Feb 29, 2012

සිතුවම පමණක් නොවේ හදවතද ඇඳි බැවින් එහි මත..


දුඹුරු පැහැ හා තද කළු පැහැ පැන්සල් දෙක වේගයෙන් කැන්වසය මත දඟලන්නට වූ කාල පරාසය තුල කුමක් සිදුවූයේද යන්න නොදත්තේය. නමුත් අවසානයේදී ඒවාට අධික මහන්සියක් දැනුන නිසාදෝ හෙමි හෙමින් තම කටයුත්තේ පශ්චිම භාගයට පැමිණ ඇති අයුරකින් හැසිරෙනු දක්නට ලැබිණි. ඇය සිටියේ මා ඉදිරිපිටය. ගල්බංකුව මත වැතිර සිහිලැල් පාෂාණ කඳමත මටසිළුටු කම්මුල තබාගෙන ප්‍රායෝගික සුවය විඳින අතර ඇයව සිතුවමට ප්‍රස්තුත වෙමින් තිබිණි. අවනත නොවන පරිදි හැසිරෙන කළු හා දුඹුරු පැන්සල් ඇයව කැන්වසය මත මවමින් සිටියහ.

    ඇගේ නෙත් දෙකෙහි රැඳුනු බැල්ම කියා පෑවේ කුමක්ද. එය පැන්සල් තුඩු වලට නොදැනුනත් මට දැනුනි. බොහෝ කල්ක් ගතවීත් ලඟ නොදැවටී දුරින් හිඳ සුසුම්විඳ පවරාගත් ආදරය. එය ආදරයක්මද නැතිනම් වෙනයම් හැඟීමක්ද යන්නවත් නොදැන තිබූ බැඳියාව සිතුවමකින් කෙලවර වන්නට තිබුණි. නමුත් ඇය ඇයගේම වන්නට තිබූ තැන පටන් ඔහුගේම වන්නට තිබෙන ලක්ෂ්‍යකට මාරුවෙමින් පැවති සංක්‍රාන්ති සමයකය. මගේ සිතුවමේ ඇය ඇඳෙමින් තිබිණි.

Feb 21, 2012

මා හදබැඳි සිංහල ගීත දහය



සිංහල ගීතය කියන්නේ විවිධ කාලවලදී විවිධවූ විපර්යාසවලට බඳුන්වූවත් තවමත් නොනැසී පවතින ගීත කලාවක්.එහිලා සුවිශේෂී මතක සටහන් තැබූ හදබැඳගත් ගීත අනන්තවත් ඒ අතර ඇත. පුද්ගලයන්ගේ රුචිකත්වය, වින්දනීය පරාසය හා රසඥතාව යන සාධක මත විවිධ වූ පුද්ගලයන් විවිධ මට්ටමේ ගීත තමන්ගේ කැමතිම ගීත ලෙස තෝරාගනිමින් ඒවා නිතර රසවිඳිනවා සේම බොහෝ දෙනෙක් ඒ කැමැත්ත පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නටත් පැකිලෙන්නේ නෑ.

සමහර ගීත එක්වරම අසීමිත ජනප්‍රියත්වයක් ලබලා නැත්තටම නැතිවී යන අවස්ථාත් අනන්තයි. අද මම ඔබට කියන්නේ මගේ හද ඇද බැඳ තබාගැනීමට සමත්වූ ගීත දහය ගැනයි. මම කැමතිම ගීත දහස් ගණනක් සිංහල ගීත අතර ඇතිමුත් එයින් දහයක් තෝරාගැනීම වනාහි ඉතාමත් සංකීර්ණ කර්තව්‍යයකි. නමුත් එකී කටයුත්තට මා පිවිසෙන්නේ මා නිතර ශ්‍රවනය කරන එසේම නිතර මාගේ මුවග රැඳෙන ගීත දහය මා කැමතිම ගීත දහය ලෙසින් ඔබට ඉදිරිපත් කරන්නෙමි. 

බොහෝ විට මගේ කැමැත්ත සහ ඔබේ කැමැත්ත අතර ඉතා පුළුල් වෙනසක් තිබිය හැක.එය පුද්ගලානුබද්ධව වෙනස්වන්නේ එහෙයිනි. මින් සමහරක් ගීත අද ගුවන් විදුලියේ හෝ ග්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල නොඇසෙන නොවැයෙන බැවින් ඇතමෙක් අසාවත් ඇත්දෝ යන්න සැක සහිතය. කෙසේ වෙතත් මා කැමතිම ගීත දහය මෙසේය.

Feb 20, 2012

අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - 8 වැනි කොටස

පසුගිය කොටස් 1  2  3  4  5  6  7

මෙතරම් ව්‍යසනයක් කලේ කුඩා පරිමාණයේ යන්ත්‍රයක් එහෙමත් නැත්නම් කුඩා හෙලිකොප්ටරයක් බව දැනගත් පසු රෙඩාර් යන්ත්‍රය වටා සිටි සියලුම දෙනාගේ මෙන්ම ගානර් වටේ සිටි ඉහල සහ පහල සියලුම නිලධාරීන් ඇස් උඩ තබාගෙන විශ්මය පලකරන්නට විය. නමුත් ගානර් නැමති අති සූර රහස් පරික්ෂකයාගේ මුවේ වූයේ මද සිනහවක් පමණි. එයින් ඔහු මෙම යන්ත්‍රය පිළිබඳ දැන සිටි බව පෙනෙන්ට විය. නැවත වතාවක් මේ දක්ෂ රහස් පරික්ෂකයා ලොවෙන් වසන් වෙන්නට තිබූ මහා අපරාධයක් හෙලිකරගැනීමේ අන්තිම කෙලවරට පැමිණ ඇති බව සියලුම දෙනාට දැනෙන්නට විය.

මදක්වත් තම කටයුත්ත ප්‍රමාද නොකල ගානර් නැවතත් රෙඩාර් යන්ත්‍රය පරිපාලක වෙතට ඇමතුමක් ලබාගත්හ.

“හෙලිකොප්ටරය කොහේටද ගමන් ගන්නේ..අපි එය වහාම අල්ලාගත යුතුයි“

එකෙනෙහිම රෙඩාර් යන්ත්‍රය භාර කණ්ඩායම හෙලිකොප්ටරයේ පිහිටීම වාර්තා කලහ.

“සර් එය යන්නේ එතින්සින් විල දෙසට..දැන් එය ලීඩ්ස් වලට කිලෝමීටර පහක් මෙපිටින්“

Feb 19, 2012

තනිකඩයින් තම “නිදහස් දිනය“ චාම් එහෙත් අභිමානවත් ලෙස සමරති!


ලොව පුරා වෙසෙන තනිකඩයන් පෙබරවාරි 14 වැනි දින තම නිදහස් දිනය ලෙසින් මේ වසරේත් චාම් එහෙත් අභිමානවත් ලෙස සමරණු ලැබීය. මේ ඒ වෙනුවෙන් නිර්මාණය කල වාර්තාමය වැඩ සටහනකි....

ඔව් ලෝකවාසී තනිකඩයන්ට පෙබරවාරි 14 යනු ඉතා සුවිශේෂී දිනයක්. මොකක්ද එයට හේතුව.එයට හේතුව තමයි එය ලොවපුරා තනිකඩයන්ගේ නිදහස් දිනය වීම. වසරේ දවස් 364 පුරාම විවිධ හේතු මත කාර්යබහුල වන ඔවුන් පෙබරවාරි 14 පමණක් සිය නිවෙස්වලට වී ඉතාමත් සතුටින් සහ අභිමානයෙන් සිය නිදහස් දිනය සැමරීම ඉතාමත් ප්‍රීතිමත් කාරණයක්.මෙවරද එය එලෙසින්ම ලොව පුරා දක්නට ලැබුණා.අපි කතාකරමු මෙවර ලංකාවේ එය කෙසේ සැමරීද යන්න.

පෙබරවාරි 14 ලෝක ආදරවන්තයින්ගේ දිනය ලෙසද නම්කර තිබීම හේතුවෙන් එදින ආදරවන්තයින්ටනම් වසරේ කාර්යබහුලම දිනය වේ. එසේම පෙම්වතුන්ගේ පොකට් හිස්වෙන හා පෙම්වතින්ගේ හිත පිරෙණ එකම දිනය ලෙස එය සමාජ මට්ටමෙන් හදුන්වනු ලැබේ. කෙසේ වෙතත් පෙම්වතුන්ට අභාග්‍යයක් වූ තනිකඩයන්ට අභිමානවත් දිනයක් වූ පෙබරවාරි 14 දින ලංකාවේ පෙම්වතුන් කෙසේ හැසිරුනිද සහ තනිකඩයන් තම නිදහස් දිනය කෙසේ සැමරුවේද යන්න මෙයින් විමසා බලමු. මුලින්ම අපේ සාකච්ඡාව සමගින් එකතුවුනේ ශ්‍රී ලංකා පෙම්වතුන්ගේ සංගමයේ ගරු වැඩබලන සභාපති එස්.එම්.එස්.ආදරබර මහතා.

Feb 14, 2012

තෙල් අර්බුදය යනු ලොකු බැරලයක තඩි හිලකි..


ඔබට මතකනම් මීල වසර කීපයකට පෙර ජාතික රූපවාහිනියේ විකාශය වූ අපූරු සිංහල හඬ කැවූ කාටූන් මාලාවක් විය.එය නමින් “කූඹිච්චී“  විය. එහි වූ අපූරු කොටසක් මගේ මතකයේ රැඳී ඇත. එහිදී කූඹිගම හා සතුරු ගමක් අතර ගැටුමක් ඇති වේ. මෙය කූඹින්ට අනුවනම් දරුණු යුද්ධයකි. මෙම යුද්ධයට කූඹිච්චි ප්‍රමුඛ කූඹි ගමේ බහුතරයක් යති.ඒ අතර සිටිනා  එක් බියගුළු කෘමියෙක්ද කෙසේ හෝ කටමැත දොඩවමින් යුද්ධයට යයි. යුද්ධය ආරම්භවන මොහොතේ මේ කටකාර එහෙත අලස කෘමියා විශාල වලකට වැටේ. කෙසේ හෝ කූඹිගමේ පිරිස යුද්ධය ජයගනී, මුලින්ම ගමට පැමිණෙන්නේ වලේ වැටුණු කෘමියාය.ඒ වනවිටත් යුද්ධය ජයගැනීමෙන් සතුටු වී සිටින ගමේ පිරිස කෘමියා වීරයෙක් ලෙස පිලිගනී.

කෙසේ හෝ ජයඝෝෂා අතර මාධ්‍යකරුවන් පැමිණ වීර කෘමියාගෙන් විවිධ ප්‍රශ්න අසයි.එක් මාධ්‍යකරුවෙක් අපූරු ප්‍රශ්නයක් නගයි.

Feb 10, 2012

ජනාධිපති මොහොමඩ් නෂීඩ් | හිතමිතුරාගේ ඇදවැටීම


මාලදිවයිනේ ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ඉල්ලා අස්වී ඇත. උප ජනාධිපති තනතුර හෙබවූ තැනැත්තා ජනපති වී ඇත. ඇත්ත වශයෙන්ම කිවහොත් නෂීඩ්ට ඉල්ලා අස්වන තැනට පත්කර ඇත. නෂීඩ් යනු අතිශ්‍යයින්ම සාර්ථක හා දූරදර්ශී නායකයෙක් ලෙස මා හඳුන්වන්නේ නැත. නමුත් නෂීඩ් යනු ලංකාවට අවැසිම පුද්ගලයෙකි. මාලදිවයින් ජනාධිපතිවරයා වශයෙන් මෙන්ම පැහැදිලි චින්තකයෙක් ලෙස වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මොහොමඩ් නෂීඩ් යනු ලංකාවේ වත්මන් නිදහස් හා නිවහල් වාතාවරණයට මෙන්ම තිර පැවැත්මට තිරය පිටුපස සිට ඉමහත් සේවවාවක් කල පුද්ගලයෙකි.

“සතුරාගේ සතුරා අපේ මිතුරා“ යන මතයේ අන්තයේ සිට මම සැමදාමත්  කරුණු ඉදිරිපත් කරන්නෙක්මි. ගඩාෆිට බටහිර එලව එලවා පහරදෙන විට අප විස්සෝප වූයේ ගඩාෆි සතුරාගේ සතුරා පමණක්ම නොව ඊට වඩා එහා ගිය වරප්‍රසාද ලංකාව වෙත පුදකල අයෙක් වූ බැවින්ය. ගඩාෆි යුගය අවසන් විය. දැන් ලිබියාවේ ඇත්තේ බටහිර කොළණියකි. එහි සාරය තවත් උරාබොන්නට ඉතිරිවී නැති අතර දකුණු ආසියාවට තවත් ලිබියාවෙන් ලැබෙන්නට දෙයක් නැත.

Feb 9, 2012

“භවතු සබ්බ මංගලම්“ සහ රැඩිකල් බෞද්ධයා


මේ දිනවල ප්‍රධාන මාතෘකාව ලංකාවේ එක්තර සංගීත කණ්ඩායමක් විසින් ගායනා කරන ලද එක්තරා ගීතයක බොදු දහම හා බැඳුන සිංහල චාරිත්‍ර හා බැඳුනු පාලි ගාථා පාඨයක් වන “භුවතු සබ්බ මංගලම්“ පාඨය ගීතයක රැප් සංගීතය සමග යොදාගැනීමයි. ප්‍රථමයෙන්ම කිව යුතු වන්නේ මෙම පාලි ගාථා පාඨයෙන් කියවෙන්නේ තිසරණ සරණයේ ආශිර්වාදයෙන් මගුල් කරුණක් යෙදුන මොහොතේ සියලු දෙවි දේවතාවුන්නේ රැකවරණයත් අදාල පාර්ශවයන්ට ලැබේවා යන පැතුමයි. එය හුදෙක් විවෘත සිතකින් කරන නිර්ව්‍යාජ පැතුමකි. එය විවාහ මංගල අවස්ථාවකදී පමණක් යොදාගන්නා එකක් නොවේ.

මෙම ගීතයට එරෙහිව කරුණු දක්වන්නාවූ පිරිසක් මෙන්ම මෙම ගීතය සාධාරණීකරණය කරමින් මෙම ගීතයෙන් සිදුවන හානියට වඩා වැඩි හානියක් සිදුවන පාර්ශව බෞද්ධාගම තුලම පවතින් බවට මත පලකරන පිරිසක්ද වේ. මේ දෙපිරිසේම තර්ක හා ප්‍රස්තුත කරුණු නිරපේක්ෂව මෙන්ම සාපේක්ෂවද සත්‍ය බව පිළිගත යුතුය.

Feb 2, 2012

මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා....


මාතර ගඟ යනු නිල්වලා ගඟයි.එහි කිඹුලන් අඩුවැඩි වශයෙන් වෙසෙනා බව ශ්‍රී ලාංකිකයන් පමණක් නොවෙයි ලෝකවාසී සත්ව විද්‍යාව පිළිබඳ ඇල්මක් දක්වන්නාවූ අත්‍ය බහුතරයක් දෙනා දන්නා කරුණකි. පසුගිය දිනකද මාතර කද්දූව ප්‍රදේශයේ කාන්තාවක් දියනාමින් සිටියදී කිඹුලෙක් විසින් ඇදගෙන යාම හේතුවෙන් නැවත වතාවක් මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ කතාව කරළියට පැමිණියහ. කිඹුලිය ගැන කතාකිරීමට කලින් මාතර නිල්වලා ගඟ ගැන මදක් කතා කිරීම වඩාත් වටී.
  
  මාතර නිල්වලා ගඟ ආරම්භවන්නේ මාතර දෙනියාය හා රත්නපුරය වෙන්වෙන සීමාවේදීය. නැත්නම් සිංහරාජ ලෝකඋරුම රක්ෂිතයේ කඳුකර තෙත්බිම් ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයේ ජල මූලාශ්‍ර එක්වීමෙන් ඒවා දක්ඛිණ දිශාවට ගලාඒමෙන් නිල්වලා ගඟ නිර්මාණය වේ. ආරම්භක ජල පෝෂක සීමාවේදී කුඩා ඇලක් ආකාරයෙන් ඇරඹුණත් කිලෝමීටර සියයකට ආසන්න දුරක් සයුර බලා බඳ ලෙලවමින් පැමිණෙන නිල්වලා ගංකොමළිය මාතර නගරය ආසන්න තොටමුණ වෙරළ සීමාවෙන් භාරත් සයුරු කුමරු තුරුලට වදින්නීය. මාතර නිල්වලා ගඟ පුළුල්වීම ආරම්භවෙන්නේ අකුරැස්ස ගොඩපිටය ප්‍රදේශය ආසන්න වෙත්මය.එය කද්දූව,නාවිමන පෙදෙස් පසුවෙද්දී තවත් පලල වේ.