May 16, 2013

බෞද්ධයාගේ ඔලුවට හෙලූ “වෙසක් නීතීයේ“ කුළුගෙඩි පහර


බුද්ධ දර්ශනය ලොව අනෙක් ආගමික දර්ශනයන්ගෙන් වෙනස් වෙන්නා වූ ප්‍රධානතම කාරණය වන්නේ එහි ඇති ආගමික නිදහස යන සංකල්පයයි. ඇදහීමේ නිදහස,චින්තන නිදහස මෙන්ම විමර්ශණ නිදහස නිසාවෙන් බුදුදහම විනාශවූවා යයි කෙනෙක් තර්ක කරනවානම් එහිම ප්‍රතිතර්කය දෙස බැලූ කල්හි යෝජක පාර්ශවයේ තර්කය බිඳී යන ආකාරයට තර්ක ඇත්තේ එහි දර්ශනය යන සංකල්පය ආරක්ෂාවී ඇත්තේත් අන්‍යාගමිකයන් පවා නිදහසේ නීතිමය බැඳීම් වලින් හෝ මූල්‍යමය බැඳීම්,පොරොන්දු ලේඛන වලින් තොරවම බෞද්ධ දර්ශනය හැදෑරීම සහ ඇදහීම සිදුකරන බැවිනි. “ඒහි පස්සිකෝ“ යන වදනින් “එන්න අධ්‍යයනය කරන්න“ යන්න විවෘත ආරාධනාවකි.

May 6, 2013

සුරූපී නිවේදිකාව සහ කැරලිකාර කණ්ඩායම


සුරූපී රූපවාහිනී පුවත් නිවේදිකාව එදින රාත්‍රී පුවත් විකාශය අවසන්වීමෙන් අනතුරුව නැවත පෙර සැකසුම් කාමරයට ගොස් මූණ කණ්ණාඩියෙන් බලා ආලේපන කීපයක් සෙමෙන් තවරා ගත්තාය. අනතුරුව ඇය විකාශන මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුවෙන් නික්මී මාර්ගය වෙත පැමිණියාය.ඇය සිය සුඛෝපභෝගී මෝටර් රථය එනතෙක් බලා සිටියාය.ප්‍රධාන මාර්ගයේ එක් පසෙකින් ජීප් රථයක් හෙමින් සීරුවේ පැමිණ ඇය ඉදිරිපිට නතර කලහ.ඇසිල්ලකින් එයින් එලියට බට දෙදෙනෙක් නිවේදිකාවට හුස්මක් ගන්නවත් ඉඩ නොතබා ජීප් රියට දමාගෙන අධික වේගයෙන් පිටව යන්නට විය. නිවේදිකාව කෑ ගැසුවත් එය කාටවත් ඇසුනේ නැත.
    ජීප් රථයේ රියඳුරා සහ ඉදිරිපස අසුනේ අයෙක්විය. පිටුපස අසුනේ දෙදෙනෙක් සිටි අතර නිවේදිකාව රථයට දමා ගත්තේ ඔවුන්ය. ඇයගේ අත් ගැටගසා  තිබූ අතර ඇය මරහඬ තලමින් සිටියහ.අධික ලෙසට බියට පත්ව කඳුළු වගුරවමින් කෑගැසුවත් පලක් නොවීය.රථය වායුසමනය කර දොරගුලු වසා තිබුණු බැවින් ශබ්දය පිටට නොඇසුනි. ඇයගේ කෑගැසීම වලක්වාලීමට කට බැඳ දමන ලදි. ටික දුරක් ගිය විට ඇය හඬාගත නොහැකි තරමටම වෙහෙසවී ඇඬිල්ල නතර කලාය.

May 4, 2013

හඳපානේ පැනලා යන්නට කලින් හිතන්න දෙයක්


පසුගිය දවස්වල වැඩිහරියක්ම ලිපිවලට මාතෘකාව වුනේ දේශපාලනය. ඒ නිසාම ෆැන්ටසි පුරය ලියන්නත් ඉඩකඩ ලැබුනේ නෑ. ඒ අතරම ඊයේ අහපු අත්තනායක.එම්.හේරත් මැතිතුමන්ගේ දේශනයක පටිගතකල කොටසක් නිසාවෙන් කතා කලයුතුයි කියලා හැඟෙන තේමාවක් පිළිබඳව අවධානය යොමු කරන්න හිතුවා. හඳපානේ පැනලා යාම කියලා අපි වචනයට කිව්වට ඉංග්‍රීසි භාෂාවේ elope එහෙමත් නැත්නම් elopement කියලා හඳුන්වන්නේ මේ දෙයම තමයි.මෙහි නිර්වචනය වන්නේ නැවත සාමාන්‍ය ගෙවූ ජීවිතයට නොපැමිණෙන ලෙස විවාහයක් පතමින් පැනයාමයි. එසේම හදිසියේ තමන් ආදරය කරන්නෙක් සමග විවාහ ජීවිතයක් වෙනුවෙන් පැන යාමත් නමින් මෙය නිර්වචනය කරනවා. කොහොම හැඳින්වුනත් මෙය අපි දන්නා පැනලා යාමම තමයි.

May 3, 2013

දන්න කතාවක නොතේරුණ පැත්ත


එක්තරා නගරයක් හැඩි දැඩි මෙන්ම මදක් සෙල්ලක්කාර තරුණයෙක් විය. මේ තරුණයා සෑම දිනකම පාහේ ආදරය පතා පස්සෙන් යන රූබර මෙන්ම ඉතා ආඩම්බර තරුණියක්ද විය. තරුණයා විවිධවූ ආකාරවලින් තරුණියගේ පසුපස පැමිණෙමින් ප්‍රේමය පතා සිටියද තරුණිය කිසිවිටක සිය සිතැඟි වෙනස් කලේ නැත.තරුණයාට කලහැකි යමක් නොවීය.

    දිනක් තරුණයාට මේ කටයුත්ත එපා විය.තමන් මෙසේ පස්සෙන් ගියත් තමන්ව තඹයකට මායිම් නොකරන තරුණියට හොඳ පාඩමක් ඉගැන්විය යුතුයැයි තරුණයාට සිතුණි. ඔහු කලේ තමන්ගේම හැඩි දැඩි මිතුරෙක් ලවා ඇය උපකාරක පන්ති නිමවී ගෙදර යන මොහොතේ මගරැක සිට හොඳට රිදෙන්නට කම්බුල් පහරවල් කීපයක් දෙන ලෙස යොමු කිරීමයි. මිතුරාද එම කටයුත්තට එකඟවී මගරැක සිට තරුණිය එනවිටම පැන කම්බුල් පහරවල් කීපයක් දුන් අතර තරුණයාද එය දුරක සිට බලා සිටියේය. ටික වේලාවකින් අතිශ්‍යයින්ම බියට සහ කෝපයට මෙන්ම ලැජ්ජාවට පත්ව කම්බුල් පහරවල් කන තරුණිය දෙස  බලා සිටි තරුණයාට එක ගලින් කුරුල්ලන් දෙදෙනෙක්ම දඩයම් කල හැකි අදහසක් මතුවිය. ඔහු සැනෙකින් වීරයාගේ චරිතයට පණ පොවමින් තමන් විසින්ම යෙදවූ තමාගේ මිතුරා සහ තරුණිය අතරට පැන මිතුරාට නොරිදෙන්නට එහෙත් දැඩි පහරවල් ලෙස පෙනෙන සේ පහර කීපයක් එල්ල කලහ.

May 2, 2013

නිවනට මැතිඳු අප රංජිත් නවරත්න





ජනමන දිනා සුන්දර ඇතුගල් පුරයේ
සිරිලක් බිමට නිති සවියක් වී නිතියේ
දම් පැහැ ධජය බැබලූ ලෙස නිති සවියේ
සිහිකල මනා නුඹ නාමය නිති දිවියේ

සිරිමත් විජය මැතිඳුන් පසෙකින් උන්න
මහජන පක්ෂයට නායක බල දුන්න
හිතඇති මිනිසෙක්ව නිරතුරු පණ දුන්න
ඔබ නැති අඩුව යලි නුඹගෙන් පුර වන්න

අදියුම් අදියුරුන් ලෙස සේවය කලද
සේවය මනුසතුන් වෙත අමතක නොවෙද
අඩුනැති සිහල ගැමි ගුණ ඔබ සතු වුවද
නුඹ කිව් ලෙසම කළු සිංහල වෙන කව්ද

සවනට මිහිරි බස හැසිරූ හඬරතන්
දනනට නිතර අතහිත දුන් සුරරත්න
රටකට ඇතුගලින් පණදුන් සවිරත්න
නිවනට මැතිඳු අප රංජිත් නවරත්න


අප අතරින් හදිසියේ වියෝවුණ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක ආචාර්ය රංජිත් නවරත්න මැතිතුමන්ට නිවන් සුව අත්වේවා!

May 1, 2013

“සිතුවම“ කෙටි කතා එකතු - අපේ ඉසව්වෙන් පුංචි තිළිණයක්

“අපේ ඉසව්ව“ බ්ලොග් අඩවිය සයිබර් අවකාශයට එක්කරලා පසුගිය අප්‍රේල් 17 ට අවුරුදු තුනක් සපිරෙනවා. සිංහල බ්ලොග් අවකාශය තුල වසර තුනක් පුරාවට ලියපු දේවල් වලට බොහොම ඉහල ආත්ම තෘප්තියක් තිබෙන බව කිව යුතුමයි.අපේ ඉසව්ව බ්ලොග් අඩවියේ නිවුන් සහෝදරයා වන “සිතුවිලි පලස“ බ්ලොග් අඩවියත් කවියෙන් අවුරුදු තුන සපුරන්නෙත් එදාටමයි.ප්‍රතිපත්තියක් විදියට වසර 4 ක් සිංහල බ්ලොග් අවකාශයේ රැඳෙමින් වසර තුනක් බ්ලොග් රචනයේ යෙදෙමින් ආරක්ෂා කරපු දේ තමයි රටට,සමාජයට හෝ පුද්ගල මනසට අහිතකර නොවන සදාචාර සම්පන්න බ්ලොග්කලාවක යෙදීම සහ පුද්ගල චින්තන අභිවෘද්ධීයට,වින්දනයට,දැනුමට වඩාත් වැදගත්වන දේ රචනයේ යෙදීම කරන්නට ලැබුණ එක බොහොමත්ම සතුටක්.

    ඉතින් අවුරුදු තුනක් සපිරුන දවසේ දෙන්න හිටපු පුංචි තිළිණයක් පමා වෙලා හරි ඔබට අද දෙන්න හැකිවුණා. ඒ තමයි මම විසින්ම රචනා කරපු “සිතුවම“ කියන කෙටි කතා එකතුව. මේ කෘතිය ඊ-පුස්තකයක් විදියට පහතින් බාගත(Download) කරගන්න ඔබට පුළුවන්.