Jun 30, 2012

ආයෙමත් ආදරෙන් - 14 වැනි කොටස ( ආයෙත් ඔට්ටුවට පිවිසීම..)

පසුගිය කොටස්  1  2  3  4  5  6  7  8  9  10  11  12  13 


දැන්නම් ඇඬෙන් සයිස් එකටම තත්තේ බරපතලයි. මෙච්චර දවස් නොහිතුවට, නොදැනුනාට දැන්නම් ඇත්තටම මටත් හිතෙනවා මෙහෙම ගියොත් ඔට්ටුව පරදීවි කියලා..වෙලාවකට හිතෙනවා සමීරයා විකාරෙන් වගේ කිව්වට මේක කුමන්ත්‍රණයක් වගේ කියලත් වෙලාවකට හිතෙනවා. ඒත් ජිත්මි වගේ කෙනෙක් එහෙම කරයි කියලා හිතන්න අමාරුයි... ඒත් සමහර වෙලාවට දෙකට ගණින්න බෑ වගේ ඉන්න කෙල්ලෝ කරන ඒවා දැක්කම විශ්වාස නොකරත් බෑ..කොහොම වුනත් ඔට්ටුව අල්ලලා මාස දෙකක් ගතවෙන්නත් ලඟයි..ඔට්ටුවේ ප්‍රගතියක් නැතිවීම සහ රුපියල් ලක්ෂයක මුදලක් කාබාසිනියා වීම ආසන්නයේ හිටපු මට දැන් කරන්න කියලා දෙයක් නොතිබුණු ගානයි..

“මචං...මේක එහෙම අතෑරලා දාන්න පුළුවන් වැඩක් නෙවෙයි බං..“

සමීර පුරුදු විදියට ඔෆීස් එකේ කෑම වෙලාවේ කිව්වා. ඒත් තත්වේ ගැන තේරෙද්දි තව දුරටත් මේක මත්තේ මැරෙන්න හිතෙන්නෙත් නෑ..ඒ වගේම අතෑරලා දාන්න හිතෙන්නෙත් නෑ.

Jun 27, 2012

“සිරිවර්ධන“ නම්වූ තත්කාලීන බෞද්ධයාගේ මිනුම් දණ්ඩ

සිරිවර්ධන හෙවත් වඳුරඹ මහත්තයා ගැන අලුතින් යමක් කීමට ඉතිරිව ඇතැයි මා සිතන්නේ නැත. එසේම යම් කෙනෙක්ට ඔහු පිළිබඳව වඩාත් තොරතුරු අවශ්‍යනම් මේ දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය භාවිතයෙන් එය සම්පූර්ණ කරගත හැක. නමුත් මා අදහස් දක්වන්නේ “සිරිවර්ධන නැමති තත්කාලීන බෞද්ධයාගේ මිනුම් දණ්ඩ“ පිළිබඳවයි. මිනුම් දණ්ඩක් යනු යමක් මැනීම නොඑසේනම් ප්‍රමාණ සමීක්ෂණයක් සඳහා යොදාගන්නාවූ පොදු නිරපේක්ෂ මාධ්‍යකි. නැතහොත් අගයකි. එසේනම් සිරිවර්ධන නැතිනම් වඳුරඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන අමුතු ධර්මයක් දේශනා කරන්නාවූ මේ පුද්ගලයා තත්කාලීන බෞද්ධයාගේ මිනුම් දණ්ඩක් වන්නේ කෙසේද?

    අප දන්නා පරිදි වර්තමානයේ බුදු දහම ශේෂව පවතින්නේ රටවල් කීපයක පමණි. එමෙන්ම බුදු දහමේ හර දර්ශනයෙන් සුපෝෂිත ථේරවාද බුදු දහම ඉතිරිව ඇත්තේද රටවල් කීපයක පමණි. එයින් ශ්‍රී ලංකාව විශේෂ ස්ථානයකට පත්වන්නේ බුද්ධ කාලීනව මෙන්ම එයින් පසු සමයන්හීද බුදුදහමේ උන්නතියට කටයුතු කල රාජ්‍යයක් වශයෙන්ය. නමුත් වර්තමානයේ බුදු දහම පවතින්නේ මොන තත්වයේද හෝ කුමන මට්ටමකද කියා මැනීමට මිනුම් දණ්ඩක් නොමැත.

Jun 26, 2012

ආයෙමත් ආදරෙන් - 13 වැනි කොටස ( දිස්නකට මොනවා වෙයිද?)

පසුගිය කොටස්  1  2  3  4  5  6  7  8  9  10  11  12 


ගෙදර ගිහිල්ලා හිටියේ කොහොමද කියලා මතකත් නෑ. පෝය දවසේ සිද්ධ වෙච්ච හැමදේම නිකං හීනයක් වගේ. හිතේ තිබුණු හයිය සේරම කඩන් වැටුණා වගේ වුනා කධිර කැෆේ එකේ දිලූපත් ජිත්මිත් ඉන්න හැටි දැක්කම. අම්මපා මරාගෙන මැරෙන්න හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි. ජිත්මි දිලූප එක්ක එච්චර කුළුපගව කතාකරනවා දැක්කම නැතිවෙන රුපියල් ලක්ෂෙ ගැන නෙවෙයි නැතිවෙන හිතේ ශක්තිය සහ ආත්ම අභිමානය ගැන පුදුම දුකක් ඇති වුණා. ඔට්ටුව ඉවරවෙන්න මාස දෙකක්ම තියෙද්දි හැමදේම ඉවරවෙලා යන්න හදනවා නේද කියලා හිතෙද්දි හිතට ලොකු අසරණ කමක් දැනෙනවා. මේ වගේ ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න පුළුවන් මට්ටමෙත් නොවන නිසා තවත් හිතට අවුල්.

    ඒ දවස් කීපෙම මඩිහ පැත්තට ඉරා පෑයුවේ නැති ගාණට ගෙවිලා ගියා. ජිත්මි කීප වතාවක්ම මූණට මුණ ගැහුණත් හිනාවෙන්නවත් මූණ බලන්නවත් හිතක් තිබුණේ නෑ. මම එහෙම යනකොට ජිත්මිගේ මූණේ මොනවගේ විපර්යාසයක් වෙනවද කියලවත් බලන්න මට හිතුනේ නෑ.

Jun 23, 2012

“ගී මිහිර “ - මාගේ කුළුදුල් අන්තර්ජාල ගුවන් විදුලි වැඩසටහන



ඔබ දන්නවා ඇති අද ලංකාවේ බොහොමයක් ගුවන් විදුලි නාලිකා තිබෙනවා, ඒ වගේම අන්තර්ජාලය මාධ්‍ය කරගත් ගුවන් විදුලි නාලිකාත් බහුලව තිබෙනවා. ඒ වගේම ඒවාහි විවිධ මාදිලියේ වැඩසටහන් විකාශය වනවා. ඔබ ඒවා විවිධ කෝණවල සිටි විඳිනවා ඇති. ඒ අතර අසන්නෙක් ලෙසින් රැඳුනු මමද අහිංසක උත්සහයක නිරත වෙන්නට තීරණය කලේ ගුවන් විදුලි මාධ්‍යය පිළිබඳ ඇති ආසාව සහ වසර 6 කට ආසන්න අත්දැකීම්වල එකතුවක් ලෙසින්.


  “ගී මිහිර“ නමින් අද ඔබට ඉදිරිපත් කරන්නේ ඒ උත්සහයේ පලමු පියවරයි. ගී මිහිර යනු හුදෙක් සංගීත වැඩ සටහනකි. මෙම වැඩසටහන් හරහා මා බලාපොරොත්තු වන්නේ ඔබ දන්නා මෙන්ම රසවත් ගීත පිළිබඳව රසමුසු සිදුවීම්, ඒවායේ නිර්මාණය සහ අර්ථය සම්බන්ධ සිදුවීම් හා ගීත සමග බැඳුනු  මාගේ පුද්ගලික අත්දැකීම් මෙම වැඩසටහන මගින් ශ්‍රාවක ඔබට තිලිණ කරයි. එසේම අදාල ගීතද ඒ සමග ඉදිරිපත් කෙරේ. මෙහි විශේෂය වන්නේ සිංහල ගීත වලට පමණක් මෙම වැඩසටහන් සීමා නොවීමයි. බුද්ධිමය රසාස්වාදනයක් උදෙසා යම්තාක් දුරට හෝ මේ වැඩසටහනෙන් දායකත්වයක් ලබාදීම මගේ අරමුණයි.

Jun 22, 2012

ආයෙමත් ආදරෙන් - 12 වැනි කොටස (බලාපොරොත්තු සුන්වීමක පෙරනිමිති..)

පසුගිය කොටස්  1  2  3  4  5  6  7  8  9  10  11 




මහන්සිවෙලා හිටපු වෙලාවක ඒ ලැබුණු තේ උගුර වටින්නේ මහන්සිය නිසාම නෙවෙයි ඒක ජිත්මි අතින් ලැබුණු තේකක් නිසා. ජිත්මි තේක මට දෙන වෙලාවේ ඒ ඇස්දෙක දිහා බැලුවේ අහම්බෙන්. ඒ ඇස් දෙක යොමුවෙලා තිබුනේ තේක දිහාවට.තේක ගන්නත් අමතක වුනා ඒ රත්තරන් ඇස්දෙක දිහා බලන් ඉන්න කොට. කවුරුහරි ඒ ඇස්දෙක දැක්කොත් සත්තයි උන්හිටි තැන් අමතක වෙනවා, ජිත්මිගේ ඒ ඇස්වල මොකක්දෝ බලයක් තිබුණා.

 මම තේ එක අතට ගන්න පරක්කු වුන නිසාද කොහෙද ජිත්මි ඇස්දෙක උස්සලා මගේ මූණ දිහා  බැලුවා. ඒ ඇස්දෙක මගේ ඇස්දෙකට මුණ ගැහුනේ තත්පර කීපයකට. මගේ උගුර කට වේලිලා ගියා ඒ ඇස්වල බැල්මට. අන්තිමට තත්පර කීපයකට පස්සේ මම තේ එක ගත්තම ජිත්මි මම හිටපු තැනින් ගියා.

Jun 19, 2012

ආයෙමත් ආදරෙන් - 11 වැනි කොටස (“දිලූප ඉස්සර වේවිද? “)

පසුගිය කොටස්  1  2  3  4  5  6  7  8  9  10 


 
එදා බස් එකේදී උන දුක් සීන් එක නිසා දවස් ගාණක්ම ගෙවුනේ මැරිලා වගේ. ජිත්මි එක්ක යාළු වෙනවා කියලා අභියෝග බාරගත්තට මොකද සති දෙකකටත් ආසන්න කාලයක් ගෙවිලත් කරපු දෙයක් නෑ. සමීර කියනවා වගේ මේක මෙහෙම කරලා බෑ. මෙහෙම පස්ස ගහලා වැඩකරන තරමට දීලූපට ලකුණු වැටෙනවා වැඩියි. එදා දිලූප බස් එකේ ජිත්මි ලඟින් වාඩිවෙලා එක එක ඒවා කිය කිය යද්දි හිතට ලොකු අපහසුතාවක් දැනුනා. දිලූප කියපු දේවල් ජිත්මිත් අහන් හිටියද කොහේද..ඒත් එයා එක වචනයකින් වත් උත්තර දුන්නේ නෑ. හිතට තියන එකම සැනසුම ඒකයි. බස් එකෙන් බැහැලා යද්දි ගෙදර ලඟදි ජිත්මි එකම සැරයක් මම දිහා බැලුවා. ඒත් ඒ ඇස්වල තිබුණේ මොනවද කියලා හරියට හිතාගන්න බැරිවුණා. එකපාරටම කෙල්ලෙක්ගේ ඇස් කියවලා තේරුම්ගන්න අමාරුයි.

  අද ඔෆිස් එකේ උදේ වරුවේ එච්චර වැඩ තිබුණේ නෑ. කොහොමත් ඩීන් එකේ ඔෆීස් එක කාර්යබහුලවෙන්නේ සතියේ දින කීපයක් විතරයි. උදේ දහයට විතර සමීර කොහේද ඉඳගෙන මගේ මේසේ පැත්තට දුවගෙන එනවා. ඉස්සරහ හිටපු තරුෂිගේ පුටුවෙත් හැපුණා සමීර.

Jun 16, 2012

ආයෙමත් ආදරෙන් - 10 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5  6  7  8  9 




 සිකුරාදා හවස දෙනියායේ ගෙදර ගිහින් ගොඩක් දේවල් කරන්න වුණා. ගොඩක් කාලෙකින් ගෙදර පේන්ට් කරන්න බැරි වුණ නිසා ගෙදර කට්ටියත් එකතු කරගෙන දවස් දෙකේම කරේ ඒක තමයි. ඒ වැඩ අස්සේ මම දාගෙන තිබුණු මාරාන්තික ලක්ෂයේ ඔට්ටුවත් අමතක වෙලා තිබුණේ. සඳුදා උදේ දෙනියාය ස්ටෑන්ඩ් එකෙන් නැගලා හතරසිංහ බස් එකේ පිටබැද්දර හරිය පහුකරද්දි තමයි ආයෙමත් ඔට්ටුව ගැන හරියටම ඔලුවට ආවේ. කරන්න දෙයක් ඔලුවට එන්නෙත් නෑ. කවදා කාපු ටකරංද මන්දා මේවා. කවදාවත් හරියට ආදරේ කරපු එකක්ද. ඉස්කෝලේ යන කාලෙනම් අර යාළුවෝ ආදරේ කරද්දි නිකං ඉන්න බැරි කමට වගේ පන්තියෙම කෙල්ලෙක්ට ආදරේ කලාට ඒක මෙච්චරම අමාරු වැඩක් වුනේ නෑ. ඒත් මේ ජිත්මි කියන්නෙනම් කිසිම සෙන්සර් එකක් හයි කරපු නැති සර්කිට් එකක් වගේ. මොනදේ කලත් හරියට ට්‍රැක් එකට වැටෙන්නෙම් නෑ. ගහමරාගන්න වගේ හිටපු නෙත්මිත් අද බොහොම හොඳට කතා කරනවා. ඒ දෙන්නගේ අයියයි දෙමව්පියොත් වෙනසක් නැතුව කතා කරනවා ඒත් මේ කෙල්ලට මොන උෂ්ණයක් වැදිලද මං දන්නේ නෑ නෝ කතා නෝ සිනා.

Jun 14, 2012

කොස්කොලාලංකාරය ... [මඩක් නම් නොවෙයි]

මෙය කවි පොතකි. සත්‍ය ලෙසින්ම කවි එකතුවකි. කොස්කොලය යනු අලංකාර ශාක පත්‍රයක් නොවෙයි. එසේනම් කොස්කොලාලංකාරය යනු කුමක්ද. එය හුදෙක් මේ සිරිලක් බිමේ සිදුවූ එක් රසමුසු පුවතක් අලලා කල සාහිත්‍යමය නිර්මාණයකි. 

 මෙය අඩු කාලයක් වැය කොට කරන ලද නිර්මාණයකි. එසේම ලිහිල් බසින් හා සරල විරිතකින් කරන ලද නිර්මාණයකි. එබැවින් ඕනෑම සිංහල පරිශීලකයෙක්ට කියවා තේරුම්ගත හැකි මට්ටමින් මෙය ලියා ඇත. එසේම කවි 47 කින් සමන්විත මෙම “කොස්කොලාලංකාරය“ කෘතියේ ඊ-පුස්තකය(E-book) මෙම ලිපියේ පහලින් බාගත කරගත හැකිවේ. මෙය කියවා මිතුරන් අතරේ හුවමාරු කරගත හැකි හාස්‍ය උත්පාදක මෙන්ම සමාජ ආදර්ශ සපයන නිර්මාණයක් බව කිව යුතුය. එසේම මෙහි එන චරිත සැබෑවට මැවුනත් එය පද්‍යයේ රසයට බාධාවක් නොකරගෙන රසවිඳින ලෙස ඉල්ලා සිටිමි.

 මෙහි කතාව ගෙතී ඇත්තේ එකම ගතිගුණ ඇති පුරසාරම්හි සමත් මිතුරන් දෙදෙනෙක් එක් මිතුරෙක්ට පෙම්වතියක් සොයාදීමට දරණ ප්‍රයත්නයක් සම්බන්ධවය. කියවා රසවිඳින්නට ඔබට ඇරයුම්...

Jun 12, 2012

ආයෙමත් ආදරෙන් - 9 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5  6  7  8 


“ඔන්න ඕක තමයි සිද්ධිය...“


මම හවස ස්ටෑන්ඩ් එකේදි සමීරට දවල් සිද්ධ වුන දේවල් කිව්වා. එක අතකට මේකට සමීරගේ සහයෝගයත් අනිවාර්යයෙන් ඕන වෙනවා.ඒක නිසා කලින්ම මිනිහට කියලා තියන එක හොඳයි කියලා හිතුනා. මම සිද්ධිය කියලා ඉවර වෙනකොට සමීරයා මගේ දිහා බලන් හිටියේ පීක්වැල්ල පන්සලේ භූත ගුහාවට ඇතුල්වෙන තැන හිටගෙන හිටපු ගරා යකා වගේ වයින් වෙලා.

“ඈ බොල් පොල් හරකෝ...තොට ඔල්මොරොන්දන්ද ඔය වගේ අසමජ්ජාති ඔට්ටු දාන්නේ..බූරුවා පාරක් ගහලා දාහක් දෙදාහක් පරාදවෙන එක දුක නෑ..මේක යකෝ ලක්ෂෙක ඔට්ටුවක්“

සමීර කෑගහනවටත් වඩා නහයෙන් අඬනවා.මටත් වඩා සමීර බයවෙලා. මගේ හිතට බයක් දැනුනේ නැත්තේ කොහොමහරි මේ ඔට්ටුව දිනනවා කියන අදහස හිතේ තිබුණ නිසා.

“උඹ බයවෙන්න එපා මස්සිනා..“

Jun 8, 2012

ආයෙමත් ආදරෙන් - 8 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5  6  7 




  හවස් වරුවක මිදුලට වෙලා නැන්දයි,අක්කයි පොඩි  එකයි එක්ක දඟලා දඟලා ඉන්න වෙලාවක අල්ලපු ගෙදර වැට ගාවින් එබුනේ නෙත්මි. එයාගේ පුරුද්ද තමයි ඔය වැට ගාවින් හොට දාන එක.

“ආ ඇන්ටි මොකද මේ ඥාති මුණුපුරෝ එක්ක චක්ගුඩු ගහනවද?“

අපේ නැන්දත් ඉතින් නෙත්මිට වෙනස් වෙන්නේ වයසින් විතරයි මගේ හිතේ. කටේ නම් කිසිම අඩුවක් නෑ.

“නෑ පොඩි දුවේ අපි මේ වල කජු ගහනවා“

නෙත්මිට බකස් ගාලා හිනා ගියා. මගේ අතේ හිටපු පොඩි එකා අක්කගේ අතට දීලා මම නෙත්මි දිහා බැලුවා.ඒ ආපු සද්දයක් නිසා.

“ෂ්...ෂ්...දිස්නක අයියේ...“

“ඇයි මොකෝ“

“පොඩ්ඩක් මෙහාට වර්තනය වෙනවකෝ“

“ඒ මොකටද..අපෝ ඔයාගේ පලාතේ එන්න බයයි“

“කිව්වම අහලා එනවා...පොඩි බඩ්ඩක් කියන්න“

Jun 7, 2012

අවසානයේ අවසන් විය... [කෙටි කතාව]



හැමදෙයක්ම වගේ නිසල හින්දම බද්දෙගම හෝල්ට් එකත් නිසල වෙලා තිබුණා. කීප දෙනෙක් විතරක් හිටපු බස් කීපයක්ම නවත්තලා තිබුණා. මම සහ ඔයා අඩියක විතර පරතරයක් තියාගෙන ඇස්දෙක දිහා බලාගෙන හිටියා. ඔයාගේ පුරුදු හිනාව මූණේ තියෙද්දි.

“දැන් කොහේටද යන්නේ ඔයා ?“

මම ඇහුවේ ටිකක් කණට ලංවෙලා. බෝල දෙකක් වගේ දඟලන ඔයාගේ ඇස් දෙකේ සතුට වගේම දුකත් මිශ්‍ර වෙලා තිබුණා.

“මීපාවලට යනවා..යාළුවෙක්ගේ ගෙදර“

හිනාවෙලා ඔයා කිව්වා. ආයෙත් අපි දෙන්නා අතර නිහඬතාවක්.

“ඔයා ගියාම මමත් යනවා ගෙදර..ඒත් අද ලැබුණු මතක සේරම අරගෙන“

මගේ වචන ඔයාගේ පපුවේ සීතල වතුර වගේ වදිද්දි හුස්මක් ඉහලට අරගෙන ඔයා හිනාවුණා.

“පරිස්සමින් යන්න හොඳද“

“ඔයත් පරිස්සමින් යන්න බබා“

කාලයට ඔබ ජීවත් කල හැකි මෙන්ම ඝාතනයද කල හැක .... In time (2011)

   මුල් කාලීනව ලෝකයේ පැවතියේ බාටර් ක්‍රමය (Bater System) එහෙමත් නැතිනම් භාණ්ඩයට භාණ්ඩයක් හුවමාරු කිරීම මත තම අවශ්‍යතා සපුරාගන්න ලෝකයක්. එදා මිනිසාගේ වුවමනා සිමා සහිත වීම නිසා මේ ක්‍රමය එතරම් ගැටළුවක් නොවීය. නමුත් පසුකාලීනව සංකීර්ණ වන ලෝකය සමග මුදල් භාවිතයට පැමිණයහ, ඉන් අනතුරුව ආසන්න මුදල්, පසුව ඩිජිටල් හෙවත් ඉලෙක්ට්‍රොනික මුදල් (E-money) වර්තමානය දක්වා සම්ප්‍රේෂණය විය. අපට ඒ ක්‍රමවේදයන් දැන් හොඳින් හුරුපුරුදුය. සන්තකයේ මුදල් ඇත්නම් ජීවත්විය හැකි වටපිටාවක් වර්තමානයේ පවතින බව ඔබ හොඳින් දන්නා කාරණයකි. නමුත් ඔබ මදක් මෙලෙසින් සිතන්න. මුදල් යන හුවමාරු මාධ්‍යය වෙනුවට “කාලය“ යන පොදු මාධ්‍ය ලෝකය පුරා හුවමාරු මාධ්‍යය බවට පත්වුහ හොත් කුමක් සිදුවේවිද.

    මෙම කතා පුවත නිර්මාණය වන්නේ ගිය වසරේ නිර්මාණය වුනු In Time නැමති හොලිවුඩ් සිනමා පටය අලලාය. හරසුන් සහ අක්‍රමවත් සිනමා සම්ප්‍රදාය හොලිවුඩය ආක්‍රමණය කරන සමයේ සමස්ත ලෝකවාසී ජනතාවට හිතන්න යමක් ඇති කර අවසන් වන චිත්‍රපටයක් ලෙස මෙය හැඳින්විය හැක. ජස්ටින් ටිම්බර්ලේක් සහ අමන්දා සේප්‍රයිඩ් ගේ රංගනයෙන් හැඩවෙන මේ සිනමාපටයේ කාලය විසින් මිනිසා ජීවත් කරන අතර කාලය විසින්ම මිනිසා මරා දමයි.

Jun 5, 2012

ආයෙමත් ආදරෙන් - 7 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5  6 


  “චූටි පුතා කොහේද යන්නේ“

ඉරිදා දවසක දෙනියායේ නොයා හිටපු නිසා නැන්දලගේ ගෙදර ඉඳන් එලියට බහිද්දිම නැන්දා ඇහුවා.

“ටවුන් එක පැත්තට යනවා නැන්නේ“

“හා එහෙනම් පරිස්සමින් ගිහින් එන්නකො..අයියලත් දෙණිපිටියේ ගියා තාම නෑනේ“

අයියයි,අක්කයි පොඩි එකයි අක්කලගේ මහ ගෙදර ගිහින්. අයියටත් නිවාඩු ලැබෙන්නේ කලාතුරකින් නිසා එහෙම කොහේවත් යන්න වෙනවා අඩුයි. ගෙදර කව්රුවත් නැතිනිසා දැනුණු කම්මැලිකමත් එක්ක ටවුන් එක පැත්තට යනවා කියලා තීරණය කරේ ඒකයි. ඒ වෙනකොටත් හවස දෙක විතර වෙලා තිබුණා.

    ටවුන් එකට ඇවිත් යන්නේ කොහේද කියලා අදහසක් තිබුණෙත් නෑ. ඒත් එකපාරටම හිතුනේ පරෙවි දූව උපෝසථාගාරය පැත්තට ගියානම් හොඳයි කියලා. මම හිතන්නේ අවුරුදු දෙකකින් විතර යන්න බැරිවුණා එතනට. කොච්චර ලස්සන තැනක්ද. ඒ වගේම මම ගොඩක් ආස කරන තැනක්. හැම පැත්තෙන්ම මුහුදෙන් වටවෙලා රැල්ල ගහන සද්දෙත් එක්ක දැහැනකට සමවැදෙන්න කියාපු තැන

Jun 2, 2012

ආයෙමත් ආදරෙන් - 6 වැනි කොටස

පසුගිය කොටස්  1  2  3  4  5 


දවස් ගාණක් ගතවුනේ ඔලුව උස්සගන් වත් බැරි වැඩ ගොඩක් එක්ක. ඒත් සති අන්තේ ගෙදර ගිහින් ආවේ ගෙදරට සල්ලි දෙන්නත් එක්කමයි. සඳුදා උදේ ගෙදර ඉඳන්ම වැඩට ඇවිත් හවස නැන්දලගේ ගෙදර යන එක තමයි ක්‍රියාවලිය. ඒත් ඒ සඳුදා විශේෂයක් තිබුණා.නැන්දගේ පුත්‍රයාගේ ඒ කියන්නේ අයියගේ පුංචි එකාගේ බත් කවන එකට පුංචි පහේ වැඩසටහනක් තිබුණා. ඒක නිසා ෂෝට් ලීව් එකක් දාලා ගෙදර ආවා. කැවිලි පෙවිලි එහෙම සූදානම් කරලා පුංචි පහේ සතුට දනවන අවස්ථාවක් බවට නැන්දා ඒක පත්කරලා තිබුණා. අහල පහල හිතවතුන් කීපදෙනෙක්ටත් ආරාධනා කරලා තිබුණා. මමත් පොඩි එකාට මගේ ගානේ තෑග්ගකුත් අරගෙන කලින්ම ගියා.

  මම යනකොටත් වැඩකටයුතු පටන් අරගෙන තිබුනා. පැදුරේ තියලා තිබුණු දේවල් වලින් පුංචි එකා මුලින්ම අරන් තිබ්බේ පැස්ටල් පෙට්ටියක්. එහෙනම් ඉස්සරහට හොඳ චිත්‍ර ශිල්පියෙක් වේවි. කට්ටියම කෑම ටිකක් එහෙම කාලා බීලා සප්පායම් වෙන අතරේ දන්න අඳුනන කීප දෙනෙක්ම හිටියා.

 අල්ලපු ගෙදර පවුලම ඇවිත් තිබුණේ අසල්වැසියාට ප්‍රේම කිරීමේ සංකල්පය භාවිතාවෙන්ම ඔප්පු කරන්න වගේ. අන්කල්,ඇන්ටි සහ මාර දූතිකාවන් යුගලය. ජිත්මි සහ නෙත්මි එක වගේම ගවුම් දෙකක් ඇඳගෙන මල් වාස් දෙකක් තිබ්බා වගේ ඇවිත් හිටියා. ජිත්මිනම් ඉතින් පැත්ත පලාතක් බලන්නේ නැති නිසාද කොහෙද මට හරියට බැලුනෙත් නෑ, ඒත් නෙත්මිනම් ඇවිත් කතාකරලා ගියා.