Jul 14, 2017

ලංකාවේ දුප්පත්කමට හේතුව අමනකමද? - ජීවන ප්‍රනාන්දු සහ අජිත් පැරකුම්ගේ ලිපිවලට පිළිතුරක්



අජිත් පැරකුම් මහත්මා සහ ජීවන ප්‍රනාන්දු මහත්මා තමන්ගේ ලිපිවලින් සාධක සහිතව පෙන්වා දී ඇති ආකාරය අනුව ලංකාවේ දුප්පත්කමට හේතුව ඉතාමත් සරල උත්තරයකි. එනම් අමනකමයි, අජිත් පැරකුම්ගේ ලිපියෙන් එය තවත් සාධනීය ලෙස කරුණු ගෙනහැර දක්වමින්ද පෙන්වා ඇත. ඒ කරුණු සියල්ල සත්‍යය එය සම්බන්ධයෙන් ගැටළුවක් නැත. නමුත් ලංකාවේ දුප්පත්කමට හේතුව යන සමාජ,ආර්ථික සහ දේශපාලනික ප්‍රශ්නයට පිළිතුර එතරම් සරල එකක්ද? යන ගැටළුව මෙහිදී පැන නගී.

ලංකාවේ ආර්ථිකය නිරපේක්ෂව හෝ සාපේක්ෂව බැලූකල්හි දුර්වල මෙන්ම පසුගාමී ආර්ථිකයකි. රටේ ජනග්‍රහනයෙන් ඉතා සුළු පිරිසක් අතර රටේ සමස්ත ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් බෙදී යන අතර ඒ හේතුවෙන් නිර්මාණය වන ආදායම් විෂමතාව නිසාවෙන් රටේ බහුතරයක් දුප්පත් මිනිසුන් ලෙස ලේබල් ඇලවී තිබේ. ලංකාවේ සිටින ඇතැම් ව්‍යාපාරිකයන්, දේශපාලඥයන්ගේ වාර්ෂික දළ ආදායම ක්‍රමවත් ලෙස ලයිස්තුගත කළහොත් එය සිතාගැනීමට පවා අසීරු අංකයක් ලබාදෙන විශ්ලේෂණයක් වනු ඇත. එසේනම් ඇත්තටම ලංකාවේ දුප්පත්කමට හේතුව අමනකම හෝ අදාල මහත්වරුන් සඳහන් කළ කරුණු කිහිපයට කැටිකල හැකි කරුණක් නොවන්නේය. 



ඇතැම් ගම්වල හෝ නගරවල දුප්පත් පවුලකින් ඒ දුප්පත්කමට හේතුව ඇසූවිට කියනු ලබන්නේ එක්කෝ පවුලේ ගෘහ මූලිකයා කාලක්‍රියා කිරීම හෝ අබල දුබල තත්ත්වයට පත්වීම, එසේත් නැත්නම් දෙන සරලම උත්තරය "අපේ කරුමය" කියාය. එවැනි සරල සහ ප්‍රාථමික උත්තරයකින් ලංකාවේ දුප්පත්කම යන ගැටළුවට පිළිතුරු දිය යුතු නැත. එහි පිළිතුරු ඉතා සංකීර්ණ විය හැකිය නමුත් ඒවා අපිට තේරෙන පිරිදි ගොනුකල හැකිය.

ප්‍රධාන වශයෙන්ම අජිත් පැරකුම් මහතා මතුකල නූගත්කම, භූතවිද්‍යා ක්‍රමයන්,බේබදුකම,අක්‍රමවත් මූල්‍ය විධි,බදුබර,ශ්‍රම අකාර්යක්ෂමතා,රෝග,කුටුම්භ හා බැඳුණු ගැටළු වැනි ක්ෂේත්‍රයන් ලංකාවේ දුප්පත්කමට බලපාන බව සත්‍යය. නමුත් මේ සියළු සාධකයන් සංවර්ධිතයැයි ශ්‍රේණිගතකල රටවල්වල නොමැතිද යන්න සලකා බැලිය යුතුය. සැබෑ ලෙසම සංවර්ධිත බටහිර රටවල් වල පවා ඉහත කී කරුණු තෘප්තව ඇත. උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාවේ ඒක පුද්ගල මත්පැන් භාවිතය වසරකට ලීටර් 12.5 කි, නවසීලන්තයේ 11.2 කි.ලංකාවේ මෙය ලීටර් 3.2 කි. මෙය ජන අනුපාතය හා ආසන්න වශයෙන් සමාන රටවල් අතර සලකා බැලූ විට එසේය. එයින් කියවෙන්නේ ලංකාවේ දුප්පත්කමට හේතුව මත්පැන් පානය නොව මත්පැන් මිල, මත්පැන් ගුණත්වය, තමන්ගේ පුද්ගලික ආදායමෙන් එයට වැයකරන ප්‍රතිශතය වැනි කාරණාය. එසේම ඒක පුද්ගල බදු අනුපාතයන් සලකා බැලුවහොත් එක්සත් රාජධානියේ ඒක පුද්ගල බදු අනුපාතය මැදි ආදායම් ලාභීන්ගේ 60% දක්වාද, අවම ඒක පුද්ගල බදු ප්‍රතිශතය දළ ආදායමෙන් 40% දක්වාද වේ.එසේම අවම සංස්ථාපිත වක්‍ර බදු අනුපාතය 19%කි, භාණ්ඩ හා සේව මත වක්‍රබදු සම්මත ප්‍රතිශතය 20%කි.නමුත් එක්සත් ජනපදය දුප්පත් රාජ්‍යයක් නොවේය. යුරෝපානු ආර්ථිකයන් අතර ස්ථාවර ආර්ථිකයක් වේ. එහෙත් ලංකාවේ බදු අනුපාත මේ තරම්ම ඉහළ නොවූවත් ලංකාවේ දුප්පත්කමට හේතුව බදු අනුපාතයේ ප්‍රශ්නයක් නොව බදු උපයෝජනයේ ගැටළුවය. මහජන බදු මුදල්වලින් පිරිසක් සුර සැප විඳින අතර ඒ බදු මුදල් රටේ සංවර්ධනය වෙනුවෙන් ප්‍රති ආයෝජනයට හෝ මහජන සුභසාධනයට නිසිපරිදි යෙදෙන්නේ නැත. එ් නිසාවෙන් දරීද්‍රතාවය වර්ධනය වේ. නමුත් ඒ මිනිස්සුන්ගේ අමනකමද නැත්නම් වෙනත් දෙයක් නිසාවෙන්ද. තවත් එවැනි ආර්ථික සහ සමාජයීය සාධක ගනනාවක් ගෙනහැර දැක්විය හැකිය.

ඒ නිසා හැමදාම සිදුකල ආකාරයෙන් අපි මේ ප්‍රශ්නයේ සලකා බලන්නේ ඵලය මිස හේතුව නොවේය. පෙරකී මත්පැන් භාවිතයේ වැරදි ප්‍රතිඵලයන් වලට බලපාන හේතුව කුමක්ද යන්න අප සලකා බැලිය යුතුය. එය කිසිවිටකත් අමනකම පමණක් නොවේය, අමනකම යන්නද මේ විශ්ලේෂණයේදී එක් ඵලයක් පමණි. අමන මිනිසුන් බිහිවීමට හේතුව සලකා බැලිය යුතුය.

රෝග සම්බන්ධයෙන් සලකා බැලුවත්, ශ්‍රම අකාර්යක්ෂමතා සලකා බැලුවත් මේවා සියල්ල දුප්පත්කම නැමති ගැටළුවට බලපාන ආසන්නතම ප්‍රතිඵලයන් මිස එහි හරාත්මක හේතුව නොවන්නේය. සරලවම බැලූකල අජිත් පැරකුම් මහතාගේත්, ජීවන ප්‍රනාන්දු මහතාගේත් ලිපිවල බැඳුනු කාරණාවල සාරාංශයක් ලෙස ගත්කල එම ප්‍රතිඵලයන් එක්වගත්කල සන්නිවේදනය වන්නේ අක්‍රමවත් සහ ජරාජීර්ණ ආර්ථික,දේශපාලන සහ සමාජ පද්ධතියක් පිළිබඳ කතාන්තරයකි. එසේනම් ඉහත කරුණු සියල්ලටම බලපාන්නේ එම නොදියුණු පද්ධතියයි. එවැනි පද්ධතියක් තුලින් ආර්ථික සමෘද්ධියක් හෝ දරිද්‍රතාවය තුරන් කිරීමේ මාර්ගයක් සෙවීම යනු අමාවක අහසේ සඳ සෙවීම වැන්නකි. එසේනම් සලකා බැලිය යුත්තේ දරීද්‍රතාවයට බලපාන ආසන්නම සාධක නොවේය ඊට එහා ගිය ගැටළු මූලයන්ය. 

කිසිඳු මිනිසෙක් උපතින්ම බ්‍රාහ්මණයෙක් හෝ වසලයෙක් නොවන්නා සෙයින්ම උපතින් අමනයෙක්ද නොවන්නේය. නමුත් නරක පද්ධතියක් ඇතුලේ හොඳ මිනිසුන්ද අමනයන් වන බව සිහිපත්කල යුතුය. අජිත්ගේ සහ ජීවන ගේ ලිපිතුල හුදෙක් සමාජයේ එක් ස්ථරයක දැවෙන සාධක ගණාවක් ගෙනහැරපෑම හැරෙන්නට මේ පද්ධතියේ මූලික ජරාජීර්ණතාවය කියාපාන්නේ නැත. පෙර පාසල් අධ්‍යාපනයේ සිට සමස්ත අධ්‍යාපන රටාවේම ඇත්තේ අනවශ්‍ය තරඟකාරිත්වය, යල්පැනගිය ප්‍රායෝගික නොවන අධ්‍යයන උපක්‍රමයන් මිස පර්යේෂණ,නිරීක්ෂණ තුලින් නිගමනයන් සොයායන ක්‍රමවේදයක් නොවේය. රටේ සමස්ථ පද්ධතියේ ගුණාත්මකභාවයට බලපාන අධ්‍යාපනය එවන් අර්බුදයක තිබියදී රට පොහොසත්වේය කියා සිතිය නොහැකිය. සංවර්ධිත ආර්ථිකයන් සහ දුප්පත් නොවන රටවල් හැම එකකටම පොදු ලක්ෂණය වන්නේ ගුණත්වයෙන් ඉහළ අධ්‍යාපනය, පර්යේෂණ සහ සංවර්ධන ක්‍රමවේදයි. රටේ සිස්ටම් එක හැදෙන්නේ රටේ අධ්‍යාපනය නිසිලෙස හැදුනොත් පමණි, රටේ අධ්‍යාපනයේ සිස්ටම් එක හොඳ වෙන්නනම් දැන් සිටින පරම්පරාව හෝ මේ අධ්‍යාපන රටාව වෙනස් කිරීමට මැදිහත් විය යුතුය. එනම් කිකිළි සහ බිත්තරය ලෙසින් බැඳී ඇති මෙම වක්‍රාකාර පද්ධතිය එක්කෝ කිකිළියගෙන්, නැත්නම් බිත්තරයෙන් ආරම්භකල යුතුය.

ජීවන විසින් මතුකල දුම්රියේ විදුලි පංකා ගැටළුවෙත් දුම්රිය තාක්ෂණික සේවයකයන්ගේ අමනකම යනු මේ සමස්ථ ගැටළුවේ අවසන් ප්‍රතිඵලයට පෙර පවතින තවත් එක් ප්‍රතිඵලයක් පමණි. නමුත් දුම්රිය සේවකයන් එසේ අමනයන් වීමට බලපා ඇති කරුණු කුමක්ද කියා සොයාබැලිය යුතුය. හරිහමන් විනයක් නොමැතිකම, නීති රෙගුලාසි පොතට පමණක් සීමාවීම, නිසි දඬුවම් ක්‍රමයක් නොමැතිවීම වැනි ආසන්න හේතූන් නිසා දුම්රිය සේවකයන් එසේ අමනයන් වී ඇත. ඉහත මූල සාධකයන් නිවැරදිවුවහොත් පමණක් නොව නිසි කාර්මික දැනුමක් පැවතියහොත් දුම්රිය සේවකයන් අමනයන් සේ හැසිරේවිද? එසේනම් දුම්රිය සේවකයන්ගේ (අදාල සිදුවීමට සම්බන්ධ) අමනකමට හේතුව දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ඒ ජරාජීර්ණ අනු-පද්ධතිය නොවේද? රාජ්‍ය ආයතනවල මේ අනු-පද්ධති ජරාජීර්ණවීමට බලපා ඇත්තේ ඒවාට බලපාන මූල පද්ධතියේ ගැටළු නොවේද. එසේනම් අපි පුරුදු පරිද්දෙන්ම සලකා බලන්නේ බරපතල ගැටළුවක ආසන්න ප්‍රතිඵලයන් දෙස පමණකි. සරලම උදාහරණය දියවැඩියා රෝගියෙකුගේ තුවාලවලින් එකකට දෙකකට බෙහෙත් දැමූ පමණින් ඔහු නිරෝගී නොවනු ඇත, නමුත් ඔහුගේ දියවැඩියා රෝග මූලයට බෙහෙත් කළහොත් ඒ හා සම්බන්ධ සියලු ප්‍රතිඵලයන් නතරවනු ඇත.

එබැවින් අප කතාකල යුත්තේ ජරාජීර්ණ සිස්ටම් එකක ගොදුරු බවට පත්ව අමනයන් සේ හැසිරෙන්නට සිදුවී ඇති මිනිසුන් ගැන පමණක්ම නොවේය, වැඩිදුරටත් කතාකිරීම, තර්ක කිරීම, පර්යේෂණ කිරීම, වෙනස් කිරීමට පියවර ගැනීමට කටයුතු කල යුත්තේ සමස්ත පද්ධතිය සම්බන්ධයෙන්මය. මෙවැනි පද්ධතියක් තුල වික්ටෝරියානු සුචරිතවාදීන් බලාපොරොත්තුවිය නොහැකිය, මේ පද්ධතිය වෙනස් නොකල හොත් හෙට බිහිවන අපේ දරුවන්ද මීට වඩා අමනයන් මිස හොඳ මිනිසුන් නොවනු ඇත.

1 comment:

  1. ඔබ කියන මුලික කරුණට මාත් එකඟයි. අපිට මේ වලෙන් ගොඩ ඒමට අවශ්‍ය පළමුවන දේ තමයි නීතියේ ආධිපත්‍යය (Rule of Law).

    ReplyDelete