Oct 25, 2017

මොටාගෙදර නම් විප්ලවීය සිත්තරා..


කලකට ඉහත ඩඩ්ලි සේනානයක මැතිඳුන් අගමැති ධූරය හෙබවූ එක්සත් ජාතික පක්ෂ රජයේ පාලන සමයේ පාන් ගෙඩියේ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රටතුල දැඩි ආන්දෝලනයක් ඇතිවිය. ඒ මොහොතේ පාන් ගෙඩිය සම්බන්ධව ඩඞ්ලිගේ බොරු පොරොන්දුව විවේචනය කරන්නට එවකට කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ ’ඇත්ත’ පත්තරේ දේශපාලන කාටූනය ඩඞ්ලිට එල්ලකර තිබුණේ කණේ පහරකි. ඒ පාණ්ගෙඩියක් දෙඅතේ සිරස්ව තබාගෙන ත‍්‍රිභංග ලීලාවෙන් සිටින ඩඞ්ලිගේ කාටූනය යටින් ’පචබාහු’ ලෙසින් සඳහන් කරමින්ය. එවකට මේ කාටූනය දකින්නම ලක්ෂ ගණනක් දෙනා ඇත්ත පත්තරය මිලට ගෙන තිබිණි. ඒ කාටූනය යටින් තිබුණේ එකම එක අත්සනකි. ඒ මොටාගෙදර යි.

1933 අවුරුද්දේ පෙබරවාරි 16 මාතර නගරයට සැතපුම් තුනක් ඔබ්බෙන් මොටාගෙදර ගමේ උපන් මොටාගෙදර වනිගරත්න නමැති චිත‍්‍ර ශිල්පියා යනු අද මෙරට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම චිත‍්‍ර ශිල්පියා බවට අවිවාදයෙන් සඳහන්කල හැක. එහෙත් තවමත් ඔහුගේ නලියන දෙඅත මැජික් ශිල්පියෙක්ගේ දෑත් පරිද්දෙන් පින්සල සහ වර්ණ සමග මුසුව කැන්වසය මත සොඳුරු සිතුවම් මැවෙන්නේ නුදුරු දිනකදී චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වීම අරමුණු කරගෙනය. මොටාගෙදර ගම්මානයේ කෙළවරක ඇති මහාර්ඝ කලාගාරයක් බඳු ’කලාකෙත’ නම්වූ මොටාගෙදර වනිගරත්නයන්ගේ නිවහනට ගොඩවූයේ ඒ විප්ලවීය සිත්තරා සමග මොහොතක් අතීතයට පියමනින්නය.

Oct 17, 2017

ගහගනින් තොගේ කඩ්ඩ ජොකා අස්සේ


පුස්තකාලෙ පරික්ෂා කරන්න යන්න පෝලිම් ගැහෙන්න කියලා කිව්වම බයක් සැකක් නැතිව සයිඞ් බෑග් එකත් අරගෙන ගිහින් ගෑණු ළමයි දෙන්නෙක්ගේ පිටිපස්සෙන් පෝලිමට එකතුවුණේ හරියටම විශ්වවිද්‍යාල ජීවිතේ හතරවෙනි දවසේ. උදේ හතහමාරට විතර පෝලිම් ගැහිලා පුස්තකාලේ බලන්න හා හා පුරා කියලා යන්න හිටිද්දි සැණෙකින් වුනේ ඇගේ මයිල් කෙලින් වෙන වැඩක්. මෙච්චර දවසක් හරි අපූරුවට එකකුස උපන් සහෝදර සහෝදරියෝ වගේ සලකපු සීනියර්ලා මළයක්කු වගේ කුණුහරුප කියාගෙන කඩාගෙන පැනලා කොලර් එකෙන්, බෙල්ට් එකෙන් අල්ලගෙන අමු අමුවෙන් බැණගෙන යනවා.

"ගලවපිය තොගේ සපත්තු දෙක..ගලවපිය මේස් දෙකත්..මේස් දෙක ඉණේ ගහගෙන සපත්තු දෙක අත්දෙකේ දාගනින්..."

මහතග දානවා කියලා පාන්දර වරුවෙම සීනියර්ලා කලේ කැම්පස් එකට හා හා පුරා කියලා පයගහපු අලුත් කොල්ලෝ කෙල්ලෝ ටික බයකරලා අලූත් සංස්කෘතියට හුරුකරනවා කියලා කරපු මෙහෙයුමෙන් කොල්ලෝ හතර දෙනෙක්ට සහ කෙල්ලෝ හත් දෙනෙක්ට කලන්තේ දාලා තිබුණා. තඩි සයිස් දඩ කොල්ලෝ පවා හොටු පෙරාගෙන අඬන තත්ත්වෙකට පත්වෙලා තිබුණා.

Oct 12, 2017

කෘත්‍රීම බුද්ධියකට පෙම් බැඳ... (Her)



අතීතයේ ඉඳලම මානව සම්බන්ධතා අතරේ ආදරය කියන හැඟීම,බැඳීම සම්බන්ධයෙන් තිබෙන්නේ බොහොම මටසිළුටු ආකල්පයක්. ඒ වගේම තමයි ආදයර කියන දේ ඇතිවෙන්න පුළුවන් ජීවීන් දෙදෙනෙක් අතර කියන සාමාන්‍ය සංසිද්ධිය පුරාතන,මධ්‍යතන වගේම පුනරුදය පසුකරලා එන නූතන යුගය තුලත් සාමාන්‍ය දෙයක් බවට පත්වුණා. ඒ අතරේ විවිධ සංකල්ප එක්ක, සත්ත්ව කොට්ටාශ එක්ක, ද්‍රව්‍ය එක්ක ආදරය බෙදාහදාගත්ත මිනිස්සු නොහිටායම නෙවෙයි. ඒත් කෘත‍්‍රීම බුද්ධියක් (Artificial Intelligence) සමග මිනිසෙක් පෙමින් බැඳීම කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතන්දරයක්.

2013 වර්ෂයේදී තිරගතවුණ අමරිකානු චිත‍්‍රපට අධ්‍යක්ෂක ස්පයික් ජෝන්ස් අතින් ලියැවිලා ඔහු අතින්ම සිනමා පටයක් බවටත් පත්වුණ Her චිත‍්‍රපටය පුරා දිවෙන්නේ කලින් කතාකරපු කෘත‍්‍රීම බුද්ධියක් හා මිනිසෙක් අතර ආදර කතාවයි. ඔස්කාර් සම්මාන උළෙලේ වසරේ හොඳම චිත‍්‍රපටය ඇතුළු සම්මාන ගණනාවක් මෙන්ම රටවල් ගණනාවක සම්මාන ගණනාවක් දිනාගන්නට සමත්වුණ මේ චිත‍්‍රපටය මානවයාගේ අභ්‍යන්තරයේ සැඟවුණු නොනිම් ආදරය ගැන කියාදෙන්නේ බොහොම අපූරු කතාවක්. තියඩෝර් කියන්නේ වෘත්තීයමය ලියුම් ලියන්නෙක්. ඒ කියන්නේ තමන්ගේ හිතවතුන්ට ලියුම් ලියන්නට,සැප දුක විමසන්නට කාලය අඩු පුද්ගලයින් වෙනුවෙන් ලියුම් ලිවීම සම්බන්ධයෙන් වෘත්තීය සිදුකරන පුද්ගලයෙක්. තමන්ගේ කුඩා කාලේ මිතුරිය එක්ක විවාහවෙලා අන්තිමේදී ඒ විවාහය දෙදරලා ගිහින් දික්කසාදයේ කෙළවර ඉන්න තියඩෝර් තමන්ගේ පුද්ගලික කටයුතුවල පහසුව වෙනුවෙන් මිලදී ගන්න අලූත්ම උපකාරක පරිගණක මෙහෙයුම් පද්ධතිය බොහොම තාක්ෂණයෙන් ඉහළ එකක්. සමන්තා කියලා තමන්ම හඳුන්වාදෙන ආකර්ෂණීය කාන්තා කටහඬක් හිමි මේ මෙහෙයුම් පද්ධතිය තියඩෝර්ගේ හැඟීම් අවබෝධකරගන්න පුළුවන් මට්ටමේ දියුණු පද්ධතියක්.

Oct 11, 2017

ලෑන්ඩ් සේල් සමාගම් වලට පිංසිද්ධ වෙන්න...!


පහුගිය දවසක බණ්ඩාරගම පැත්තේ ලෑන්ඞ් සේල් එකකට හොඳ රබර් යායක ගස් පෙරලලා දාලා ගොඩ කරනවා. තාමත් කිරි කපන්න පොත්ත පළුදු කරපු තැන්වල ඔට්ටපාලූ ඉතිරිවෙලා තියන මහා රබර් ගස් එක එක පෙරලිලා බිමට වැටෙනවා. අක්කර ගණනක රබර් යායක් හෙට අනිද්දා පර්චස් එක ලක්ෂ ගණනකට විකිණිලා යනවා. දවසින් දවස වැඩිවෙන ජනගහනයට හරියන්න ඉඩම් කට්ටි ප‍්‍රධාන නගර ආසන්නයෙන් විතරක් නෙවෙයි ගම්පළාත්වලින් පවා වෙන්වෙනවා. ඒ බිම්කට්ටි බවට පත්වෙන්නේ කලින් කිව්වා වගේ ලක්ෂ ගණන් මිනිස්සු බඩවියත රැකගත්ත, කෝටි ගණන් සල්ලි රටට හම්කරලා දීපු වටිනා බව භෝග තිබුණු ඉඩකඩම්. එහෙව් ඉඩකඩම් එළිකරලා කට්ටි කරලා විකුණන සංකල්පය ලංකාවට එන්නේ මීට දශක කිහිපයකට කලින්. ඊට පස්සේ පඳුරකට ගැහුවම දහයක් පහළොවක් විසිවෙන තරමට ලෑන්ඞ් සේල් සමාගම් බිහිවෙන්න පටන්ගත්තා.