Apr 30, 2016

“කන්ද“ කඩා වැටෙයි සිතූ “කෙන්ද“ බලාපල්ලා




පත්තර රස්සාවට ඇවිත් එච්චර කාලයක් නැතිවුණාට පත්තර එක්ක හැප්පෙන ජීවිතේ හොඳ වගේම නරකත් එමට තියනවා. පහුගිය කාල පරිච්ඡේදෙම මුහුණ දුන්නේ හොඳට වඩා නරකට කිව්වොත් ඇත්තෙන්ම සර්ව සාධාරණයි. සමහර වෙලාවට දෙවි දේවතාවුන් විදිහට වෙස්වලාගෙන පුද සත්කාර ලබන, ලෝකෙට බණ කියාගෙන පාත්තර පුරවගන්න අය පට සළුපිලි ගලවලා දාලා ඉන්නකොට මහ පොළවේ පයගහල ඉන්න කාඩ යක්කු කියලා තේරෙන්න එච්චර පරක්කු වෙන්නේ නෑ. එහෙම වෙලාවට ජීවිතය බවට පත්වෙලා තියන පත්තර රස්සාව තවදුරටත් රස්සාවක්ම මිස ජීවිතය නෙවෙයි කියන තැනට නිරායාසයෙන්ම එන්නේ හිතට එන කාළකණ්ණි හැඟීම් සමුදාය එක්කම තමයි. කොහොමවුණත් බොරු වෙස්මූණු දාගත්ත දෙවිවරුන්ගේ පෙරේත ආත්මයන් දැකගන්න ලැබෙන්නත් ලේසි පහසු පින් කරලා බෑ.

පේ‍්‍රමකීර්ති එදා ගුවන් විදුලියේ හිටිද්දි කන්ද කෙන්ද කරනු පිණිසගීතය ලියන්නේ ඒ උපමා උපමේය අතරේ හැංගිලා තියන තමන්ගේ ජීවිතේ එදා මුහුණදෙමින් තිබුණ අත්දැකීම් විස්තර කරන්නත් එක්කයි. කොච්චර දක්ෂයෙක් සහ නිර්මාණාත්මක කලාකරුවෙක් වුනත් ඒකම පේ‍්‍රමකීර්තිගේ අවාසියට හේතුවෙන්නේ ඉස්සරහට ගමනක් යන්න වේගයෙන් අඩිය තියන මිනිහගේ කකුලෙන් අදින අමනයන් රැුළක් කොහෙත් ඉන්න නිසාමයි. එදා ගුවන් විදුලියේ තමන්ට පහර ගහන, කකුලෙන් අදින, චෝදනා කරන අමනයන්ට පේ‍්‍රමකීර්ති අතින් පයින් හෝ කේලාම්,පෙත්සම් වලින් හරි උත්තර නොදී නිර්මාණාත්මක විදිහට උත්තර දීපු නිසයි අද පේ‍්‍රමකීර්ති නැතිවුණත් නම ඉතිරිවෙලා තියෙන්නේ. හැබැයි ඔහු කිව්ව කතාව සදාකාලික සත්‍යයක් කියලා අපිට තේරුම්ගන්න වෙනවා. අන්ද මන්ද ඝන අඳුරේ කෙන්ද පටලැවීලා - කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලාකියලා කියන කතාව හැම කෙන්දකට වගේම හැම කන්දකටත් අදාලයි.

Apr 27, 2016

පුර අටවක - දෙවනි කොටස



කස්සප හාමුදුරුවන්ට අවශ්‍යවූයේ ලඟම තැනකට ගොස් මේ අනාරාධිත මුස්ලිම් ජාතිකයා කියන කතාවේ ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමටය. රැළියේ මතකය මුළුමනින්ම හිතෙන් තුරන්වී ගොස් අවසන්ය. හිතේ මතුව තිබූ ආගන්තුක හැඟීම් සමුදාය සමග පොරබදමින් සිටි කස්සප හිමියන්ගේ පසුපසින් වචනයකුදු නොදොඩා මුස්ලිම් ජාතිකයා ගමන් කරමින් සිටියහ. සුදු පැහැයෙන් සැරසුණු තරුණ ආරක්ෂකයන් කිහිපදෙනෙක්ම හිමියෙන් ඉදිරිපසින් සහ පිටුපසින් ගමන්කරමින් සිටියහ. නුගේගොඩ වෙළඳ සංකීර්ණයේ කඩයක් පවත්වාගෙන යන කස්සප හිමියන් හොඳින් හඳුනන ව්‍යාපාරිකයෙක්ගේ සාප්පුවක් පැත්තට උන්වහන්සේගේ පය එසවුණේ එතරම්ම අවබෝධයකින් නොවේය.

මීට සුළු මොහොතකට කලින් යකඩ කටින් හඬ ඇසුණු කස්සප හිමියන් නොසිතූ මොහොතක තමන්ගේ සාප්පුව පැත්තට පැමිණෙන බව දුටු කඩ හිමියා දැඩි විමතියකට පත්විය. එහෙත් පැමිණෙන පිරිසගේ මුහුණුවල ඇති අවිනිශ්චිතතාව නිසාවෙන් කුමක් හෝ ප්‍රශ්නයක් පැන නැගී ඇතිබව ව්‍යාපාරිකයා ඉක්මණින්ම තේරුම්ගත්හ. සාප්පුව තුළට පැමිණෙන ලෙසට හාමුදුරුවන් ඇතුළු පිරිසට ආරාධනා කර දඩිබිඩියේම සාප්පුවේ පිටිපස්සේ කොටසට ගොස් සුදු ඇතිරිල්ලක් ගෙනැවිත් හොඳම පුටුව තෝරාගෙන එහි අතුරා කස්සප හාමුදුරුවන් හට අසුන්ගන්නට ඉඩ සලසා දී දණ ගසා වැඳ ආචාර කල ව්‍යාපාරිකයා හාමුදුරුවන් ආමන්ත්‍රණය කරන්නට විය.

Apr 24, 2016

පුර අටවක - පළමුවැනි කොටස


නුගේගොඩ නගරයේ ජනාකීර්ණ කාර්යබහුලත්වය අඩුවක් නොවූ එදා එළිමන් රංඟපීඨය ආසන්න භූමියේ වූයේ වෙනදාටත් වඩා කලබලයකි. කසාවතින් සැරසි භික්ෂූන්, සුදුවතින් සැරසුනු ජනතාව සහ විවිධ වර්ණ සළුපිළි ඇඳගත් මිනිසුන් සවස්භාගයේ දැඩි දාහය ඉවසමින් එක රොත්තට එම ස්ථානයේ රැඳී සිටියහ. කහ පැහැති කොඩි සහ බෞද්ධ කොඩි ගුවනේ සරුවට ලෙලදෙමින් තිබුණු අතර යකඩ කටවල් තුළින් ජාතික අභිමාන ගී සහ මොහිදීන් බෙග් ගේ හඬ ගුවනට මුසුවෙමින් තිබිණි. කොහුවල දෙසින් පැමිණෙන රථවාහන මෙන්ම, නාවල දිසාවේ සිට පැමිණෙන වාහන නුගේගොඩ නගර මැද තිබූ ජන පෙළගැස්ම හේතුවෙන් එක පෙළට මාර්ගය අතරමැද තදබදයට හසුවී තිබිණි. දිගින් දිගටම ඇසෙන වාහන නළා හඬට යකඩ කටේ ශබ්දය නතරකල නොහැකි විය.

අති බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව පෙරටු කරගත් බොදු රැළිය ආරම්භ කරන්නට සියළු කටයුතු සංවිධානය කර තිබිණි. ගිහි පැවිදි කථිකයන් සහ ප්‍රභූවරුන් ඒ වනවිටත් වේදිකාවේ අසුන්මත රැඳී හුන් අතරම රැළිය ආරම්භවන තෙක් දෑස් දල්වාගෙන සවන් යොමාගෙන සිටි ජනතාව වේදිකාව මත සිටින්නන් දෙස අවධානයෙන් බලා සිටියහ. එවකට ලංකාවේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීම් ගණනාවකට සම්බන්ධ සංවිධානයක් විසින් මෙහෙයවන මෙම රැළියේ ප්‍රධාන කථා කිහිපයක්ම පැවැත්වීමට නියමිතව තිබිණි. ලේ කකියන මුහුණු සහිතව ජනතාව අපේක්ෂාවෙන් සිටියේ ඒ කතා මිස යකඩ කටින් ඇසෙනා ගීත නොවේය.

Apr 18, 2016

“අපේ ඉසව්වට“ අවුරුදු හයයි..!


හරියටම අද දවසට “අපේ ඉසව්ව“ බ්ලොග් අඩවියට අවුරුදු 6යි. අවුරුදු හයක් කියන්නේ ලෙහෙසි පහසු කාලයක් නෙවෙයි. 2010 අප්‍රේල් 18 ඉඳන් මේ දක්වාම නොනැවතී ක්‍රියාත්මක වෙන සිංහල බ්ලොග් අඩවියක් විදිහට අපේ ඉසව්ව ගැන නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. 2010 දි පටන් ගනිද්දි තිබුණු ප්‍රතිපත්තිමය කාරණා තවමත් ආරක්ෂා කරගනිමින් “නිදහස් අවකාශයක නිවහල් අදහස්“ යන තේමාවෙන් අපේ ඉසව්ව පාඨක ඔබ වෙත තිළිණ වෙනවා.

2010 අප්‍රේල් 18 ගාල්ල වටරැකදී ප්‍රථම වතාවට අන්තර්ජාලයට එක්කරපු අපේ ඉසව්වට ඒ නම ලබාදීමේ ගෞරවය හිමිවන්නේ මා සොයුරු ජනිත ප්‍රේමරත්නටයි. අන්තර්ජාතික භාෂාවෙන් බ්ලොග් කලාවේ අවුරුදු 2කට වැඩි කාලයක් නිරතවෙමින් ඉඳිද්දි ඔහුගේ ඉල්ලීමක් අනුව තමයි මුලින්ම අපේ ඉසව්ව ආරම්භකලේ. වසර හයක් ඇතුළත බොහෝ අත්දැකීම්, සහෘද පාඨක පිරිසක් අපේ ඉසව්ව බිහිකරලා අවසන්. බොහොමයක් ඇගයීම් වගේම ගැරහීම් එකතු කරපු මේ වසර හය ලේඛන කලාවේ වර්ධනයට සෘජු දායකත්වයක් දුන් බව ඉතාම සංවේදීව කිව යුතුමයි.

Apr 17, 2016

හැංඟි හැංඟි එබිකම් කලා - හොරැහින් ඔබේ හිත අස්සේ..


දැන් කොරියන් කතා හිස්ටීරියා තත්ත්වය කෙමෙන් මැකී යමින් පවතින අතර නැවතත් සුප්‍රසිද්ධ ඉන්දියානු කතා ප්‍රේමීත්වය මතුවෙමින් ඇත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාව සමග ඔරොප්පුවී ඉන්දියානු කලා ආනයනයන්ට සත්තමක් දමන්නට කටයුතු කල කාලයේ ඇතැම් නාලිකාවල පැය භාගය හමාර කළුපාට විතරක් දක්නට ලැබුණේ කාලයක් පත්තරවල ඡේද පිටින් “බලධාරියා විසින් කපා හරින ලදි“ යනුවෙන් තිබූ පරිද්දෙන්මය. 

ඒත් ඉන්දියානු මෙගා ටෙලි වලට සහ ෆිල්ම් වලට බකට් වැටුණද කොරියානු ආදේශකය සාර්ථක බව මුලින්ම පෙන්වා දුන්නේ ස්වාධීන් රූපවාහිනියේ “ෆුල් හවුස්“ කතාවත් එක්කය. සුප්‍රසිද්ධ කොරියන් පොප් ගායන තරුවක් සහ සුරූපි නිළියක් චරිතවලට පණ පෙවූ එම කතාවෙන් ලංකාවේ චැනල්වල කොරියන් බෙල්ට් එක පාඩු නැතිබව පෙන්වා දෙන්නට විය. ඊට පස්සේ ජාතික රූපවාහිනිය “සුජාත දියණිය“ “අභීත දියණිය“ වැනි කතා පෝලිම් ගස්සවද්දි අනිත් නාලිකාද නිකං සිටියේ නැත. ඉන්දියානු මෙගා බල්ලට දමා කොරියාවේ කුණු බක්කිවල තිබුණ ඩී.වී.ඩී තැටි පවා උස්සගෙන ඇවිත් චැනල්වල පෙන්වන්නට විය. දැන් ඒ අසනීපයද අවසන්වී ඇත. නැවත ඉන්දියානු මෙගාවාදිත්වය මතුවෙමින් ඇත.

Apr 16, 2016

ලසිත් මාලිංග හෙවත් Clear Sri Lankan Cricket Icon


ශ්‍රී ලංකාවේ ජනතාව වනාහී අනූරූපවාදිත්වය හෝ අනුප්‍රාප්තවාදිත්වය පිළිබඳ හර සංකල්ප සහමුලින්ම අමතක කරගෙන කටවටේ වක්කඩ කඩාගන්නා මිනිසුන් පිරිසක්බව අමුතුවෙන් කිවයුතු නැත. ලංකාවේ මිනිස්සු අතීතයේ පටන් අනුප්‍රාප්තිකයන්ගේ පෙර සිටි පුද්ගලයාගේ ලක්ෂණ අපේක්ෂා කරමින් නිරතුරුව ඉච්ඡාභංගත්වයට පත්වන පිරිසකි. 

බණ්ඩාරණායකගේ ලක්ෂණ සිරිමාවෝගෙන් බලාපොරොත්තුවී එසේ නොවුණ තැන සිරිමාවෝගේ ඔසරිය ගලවන්නට ශ්‍රී ලංකාකාරයෝ කතා කරමින් දුක්වූහ. ජේ.ආර් ගේ කියුම් කෙරුම් ප්‍රේමදාසගෙන් ඉටුනොවුණ තැන යූ.එන්.පී කාරයෝ විස්සෝපවූහ. විජේවීර තරම් සෝමවංශ රැඩිකල් නොවුණ තැන ජේ.වී.පී කාරයෝ විජේවීර කෙනෙක් අලුතෙන් සොයන්නට පටන්ගත්හ. ඒ දේශපාලනය නැමැති දහ අට සන්නිය පැත්තෙන් සිදුවූ දේ ය.