Jun 13, 2017

මළ යකාගේ ආරූඪය - ආත්මීය සටහන්


ඉස්සරම දවස්වල. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහින් ඉවරවුණු කිට්ටුව නව යොවුන් කාලේ ඉඳන් දැළි රැවුල එක්ක යෞවන කාලෙට බල්ටියක් ගහන කාලේ හරි පොඩි දේටත් තරහා යන්න පටන් ගන්නවා. හොඳට කියන දේවල් ඇහුනෙත් වැරදි කියනවා වගේම තමයි. ඒ කාලේ වැඩියෙන්ම පේන්න බැරි උපදෙස් දෙන්න එන වැඩිහිටියෝ තමයි. ඒ නිසාම වැඩිහිටියෝ පෙනුනේ හිටියා වැඩි ඇත්තෝ විදිහට තමයි. පේන්නම බැරි අය අතර දකින්න කතා කරන්න වැඩියෙන්ම කැමති ඇත්තෝ වෙන්නේ උපදෙස් නොදෙන වගේම වැඩිදුර ඉගනීම් ගැන, රස්සා ගැන අහන්නේ නැති, හැබැයි විහිළුවට වගේ ලව් හුටපට ගැන අහන කතා කරන උදවිය තමයි.

ඔන්න ඔය කියන කාලේ ගත කරද්දි නෑදෑ හැත්ත බුරුත්තක්ම පරවේණි පදිංචියට ටැග් ගැහිලා හිටපු ගමක ජීවත් වෙන්න සිද්ධවුණ මට තිබුණ ප්‍රධානම ප්‍රශ්න ටිකත් කලින් කියපු ඒවම තමයි. දකින් දකින කෙනාගෙන් කෝටියක් උපදෙස්. අරක හොඳයි, මේක නරකයි. ඒකත් වැරදියි, මේකත් වැරදියි. ඔන්න ඔය වගේ හිසරද එක්ක විභාගේ ඉවරවෙලා ගෙදර ටිකක් නිදහසේ ගතකරපු කාලේ ගෙදර වහලයට ඉන්න බැරි තත්ත්වයක් උද්ගත වෙන්නේ ඔය කලින් කියපු කොට්ඨාශ දෙකෙන් පළවෙනි කොට්ඨාශයේ ඇත්තෝ නිසා. ගොඩක් වෙලාවට දිරවගන්නම බැරි කතාවක් ඇහුණම ගෙදරත් එක්කත් රණ්ඩුවක් හදාගෙන එළියට බහින්න වෙනවා. මොකද ගෙදර උදවියත් රටේ තොටේ මිනිස්සුන්ගේ අදහස්,උදහස් වලට එකත්පස්ව එකඟවෙලා මටම දෝශාරෝපණය කරනවා මිස මගේ පැත්තට කිසිම සහයෝගයක් නොදෙන නිසා.

Jun 3, 2017

සුසන්තිකාලා සහ දයාසිරිලා


සුසන්තිකා ජයසිංහ යනු මෙරට මලල ක්‍රීඩාව ලද සුපිරිතම සම්මානය බවට හැඳින්වූවාට කිසිඳු වරදක් නැත. හද්දා පිටිසර ගමකින්, කොස් දෙල් කා ක්‍රීඩාවට පිවිසි සුසන්තිකා අපේ මතකයේ රැඳී ඇති සමයේ ලෝකයම හෙල්ලූවේ ශ්‍රී ලංකාව නම් පුංචි දිවයිනේ හයිය 2000 සිඩ්නි ඔලිම්පික් උළෙල අවස්ථාවේ මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා දෙමින්ය. එකල සුසන්තිකා “ආසියාවේ කළු වෙළඹ“ ලෙස හැඳින්වූයේ ඇය ලංකාවට පමණක් නොව ආසියාවටම ආභරණයක් වූ නිසාවෙන්ය. 2007 අවුරුද්ද වන විට ඇය ඔලිම්පික් රිදී පදක්කමක් (මේරියන් ජෝන්ස්ට රන් පදක්කම අහිමිවූ නිසා), ලෝක මළල ක්‍රීඩා ශූරතා තරඟ වෙනුවෙන් එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක්, ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් එක් රන් පදක්කමක්,රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක්, ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 6ක් සහ රිදී පදක්කමක් සමගින් ජයග්‍රහණ ගණනාවක් ලංකා ධජය ඉදිරියේ තබා ඇත. සුසන්තිකා තරම් ලංකාවට මලල ක්‍රීඩාවෙන් ජයග්‍රහන ගෙනා ආ කිසිවෙක් නොමැති. එසේම ක්‍රිකට් වලින් පමණක් ජාත්‍යනතරය දිනා සිටි ලංකාව මලල ක්‍රීඩාවේ නමින් ලෝකය පුරා සන්නිවේදනය වන්නේ සුසන්තිකා, දමයන්ති දර්ශා, ශ්‍රීයාණි කුලවංශ,සුගත් තිලකරත්න වැන්නවුන් නිසාය.