දවස් ගාණක් ගතවුනේ ඔලුව උස්සගන් වත් බැරි වැඩ ගොඩක් එක්ක. ඒත් සති අන්තේ ගෙදර ගිහින් ආවේ ගෙදරට සල්ලි දෙන්නත් එක්කමයි. සඳුදා උදේ ගෙදර ඉඳන්ම වැඩට ඇවිත් හවස නැන්දලගේ ගෙදර යන එක තමයි ක්‍රියාවලිය. ඒත් ඒ සඳුදා විශේෂයක් තිබුණා.නැන්දගේ පුත්‍රයාගේ ඒ කියන්නේ අයියගේ පුංචි එකාගේ බත් කවන එකට පුංචි පහේ වැඩසටහනක් තිබුණා. ඒක නිසා ෂෝට් ලීව් එකක් දාලා ගෙදර ආවා. කැවිලි පෙවිලි එහෙම සූදානම් කරලා පුංචි පහේ සතුට දනවන අවස්ථාවක් බවට නැන්දා ඒක පත්කරලා තිබුණා. අහල පහල හිතවතුන් කීපදෙනෙක්ටත් ආරාධනා කරලා තිබුණා. මමත් පොඩි එකාට මගේ ගානේ තෑග්ගකුත් අරගෙන කලින්ම ගියා.
මම යනකොටත් වැඩකටයුතු පටන් අරගෙන තිබුනා. පැදුරේ තියලා තිබුණු දේවල් වලින් පුංචි එකා මුලින්ම අරන් තිබ්බේ පැස්ටල් පෙට්ටියක්. එහෙනම් ඉස්සරහට හොඳ චිත්‍ර ශිල්පියෙක් වේවි. කට්ටියම කෑම ටිකක් එහෙම කාලා බීලා සප්පායම් වෙන අතරේ දන්න අඳුනන කීප දෙනෙක්ම හිටියා.
අල්ලපු ගෙදර පවුලම ඇවිත් තිබුණේ අසල්වැසියාට ප්‍රේම කිරීමේ සංකල්පය භාවිතාවෙන්ම ඔප්පු කරන්න වගේ. අන්කල්,ඇන්ටි සහ මාර දූතිකාවන් යුගලය. ජිත්මි සහ නෙත්මි එක වගේම ගවුම් දෙකක් ඇඳගෙන මල් වාස් දෙකක් තිබ්බා වගේ ඇවිත් හිටියා. ජිත්මිනම් ඉතින් පැත්ත පලාතක් බලන්නේ නැති නිසාද කොහෙද මට හරියට බැලුනෙත් නෑ, ඒත් නෙත්මිනම් ඇවිත් කතාකරලා ගියා.










