May 28, 2012

ආයෙමත් ආදරෙන් - 5 වැනි කොටස

පසුගිය කොටස් 1  2  3  4 

මම කඩිමුඩියේ කාර්යාලය තුලට දිව්වේ ප්‍රමාදවීම නිසාම නොවෙයි. සමීර හොයාගෙන සිද්ධවුණු දේවල් ටික කියන්න තිබුණු හදිස්සියට. කව්ද දෙයියනේ දන්නේ මෙහෙම හෙණ ගෙඩි පාත්වෙනවා කියලා. දැන් අයිතිකාරයෙක් සද්දේ දානවා. මේ දවස්වල නරක ග්‍රහයෙක් කැරකෙනවද කොහෙද. නොකරපු වැරදි වලට දඬුවම් ලැබෙන යෝගයක්වත් ලබලද කොහෙද.

“මචං සමීරයෝ මාර වැඩේනේ බන් වුනේ“

සමීරය හොයාගත්තු ගමන් උගේ මේසේ ඉස්සරහ වාඩිවෙලා කියන්න පටන්ගත්තා කතාව. සමීරයා ලිපිලේඛන කන්දක් මේසේ උඩ දිගඇරගෙන හිටියේ. අපරාදේ කියන්නේ සමීර හොඳ කාර්යාල සේවකයෙක්, කවුරුහරි ඕපදූපයක් කියන්න ආවම සේරම රාජකාරි වැඩ පැත්තක තියලා ඕපදූප අහන්න රුසියා.

“දැන් මොකක්ද උඹේ මාර වැඩේ“

සමීර ලිපිගොනු අස්සෙන් ඔලුවදාලා ඇහුවා.

“මම ආපු බස් එකේ අර අපේ අල්ලපු ගෙදර ලොකු කෙලී ජිත්මිත් ආවා“

“ආ...උඹ අදත්  බැනුම් ඇහුවද මගේ ඇස් පාරට“

May 25, 2012

ආයෙමත් ආදරෙන් - 4 වැනි කොටස




 සමීර එක්ක තිබුණු තරහ දවස තිස්සෙම අඩුවුනේ නෑ. සැරින් සැරේ මගේ මේසෙට ඇවිත් පුරුදු විකාර ටික කරලා ගියත් හිතේ තරහ අඩුවුනේ නෑ. අනිත් සෙට් එකේ එවුන් ඇවිත් එක එක ඒවා කියලා ගියත් ඉවසදරා ගන්න බැරි තරහ තිබුණේ සමීරයා එක්ක විතරක් නෙවෙයි. අහක යන හට්ටියක් මගේ ඔලුවේ නවපු එකට අල්ලපු ගෙදර මාර දූතිකාව නෙත්මි එක්ක මාළු කන්න තරම් තරහක් මගේ හිතේ තිබුනා. ඒ තරහටම හවස සමීර එනකන්  ඉන්නෙත් නැතුව තනියමම ස්ටෑන්ඩ් එකට ආවා. ඇවිත් මුලින්ම තිබුණ බස් එකේ නැගලා ගෙදර ගියා.

   හවස අයියාගේ චූටි එකත් වඩාගෙන ටිකක් එලිපහලියේ ඇවිදින්න හිතුනේ හිතේ තිබුණු බර අඩුවෙන්නත් එක්ක. තාම යන්තන් ඇඟ කෙලින් කරන් හිනාවෙන්න කෑගහන්න පුළුවන් කම තිබුණු පුංචි එකා මගේ අතට වෙලා හොඳට හිටියේ මම මිදුල පුරාම එයාව අරන් ඇවිද්දවන නිසා.

  එතකොටම මල් වට්ටියකුත් අරන් එලියට ආවේ ජිත්මි. ඒත් වැට මායිමේ ගස්වලට වැහිලා එයාට මාව පේන්නේ නෑ. අර මාර දූතිකාවනම් ලඟපාත හිටියේ නෑ. ජිත්මි සින්දුවකුත් කියාගෙන මල් කඩන්න මිදුල පුරා යන්න ගත්තා. මට එයාව පේන්නෙත් මල්ගස් අතරින් විතරයි. ජිත්මි වතුසුද්ද ගහ අද්දර ඉඳගෙන සීරුවට මලින් මල කඩන්න ගත්තේ සින්දුවත් මුමුණන ගමන්මයි.

May 24, 2012

සැබෑ බෞද්ධයා සහ දේවතා එලි අතර මනෝභාවාත්මක ඥාතීත්වය

ඡායාරූපය - ලසිත ගයාන් සචීන්ද්‍ර

විටින් විට ලෝකයේ විවිධ ආශ්චර්යය මතුවෙති. ඉන් බොහොමයක් ආගම් හා ජාතීන් මූලික කරගෙන සිදුවෙති. මෑත කාලීනව අපේ දෘශ්ටි පථයට හසුවන මට්ටමේ පුදුමාකාර දේවල් වලට ලද සුප්‍රසිද්ධිය ලද සිද්ධාන්ත කීපයක් වෙති. ඉන් එකක් නම් සෝමාවතියේ දේවතා එලි මතු වීමයි. හුදී ප්‍රඥාසම්පන්න බෞද්ධදා මෙම ලිපිය කියවන්නට ආරම්භකරන මොහොතේ කුමන ආකල්පයකින් මගේ ස්වතන්ත්‍ර මතය පිලිබඳ සැලකූවත් ලිපිය අවසානයේ හුදෙක් තම පුද්ගලික අදහසට එකතුවූ නව යමක් වෙත්නම් එය පිළිබඳව පමණක් අවධානයෙන් මෙම ලිපියට ප්‍රවේශය තබමි.

  මෑත කාලීනව පුවත්පත් වලට සෝමාවතිය වස්තු බීජයක් වන්නේ මානුෂික මෙහෙයුම් වලින් අනතුරුව මුදවාගත් සෝමාවතියට ජන සන්නිපාතයක් ඇදීයාමත් සමගය. නමුත් මිට දශක ගණනකට පෙරාතුවත් සෝමාවතියෙන් මෙන්ම අසදෘශ්‍ය චෛත්‍යරාජයාණන් ලෙසින් අප හඳුන්වන රුවන්වැලි මහා සෑ රදුන් ගෙන් සහ කතරගම කිරි වෙහෙර භූමියෙන්ද දේවතා එලි සහ බුදුරැස් දර්ශනය වීම සිදුවීම හා ඒ පිළිබඳ විවිධ කටකතා සහ මාධ්‍ය වාර්ථා ප්‍රචලිත වීම සිදුවිය. එය නැවත වතාවක් ජනගහණයෙන් වැඩිවන විට සෝමාවතිය අන්තයෙන් නැවත ඉස්මතුවන වකවානුවක මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ මෙම සිද්ධිමාලාව ස්පර්ශකර එය තුලට වැද සත්‍ය සෙවීමය.

May 21, 2012

ආයෙමත් ආදරෙන් - 3 වැනි කොටස

පසුගිය කොටස් - පලමු කොටස   දෙවනි කොටස 

 බස් එකක් අල්ලගන්න පරක්කු වුන නිසා නැන්දගේ ගෙදර එද්දි ගොඩක් පරක්කු වුනා. ගෙදර ගේට්ටුව ලඟදිත් අල්ලපු ගෙදර දිහා බැලුවේ අර මාර දූතිය කඩු පොලු අමෝරගෙන ඉන්නවද දන්නෑ කියලා. වෙලාවට නෑ..ඕකට තමයි කියන්නේ ගොරවන තරමට වහින්නේ නෑ කියලා...ඒකිගෙත් බොරු ගොන්පාට් විතරයි.මට පේන විදියට සමීරයා ගහපු ඇස් පාරට මේකි සරෙන්ඩර් වගේ..පවු පොඩි කෙල්ල.

මම තනියම හිත හිත ගෙදර ආවා. ටිකක් රෑ වෙලා ඉස්තෝප්පුවට වෙලා අහස දිහා බලන් ඉන්න එක හිටපු ගමන් මගේ පුරුද්දක්. ඒ වෙලාවට පලාතම නිෂ්ෂබ්ද නිසා මුහුදේ හඬ හොදට ඇහෙනවා. නැන්දලගේ ගෙදර ඉඳන් මුහුදට කිලෝමීටරයක්වත් නෑ. අහස දිහා බලන් ඉන්නකොට ඇහෙනවා ජිත්මිලගේ ගෙදර පැත්තෙන් ලස්සන සිංදුවක්..මම හිතන්නේ ජිත්මිගේ කාමරෙන් වෙන්න ඕන..මොකද මේ වගේ ප්‍රේමාන්විත සින්දු අහන්න රසවින්දනයක් අර මාරදූතිට තියෙයි කියලා හිතන්න අමාරුයි.

May 18, 2012

ආයෙමත් ආදරෙන් - 2 වැනි කොටස

පලමු කොටස කියවන්න



   මගේ කතාවට නැන්දගේ හිනාව නැවතුනේ බොහෝ වෙලාවකට පස්සෙයි. මටනම් හිනා යනවා තියා නිකං ඉන්නත් බැරි තරමට තරහ ගිහින් තිබුණේ අල්ලපු ගෙදර පොඩි වැඳිරිගේ වැඩවලට.

“අනේ නෑ චුටී පුතේ..ඒ දරුවා ටිකක් දඟ වුනාට හරි හොඳයි..ඒක ඒ දරුවගේ හැටි..අන්කල් ඉන්න කාලේ හරි ආදරෙයි අංකල්ට..දැන් ඔය දරුව ඉන්න නිසා වෙන්න ඇති මේ පැත්තට වැඩිය එන්නේ නැත්තේ. නැත්නම් මෙහේම තමයි.ඒත් ලොකු දරුවානම් කොහොමත් වැඩිය නෑ..පාඩුවේ ඉන්නවා“

නැන්දා කියපු කතාවට හිතනම් ටිකක් නිවුනා. එහෙම්ම කාමරේට ගිහිල්ලා ඇඳුම් පිටින්ම ඇඳට වැටුනා. අක්කා පොඩි එකාව සෝදනවද කොහෙද පොඩි එකා හොඳටම කෑ ගහලා අඬනවා. සිතුවිල්ලකිනි තොරව ටික වෙලාවක් එහෙම්ම ගතවුනා.

May 14, 2012

ආයෙමත් ආදරෙන් - පලමු කොටස

“ආ...මඩිහ හෝල්ට් එකේ බහින කට්ටිය ඉස්සරහට එන්න..මඩිහ බහින කට්ටිය ඉස්සරහට එන්න“

සුපුරුදු කෑගහන මේ සද්දේ නුපුරුදු විදියට ඇහෙනකොට ගැස්සිලා ඇහැරුනේ පුරුදු විදියටම තමයි. මාතර ටවුන් එකේ ඉඳන් මඩිහට ඕනමනම් කිලෝමීටර පහක් ඇති. වැලිගම බස් එකට ඒ දුර යන්න විනාඩි විස්සක් විතර ගියාට ගාල්ල බස් එකක් නම් විනාඩි දහයෙන් එනවා. මේ කිලෝමීරට පහටත් නින්ද යනවා මොන මගුලක්ද මන්දා. යන්තම් ඇස් දෙක ඇරගෙන නැගිටිනකොට එකට බස් එකට නැගලා එක සීට් එකේ ආපු අතිජාත පාපතර මිත්‍රයා අදත් මාව චාටර් කරන්න මඩිහ හෝල්ට් එක පෙනි පෙනී සද්ද නැතුව ඉන්නවා. අසමජ්ජාති යාළුවෝ. අපොයි මුනුත් එක්ක ඉන්න අපිත් පින් කරලා තියනවනේ.

“ අවලමා තෝ මොකද මාව ඇහැරෙව්වේ නැත්තේ...යකෝ තව ඩිංගෙන් අදත් එදා වගේ යන්න වෙනවා මට තල් අරඹටම“

මම කෑගැහුවේ අහල පහල හිටපු අයටත් නිදිමත යන්න එක්කම.

“ මොකක්ද බන් දිස්නක..මටත් මේ නින්ද යාගෙන ආවේ...“

කඩුපුල් මල් පිපිලා ගෙදර මිදුලම සුවඳයි...

කඩුපුල් මල් මම ඇත්තටම දැකලා තිබුණේ නැහැ. නමුත් මීට වසර අටකට පමණ පෙර මගේ පියාණන් ගෙනැවිත් නිවස යාබද මහෝගනී ගහක් අසල ගස්ක කොටයක් මත ඉතාමත් සුරැකිව සහ ආදර බරිත සාත්තු සප්පායම් වලින් සැනසී මීට දින කීපයකට කලින් එහි ප්‍රධාන පත්‍රයකින් මල් හට ගන්නට පටන් ගත්තා. එහි මුල්ම මල් දෙක අද දවස පුරා ටිකෙන් ටික විකසිත වන්නට වුනා. ඔබටත් දැකගන්නට මම එහි ඡායාරූප ටිකෙන් ටික පියවරෙන් පියවර ජංගම දුරකතනයට ලබාගත්තා.එතරම්ම පැහැදිලි නැතිවුනත් බලන්න කැමති සහ නොබලපු හැමෝටම මෙය අලුත් දෙයක් වෙයි. මොකද කඩුපුල් කියන්නේ රාත්‍රියේ පිපී රාත්‍රියේම පරවෙන දුරලභ මල් විශේෂයක්.


මේ උදේ 7 ට විතර තත්වය..


මේ උදේ 8.30ට විතර..කෙමෙන් කෙමෙන් පොහොට්ටුව විශාල වෙනවා


May 13, 2012

වේදනාත්මක සමුගැනීම...හිතවත් OBSERVER නික්මයාම...


සනත් විජේවර්ධන හෙවත් OBSERVER එහෙමත් නැත්නම් ඔබා මාමා. අද උදෑසන ජීවිත කරළියෙන් සමුඅරන්. විශ්වාස කරන්න අමාරු වුනත් පිලිගන්නට සිදුවන ජීවිත කටුක සත්‍යයට නැවත වතාවක් මුහුණ දෙන්න අපට සිදුවෙලා. පසුගියදා පැවති සයිබර් සිහින බක්මහ උලෙල අවස්ථාවෙත් සුපුරුදු කෙලිදෙලෙන් තමන්ගේ දරු මුණුපුරන් වගේ පිරිසක් එක්ක විටෙක කෙලිලොල් තරුණයෙක් හා විටෙක තාත්තා කෙනෙක් වගෙන් හිටපු ඔබා මාමා අද උදේ සියිබර් අවකාශය විතරක් නොවෙයි මුළු ජීවිතයම දාලා ගිහිල්ලා. හොඳ සහ වටිනා මිනිසුන්ගේ ආයුෂ අඩුයි. ඒ වගේම ඔවුන්ගේ නාමය සදා රැඳෙන බව සත්‍යයක්.

  වෙනදා දහසක් දේ එක පෙලට ලියන්න පුළුවන් උනත් අද වචන ගලන්නේ නෑ. කම්පනයත් එක්කම වචන සිරවෙලා. ඔහු මිය යන්න පැය දෙකකට කලින් “අපේ ඉසව්වේ“ මීට පෙර ලිපියට ප්‍රතිචාර දක්වමින් “නිවාඩු නිසා කියවන්න වුනේ නෑ...ඉක්මණට කියවනවා අතහැරුනු ටික“ කියලා ලියලා තිබුණා..එහෙම ප්‍රතිචාර දක්වලා තමයි ඔහු උදෑසන ව්‍යායාම කරන්න යන්නට ඇත්තේ. ඒත් යලිත් කවදාවත් ඔබා මාමට මගහැරුණු ටික කියවන්න ඉඩක් නොලැබේවි. අපිට කලින් ඔහු ජීවිතේ තවත් ගමනක් ගිහින්.

ආදරණීය සනත් විජේවර්ධන හෙවත් ඔබා මාමේ...ඔබට අජරාමර නිවන් සුව!

May 12, 2012

අදිසි වෙඩික්කරු (The Invisible Shooter) - අවසන් දිගහැරුම

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා කතාව ටිකක් නෙවෙයි ගොඩක් ප්‍රමාදවීම ගැන. ඒත් අවසන් කොටස කියවනකොට මුල ටික අමතක නම් ඉඩක් තියන වෙලාවක මුල් ටිකත් එක්කම කියවන්න අවස්ථාව ඔබට තියනවා.

පසුගිය කොටස් 1  2  3  4  5  6  7  8


සියල්ල අවසන් වෙමින් පැවතිනි. පොලිස් මූලස්ථානය තුල ජයග්‍රාහී මුහුණවරකින් සියල්ල සිදුවෙමින් තිබිණි. සමස්ත බ්‍රිතාන්‍යයටම අපවාදයක් සහ නින්දාවක් වන්නට තිබූ අපරාධයක සැඟවීයාම වලක්වන්නට ස්කොට්ලන්ඩ්යාඩ් නිලධාරීන්ට හැකිවීම සුවිශේෂී දෙයක්ම විය. මහචාර්ය ඩෙවන්ස් යන බුද්ධිමය සම්පත කුමක් හෝ හේතුවක් මත අහිමිකිරීම හා එයට පසුබිම්වූ හේතු සෙවීමට පොලිස් පරීක්ෂක ගානර් ඇතුලු පිරිස විඳි  අපමණ ගැහැට අග සාර්ථකත්වයේ මල්ඵල නෙලාගන්නට ඔවුන්ට හැකිවී ඇත.

    අපරාධයට සම්බන්ධ ප්‍රධාන පුරුක ලෙස විද්‍යා හා තාක්ෂණ සංගමයේ ආරම්භක සාමාජිකයෙක් වූ මහාචාර්ය කොන්ටෝ අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ප්‍රශ්නකිරීම් සිදුකිරීමට රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තැබිණි. එසේම විවිධ මානයන් ඔස්සේ තවත් පුද්ගලයන් කීපදෙනෙක්ම සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. අදිසි වෙඩික්කරු ලෙස හඳුනාගත් ඒ සූක්ෂම නිර්මාණය ස්කොට්ලන්ඩ්යාඩ් මූලස්ථානයේ පරීක්ෂණ සඳහා භාවිතාකරන මැදිරියේ මේසය මත තබා තිබිණි.

May 1, 2012

සුදු තාප්පයක් උඩ වනාපු කබායක් වගේ...

මේ කතාව සත්‍යම සිදුවීමක්.මෙහි සිදුවීම පටු අර්ථයකින් නොදැක සරල විදියට හා ප්‍රායෝගික විදියට බලන්න කියලත් ඉල්ලීමක් කරනවා මුලින්ම..සිද්ධිය මේකයි..ලංකාවේ කොල්ලෙක් විදේශගත වෙලා බොහොම මහන්සියෙන් ඉතා හොඳ මුදලක් එහෙමත් උපයාගත්තලු. ලංකාවෙන් යද්දි වැටට හිටවපු පොල් පිත්ත වගේ හිටපු මේ කළු කොලුවා ලංකාවට එද්දි තඩි කළු යකෙක් වගේ පොරක් වෙලාලු..උදාහරණය ක් මතක් කරනවනම්...හරියටම අපේ...රු..නෑ.. නෑ උදාහරණ ඕන නෑ. කොහොමහරි තඩි කළු පොරක්ලු ලංකාවට ආවේ. ඇවිත් බොහොම ඉක්මණට ගේ එහෙම පිලිවලක් කරලා හොඳ වටින වාහනේකුත් අරගත්තාලු. පස්සේ ඉතින් කොළුවට ඕන වුනේ පෙලවහක් කරගන්නලු. රට යන්න කලින් කොලුවගේ යහපත් චර්යාවේ හොඳකමට රට ගිහින් ලක්ෂ ගාණක් හොයන් ආවත් ගමේ කෙල්ලෝ නෙවෙයි කොල්ල දිහා හැරිලාවත්  බැලුවේ. මොකද ලංකාවේ ඉන්න කාලේ කොල්ලගේ වැඩ ගැන වැඩියෙන්ම දැනගෙන හිටියේ කෙල්ලන්ගේ අම්මලා.

  ලඟ පාතින් හරි ගියපු නැති තැන කොල්ලා වෙන පලාතකින් වැඩට බැහැලා.වාහනේ පෙන්නලා, අව්කණ්ණාඩි එහෙම දාලා ජැන්ඩියට හිටිය තඩි කළු කොල්ලට කොහොමහරි පෙර පිනකට වගේ සුදු කිරිපාට ලස්සන කෙලි පොඩ්ඩක් සෙට් වුණාලු. මේක කොල්ලට ඉවසා දරාගන්න බැරිතරම් ප්‍රීති ජනක දෙයක් වුනාලු. බඳින්නත් කලින්ම කෙල්ලව ගෙදර අයට පෙන්නන් එක්කගෙන ආවලු. ඇවිත් නිකන් හිටියේ නෑ තමන්ව තඹේකට ගණන් ගත්තේ නැති ගමේ කෙල්ලන්ටයි, උන්ගේ අම්මලාටයි පේන්න දවසෙම කලේ ගම පුරා රවුම් ගහපු එක. නිකන් නෙවෙයි කෙල්ලව බදාගෙන නිකන් කැරොල් කරත්තේ යනවා වගේ දෙන්නා ගමේ පාරවල් පුරා කැඩුනු කවලං ඉංග්‍රීසි සිංහල යොදාගෙන කතාකර කර යනවා.