Jul 23, 2017

වරද : ලිංගික අතවර කිරීම, දඬුවම : විදේශීය ශිෂ්‍යත්වයක්..


වරක් අප පාසලේ දරුවෙක් නව නිර්මාණයක් බිහිකිරීම නිසා ලංකාව තුලදී සම්මානයට පාත්‍රවිය. ඒ දරුවාට එම නිර්මාණය වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය තාක්ෂණික ඥානය ලබාගැනීම සඳහා කෙටිකාලීන විදෙස් ශිෂ්‍යත්වයක් ලබාදෙන ලෙස පාසලේ විදුහල්පතිවරයා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ පළාත් ආණ්ඩුකාරවරයා ඒකමතිකව කල ඉල්ලීමට ආන්ඩුව හිත්පිත් නැතිලෙස පයින් ගැසුවේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රජය සතුව නැති බව කියමින්ය.

මීට කෙටිකලකට පෙර විදේශ අමාත්‍යංශයේ අවුරුදු ගණනක් එකතැන පල්වෙමින් සිටින පැවති ආන්ඩුවට මෙන්ම මේ ආන්ඩුවටද එකසේ කඩේ යන උසස් නිලධාරියෙක් අමාත්‍යංශයට අලුතෙන් ස්ථාන මාරුවක් නිසා පැමිණි රූමත් කළමණාකරණ සහකාරවරියකට තම කාර්යාල කාමරය තුලදී ලිංගික අතවර කිරීමේ සිදුවීම අමාත්‍යංශය තුල ප්‍රධාන මාතෘකාවක් වූවත් අදාල ඉහළ නිලධාරියාගේ බලපෑම් මත දේශපාලන බලයද සමගින් මාධ්‍යයට හෝ රටට එතරම් හෙළිදරව් නොවීය. විදේශ අමාත්‍යංශයේ පෙරකී ඉහළ නිලධාරියා දවසට කිහිපවරක්ම හරිහමන් හේතුවක්ද නොමැතිව විටින් විට අදාල රූමත් නිලධාරිනිය තම කාර්යාල කාමරයට ගෙන්වා ගැනීම සති ගණනක් තිස්සේ සිදුව ඇත. 


එක් දිනක් එම නිලධාරිනිය කාර්යාලයට ගෙන්වා ගන්නා අවස්ථාවේ කාර්යාල කාමරයේ සිටි සහයකවරයාද වෙනත් කාර්යකට පිටතට යවා සිටි අවස්ථාවකදී ලිංගික අසහනය ඉවසා ගැනීමට නොහැකිව තමන්ගේ තනතුර සහ සිටිනා ස්ථානය පවා අමතක කල නිලධාරියා අදාල රූමත් නිලධාරිනිය සිපගැනීමට සහ අතපතගෑමට උත්සහ කර ඇත. ඒ අවස්ථාවේ තරුණිය ඔහුට පහරදී එයින් ගැලවී ගොස් සෙසු නිලධාරිනියකට සිදුවීම පවසා ඇත.

මෙම සිදුවීම වන විට අදාල නිලධාරිනිය මාස කිහිපයක ගැබිණියක්ව ද සිට ඇත. මෙම සිදුවීම අමාත්‍යංශයේ ඉහළම නිලධාරී තැන්වලටද අමාත්‍යවරයා වෙතද සන්නිවේදනය වූවත් ඒ වෙනුවෙන් පියවරක් ගන්නා බවට පෙනෙන්නට නොතිබුණි. එසේ තිබියදී මාධ්‍ය කීපයක්ම අදාල ඉහළ නිලධාරියාගේ සහ ඔහු නියෝජනය කරන දේශපාලන බලාධිකාරියේ බාධා තඹයකට මායිම් නොකර මෙම සිදුවීම රටට හෙලිකරන්නට කටයුතු කල බැවින් අදාල කාමාතුර නිලධාරියාට එරෙහිව ගන්නා පියරව පිළිබඳ රටම බලා සිටියහ. නමුත් රජයේ ස්ථීර සේවිකාවකට, රාජ්‍ය ආයතනයක් තුලදීම ලිංගික අතවර කිරීමට දඬුවම් ලෙස අදාල නිලධාරියාට ලැබීඇත්තේ සියලු පහසුකම් සහිත විදේශ ශිෂ්‍යත්වයකි. එසේම මෙහිදී පීඩිතයා බවට පත්වූ නිලධාරිනියට අමාත්‍යංශයෙන් වෙනත් තැනකට ස්ථාන මාරුවක්ද ලැබී ඇතිබව වාර්තාවේ. යහපාලනයේ කාන්තාවකට සිදුවන අතවරයකදී රාජකාරී මට්ටමින් කටයුතු කරන්නේ එසේය. 

“සීඩෝ“ සම්මුතිය හෙවත් කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ ලිංගික බලහත්කාරකම් කිරීමට එරෙහිවීමේ ප්‍රඥප්තියටද අප රට අත්සන් තබා තිබියදී, රටක් ලෙස සහස්‍ර සංවර්ධන ඉලක්ක ජයගැනීමට කටයුතු කරන බවට ලොකු ලොකු උත්සව, සම්මන්ත්‍රණ, වැඩමුළු තබමින් පාරම්බාද්දී රජයේ ආයතන තුල ලිංගික අතවරයට පත්වන කාන්තාවන්ට සාධාරණය ඉටුවන්නේ එලෙසින්ය. එවැනි ඉහළ නිලධාරීන්ට එරෙහිව මඩුවලිගය එසවෙන බවක්නම් පෙනෙන්නට නැත. එහෙත් දක්ෂ දරුවෙක්ගේ අධ්‍යාපනය සංවර්ධනයට වෙන් නොකෙරෙන විදෙස් ශිෂ්‍යත්ව කාමාතුර ඉහළ නිලධාරීන්ගේ මනදොල පිනවීමට භාවිතා කිරීම බරපතලම ඛේදවාචකයකි.

ඇතැම්විට ඔබේත් අම්මා,බිරිඳ,සහෝදරිය,පෙම්වතිය,හිතවතිය මෙවැනි ආයතනවල රාජකාරී කරනවා ඇත. ඔවුන්ගේ ආත්ම ගෞරවය මෙන්ම ජීවිතයද පවතින්නේ තදබල අනතුරක බව පෙනී යන්නේ කාමාතුර නිලධාරීන්ට එරෙහිව විනය සහ නීතිය ක්‍රියාත්මක කිරීමට නොපෙළඹීමෙන්ය. එහෙත් මොවුන්ට එරෙහිව ජනතාව නීතිය අතට ගන්නා තැනට පත්කිරීමට එතරම් සුදුසු නොවුනත් ඇතැම්විට එයද සිදුවිය හැකිය.


1 comment:

  1. කණගාටුව හා පිළිකුළ ප්‍රමාණය ඉක්මවා පවතී. අප හට කළ හැක්කේ මෙවැන්නන් අන්තර්ජාලය ඔස්සේ නිරුවත් කිරීමයි.. එයට උත්සුක වෙමු..

    ReplyDelete