Sep 25, 2012

“නච්ච දා කව්“ - කාව්‍ය ගෙත්තම ඔබට..

සිංහල සාහිත්‍ය තුල බොහෝ කාව්‍ය කෘති බිහිවී ඇත. සිංහල සාහිත්‍ය යේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙණ කලිකාලසාහිත්‍ය,සර්වඥපණ්ඩිත සවැනි පැරකුම්බා රජ සමයේ නිර්මාණය වූ තරම් සාහිත්‍ය නිර්මාණ කවර කලෙකවත් මේ සිරිලක බිහිවී නැත. එසේම බෞද්ධ සාහිත්‍ය සහ ශිෂ්ටාචාරය යොදාගනිමින් සිංහල සාහිත්‍යය තුල බිහිවූ නිර්මාණද අදත් මහා වෘක්ෂ මෙන් අප අතර ශේෂව පවතී, සැළලිහිණි,පරවි,කෝකිල වැනි සඳැස් කාව්‍ය..කුස ජාතකය ඇසුරෙන් රචනා කල “කව්සිළුමිණ“ මෙන්ම සඳ කිඳුරු දා කව වැනි කාව්‍ය නිර්මාණ මෙකල්හිද නිර්මාණ කරුවන්ට අභියෝගවන මට්ටමට පවතී. තාක්ෂණය හෝ කිසිම සාධකයකින් දියුණු වූවත් අදටත් අපේ නිර්මාණ කරුවනට එම නිර්මාණ පරයා යමක් කල නොහැකි බව පිළිගත යුතුය.

  බෞද්ධ ඉතිහාසය පදනම් කරගෙන නිර්මාණයක් බිහිකිරීම වෙනුවෙන් කලක පටන් පැවති ආශාවක් ඉටුකරගනිමින් “නච්ච දා කව“ යන මෙම කාව්‍ය කෘතිය විද්‍යුත් ඊ- පුස්තකයක් ලෙස අද ඔබට මෙලෙස ගෞරවයෙන් පුදකරමි. “සබ්බ දානං ජිනාති ධම්ම දානං“ යන කියමනට අනුව සැම දානයකට වඩා උතුම් ධර්ම දානය පිරිනමනු වස් ජාතක කතා පොතේ එන “නච්ච ජාතකය“ පදනම් කරගෙන ලියන ලද කාව්‍ය කෘතියක් ලෙස මෙය ඔබට තිළිණ කරන්නෙමි.

Sep 21, 2012

“සඳ දුටු සඳ“ විඳින්නට එනු සබඳ..

“පේරාදෙණියේ ගස් ගල් පවා කිව සිතුවිලි උපද්දවද්දි ඒ පරිසරය තුලින් බිහිවුණු ඉරංගා තුලින් ඒ නිර්මාණාත්මක හැකියාව මතුවීම පුදුමයක් නෙවෙයි..“ මේ කතාව ඇහෙන්නේ මීට තෙවසරකට කලින්. ඒ ඉරංගා සචින්තිකා යද්දෙහිගේ නම්වූ සොඳුරු කවි චින්තනාධාරිණියගේ කුළුඳුලු පුස්තකය “බැඳි නොබැඳි බැවි“ දොරට වැඩමෙව් අවස්ථාවේ ප්‍රවීණ සාහිත්‍යධර රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාගේ මුවින්. ඒ කතාව කොතරම් සත්‍යද යන්න එතන හිටපු බොහෝ දෙනෙක් හොඳින් දැනගෙන හිටියා. එයට දිගුවක් එක්වන මොහොතක..නැතිනම් වෛද්‍ය ඉරංගා සචින්තිකා යද්දෙහිගේ තමන්ගේ සාහිත්‍ය නිර්මාණ පොකුර තවත් සුගන්ධවත් මලකින් තර කරන මොහොතේ යමක් නොලියා ඉන්න හිත ඉඩදෙන්නේ නෑ. 

   “සඳ දුටු සඳ“ පොත ගැන ඉරංගා සහෝදරිය මුලින්ම මාත් එක්ක කතා කරන්නේ “බැඳි නොබැඳි බැමි“ පොත ප්‍රසිද්ධියට පත්කරලා මාස තුන හතරකට පස්සේ. පලමු පොත එලිදැක්වීමත් එක්ක හිතට දැනුණු සැබෑ සංතුෂ්ටිය සහ තෘප්තිමත්භාවය එක්ක ඇයට තවත් එයට එහා ගිය නිර්මාණයක් කරන්න කියලා දිරිගැන්වීම් අනන්තවත් ලැබුණා.. එහෙම ලැබුණු ආරාධනා අතරතුර දිනක් වෛද්‍ය ඉරංගා “සඳ දුටු සඳ“ කෘතිය වෙනුවෙන් කරපු පලමු නිර්මාණය තමන්ගේ හඬින්ම මගේ ඉදිරියේ ඉඳන් කියවපු වෙලාවේ මම කියපු එකම දේ “අනිවාර්යයෙන්ම අක්කේ මේ පොත ඔයාට කරන්නම වෙයි..මොකද නැත්නම් ඔයා හඳ දිහා බලාගෙන කරන මේ නිර්මාණ ටිකම දවසක ඔයාට කරදර කරාවි..“ මේ වචන ටික බොහොම කෙටි කාලයකින් යථාර්ථයක් වෙයි කියා නොහිතූ බවනම් සත්‍යයි. මොකද ඒ සමයේ කවි පොතක් මෙන්ම නවකතාවක් ද රචනය කරමින් හිටපු නිසාවෙන් ඒ දෙකෙන් කුමක් ඉස්සර වෙයිද යන්න මට හිතාගන්නට බැරිවුණු නිසා. නමුත් “සඳ දුටු සඳ“ ඉස්සර වෙලා.