Dec 9, 2017

සක්මන් යාගය - 5 වැනි කොටස


පසුගිය කොටස් සියල්ල මෙතැනින්

“මොකද ගනේගොඩ මහත්තයා..මොකක්ද ප්‍රශ්නේ?“

උත්තරයක් නොදී ජංගම දුරකතනෙත් අතේ තියාගෙන ගල්ගැහිලා බිරාන්ත වෙලා ඉන්න ගනේගොඩ මහත්තයාගෙන් නාරද සහෝදරයා ඇහුවා. පියල් සහෝදරයත් ඒ දිහා බලාගෙන හිටියේ ඒ ප්‍රශ්නාර්ථය එක්කමයි. 

“ටෙක්නිකල් හන්දියේ බෝම්බයක් පිපිරිලා..ආරක්ෂක ඇමතිතුමා එතනම මැරිලා..“

නාරදගේ නළල රැළිගැන්වුනේ තත්පරයෙන්. මොකද ඔහු ඒ වගේ ආරංචියක් කිසිසේත්ම මේ වගේ මොහොතක බලාපොරොත්තුවුනේ නැති නිසා වෙන්න ඇති. ඒත් එක්කම තමන්ට අහන්න වුණු අනපේක්ෂිත ප්‍රවෘත්තිය නිසා මොහොතකට වාරු නැතිව ගිය ගනේගොඩ මහත්තයා පුටුවේ වාඩිවෙලා හිටියා.

“මම දවසකුත් ගනේගොඩ මහත්තයට කිව්වනේ..ආන්ඩුව ඔය උතුරේ ප්‍රශ්නේ හත්පොලේ ගා ගන්නවා කියලා..දකුණේ ප්‍රශ්නවලට උත්තර දෙන විදිහට උතුරේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ගියානේ..“

නාදර එහෙම කියලා ගනේගොඩ මහත්තයාගේ පුටුව ලඟින් වාඩිවුණා. ගනේගොඩ මහත්තයා ගතින් හිටියේ පාදුක්ක සීමාවේ වුණාට හිතින් හිටියේ මරදාන ටෙක්නිකල් හන්දියේ සුන්බුන් අතරේ, තැනින් තැන වැටිලා තියන අත්කෑලි, කකුල් කෑලී, මස් වැදලි මැද්දේ. 

Nov 10, 2017

සක්මන් යාගය - 4 වැනි කොටස




මුළු කොළඹම අඳුර ගිලගන්න වෙලාවේෙ බම්බලපිටියට නුදුරින් පිහිටලා තියන මිත්‍රගේ බෝඩිම් කාමරයේ එදා ගොඩක්ම රෑ වෙනකල් විදුලි එළියක් දැල්වෙමින් තිබුණා. කැළණිතිස්ස බලාගාරෙට එල්ලවුණ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා දවස් දෙකක් තිස්සේ විදුලිය නැතිවෙලා තිබුණ එකත්, ඊටත් වඩා භයානක විදිහට කොළඹ ගෙන්දගම් පොළව උඩ පයගහලා යන මිනිසුන්ගේ හිතේ හොල්මන් කරන්න පටන්ගත්ත මරණ භය කියන එක නිසා රාත්‍රියට කොළඹ වෙනදටත් වඩා නිශ්ශබ්ද තැනක් බවට පත්වෙමින් තිබුණා. 

බොහොමයක් වෙලාවට අගනගරේ පාරක් පාරක් ගානේ හතු පිපෙන්න වගේ මතුවෙමින් තිබුණ හමුදා පොලිස් බංකර් තොගය මිනිස්සුන්ගේ ඒ අවිනිශ්චිතතාවය කියන ගින්නට හරි අගේට පිදුරු දැම්මා. දකුණේ පත්තුවෙමින් තියන ගින්න කොළඹටත් ඇවිත් තිබුණ නිසා ආරක්ෂක අංශ සීරුවෙන් හිටියේ උතුරේ, දකුණේ කියලා වෙනසක් නැතිව රාජකාරිය කරන්න.

එහෙව් කාලෙක මිත්‍රගේ බෝඩිමේ රෑ ලයිට් එකක් පත්තුවෙලා තියන එක මිත්‍රට ප්‍රශ්නයක් නොවුණට ඒක ප්‍රශ්නයක් වුණ බොහෝ දෙනෙක් හිටියා. ප්‍රශංශා සහ නිත්‍යා එක්ක ගංඟාරාමේ සීමාවේ ඇවිදින අතරම කතාකරපු දේවල් නින්ද මිත්‍ර කරා නොගෙන එන බැරියර් එකක් වෙලා තිබුණා. ඒත් මිත්‍ර උත්සහ කලේ මොකක්මහරි කල්පනාවක් දාගෙන ඒ හැමදේම නිරවුල් කරගෙන නිදාගන්න.

Nov 7, 2017

සක්මන් යාගය - 3 වැනි කොටස


පසුගිය කොටස් සියල්ල මෙතැනින් කියවන්න


සීනි ෆැක්ටරිය එක්ක කාර්මික ජනපදයක් වෙලා අම්පාර දියුණු වෙන්න එච්චර කාලයක් ගති නොවුණි. කර්මාන්තය ආශ්‍රිතව ජීවීකාව කරගත් ලක්ෂ ගණනක් ජීවත්වෙන ප්‍රදේශයක් ලෙස අම්පාර දියුණු වෙද්දී බොහෝ දෙනෙක් එදා සිතුවේ අම්පාර කවදහරි කොළඹත් පරදා කරනවා යනුවෙනි.

ඒ හැඟීම් ඇස්වහ කටවහ බවට පත්වුණා දේ සැක හිතෙන තරම් වේගයෙන් සීනි ෆැක්ටරිය කඩාගෙන වැටෙන්නට පටන් ගත්හ. මිත්‍රගේ ගම ෆැක්ටරියට වැඩි දුරක් නැති විසිදෙකේ කොළණිය. මිත්‍රගේ තාත්තා ජීවත් වුනේ ෆැක්ටරියේ උක් පටවන ට්‍රැක්ටර් ඩ්‍රයිවර් රස්සාවෙන්. 

ඒත් ෆැක්ටරිය එන්න එන්ම කඩාගෙන වැටෙද්දි පස්සෙ පත්වුණ ආන්ඩුව කලේ තමන්ව ආන්ඩු බලයට පත්කරන්න ලක්ෂ ගණන් වියදම් කරමු මුදලාලි කෙනෙක්ට ෆැක්ටරිය කුණු කොල්ලෙට විකුණලා දාපු එක.

“තිලකෝ..මටත් හෙට අනිද්දා ගෙදර නවතින්න වෙන පාටක් තියෙන්නේ..“

Nov 5, 2017

සක්මන් යාගය - 2 වැනි කොටස


පළමු කොටස මෙතැනින්


අඩ හෝරාවක් වත් ගතවෙන්න පෙර ඔහු සහ ඇය සිටි වාට්ටුව සොයා ගැනීමට නිත්‍යා සමත්විය. වාට්ටුවේ ඇඳක් ඇඳක් පාසා කලබලයෙන් සොයාබැලූ නිත්‍යාට අවසානයේ ඇය ලඟින් ඔහු සිටි තැන සොයාගැනීමට ද හැකිවිය. දුර සිටම කලබලයෙන් දිව එන ඩෙනිමකින් සහ සරල ටී ෂර්ට් එකකින් සැරසී එන නිත්‍යා අඳුනාගැනීමට ඔහුට ටිකක් වේලා ගතවිය.

ඔහු හිතන්නට ඇත්තේ නළලේ තිලක තියාගෙන, පා සලඹේ “චල් චල්“ හඬ “චලස් චලස්“ අනුසාරයෙන් දිව එන, සල්වාර් ඇඳුමකින් සැරසී බිම බලාගෙන එන නිත්‍යා කෙනෙකි. ඔහු එතැනින් අසමත් ය.

“මයි ගෝඩ්...ප්‍රශී ප්‍රශී..ඔයාට කොහොමද?“

ලඟ සිටි ඔහු දෙසද නොබලා නිත්‍යා ඇයගේ දුක්සැප විමසන්නට විය. ඇත්තටම ඔහු ඇයගෙන් මීට වඩා පිළිගැනීමක් බලාපොරොත්තු විය. නිත්‍යාගේ යෙහෙළියගේ සුවය වෙනුවෙන් මෙතරම් කට්ටක් කන තමන්ව අඩුම තරමින් අගයාවි කියා හෝ සිතා සිටිය නමුත් නිත්‍යාට ඒ ගැන නිනව්වක් නැත. මේකි නම් පුදුම ඩයල් එකක්..ෂික්..ඔහුට දැන් නිත්‍යා ගැන පුංචි අමනාපයක් ඇත.

Nov 2, 2017

සක්මන් යාගය - 01 කොටස



දහවල විසින් ගෙන එන සියලු ස්වාභාවික ප්‍රහාරයන් මිනිසා වෙත එල්ල කරමින් සිටියි. කොළඹ අහස යට හෙවණක් මෙන්ම නිවනක් ද නැතිව, තොර තෝංචියක් නැතිව දුවන කකුල්වල සිට පැටළුණු අවුල් ජාලාවක එක කොණක් ලිහාගනිමින් තවත් දෙකොණක් පටලවාගනිමින් ජීවිතය ගතකරන ශීර්ෂවලට ද ඒ ස්වාභාවික ප්‍රහාරයන් බලපෑම් කරයි. ඒ සියල්ල මැද ඔහු ප්‍රධාන මාර්ගය ඔස්සේ පා ගමනින් පසුකර යමින් සිටියේ කොටුව දුම්රිය ස්ථානයයි. 

නුවර ගොස් දළදා වැඳ මාලිගයේ පත්තිරිප්පුවේ ලස්සන ගැන හිත මත් කරගෙන, අනුරාධපුරයේ නැතිනම් පොළොන්නරුවේ ගල්කණු අතර ඇවිදිමින්, ඒවා අතපත ගාමින් මුතුන් මිත්තන්ගේ වැඩකිඩ ගැන පම්පෝරි ගසා අවසානයේ සුද්දා තනා දුන් දුම්රිය මාර්ගයේ, කසිකබල් මට්ටමටත් එහාගිය දුම්රිය පෙට්ටි කිහිපයක නැගී කොළඹට ඇවිත් වැස්සට අව්වට හෙවණට ඉන්නේ සුද්දා විසින්ම තනාදුන් දුම්රිය ස්ථානයේ වහල යටය. 

"ඔහු" ට “කොළඹ කොටුව දුම්රිය ස්ථානය“ යන නම දකින දකින වාරයක් පාසාම සිහිවූයේ මෙයයි. අද වෙනසකට තිබුණේ ඒ ඉදිරිපිට ගසා තිබූ අට්ටාලය වෙනස් වී තිබීමයි. මීට දින කිහිපයකට පෙර තිබූ “අධ්‍යාපන අයිතීන් කප්පාදුව නවතා දමව්!“ යන අට්ටාලය වෙනුවට අද, “රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපට අත නොතබනු!“ අට්ටාලය ඉදිවී ඇත. ඒ බැනරය යට කිහිප දෙනෙක් එරමිණිය ගොතාගෙන බවුන් වඩමින් සිටියහ.

Oct 25, 2017

මොටාගෙදර නම් විප්ලවීය සිත්තරා..


කලකට ඉහත ඩඩ්ලි සේනානයක මැතිඳුන් අගමැති ධූරය හෙබවූ එක්සත් ජාතික පක්ෂ රජයේ පාලන සමයේ පාන් ගෙඩියේ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රටතුල දැඩි ආන්දෝලනයක් ඇතිවිය. ඒ මොහොතේ පාන් ගෙඩිය සම්බන්ධව ඩඞ්ලිගේ බොරු පොරොන්දුව විවේචනය කරන්නට එවකට කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ ’ඇත්ත’ පත්තරේ දේශපාලන කාටූනය ඩඞ්ලිට එල්ලකර තිබුණේ කණේ පහරකි. ඒ පාණ්ගෙඩියක් දෙඅතේ සිරස්ව තබාගෙන ත‍්‍රිභංග ලීලාවෙන් සිටින ඩඞ්ලිගේ කාටූනය යටින් ’පචබාහු’ ලෙසින් සඳහන් කරමින්ය. එවකට මේ කාටූනය දකින්නම ලක්ෂ ගණනක් දෙනා ඇත්ත පත්තරය මිලට ගෙන තිබිණි. ඒ කාටූනය යටින් තිබුණේ එකම එක අත්සනකි. ඒ මොටාගෙදර යි.

1933 අවුරුද්දේ පෙබරවාරි 16 මාතර නගරයට සැතපුම් තුනක් ඔබ්බෙන් මොටාගෙදර ගමේ උපන් මොටාගෙදර වනිගරත්න නමැති චිත‍්‍ර ශිල්පියා යනු අද මෙරට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම චිත‍්‍ර ශිල්පියා බවට අවිවාදයෙන් සඳහන්කල හැක. එහෙත් තවමත් ඔහුගේ නලියන දෙඅත මැජික් ශිල්පියෙක්ගේ දෑත් පරිද්දෙන් පින්සල සහ වර්ණ සමග මුසුව කැන්වසය මත සොඳුරු සිතුවම් මැවෙන්නේ නුදුරු දිනකදී චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වීම අරමුණු කරගෙනය. මොටාගෙදර ගම්මානයේ කෙළවරක ඇති මහාර්ඝ කලාගාරයක් බඳු ’කලාකෙත’ නම්වූ මොටාගෙදර වනිගරත්නයන්ගේ නිවහනට ගොඩවූයේ ඒ විප්ලවීය සිත්තරා සමග මොහොතක් අතීතයට පියමනින්නය.

Oct 17, 2017

ගහගනින් තොගේ කඩ්ඩ ජොකා අස්සේ


පුස්තකාලෙ පරික්ෂා කරන්න යන්න පෝලිම් ගැහෙන්න කියලා කිව්වම බයක් සැකක් නැතිව සයිඞ් බෑග් එකත් අරගෙන ගිහින් ගෑණු ළමයි දෙන්නෙක්ගේ පිටිපස්සෙන් පෝලිමට එකතුවුණේ හරියටම විශ්වවිද්‍යාල ජීවිතේ හතරවෙනි දවසේ. උදේ හතහමාරට විතර පෝලිම් ගැහිලා පුස්තකාලේ බලන්න හා හා පුරා කියලා යන්න හිටිද්දි සැණෙකින් වුනේ ඇගේ මයිල් කෙලින් වෙන වැඩක්. මෙච්චර දවසක් හරි අපූරුවට එකකුස උපන් සහෝදර සහෝදරියෝ වගේ සලකපු සීනියර්ලා මළයක්කු වගේ කුණුහරුප කියාගෙන කඩාගෙන පැනලා කොලර් එකෙන්, බෙල්ට් එකෙන් අල්ලගෙන අමු අමුවෙන් බැණගෙන යනවා.

"ගලවපිය තොගේ සපත්තු දෙක..ගලවපිය මේස් දෙකත්..මේස් දෙක ඉණේ ගහගෙන සපත්තු දෙක අත්දෙකේ දාගනින්..."

මහතග දානවා කියලා පාන්දර වරුවෙම සීනියර්ලා කලේ කැම්පස් එකට හා හා පුරා කියලා පයගහපු අලුත් කොල්ලෝ කෙල්ලෝ ටික බයකරලා අලූත් සංස්කෘතියට හුරුකරනවා කියලා කරපු මෙහෙයුමෙන් කොල්ලෝ හතර දෙනෙක්ට සහ කෙල්ලෝ හත් දෙනෙක්ට කලන්තේ දාලා තිබුණා. තඩි සයිස් දඩ කොල්ලෝ පවා හොටු පෙරාගෙන අඬන තත්ත්වෙකට පත්වෙලා තිබුණා.

Oct 12, 2017

කෘත්‍රීම බුද්ධියකට පෙම් බැඳ... (Her)



අතීතයේ ඉඳලම මානව සම්බන්ධතා අතරේ ආදරය කියන හැඟීම,බැඳීම සම්බන්ධයෙන් තිබෙන්නේ බොහොම මටසිළුටු ආකල්පයක්. ඒ වගේම තමයි ආදයර කියන දේ ඇතිවෙන්න පුළුවන් ජීවීන් දෙදෙනෙක් අතර කියන සාමාන්‍ය සංසිද්ධිය පුරාතන,මධ්‍යතන වගේම පුනරුදය පසුකරලා එන නූතන යුගය තුලත් සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. ඒ අතරේ විවිධ සංකල්ප එක්ක, සත්ත්ව කොට්ටාශ එක්ක, ද්‍රව්‍ය එක්ක ආදරය බෙදාහදාගත්ත මිනිස්සු නොහිටායම නෙවෙයි. ඒත් කෘත‍්‍රීම බුද්ධියක් (Artificial Intelligence) සමග මිනිසෙක් පෙමින් බැඳීම කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතන්දරයක්.

2013 වර්ෂයේදී තිරගතවුණ අමරිකානු චිත‍්‍රපට අධ්‍යක්ෂක ස්පයික් ජෝන්ස් අතින් ලියැවිලා ඔහු අතින්ම සිනමා පටයක් බවටත් පත්වුණ Her චිත‍්‍රපටය පුරා දිවෙන්නේ කලින් කතාකරපු කෘත‍්‍රීම බුද්ධියක් හා මිනිසෙක් අතර ආදර කතාවයි. ඔස්කාර් සම්මාන උළෙලේ වසරේ හොඳම චිත‍්‍රපටය ඇතුළු සම්මාන ගණනාවක් මෙන්ම රටවල් ගණනාවක සම්මාන ගණනාවක් දිනාගන්නට සමත්වුණ මේ චිත‍්‍රපටය මානවයාගේ අභ්‍යන්තරයේ සැඟවුණු නොනිම් ආදරය ගැන කියාදෙන්නේ බොහොම අපූරු කතාවක්. තියඩෝර් කියන්නේ වෘත්තීයමය ලියුම් ලියන්නෙක්. ඒ කියන්නේ තමන්ගේ හිතවතුන්ට ලියුම් ලියන්නට,සැප දුක විමසන්නට කාලය අඩු පුද්ගලයින් වෙනුවෙන් ලියුම් ලිවීම සම්බන්ධයෙන් වෘත්තීය සිදුකරන පුද්ගලයෙක්. තමන්ගේ කුඩා කාලේ මිතුරිය එක්ක විවාහවෙලා අන්තිමේදී ඒ විවාහය දෙදරලා ගිහින් දික්කසාදයේ කෙළවර ඉන්න තියඩෝර් තමන්ගේ පුද්ගලික කටයුතුවල පහසුව වෙනුවෙන් මිලදී ගන්න අලූත්ම උපකාරක පරිගණක මෙහෙයුම් පද්ධතිය බොහොම තාක්ෂණයෙන් ඉහළ එකක්. සමන්තා කියලා තමන්ම හඳුන්වාදෙන ආකර්ෂණීය කාන්තා කටහඬක් හිමි මේ මෙහෙයුම් පද්ධතිය තියඩෝර්ගේ හැඟීම් අවබෝධකරගන්න පුළුවන් මට්ටමේ දියුණු පද්ධතියක්.

Oct 11, 2017

ලෑන්ඩ් සේල් සමාගම් වලට පිංසිද්ධ වෙන්න...!


පහුගිය දවසක බණ්ඩාරගම පැත්තේ ලෑන්ඞ් සේල් එකකට හොඳ රබර් යායක ගස් පෙරලලා දාලා ගොඩ කරනවා. තාමත් කිරි කපන්න පොත්ත පළුදු කරපු තැන්වල ඔට්ටපාලූ ඉතිරිවෙලා තියන මහා රබර් ගස් එක එක පෙරලිලා බිමට වැටෙනවා. අක්කර ගණනක රබර් යායක් හෙට අනිද්දා පර්චස් එක ලක්ෂ ගණනකට විකිණිලා යනවා. දවසින් දවස වැඩිවෙන ජනගහනයට හරියන්න ඉඩම් කට්ටි ප‍්‍රධාන නගර ආසන්නයෙන් විතරක් නෙවෙයි ගම්පළාත්වලින් පවා වෙන්වෙනවා. ඒ බිම්කට්ටි බවට පත්වෙන්නේ කලින් කිව්වා වගේ ලක්ෂ ගණන් මිනිස්සු බඩවියත රැකගත්ත, කෝටි ගණන් සල්ලි රටට හම්කරලා දීපු වටිනා බව භෝග තිබුණු ඉඩකඩම්. එහෙව් ඉඩකඩම් එළිකරලා කට්ටි කරලා විකුණන සංකල්පය ලංකාවට එන්නේ මීට දශක කිහිපයකට කලින්. ඊට පස්සේ පඳුරකට ගැහුවම දහයක් පහළොවක් විසිවෙන තරමට ලෑන්ඞ් සේල් සමාගම් බිහිවෙන්න පටන්ගත්තා.

Aug 17, 2017

රනිල් වික්‍රමසිංහ Naughty Forty


සාමාන්‍යයෙන් කියන්නේ මිනිස්සු අවුරුදු 40 වයසට ආවම ටිකක් විතර නෝටි එහෙම නැත්නම් ශිෂ්ට සම්පන්න නොවන දේවල්වලට පෙළඹෙන්න ටිකක් වැඩි ඉඩක් තියනවා කියන එක. ඕක මේ ආසියාතික සමාජයේ එහෙම ලොකුවට පිළීගන්න වත් විශ්වාස කරනවත් සංකල්පයක් නෙවෙයි ( සමහරවිට ඒකට හේතුව වෙන්න ඇත්තේ ආසියාවේ එවුන් බඩගාන කාලේ ඉඳන වලපල්ලට යන දවස දක්වාම නෝටි එවුන් නිසාද විය හැකියි) ඒත් මේ බටහිර රටවල් පිළිගන්න නෝටි ෆෝටි කතාව නැත්නම් දඟකාර, නරක හතලිහේ කතාව රනිල් වික්‍රමසිංහ සිරිමතාණන්ට අදාල වෙන විදිහ ටිකක් කල්පනා කරන්න වෙනවා.

මේ දවස්වල කොළඹ පුරා බෝඩ් ගහලා, බැනර් ගහලා තියනවා රනිල්ගේ 40 ට අපේ සුබ පැතුම් කියලා. දන්න තරමින් අවුරුදු 70ටත් ලඟ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෝටි ෆෝටි පැනලා දැන් හොට බිම ඇනෙන කාලේ. ඒත් ඉතින් පුරාණ චීන රජවරු එහෙම අවුරුදු අසූව අනූවේදීත් නෝටි වී ඇඳ උඩම නැත්නම් ගෑණු බඩ උඩම වලකජ්ජ ගැසූ පුවත් අපමණ අසා ඇති නිසා 70 පැන්නත් රනිල්ටත් මහින්දලා මෙන් නොටි සෙවන්ටි වෙන්නත්  බැරි නැත. එහෙත් ලංකාවේ ආර්ථිකේ හදන්නම ඔළුව වෙහෙසලා පිස්සෙක් වගේ..පිස්සෙක් වගේ ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට කොහෙද නෝටි වෙන්න වෙලාවක්ද.

Aug 15, 2017

නයි දපනේ දාන මුගටි බැල්ම - ආත්මීය සටහන් 03


මීට කලින් ලියපු ආත්මීය සටහන කියවන්න නම් මෙතැනින් අවස්ථාව තියනවා. කොහොමහරි මීට අවුරුදු ගාණකට කලින් හා හා පුරා කියලා මුල්ම රස්සාව කරන්න තෝරගන්න සිද්ධවුනේ රාජ්‍ය නොවන සංවිධානයක. නැත්නම් එන්.ජී.ඕ එකක. ඒ කාලේ ලංකාවේ එන්.ජී.ඕ වලට එච්චර හොඳ කාලයක් නොවුනත් ප්‍රාදේශීය එන්.ජී.ඕ එකක ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක වැඩබාරගන්න ඉන්ටර්වීව් එක එක පැත්තකින් එච්චර අමාරුවුනේ නෑ, අනිත් පැත්තෙන් එච්චර ලේසි වුනෙත් නෑ. මොකද ඉන්ටර්වීව් එකට වාඩිවුණ අදාල රාජ්‍ය නොවන සංවිධානේ අධ්‍යක්ෂක තැන මට කිව්වේ අත්බෝම්බයක් අරගෙන අතේ පුපුරගන්න හිතෙන කතාවක්.

"පුතා මේක කාන්තාවන් සවිබලගැන්වීමේ ව්‍යාපෘතියක්..මේකේ ඔයා අයදුම්කරපු තනතුර නිර්දේශකරලා තියෙන්නෙත් ගෑණු කෙනෙක්ට..ඔයා හිතනවද ඔයාට කාන්තාවන්ගේ හැඟීම් තේරුම් අරගෙන මේ ජොබ් එක හොඳට කරන්න පුළුවන් කියලා."

Aug 10, 2017

අපේ මන්ත්‍රීතුමාගේ සුන්වූ බලාපොරොත්තුව - ආත්මීය සටහන් 02


ඒ දවස්වල එක දවසක් ඉස්කෝලේ ගිහින් එනවා කියන්නේ සෑහෙන්න ලොකු ව්‍යාපෘතියක්. ඒ දවස්වල කිව්වේ ඉස්කෝලේ පහ වසරෙදි විතර. උදේ 6 ට වත් අඩුම ගානේ නැගිටින්න ඕන. ගෙදරට පහළින් තියන ළිඳ ලඟට යන්න ඕන, බඹ 11 ක් විතර ගැඹුර ලිඳෙන් වතුර ඇදලා රෑ නින්දේ මලවිකාර ටික හෝදලා දාන්න ඕන. පස්සේ හරකා මස්කඩේට දක්කන්න කලින් ඇඳුම් එහෙමත් අන්ඳවනවා වගේ නිල්පාට කලිසං කොටේ එක්ක සුදුපාට ෂර්ට් එක අඳින්න ඕන. සපත්තුනම් දානේ අපිට ඕන දවසට. ඒකට අභිමතානුසාරී බලය ඉස්කෝලෙන් අපිට පවරලා තිබුණා ඒකමතිකවම. ඔහොම ඇඳගෙන කන්න දෙන දෙයක් එහෙමත් ඔතාගෙන බෑග් මල්ලට දාගෙන හපුතලේ යනවා වගේ වැනි වැනි ගෙදර ඉඳන් මීටර් පන්සීයක් විතර දුරින් තියන පොඩි ඉස්කෝලෙට යන්න ඕන. සීමන් සීයලගේ වෙරළු ගහ, හන්ඳියේම තියන ගුළු ගහ, හන්දියට එහායින් තියන පෙට්ටි අඹගහ, ඊටත් එහායින් තියන බට් අඹගහ ඉස්කෝලෙට පොඩ්ඩක් මෙහාට වෙන්න පාර අයිනේ තියන කාබරංකා ගහ වගේ ස්ථාන ගණනාවක් පහුකරලා හවස මුණගැහෙන්නම් කියලා යන එක ලේසි පහසු වැඩක් නෙවෙයි.

ඔය හැමදේටම වඩා ඒ දවස්වල අමාරුම වැඩක් තිබුණා. හරියටම ඉස්කෝලේ වැට මායිමට මෙහා පැත්තේ තිබුණ කඩකාමර දෙකෙන් වම් පැත්තේ කඩකාමරේ තිබුණේ බාබර් සාප්පුවක් (දැන් නම් සැලූ....න්) දකුණු පැත්තේ කඩේ තිබුණේ ටේලර් සාප්පුවක්. ඔන්න ඔය ටේලර් සාප්පුවේ හිටියා මහ අලුගුත්තේරු කොල්ලෙක්. උගේ නම තමයි සම්පත්. අපේ තාත්තාගේ හිත මිත්‍රයෙක්ගේ පුතෙක් වෙච්ච මේ සම්පතා උදේ 7 ට විතර ටේලර් සාප්පු ඇරලා කටබලියං ඉන්නේ මම ඔතන ඉස්සරහින් ඉස්කෝලෙට යනකන්. මගේ අවාසනාවකටදෝ මන්දා ප්‍රධාන පාරෙන් යනවා ඇරෙන්න වෙන විකල්ප පාරක්වත් තිබ්බේ නෑ. ඔය සම්පතා ටේලර් කෙනෙක් වුණාට මොකද ඕකට තිබ්බේ මහා එපාකරපු කටක්. හැමදාම මම උදේ බැරි බැරි ගානේ ශිෂ්‍යත්වේ කාලේ ඉස්කෝලේ යද්දි මේ යකා කඩේ ඉඳන් කියනවා ගමටම ඇහෙන්න.

Aug 2, 2017

රාවණාගේ ලංකාපුරය සීගිරියද?




හින්ඳුන්ගේ මූලග‍්‍රන්ථයක් ලෙස සැලකෙන මහාභාරතය පෙරදිග ඉතිහාස වෘත්තාන්තය පිළිබඳ තතු කියන වැදගත් මූලාශ‍්‍රයක් ලෙස අදටත් විශ්වාස කෙරේ. මහාභාරතය තුලින් රාම නැමති වීර චරිතය සහ රාවණ නම්වූ එදිරිවාදී චරිතය ගොඩනගා ඇති අතර විවිධ විද්වතුන් මේ රාම සහ රාවණ පුවත විවිධාකාරයෙන් විග‍්‍රහ කරති. ඇතමෙක් සඳහන් කරන ආකාරයට රාම සහ රාවණ යනු සජීවී සත්‍ය වෘත්තාන්තයක චරිත නොව එය උපදේශ ග‍්‍රන්ථයක එන නිමිති දෙකක් පමණක් බවට තර්කයක් ගොඩනගා ඇත. ඒ අනුව රාමයනු හොඳබවත්, ’රාවණයනු නරකබවත් මත පලකර ඇත. එහෙත් රාමායණය හුදෙක් නිමිත්තක් ලෙස සලකා පසෙකට දැමිය හැකි මිත්‍යාවක් නොව, ඉන් එහා ගිය සාධක ඒ තුළින් හමුවීම නිසා තවත් විද්වතුන් පිරිසක් එය දක්ඛිණ පෙරදිග ඉතිහාසය නැමති ද්වාරය විවර කරන යතුරක් බවට හඳුන්වති.

රාවණ සම්බන්ධ ඉතිහාසය ලාංකිකයන්ට වැදගත්වන්නේ රාවණ නම් චරිතයක් ලංකාව තුල විසුවේ නම් එය ලංකාවේ ඉතිහාසය ගවේශණය කරන්නන්ට ඉහළ පිටුවහලක් බවට විවාදයක් නැත.

Jul 27, 2017

SEX, ඉරාජ් සහ තවත් කතා


අප පාසල් යන සමයේ අපේ ගම් පළාතේ චන්දන නමින් තරුණයෙක් ජීවත්විය. දක්ෂ වඩු කාර්මික ශිල්පියෙකුගේ එකම පුත්‍රයා වූ චන්දනට වඩු කාර්මික ශිල්පය ගුරුමුෂ්ටි නොමැතිවම ප්‍රදානය කිරීමට ඔහුගේ පියා කටයුතු කරන ලදි. එයින්ද නොනැවතී තමන්ගේ සහජ හැකියාවක් වූ කැටයම් ශිල්පය සහ පොල්කටු ආශ්‍රිත නිර්මාණකරණයද ප්‍රගුන කල චන්දන තමන්ගේ ජීවිකාව ලෙස කලේ කැටයම් නිර්මාණකර අලෙවි කිරීමයි.ගමේ පමණක් නොව අසල ගම්වලද පන්සල්වල ප්‍රමුඛ තරුණ දායකයෙක් මෙන්ම ගමේ සමිති සමාගම්වල ඉතා යහපත් ක්‍රියාකාරී චරිතයක් වූ චන්දන ප්‍රකට තරුණයෙකි. 

ප්ලාස්ටික්,සිමෙන්ති සමගින් ගෙවල් ලස්සන කරගන්නා මිනිසුන් ජීවත්වන සමාජයක ලී කැටයමට ඇති ඉල්ලුම එන්න එන්නම අඩුවීමෙන් චන්දන පත්වන්නේ බරපතල ආර්ථික ප්‍රශ්නයකටය.අවසානයේ ලී කැටයක් පාර අයිනේ තබාගෙන විදේශිකයන්ට සහ ස්වදේශිකයන්ට විකුණා කීයක්හරි හොයාගෙන ජීවිතය ගැටගසාගත් චන්දනට අවසානයේ එයද වැඩිකල් කිරීමට ඉඩක් නොලැබුනේ අලෙවිය එතරම් සාර්ථක නොවූ නිසාය. දහඅතේ කල්පනා කරමින් පවුල ආරක්ෂා කරන්නට තැත්කල චන්දනගේ උදව්වට එන්නේ පාසල් සමයේ ඔහුගේ මිතුරෙකු වූ ප්‍රසන්නය, නවීන පන්නයේ මෝටර් රථයක් පවා හිමි කිසිඳු දෑතේ කර්මාන්තයක් නොදන්නා ප්‍රසන්න දෑතේ කර්මාන්තයේ ප්‍රවීණයෙක් වූ චන්දනගේ ආර්ථිකය ගොඩගන්නට අත දෙන්නේ ඔහුගේ මනසට නව කැටයම් වෙනුවට කේරල ගංජා ඇතුලත් කිරීමෙන්ය. 

Jul 23, 2017

වරද : ලිංගික අතවර කිරීම, දඬුවම : විදේශීය ශිෂ්‍යත්වයක්..


වරක් අප පාසලේ දරුවෙක් නව නිර්මාණයක් බිහිකිරීම නිසා ලංකාව තුලදී සම්මානයට පාත්‍රවිය. ඒ දරුවාට එම නිර්මාණය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය තාක්ෂණික ඥානය ලබාගැනීම සඳහා කෙටිකාලීන විදෙස් ශිෂ්‍යත්වයක් ලබාදෙන ලෙස පාසලේ විදුහල්පතිවරයා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයා ඒකමතිකව කල ඉල්ලීමට ආන්ඩුව හිත්පිත් නැතිලෙස පයින් ගැසුවේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව නැති බව කියමින්ය.

මීට කෙටිකලකට පෙර විදේශ අමාත්‍යංශයේ අවුරුදු ගණනක් එකතැන පල්වෙමින් සිටින පැවති ආන්ඩුවට මෙන්ම මේ ආන්ඩුවටද එකසේ කඩේ යන උසස් නිලධාරියෙක් අමාත්‍යංශයට අලුතෙන් ස්ථාන මාරුවක් නිසා පැමිණි රූමත් කළමණාකරණ සහකාරවරියකට තම කාර්යාල කාමරය තුලදී ලිංගික අතවර කිරීමේ සිදුවීම අමාත්‍යංශය තුල ප්‍රධාන මාතෘකාවක් වූවත් අදාල ඉහළ නිලධාරියාගේ බලපෑම් මත දේශපාලන බලයද සමගින් මාධ්‍යයට හෝ රටට එතරම් හෙළිදරව් නොවීය. විදේශ අමාත්‍යංශයේ පෙරකී ඉහළ නිලධාරියා දවසට කිහිපවරක්ම හරිහමන් හේතුවක්ද නොමැතිව විටින් විට අදාල රූමත් නිලධාරිනිය තම කාර්යාල කාමරයට ගෙන්වා ගැනීම සති ගණනක් තිස්සේ සිදුව ඇත. 

Jul 20, 2017

මැරුණම දුක හිතෙන්නේ බල්ලෝ ගැන විතරමද?



පසුගිය දිනවල ලංකාවේ මාධ්‍යවල මෙන්ම දන මන තුඩ තුඩ රැව්දුන් මාතෘකාව වූයේ මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ නිදැල්ලේ සිටි සුනඛයන් රැසක් විෂ ශරීරගත කර මරා දැමීම සහ වෙනත් ප්‍රදේශයක වළදැමීමේ පුවතය. ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනයට පමණක් නොව සරසවි ශිෂ්‍යයන්ට පවා බරපතල වාග් විවේචන එල්ලවනු දැකිය හැකිවිය. කිසිඳු තර්කයක් නැත එය අමුම අමු නින්දිත ඝාතනයකි. මැරෙන්නේ සතාද මනුෂ්‍යාද යන සාධකය ඝාතනය යන වචනයනයට වෙනස් අර්ථයක් හිමිවන්නේ නැත. ඒ නිසා විෂ ශරීරගත කර සතුන් පිරිසක් මරා දැමීම කෲරතර ඝාතනයකි. ඒ සඳහා නීතියෙන් දඬුවමක් නැතත් ස්වභාව ධර්මයා විසින් දඬුවම් පැමිණවීම කවදා හෝ සිදුවනු ඇත.

විශේෂයෙන්ම බුද්ධ දර්ශනය ප්‍රමුඛ කොටගත් රටක් ලෙස යම් පුද්ගලයෙක් බෞද්ධයෙකු ලෙසින් පිළිපදින්නා වූ ප්‍රථම ප්‍රතිපදාවේ පළමුවැනි සංකල්පය වන්නේද "පාණාතිපාතා" හෙවත් පණඇති සත්ත්වයින්ගේ පණ නැසීම උල්ලංඝනය කිරීම හේතුවෙන් මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය සාධාරණය. සමාජ ජාලවල, මාධ්‍යවල පලවුණු වේදනාවිඳ මිය ගිය සුනඛයන්ගේ ඡායාරූප වලින් හදවත තෙත්වූ සංවිධාන,පුද්ගල කණ්ඩායම්, පුද්ගලයින් එල්ලකර චෝදනා ප්‍රධාන ලෙසම මානව වර්ගයා සතු සංවේදීත්වය පදනම් කරගත් ප්‍රතිචාරයන්ය.

Jul 14, 2017

ලංකාවේ දුප්පත්කමට හේතුව අමනකමද? - ජීවන ප්‍රනාන්දු සහ අජිත් පැරකුම්ගේ ලිපිවලට පිළිතුරක්



අජිත් පැරකුම් මහත්මා සහ ජීවන ප්‍රනාන්දු මහත්මා තමන්ගේ ලිපිවලින් සාධක සහිතව පෙන්වා දී ඇති ආකාරය අනුව ලංකාවේ දුප්පත්කමට හේතුව ඉතාමත් සරල උත්තරයකි. එනම් අමනකමයි, අජිත් පැරකුම්ගේ ලිපියෙන් එය තවත් සාධනීය ලෙස කරුණු ගෙනහැර දක්වමින්ද පෙන්වා ඇත. ඒ කරුණු සියල්ල සත්‍යය එය සම්බන්ධයෙන් ගැටළුවක් නැත. නමුත් ලංකාවේ දුප්පත්කමට හේතුව යන සමාජ,ආර්ථික සහ දේශපාලනික ප්‍රශ්නයට පිළිතුර එතරම් සරල එකක්ද? යන ගැටළුව මෙහිදී පැන නගී.

ලංකාවේ ආර්ථිකය නිරපේක්ෂව හෝ සාපේක්ෂව බැලූකල්හි දුර්වල මෙන්ම පසුගාමී ආර්ථිකයකි. රටේ ජනග්‍රහනයෙන් ඉතා සුළු පිරිසක් අතර රටේ සමස්ත ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් බෙදී යන අතර ඒ හේතුවෙන් නිර්මාණය වන ආදායම් විෂමතාව නිසාවෙන් රටේ බහුතරයක් දුප්පත් මිනිසුන් ලෙස ලේබල් ඇලවී තිබේ. ලංකාවේ සිටින ඇතැම් ව්‍යාපාරිකයන්, දේශපාලඥයන්ගේ වාර්ෂික දළ ආදායම ක්‍රමවත් ලෙස ලයිස්තුගත කළහොත් එය සිතාගැනීමට පවා අසීරු අංකයක් ලබාදෙන විශ්ලේෂණයක් වනු ඇත. එසේනම් ඇත්තටම ලංකාවේ දුප්පත්කමට හේතුව අමනකම හෝ අදාල මහත්වරුන් සඳහන් කළ කරුණු කිහිපයට කැටිකල හැකි කරුණක් නොවන්නේය. 

Jun 13, 2017

මළ යකාගේ ආරූඪය - ආත්මීය සටහන්


ඉස්සරම දවස්වල. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහින් ඉවරවුණු කිට්ටුව නව යොවුන් කාලේ ඉඳන් දැළි රැවුල එක්ක යෞවන කාලෙට බල්ටියක් ගහන කාලේ හරි පොඩි දේටත් තරහා යන්න පටන් ගන්නවා. හොඳට කියන දේවල් ඇහුනෙත් වැරදි කියනවා වගේම තමයි. ඒ කාලේ වැඩියෙන්ම පේන්න බැරි උපදෙස් දෙන්න එන වැඩිහිටියෝ තමයි. ඒ නිසාම වැඩිහිටියෝ පෙනුනේ හිටියා වැඩි ඇත්තෝ විදිහට තමයි. පේන්නම බැරි අය අතර දකින්න කතා කරන්න වැඩියෙන්ම කැමති ඇත්තෝ වෙන්නේ උපදෙස් නොදෙන වගේම වැඩිදුර ඉගනීම් ගැන, රස්සා ගැන අහන්නේ නැති, හැබැයි විහිළුවට වගේ ලව් හුටපට ගැන අහන කතා කරන උදවිය තමයි.

ඔන්න ඔය කියන කාලේ ගත කරද්දි නෑදෑ හැත්ත බුරුත්තක්ම පරවේණි පදිංචියට ටැග් ගැහිලා හිටපු ගමක ජීවත් වෙන්න සිද්ධවුණ මට තිබුණ ප්‍රධානම ප්‍රශ්න ටිකත් කලින් කියපු ඒවම තමයි. දකින් දකින කෙනාගෙන් කෝටියක් උපදෙස්. අරක හොඳයි, මේක නරකයි. ඒකත් වැරදියි, මේකත් වැරදියි. ඔන්න ඔය වගේ හිසරද එක්ක විභාගේ ඉවරවෙලා ගෙදර ටිකක් නිදහසේ ගතකරපු කාලේ ගෙදර වහලයට ඉන්න බැරි තත්ත්වයක් උද්ගත වෙන්නේ ඔය කලින් කියපු කොට්ඨාශ දෙකෙන් පළවෙනි කොට්ඨාශයේ ඇත්තෝ නිසා. ගොඩක් වෙලාවට දිරවගන්නම බැරි කතාවක් ඇහුණම ගෙදරත් එක්කත් රණ්ඩුවක් හදාගෙන එළියට බහින්න වෙනවා. මොකද ගෙදර උදවියත් රටේ තොටේ මිනිස්සුන්ගේ අදහස්,උදහස් වලට එකත්පස්ව එකඟවෙලා මටම දෝශාරෝපණය කරනවා මිස මගේ පැත්තට කිසිම සහයෝගයක් නොදෙන නිසා.

Jun 3, 2017

සුසන්තිකාලා සහ දයාසිරිලා


සුසන්තිකා ජයසිංහ යනු මෙරට මලල ක්‍රීඩාව ලද සුපිරිතම සම්මානය බවට හැඳින්වූවාට කිසිඳු වරදක් නැත. හද්දා පිටිසර ගමකින්, කොස් දෙල් කා ක්‍රීඩාවට පිවිසි සුසන්තිකා අපේ මතකයේ රැඳී ඇති සමයේ ලෝකයම හෙල්ලූවේ ශ්‍රී ලංකාව නම් පුංචි දිවයිනේ හයිය 2000 සිඩ්නි ඔලිම්පික් උළෙල අවස්ථාවේ මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා දෙමින්ය. එකල සුසන්තිකා “ආසියාවේ කළු වෙළඹ“ ලෙස හැඳින්වූයේ ඇය ලංකාවට පමණක් නොව ආසියාවටම ආභරණයක් වූ නිසාවෙන්ය. 2007 අවුරුද්ද වන විට ඇය ඔලිම්පික් රිදී පදක්කමක් (මේරියන් ජෝන්ස්ට රන් පදක්කම අහිමිවූ නිසා), ලෝක මළල ක්‍රීඩා ශූරතා තරඟ වෙනුවෙන් එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්, ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් එක් රන් පදක්කමක්,රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක්, ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 6ක් සහ රිදී පදක්කමක් සමගින් ජයග්‍රහණ ගණනාවක් ලංකා ධජය ඉදිරියේ තබා ඇත. සුසන්තිකා තරම් ලංකාවට මලල ක්‍රීඩාවෙන් ජයග්‍රහන ගෙනා ආ කිසිවෙක් නොමැති. එසේම ක්‍රිකට් වලින් පමණක් ජාත්‍යනතරය දිනා සිටි ලංකාව මලල ක්‍රීඩාවේ නමින් ලෝකය පුරා සන්නිවේදනය වන්නේ සුසන්තිකා, දමයන්ති දර්ශා, ශ්‍රීයාණි කුලවංශ,සුගත් තිලකරත්න වැන්නවුන් නිසාය.

May 22, 2017

වැල්ලවත්තේ අනතුරේ වරදකරුවා හිරේ - එතකොට මීතොටමුල්ලේ?


පහුගිය මැයි 18 වෙනිදා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව පිටිපස්සේ රථගාල එක්කම තිබෙන මහල් ගණනාවකින් යුත් ගොඩනැගිල්ල කඩාගෙන වැටිලා කීපදෙනෙක් මියගියා, තවත් විශාල ගණනක් තුවාල ලැබුවා. මේ ගොඩනැගිල්ල කඩාගෙන වැටෙන්නේ ගොඩනැගිල්ල තුල පිරිසක් රැඳී සිටින අවස්ථාවකයි. කොහොම වුනත් එක පැත්තකින් මේක බරපතල අනතුරක්, අනික් පැත්තෙන් ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට එල්ලවන වේගවත් අතුල් පහරක්.

මෙගාපොලිස් ඇමති සහ කොළඹ නාගරික කොමසාරිස් හැකි ඉක්මණින් බෝලය පාස්කරලා කිව්වේ අනුමත සැලසුමෙන් පිට ගොඩනැගිල්ල ඉදිකරපු එක අනතුරට හේතුවයි කියලා. ගමක හද්ද කැලෑවේ ඉඩමක අනවසර තාප්පයක් බැන්ඳත් අදාල පළාත් පාලන ආයතනයේ ටී.ඕ(තාක්ෂණික නිලධාරී) ඇවිත් තහනම් කරන රටේ කොළඹ නගරය ආසන්නයේ තඩි බිල්ඩිමක් අනුමත සැලසුමෙන් පිට හැදුවේ නිකම්ම නෙවෙයි කියන එක ඕන ගොනෙක් දන්නවා. දැන් මෙතන මේ බිල්ඩිම විතරක් නෙවෙයි කොළඹ තියන බොහොම තට්ටු ගොඩනැගිලිවල ඉදිකිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් සහ අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වෙලා තියනවා. ඒක නිසා අනෙක් ගොඩනැගිලිවලත් තත්ත්වය පරික්ෂාකරලා බලන එක නුවණට හුරුයි.

May 21, 2017

දළදා වහන්සේ වසර 43ක් තිස්සේ රැකගත් කුරහන් ගල තිබෙන දෙල්ගමුව විහාරය සොයා යාම

දෙල්ගමුව විහාරයේ පිළිමගෙය (පිවිසුම් තොරණේ සංකේතවත්වන කුරහන් ගල)
අපේ අරමුණ වුනේ කුඩා කාලයේ අපි අසා තිබුණ වගේම අපේ මතකයේ කොතනක හෝ හොඳින් රැඳී ඇති ස්ථානයක් හොයාගෙන යාම සඳහාය. මෝටර් බයිසිකලය පැයට කිලෝමීටර 50 ක විතර වේගයෙන් ඇහැළියගොඩ නගරය පැත්තේ ඉඳගෙන පරකඩුව පහුකරගෙන කුරුවිට නගරය පැත්තට ගමන් කරමින් තිබුණි. මගේ ගමන් සහකාරිය වුනේ ජීවන සහකාරියමවීම නිසා ඒ ගමන වඩාත් තෘප්තිදායක විය. අපි ගමන් කරමින් තිබුණ ලංකා ඉතිහාසයේ සහ බෞද්ධ සාහිත්‍යයේ සුවිශේෂී ස්ථානය ගැන මගේ මතකයේ තිබුණේ අසා දැනගත් (විශේෂයෙන්ම තාත්තාගේ ඉතිහාසය සම්බන්ධ දැනුවත් කිරීම් නිසා) කරුණු කාරණා කිහිපයක් පමණි. ඒත් මගේ ගමන් සහකාරිය පුංචි කාලේ ඉස්කෝලෙන් ඒ ස්ථානයට ඇවිත් තිබුණත් ඒ සම්බන්ධව තිබුණේ ඉතා නොපැහැදිලි මතකයකි. ඒ නිසාම මේ ගමන අපිට ඉතාම වැදගත් වගේම කුතුහලය දනවන ගමනක් වීම වැලැක්වීමට නොහැකි විය. අපේ ඉලක්කය වුනේ සීතාවක රාජ්‍ය සමයේ වසර 43ක කාලයක් බුදු රජාණන් වහන්සේගේ දන්ත දාතූන් වහන්සේ කුරහන් ගල් කරඬුවක් තුල සුරක්ෂා කරගත් ඒ අසිරිමත් දෙල්ගමු විහාරයයි. 

May 18, 2017

අවුරුදු 8 ක් ආපස්සට යාම සහ මැයි 18 යටගැසීම


අද මැයි 18. ලංකාව මිනිස්සුන්ට අමතක ඇති සමහරවිට ලංකාවේ එල්.ටී.ටී.ඊ එහෙමත් නැත්නම් කොටි කියලා ත්‍රස්තවාදී සංවිධානයක් තිබුණා. නෑ..නෑ..පුල්ලි තියන කකුල් හතරේ කොටින්ගෙන් නෙවෙයි කකුල් දෙකේ අපේම රටේ මිනිස්සු පිරිසක් කොටි කියන ලේබලේ ගහගෙන ත්‍රස්තවාදීකම් කලා. පරණ පත්තර එහෙම පෙරලලා බැලුවොත් වැඩි විස්තර ටිකක් හොයාගන්න බැරිකමක් නෑ.

ඒ කොටි කරපු දේවල් දැන් අමතක වුණාට ඒ දවස්වල ජාතියක්,ආගමක්,භේදයක් නැතිව ලංකාවේ මිනිස්සුන්ට මතක තිබුණා. උදේ බත් එක බැඳගෙන ගෙදරින් එලියට බහින අම්මා,තාත්තා,දරුවා සමහර වෙලාවට නගරේ මැද බස් එකක, කෝච්චියක, හංදියක කෑලි කෑලිවලට පුපුරලා ගිහිල්ලා බත් එක උඩම වැටිලා මැරිලා ඉන්නවා. ගෙදරට පය තියනකල් විශ්වාස නෑ. තව උතුරේ මිනිස්සුන්ගේ ගම්බිම්වලට කඩා වැදිලා පවුල් පිටින් පෙති ගහන කාලයක් තිබුණා, උඩින් ගිහිල්ලා දාන බෝම්බවලින් බුරුතු පිටින් සාමාන්‍ය මිනිස්සු මැරුණ කාලයක් තිබුණා. අත දරුවෝ පෙතිගහලා මරලා දාන කාලයක් තිබුණා. අන්න ඒ කාලය, ඒ ත්‍රස්තවාදි සංහාරය ඉවරවුණේ 2009 අවුරුද්දේ මැයි 18 වගේ දවසක. ඒ අවුරුද්දවත් දවසවත් මතක නෑ කියලා හොඳටම විශ්වාසයකි. කමක් නෑ ඒක එහෙම වෙනවා. ඒක සාමාන්‍යයි.

Apr 5, 2017

නතරවිය යුත්තේ රසායනික අවි ප්‍රහාර පමණක්ම ද?


දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කුරිරු යුද්ධයකින් බැටකෑ අපිට යුද්ධයක ඇති බිහිසුණුබව අමුතුවෙන් කියා දිය යුතු නැත. සීතල බටහිරට නොදැනෙන යුධ වේදනාවන් අප අනන්තවත් විඳ ඇත. වසර ගණනාවක් තිස්සේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් එකම රටේ එකම භූමියක ඉපදුණු මිනිසුන් දෙපැත්තකට වී මරා ගණිමින් මිනී කඳු ගොඩගැසූ යුගයක් අපදැන් පසුකර සිටින්නෙමු. ත්‍රස්තවාදය අවසන් කර ඇත, එහෙත් එකිනෙකා මරාගන්නා එක තවමත් නතර කර නැත.

සිරියාවේ දේශසීමාවක යුද ගැටමු පවතින ප්‍රදේශකයට එල්ලවුණු රසායනික අවි ප්‍රහාරයක් නිසා යුදමය තත්ත්වයට එළඹී සිටින කැරලිකරුවන්, සාමාන්‍ය ජනතාව,කුඩා දරුවන්, සහන සේවා නිලධාරීන් ඇතුළු 72ක් ඝාතනයට ලක්ව ඇති බව වාර්තාවේ. මෙය ලෝක ඉතිහාසයේ රසායනික අවි ප්‍රහාර එල්ලවූ මුල්ම අවස්ථාව නොවේ. එහෙත් මෙය අවසන් අවස්ථාව කරගැනීමේ හැකියාව මේ ලෝකයේ බල සංතුලනයට හැකියාව ඇත.

Apr 3, 2017

අපිට ජංගම දුරකතන හදන්න බැරි ඇයි?


අද වෙනකොට ජංගම දුරකතන නිෂ්පාදනය ලෝකයේ ගෘහ කර්මාන්තයක් බවට පත්කරගෙන සාපේක්ෂ සහ නිරපේක්ෂ වාසි ලබාගන්න රටවල් බිහිවෙලා. විශේෂයෙන්ම නැගී එන ආර්ථිකයන් සහිත වියට්නාමය,කාම්බෝජය,තායිලන්තය වගේ ආසියාතික රටවල් වගේම සංවර්ධිත ආර්ථිකයන් සහිත ජපානය,කොරියාව,එක්සත් ජනපදය වගේ රටවල් පවා ජංගම දුරකතන නිෂ්පාදනය ගෘහ මට්ටමට සහ සුළු කර්මාන්ත මට්ටමට ව්‍යාප්ත කරලා අවසන්. අද ලංකාවේ ජංගම දුරකතන පරිශීලනය කරන බොහොමයක් දෙනෙක්ගේ ජංගම දුරකතනය අතට අරගෙන නිෂ්පාදිත රට මොකක්ද කියලා පරික්ෂා කරලා බැලුවොත් ඉන් වැඩිම ප්‍රමාණයක් චීනයේ නිෂ්පාදිත ජංගම දුරකතන, එහෙමත් නැත්නම් කොරියාවේ,තායිලන්තයේ නැත්නම් තායිවානයේ නිෂ්පාදිත ඒවායි. සමහර විට ඊටත් වඩා ඉන්දියාවේ නිෂ්පාදනය කරපු ජංගම දුරකතන තිබෙන්නත් පුළුවන්. ඒ අතරේ අතීතයේ ජංගම දුරකතන ලෝකයේ පෙරලිකාර නිෂ්පාදක රාජ්‍යයන් වුණ එක්සත් ජනපදය,හන්ගේරියාව, ජපානය වගේ රටවල දුරකතනත් හොයාගන්න පුළුවන්. ඒත් සුළුතරයක් විතරයි. එතකොට මේ චීනය, ඉන්දියාව වගේ රටවල් අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල ජංගම දුරකතන වෙළඳපොල ඇල්ලුවේ කාරණා කීපයක් නිසායි.

Mar 29, 2017

ලෝකේ හොඳම මුදල් ඇමති..අපේ ලංකාවේ මුදල් ඇමති


ආසියානු පැසිෆික් කලාපයේ 2016 අවුරුද්දේ හොඳම මුදල් ඇමති ලංකාවේ ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වන රවී කරුණානායකයි කියලා දැනගත්තම උඩ පැනලා අත්පුඩි ගහන්නද නැත්නම් අනේ අපොයි කියන්නද කියලා හිතාගන්න බැරි මට්ටමකට සමහරු පත්වෙලා. ඒත් කලබල නොවී  බොහොම සාපේක්ෂව හිතලා බැලුවම මේකට අදාල කරුණු ගණනාවක් මතකයට පැමිණියා. එහෙම ටිකක් විශ්ලේෂණාත්මකව බැලුවම රවී දකුණු ආසියාවේ නෙවෙයි ලෝකෙම හොඳම මුදල් ඇමති විදිහට සම්මාන ගත්තත් පුදුම වෙන්න දෙයක් නෑ කියලා හිතුනා.

සම්මානය පිදුම, "ද බෑන්කර්" සඟරාව

බ්‍රිතාන්‍යයේ ද බෑන්කර් සඟරාව පරිශීලිනය කරපු අයෙක් හොඳින් දන්නා කාරණය තමයි මේ සඟරාව විසින් ප්‍රමුඛතාවය දී කටයුතු කරන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණවාදයයි. ඒ වචනයේ අභ්‍යන්තරයේ තියෙන්නෙම ලෝකයේ ආර්ථිකය සංවෘත තැනක සිට පූර්ණ විවෘත ආර්ථිකයක් බවට පත්කිරීමේ ක්‍රමය මීට වසර හැට හැත්තෑවකට පෙර ආරභවුණ ආකාරයයි. ආර්ථික ප්‍රතිසංස්කරණවාදයට කත්අදින සඟරාවක් එවැනි ප්‍රතිසංස්කරණවල නූතන මුහුණුවර අකුරක්වත් වෙනස් නොකර ලංකාව ඇතුලේ ක්‍රියාත්මක කරන රවීට සම්මානයක් නොදෙනවනම් වෙන කාට දෙන්නද කියලා ටිකක් හිතලා බලන්න පුළුවන්. 

Mar 13, 2017

අවුරුදු 4 කට පස්සෙ ආයෙත් නවකතාවක් ලියන්නටයි මේ සූදානම


කොහොමද ඉතින්, කාලෙකට පස්සේ ආයෙත් පහුගිය දවසක අපේ ඉසව්ව ලියන්න පටන්ගත්තා. දැන් අපේ ඉසව්ව මේ ගතකරන්නේ 7 වැනි අවුරුද්ද. දැන් ඉතින් එහෙම බැලුවම ටිකක් දැනුම් තේරුම් තියන දරුවෙක්. අවුරුදු හතක් පුරාවට දේශපාලනය,කලාව,අාර්ථික එකී මෙකී නොකී බොහොමයක් දේ ගැන මේ බ්ලොග් අඩවියේ නිදහසේ ලියවුණා. ලක්ෂ ගාණක් දෙනා ඒවා බලලා අදහස් දක්වලා තිබුණා. ඒ් හැමදෙනාටම බොහොම ස්තූතියි. 2011 අවුරුද්දේ ඉඳන් 2013 දක්වා අපේ ඉසව්ව බොහොමයක් පාටකයන් අතරේ ප්‍රචලිත වුනේ සතිපතා පලවෙන බ්ලොග් නවකතා නිසා. කොහොමත් ඒ කාලේ නවකතා කියන රැල්ලක් හැදිලා තිබුණා. 

ඔය කාල පරාසය ඇතුලේ අපේ ඉසව්වේ පළවුණ හමුවුණා..අනේ හමුවුණා, අදිසි වෙඩික්කරු, ආයෙමත් ආදරෙන්, සංකලනි වගේ නවකතා බොහොමයක් පාඨකයන් අතරේ නොමැකෙන මතක සටහන් තැබුවා. මේ කතා අතරින් බොහොමයක් මාතර නගරය කේන්ද්‍ර කරගෙන ලියපු සරල ආදරණීය කතා. එක් කතාවක් විතරක් රහස් පරීක්ෂක මාදිලියේ කතාවක්. ඒත් පුද්ගලික හේතුවක් මත අවසන් නවකතාව සංකලනී අවසන් කරන්නට බැරිවුණා. ඒ 2014 අවුරුද්දේ.

බොරළුගොඩ සිංහයාගේ පුත්තරයා


දිනේෂ් මන්ත්‍රීතුමා එදා ගෙදර ගියේ ගොඩක් හවස් වෙන්නය. පැය ගාණක් තිස්සේ දියත පාර්ක් එකේ එහා පැත්තේ ගහක් යටට වෙලා ෂේප් එකේ හිටියේ කළුවර වැටෙනකල්ය. කළුවර වැටුණ ගමන් දඩිබිඩි ගා කලේ ගෙදර දුවන එකය. තත්ත්වේ හැටියට එළිය වැටිලා තියන වෙලාවක ගෙදර යන්නටත් බැරිය. පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමූ සිද්ධිය ටක්කෙටම දැන් ගෙදරට ආරංචිවෙලා තියෙන්නට ඕනය. එහෙනම් ගෙදර යන්න වෙන්නේ කණ් දෙකේ කිරල ඇබ දෙකක් ගහගෙනය. දියත පාර්ක් එක එක පුරා කිරල ගස් තිබුණත් අැබයකට ගන්නට කිරල ගහක අත්තක්වත් අල්ලන්නට බැරිය. දිනේෂ් තරහටම ගෝඨාට පළු යන්නට බැන්නේ හිතේ වේදනාවටමය. 

Mar 10, 2017

අයි අයියෝ ලෙනින්..ඔක්තොම්බර් විප්ලවේ සුන්


කොල්ලුපිටියේ හංඳියට චුට්ටක් එහා එක දිගට මාර ට්‍රැෆික්. උදේ වරුවේ දෙහිවල ගුවන් පාලම පහුකරං යන එක සක්කරයටත් ටිකක් අමාරු නිසා දෙහිවල යාන්තමට පැයක් විතර දුක්විඳලා පහුකරගෙන සමුද්‍ර මාවතට දාගත්තා. සමුද්‍ර මාවත දිගේ ඇවිත් ආයෙත් කොල්ලුපිටියෙන් මතුවෙන්න ගාලු පාරට අතුරු පාරකින් එද්දි කවුදෝ හොඳට කෝට් එකක් එහෙම ඇඳගත්ත පොරක් තාප්පයකට අත්දෙකයි ඔළුවයි තියාගෙන හේත්තුවක් දාගෙන ඇඹරෙනවා. හිතුනෙම ඊයේ රෑ රම්පෙට පොරි හැලෙන්න අඩිය ගහපු පොරක් තාප්පෙකට වාරුවෙලා කබරයා දානවා ඇති කියලා.