Jul 1, 2015

ජනතා විමුක්ති පෙරමුණ කොතනටද?



2010 ජනාධිපතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණට වැරදුණ තැනකි. සෘජුවම එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය වැනි පක්ෂ සමග ඒකාබද්ධව එවකට පොදු අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මහතාට සහය පලකිරීම තුලින් අවසානයේ ලැබූ පරාජය හේතුවෙන් ජ.වි.පෙට බොහෝ දේ අහිමිවිය. ඒ අහිමිවූ දේ අතර එතෙක් ජ.වි.පෙ රැකගත් දේශපාලන දර්ශනයේ හර සම්පන්න කාරණාද විය. එය ඉතිහාසයේ ප්‍රථම වතාවට ජ.වි.පෙ නිර්මාතෘ එහි අසහාය නායක රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය කල එක්සත් ජාතික පක්ෂය සමග සමගි සන්ධානගතවීම තුලින් ධනවාදයේ රෙදි කඩේ එක් කොණක ගැට ගැසීම තුලින් සෝමවංශ ඇතුලු පිරිස විශාල වරදක් කරගත්හ.

   ඊටත් පෙරාතුව චන්ද්‍රිකා ආණ්ඩුව සමග පරිවාස ආණ්ඩු ගසන්නට ගොස් ජ.වි.පෙ තමන්ගේ බිම් මට්ටමේ කාඩරය මෙන්ම පක්ෂ පරිපාලන ව්‍යූහයද විශාල අර්බුදයකට නතු කරන ලදි. විශේෂයෙන්ම මනාප පොරයට වැටීම තුලින් වසර තිහකට අාසන්න ජ.වි.පෙ දේශපාලන ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලම් තබාගත්හ. එහෙත් එසමයෙහි ජ.වි.පෙ ස්වර්ණමය සමයක් ලෙස සැලකිය හැකි යමක් වන්නේද එහි වැඩිම පාර්ලිමේන්තු නියෝජනයක් සිදුවූ සමය මෙන්ම වැඩක් කල හැකි ඇමති ධූර කීපයක්ද ජ.වි.පෙ ට හිමිවූ නිසාවෙනි. එහෙත් පරිවාස ආණ්ඩුවෙන් දික්කසාද වූ ජ.වි.පෙ ට නන්දන, විමල් වැනි ප්‍රමුඛ පෙල චරිත අහිමිවූ අතර අවසානයේ පක්ෂ අර්බුද මැද පක්ෂයේ තිරය පිටුපස ක්‍රියාකාරීම චරිතයක් වූ කුමාර් ගුණරත්නම් ඇතුලු පිරිස ජනරළ ලෙසින් කඩාගෙන යන්නට ගියහ.