමයි පිරිමි ලමයි ‍පේලියට බස් නැවතුම පැත්තට යනවා. අනේ අනේ මමත් ඔහොම ගිය හැටි මතකයි..මට හොද හැටි මතකයි... 

  බස් නැවතුම පහුකරද්දි හවස හතර පහුවෙලා මිනිත්තු තිහක් ගතවෙලා කියලා හිරු අභියසේ ෂානු අක්කා කිව්වා. ඔහොම හිමින් සීරුවේ වාහනේ පදවගෙන බෝධිය ගාවින් හරවද්දිම හොදට පුරුදු රූපයක් දැක්කා හක්මණ පාරේ බස් හෝල්ට් එකේ. ඒ රූපේ හොදට හුරුයි කියලා දැනෙන කොටත් වාහනේ බස් හෝල්ට් එක පහුකරලා මහජන බැංකුව හරියටම ගිහින්. ඒත් නොබලම යන්න හිත දුන්නේ නැති නිසා හිමින් සීරුවේ රිවස් එකට ආවා..එනකොටයි පැති කණ්ණාඩියෙන් දැක්කේ මගේ හීන රුවැත්තිය බැබලි බැබලි ඉන්නවා දොස්තර එස්.වික්‍රමසිංහ පිළිරුව ගාව. දෙයියනේ මම මුල්කිරිගල ගිහින් මේ කෙල්ලව ආයෙත් මුණ ගස්සන්න කියලා කියලා දවස් කීයද ගියේ. අපේ දෛවය කොච්චර අපිත් එක්ක පිස්සු නටනවද කියලා හරියටම දැනුනේ අද තමයි. 

Jul 24, 2011

හමුවුණා...අනේ හමුවුණා...2 වැනි කොටස


එක්ස් කියුස් මී අයියා...

ඇය මොනවාදෝ කියනවා දැනුනත් ඒ කිසිදෙයක් ඇහුණේ මට නොවෙ‍යි. රුවැත්තියගේ රුවට මම වශීවී සිටීම එයට හේතුවිය. අවසානයේදී මට වචන සොයාගත හැකි විය.
ඇයි නංගි....

මම යන්තම් වචන ගලපාගෙන ඇසීය.
අනේ අයියේ මේ මගේ පර්ස් එක අරින්න බෑ..චුට්ටක් ඇරලා දෙනවද..මම බැලුවා ගොඩක් අමාරුයි...

 දෙවියන් යමක් දෙනකොට දෙන්නේ ටොකු ඇණ ඇණ උඩ පැන පැන යන්න සනාථ කරමින් සොදුරු රුවැත්තිය මගේ නෙත් ඉදිරිපිටටම පැමිණ ඇත. වහා ඇයට උදව් කිරීමට මම ඇගේ පසුම්බිය අතට ගතිමි.
  දැඩිවෙර දමා විවෘත කිරීමට උත්සහ කලත් විවෘත නොවිණි. ඇය මහත් වුවමනාවෙන් සට සට ගා දගලන මගේ ඇගිලි තුඩු දෙස බලා සිටියාය. මගේ ඇගටද දාඩිය දාන්නට වූයේ එයත් සමගය.. අයියෝ මේ මගදාව ඇරෙන්නේ නෑනේ..වස ලැජ්ජාවේ පණයනවා මේකි ඉස්සරහ...

අමාරුනම් කමක් නෑ අයියා...

Jul 17, 2011

හමුවුණා...අනේ හමුවුණා...

මාතර කොටු දොරකඩ ලගට ගියෙත් නිකං බාගෙට මැරිලා වගේ. අම්මපා මේ රස්නේ නම්. කියලා වැඩක් නෑ ඉර අතිජාත මිත්‍රයෙක් වගේ ලගටම ඇවිත් දස වද දෙනවා. කණ පැලෙන්න හීතල දවසටනම් මේ ඉර පැත්ත පලාතක් බලන්නේ නෑ මගේ. ඒත් අදනං ඉන්නවා මටම වද දෙන්න. දිසාපති කාර්යාලයට යන්නේ අද ලොකු වැඩක් කරගන්න තියන නිසා. කොච්චර වෙලාවක් ගියත් දෙයියම්පා වැඩේ කරගන්නේ නැතුවනම් එන්නේ නෑ. දවස් ගණනක් තිබුණු වැඩ කන්දරාව නිසා මේකට එන්න වුනෙත් නෑ. ඒත් අදනං කරගෙන මිසක් යන්නෙත් නෑ. හෙමින් හෙමින් කොටුවට ප්‍රධාන දොරෙන්ම ඇතුල් වුනා.

Jul 14, 2011

මරණානුස්සතිය...

මරණය..සමහරු ඇහුණත් බය මාතෘකාවක්. මරණය ජීවිතයෙ කෙළවර. හැමදේම දමායන්නට සිදුවන නිමේශය. වස්තුව.දේපල.බැදීම් හැමදේම මරණයෙන් කෙළවර වෙනවා. ඒ නිසා මරණයට බියක්  දැක්වීම සාමාන්‍ය කාරණාවක්වෙලා. ඇයි අපි මරණයට බය. මේ හැමදේම දාලා යන්න වෙන නිසා විතරක්මද ? නෑ මරණයේ වේදනාවටත් බයයි. ඇත්තටම අපි බියක් දක්වන්නේ මරණයටමද?

  අපි මරණයට බියක් දක්වන්නේ නෑ. මරණය කියන සංකල්පය අපට දැනෙන්නේ නෑ. එය පුද්ගලිකව විදදරාගන්නා විට අපතුල ප්‍රාණයක් ඉතිරිවන්නේ නෑ.එනිසා එය පුද්ගලිකව අත්දකින්නට බැහැ. එහෙනම් හිතවතු‍න්ගේ අවමගුල් අවස්ථාවලදී වත් මරණය නිසියාකාරව අභ්‍යන්තරයට ගොස් අත්විදින්නට බෑ. එහෙනම් අපි බියවන‍්නේ මරණයට නොවෙයි. අපි බියවන්නේ මරණය සිදුවන ආකාරයටයි. එය වේදනාකාරී අවස්ථාවක් හෝ සංසුන් අවස්ථාවක් වේවිද යන්න අපට පූර්ව නිගමනයක් කල නොහැකි හෙයින් අප එම අවස්ථාවට මුහුණ දීමට බියකින් පසුවෙනවා. සිහියකින් යුතුව මරණයට මුහුණ දෙන අය සන්සුන් මරණයක් අත්විදිනවා. නමුත් වේදනාකාරී හා අතිබිහිසුණු මරණයන් හිමිවන අයත් අනන්තයි.

Jul 12, 2011

ආත්මීය ගීතය..

  ආදරය එක්තරා විදියක යාත්‍රාවක යන ගමනක් වගේ. විවිධ ඉවුරු දකිමින් ගොඩවෙමින් යන ගමන විවිධාකාරයි. ජීවිතයේ යථාර්ථයට ඔබ්බෙන් ආමන්ත්‍රණය කරන ආදරය නැමති සංකල්පය බොහෝවේලාවට හරිම  ආත්මීයයි. ජිවිතානුබද්ධ අත්දැකීම් එක්වුණාම ආදරය හරියට සරසපු මල් බදුනක් වගේ. පුදදෙන්න මල්අසුනක් හොයන.

  ජීවිත ගමනේ විවධ මංසංධි හමුවීම ස්වාභාවික දෙයක්. ඒත් ඒ මං සංධිවල අතරමං වීම අස්වාභාවික දෙයක්. ආදරයට හමුවෙනවා වෙන්වෙනවා නැවත හමුවෙනවා. ලෝකපූජිත විද්වතෙක් ආදරය නම්කලේ හමුවීම වෙන්වීම හා නැවත හමුවීමකට. ඒ ආදරේ හැටි. අනන්‍ය ලක්ෂණය වුණු ඒ සිද්ධි නොතිබුණානම් ආදරයත් පොදු මාතෘකාවක්.

Jul 6, 2011

ගාල්ලේදී අපි එක් Rock වු දා (Unrated Version)

සිංහල බ්ලොග්කරුවන්ගේ දකුණු අත වගේ ඉන්න ගාල්ල මාතර සිංහල බ්ලොග්කරුවෝ පහුගිය දවසක එකට සෙට් වු‍ණා. මේ ඒ පිළිබද වාර්තා වැඩ සටහනකි.


පූර්විකාව
අන්තර්ජාලයේ එක්එක් අහුමුලු වලට වෙලා බ්ලොග් ලියන මිතුරන් හමුවෙන්න හිතේ ලොකු වුවමනාවක් තිබුණා.විශේෂයෙන්ම ලගපාත අය. ඉතිං මං ඔය ගැන හිතාගෙන මනෝ ගහගෙන ඉන්න අතරේ හිම හංසි නගා මාව දැනුවත් කලා මෙන්න මෙහෙම වැඩක් සෙට් වෙනවා කියලා. ඉතිං හිම හංසි නගා බලෙන්ම වගේ මමත් ඔය කණ්ඩායමට ඇදලා දාලා බලෙන්ම මමත් මේකට මූට්ටු කලා(ඒ වුණාට එයාට පින් සිද්ධවෙන්න තමයි වැඩේ වුණේ මටත්) පස්සෙ මට කිව්වා අනුෂ්ක ලක්මාල් අයියා තමයි වැඩේ සංවිධානය කරන්නේ කියලා. මම බැලුවා මොකාද මේ අනුෂ්ක කියලා. බැලිනං මේ අපේ වල් හාවා හෙවත් බනියා නේ. බනියා ඉතිං වැඩක් බාරගත්තොත් අනිවා නිකං කිරිගහට බල්ලො පැන්නා වගේ කරන බව දන්න නිසා මමත් හදවතින්ම හා අග්න්‍යාශයෙන්ම වැඩේට බැස්සා. කොහොම හරි දින ලංවෙනකං ගාල්ලේ වැසියෝ කණ්ඩායමේ කමෙන්ට් දදා විකාර කර කර වැඩේට සෙට් වුණා. මම ඒ කණ්ඩායමේ හිටපු එවුන්ගෙන් අදුනගෙන හිටියේ වත් අක්කා හෙවත් බියුටිපුල් මයින්ඩ්. බනියා හා හිම හංසි විතරයි. අනිත් එවුන් නිකං මැජික් වගෙයි මට. කොහොමහරි මුන් එක්ක සෙට්වෙලා මට අතවරයක් වෙයි ද කියලා හිතුනත් පස්සේ පුරුස ශක්තිය අරගෙන වැඩේට බැස්සා. කොහොමහරි වැඩේ යෙදිලා තිබුනේ 2වැනිදා උදේ 11ට නේ. හිම හංසි මට කිව්වා ගාල්ල පොලෝසිය ගාවට එන්න..මම එනකං එයා බලාගෙනම ඉන්නවා කියලා. එහෙම කිව්වම දෙයියනේ නොගිහිං පුළුවන්ද. ඊට කලින් දවසේ එෆ්.එම් එකේ මැච් එකේ කොමෙන්ට් කරලා ගෙදර යද්දිත් 12. එදා හීනෙනුත් පෙනුනා...ගාලු කොටුවෙ ගල් බැම්මේ- ඈත පෙනෙන සිතිජ ඉමේ- පාට සරුංගලයක හැඩ බලන හැටි...

Jun 27, 2011

කවි අඩ ශතකය සපුරන "සිතුවිලි පලස" දෙස අපේ ඉසව්වේ සිට බැලීම...


අද මගේ සිංහල බ්ලොග් දිවියේ සුන්දර මෙන්ම හැඟුම්බර දිනයක්ය. එයට හේතු දෙකක් තිබේ. එකක්නම් අපේ ඉසව්ව වෙනුවෙන් මා රචනාකල "නුඹ නාව නෙතුගාව කඳුලැල්" කෙටි කතාව ට ඉතා හොඳ ප්‍රතිචාර ලැබීමයි. සිංහල බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් අතලොස්සකගේ ප්‍රතිචාර හා විදෙස්ගත මෙන්ම ලංකාවේ වෙසෙන බ්ලොග් රසවිඳින් ප්‍රේක්ෂකයන් සැලකිය යුතු මට්ට‍මේ පිරිසකගෙන් ලද විද්‍යුත් පණිවුඩ.කමෙන්ට්ස් හා මූණු පො‍තේ පණිවුඩ ‍ගැන එක් අතකින් සතුටුය. සතුටු වීමට අනික් කාරණය නම් අද සිතුවිලි පලස නැමති මගේ කවි සංකල්පනා අඩවිය මගේ 50 වැනි කවිය සයිබර් අවකාශයට මුදා හැරීමේ සිදුවීමයි.

  අපේ ඉසව්ව හා සිතුවිලි පලස එකකුස උපන් නිවුන් සොයුරන් දෙදෙනෙකු ලෙස සැලකීම වඩා වටී. මෙම සිංහල බ්ලොග් අඩවි දෙක නිර්මාණය වූ කාල අතර පරතරය විනාඩි ගණනක්වීම එයට හේතුවයි. මෙහිදී මම නැවතත් ‍මගේ සොයුරු ජනිත චතුරංග ප්‍රේමරත්නට මගේ හෘද්‍යාංගම ස්තූතිය පුදකර සිටින්නේ ඔහුගේ සංකල්පනාවක් මත මෙම අඩවි දෙකම නිර්මාණය කල බැවිනි. ඇත්තටම සිතුවිලි පලසේ අතීත කතාව කියන්නට සිටියේ සිතුවිලි පලසට වසරක් පිරුණු පෙබරවාරි 18 වැනිදාය. නමුත් අන්තර්ජාල සබඳතා ගැටළුවක් හේතුවෙන් පසුගිය වසරක කාල පරිච්ඡේදයේ මෙන්ම අදාල දිනයේද එම කටයුත්ත කිරීමට නොහැකිවිය.

Jun 23, 2011

නුඹ නාව නෙතුගාව කඳුලැල්....(ආදරණීය කෙටි කතාව)

 දුලාරිගේ රථය වේගයෙන් පැමිණ නතරවුනේ චමත්කාගේ නිවසේ ඉදිරිපසය. සුවිසල් නිවස වටපිටාවට දර්ශනය වූයේ මහා මන්දිරයක් ලෙසය. දුලාරිගේ රථයේ තිරිංග තදකල ශබ්දයට ඉහල මාලයේ කාමරයේ සංගීත නාදයට කන්දෙමින් සතුටින් නර්තනයේ යෙදීසිටි චමත්කාද ජනේලයෙන් පහත බැලීය. එය තම මිතුරියගේ කාරය බව දුටුවත් මෙතරම් වේගයෙන් තිරිංග තදකර වාහනය නතර කරන පුරුද්දක් ඇයට නැත. අනිවාර්යයෙන්ම හදිස්සියක් විය යුතු බව චමත්කා අනුමාන කලහ.

  විනාඩියක් යන්නට මත්තෙන් චමත්‍කාගේ කාමරයේ දොරට තට්ටුකරන හඬ ඇසුනි. ඒ තමන්ගේ මිතුරිය වන්නට ඇතැයි ඈ සිතුවාය.
"ඇතුලට වරෙන් දුලා..දොර ඇරලා"

දුලාරි කාමරයට ඇතුල්විය. ඒත් ඇගේ මුහුණ කළුගැසී දැඩි කම්පනයට පත්ව ඇති බවක් දිස්විය. දුලාරි ඇවිත් චමත්කාගේ ඇඳේ වාඩි වුණා නොව වැටුණාය. මෙය දුටු චමත්කාද ඉද්දගැසුවාක් මෙන් නැගිට දුලාරි ලඟට පැන්නාය.

Jun 21, 2011

නුඹට ලියමි...

අනේ මන්දා..උඹත් හරියට ජපානේ කාලගුණේ වගේ. වෙනස් වෙන්නේ කොයි වෙලාවෙද කියලා කියනව තියා හිතන්නවත් බෑ. ඒ ඇයි කියලා කියන්න ඔයාවත් දන්නවද මංදා. ඒත් මේ හිතේ තියෙන ආදරේ නිසා ඉවසගෙන ඉන්නව මිසක් වෙන එකෙක් නම් මෙලහකට දමල ගහල ගිහින් කොහේහරි. ඒත් උඹේ අඬන ඇස් දෙක මෙහෙම  ඇති කියලා මතක් කරගන්න උත්සහ කරද්දි එහෙම යන්න හිතෙන්නෙත් නෑ..

Jun 20, 2011

ගිරවා හා සදාචාරය...

නිකං මාතෘකාව දැක්කම කට්ටියට හිනායන්නත් පුළුවන්. ගිරවා හා සදාචාරය කියන්නේ හරියටම ඌරා හා සෞඛ්‍ය වගේ මාතෘකාවක් කියලා මම දන්නවා. මේක එහෙම දෙයක් නෙවෙයි ගෝලීය කතාබහකුත් නෙවෙයි. අහපු කතාවක් සහ ඒකෙන් ගන්න පුළුවන් දෙයක් ගැන කියන්න යන්නේ. ඉතිං බොහොමයක් අය ඉස්සරනම් ගොඩක් ගෙවල්වල ගිරව් ඇතිකලා. ඒත් අද මිනිස්සුන්ට ඇතිවෙලාද ගිරව් අඩුවෙලාද කියන හේතු දෙකෙන් එකක් නිසා මේක ගොඩක් අඩුයි දැන්.

Jun 18, 2011

නොමල හේතුවාදියා...

මම හිතන විදියට ඒබ්‍රහම් ටී. කෝවුර් කිව්වම නොදන්න කෙනෙක් නෑ. මෝහන්දකාරයෙන් මත්වෙලා හිටපු ලෝකවාසීන් එයින් මුදවගෙන යථාර්ථවාදී මිනිසුන් බවට පත්කරන්න ජීවිතේ බොහෝ දේවල් කැපකරපු පුද්ගලයෙක් තමයි ඒබ්‍රහම් ටී. කෝවුර්..ඉන්දියානුවෙක් විදියට උපත ලැබුවත් ජීවිතයේ වැඩි කොටසක් මේ සුන්දර ලංකාද්වීපයේ සේවය කරමින් මෙහි ජනයාට වඩාත් යහපත් හා බුද්ධිමය සමාජයක් දායාද කරන්න අනූපමේය මෙහෙවරක් කරපු කෝවුර් මහත්මයා හේතු වාදියෙක් විදයට හදුන්වන්නේ ඔහු ජනයාතුල මුල් බැසගත් මිත්‍යා විශ්වාස හේතුවත් එක්ක සංසන්දනය කරලා ප්‍රතික්ෂේප කරලා දාපු කෙනෙක් නිසා. ඔහු ඒ දේවල් ප්‍රායෝගිකවම කරලා පෙන්නුවා. හොල්මන්. අවතාර.යක්ෂ ප්‍රේතයෝ.දෙවියෝ වැනි සංකල්ප එකහෙලාම ප්‍රතික්ෂේප කරපු කෝවුර් මහත්තයා එවැනි සිද්ධියක් වාර්තාවුණොත් තමන්ගේ කණ්ඩායම එක්කම  ගිහින් ඒවා විසඳලා දීලා එනවා.

Jun 17, 2011

Twilight Tubelight හෙවත් පමාවී වැටහුණු පෙම(අවසන් කොටස)


ඔන්න ඊයේ ඉදිරිපත් කරපු Twilight Tubelight  හෙවත් පමාවී වැටහුණු පෙම 1 කොටස කියවලම ඉන්න නොකියවපු අය..මේක එකපාරට දැම්මේ නෑ කියලා මම අහපු බැනුම්..හිතාගත්තා තවත්නම් අත්දැකීම් ලියන්නෙත් නෑ කියලා
*********************************

 වරුණයා මගේ කාමරේට කඩාපාත් වුණේ ඔළුවේ අත්දෙක තියාගෙන. ඒක අහලා මගේ මොලෙත් කොලොප්පන්වුණා. මටත් ඉස්පාසුවක් නෑ දැනගන්න කවුද පසන් කාරයාගේ හිත ගත්තු අසාමාන්‍ය කුමාරි කියලා. වරුණයා විකාරෙන් වගේ කියවනවා මිසක් හරියට දෙයක් කියන්නේ නෑ. මම කීප සැරයක්ම ඇහුවා.
"ය‍කෝ මේකා ට්‍රයි කරන්නේ ******* මුඩුක්කු ඒරියා එකේ කළුම කළු කෙල්ලෙක්ට..ඒකනම් කමක් නෑ කියමු..ඒකි තනිකර කොල්ලෙක් වගේ බජාර් එක රන් කරන එකක්..යකෝ ඒකි මල්ටි චුට්ටගේ එකම නංගී බං"

Jun 16, 2011

Twilight Tubelight හෙවත් පමාවී වැටහුණු පෙම..

මේක කියෙව්වට පස්සේ ඔයගොල්ලන්ට හිතේවි මෙහෙම පොරවල් තාමත් මේ ලෝකෙ ඉන්නවද කියලා. ඉන්නවා..ඒකට මම සාක්ෂි. මේක මරු කතාවක් වගේම අන්තිමට ඛේදාන්තයක් වෙන්න ගිහින් නූලෙන් බේරිච්ච සිදුවීමක්. සමහර විට ‍ඒ සමාජ ක්‍රමේ වැරැද්ද නිසා වෙන්න පුළුවන් නැත්නම් අපේ එකාගේ වැරැද්ද නිසා වෙන්නත් පුළුවන්.

  කතානායකයා පසන්. මගේ අතිජාත මිත්‍රයෙක්.මිනිහා ටිකක් අමුතු පොරක් කෙල්ලෝ ගැන දැක්වුවේ ටිකක් ස්වාධීන මත. පොදු මතේට ලව් කිරිල්ල මිනිහා ප්‍රතික්ෂේප කරා. ඒ දවස්වල නිකමට වගේ මිනිහා මාතර සුප්‍රසිද්ධ සුද්දන්ගේ කාලේ හදාපු බාලිකාවක කෙල්ලෙක්ට ට්‍රයි කලා. ඒත් ඒක නිකං නමට වගේ. මොකද පසන්ගේ ආකල්ප ටිකක් පරස්පර විරෝධී වැඩියි. ඔන්න ඔය දවස්වල තමයි Twilight චිත්‍රපටයේ පලවෙනි කොටස ලෝකේ පුරා නැගලා යන්න පටන් ගත්තේ. මගේ යාළුවෙක් බලලා මටත් වරුණෙ කිව්වා විතරයි මටත් බලන්න හිතුනා.