Jul 27, 2017

SEX, ඉරාජ් සහ තවත් කතා


අප පාසල් යන සමයේ අපේ ගම් පළාතේ චන්දන නමින් තරුණයෙක් ජීවත්විය. දක්ෂ වඩු කාර්මික ශිල්පියෙකුගේ එකම පුත්‍රයා වූ චන්දනට වඩු කාර්මික ශිල්පය ගුරුමුෂ්ටි නොමැතිවම ප්‍රදානය කිරීමට ඔහුගේ පියා කටයුතු කරන ලදි. එයින්ද නොනැවතී තමන්ගේ සහජ හැකියාවක් වූ කැටයම් ශිල්පය සහ පොල්කටු ආශ්‍රිත නිර්මාණකරණයද ප්‍රගුන කල චන්දන තමන්ගේ ජීවිකාව ලෙස කලේ කැටයම් නිර්මාණකර අලෙවි කිරීමයි.ගමේ පමණක් නොව අසල ගම්වලද පන්සල්වල ප්‍රමුඛ තරුණ දායකයෙක් මෙන්ම ගමේ සමිති සමාගම්වල ඉතා යහපත් ක්‍රියාකාරී චරිතයක් වූ චන්දන ප්‍රකට තරුණයෙකි. 

ප්ලාස්ටික්,සිමෙන්ති සමගින් ගෙවල් ලස්සන කරගන්නා මිනිසුන් ජීවත්වන සමාජයක ලී කැටයමට ඇති ඉල්ලුම එන්න එන්නම අඩුවීමෙන් චන්දන පත්වන්නේ බරපතල ආර්ථික ප්‍රශ්නයකටය.අවසානයේ ලී කැටයක් පාර අයිනේ තබාගෙන විදේශිකයන්ට සහ ස්වදේශිකයන්ට විකුණා කීයක්හරි හොයාගෙන ජීවිතය ගැටගසාගත් චන්දනට අවසානයේ එයද වැඩිකල් කිරීමට ඉඩක් නොලැබුනේ අලෙවිය එතරම් සාර්ථක නොවූ නිසාය. දහඅතේ කල්පනා කරමින් පවුල ආරක්ෂා කරන්නට තැත්කල චන්දනගේ උදව්වට එන්නේ පාසල් සමයේ ඔහුගේ මිතුරෙකු වූ ප්‍රසන්නය, නවීන පන්නයේ මෝටර් රථයක් පවා හිමි කිසිඳු දෑතේ කර්මාන්තයක් නොදන්නා ප්‍රසන්න දෑතේ කර්මාන්තයේ ප්‍රවීණයෙක් වූ චන්දනගේ ආර්ථිකය ගොඩගන්නට අත දෙන්නේ ඔහුගේ මනසට නව කැටයම් වෙනුවට කේරල ගංජා ඇතුලත් කිරීමෙන්ය. 


ලේසියෙන් මුදල් ඉපයිය හැකි කේරල් ගංජා වෙළඳාමට හවුල්වූ චන්දන යහපත්ව කරගෙන ආ කැටයම් කර්මාන්තයේ ආයුද ටිකද විකුණා දැම්මේ තමන්ගේ ජීවිතය කණපිට පෙරලා ගනිමින්ය. අන්තිමේදී චන්දන ප්‍රදේශයටම ගංජා සපයන්නා විය. පන්සල,තරුණ සමාජය අතහැර සමාජයට වෛරකරන මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් බවට පත්විය. ගමයි පන්සලයි එකතුවූ යහපත් සමාජයක් වෙනුවෙන් ජීවිතයම කැපකල චන්දන මත්ද්‍රව්‍ය වෙළඳාමේ මොණරකොළවලට ලෝභයෙන් ලුහුබඳින්නෙක් බවට පත්විය. තමන්ම පෝෂණය කල සමාජයේ සාරය උරාබොන්නෙක් බවට ඔහු පත්විය. මේ සියල්ල සිදුවීමට ගතවූයේ සුළු කාලයකි. එදා චන්දන කියූ විට ගම්මුන්ගේ මුහුණේ මතුවන දයාබරිත සිනාවෙනුවට දැන් ඒ නම ඇසූවිටම කාරා කෙළගහන ගම්මුන්ගේ චින්තන විපර්යාසයක් සිදුවී ඇත. චන්දනගේ පැත්තෙන් චන්දන සාර්ථකය. එහෙත් ඒ සාර්ථකත්වය කොතරම් දුරකට යාවිද යන්න ඔහුවත් නොදන්නා බව සහතිකය. ඒත් චන්දන දෙස බලාසිටින සමාජය පැත්තෙන් චන්දන පිරිහුණු විසංවාදී චරිතයකි. මේ චන්දන බිහිවන්නේත්, ඔබ බිහිවන්නේත්, මම බිහිවන්නේත් මව් කුසකින් මිස නළයකින් නොවේය.

ඉහත සත්‍ය සිද්ධිය ගෙනහැර දක්වන්නට ප්‍රධානතම හේතුව වූයේ ඉරාජ වීරරත්න නම්වූ යොවුන් කලාකරුවාගේ නවතම සංගීත වීඩියෝව සමගින් සමාජය තුල සහ විශේෂයෙන්ම සමාජජාල තුල මතුව ඇති සංවාදයන් දැකීමෙන්ය. බොහෝ දෙනෙක්ට අනුව ඉරාජ්ලා කරන්නේ කුණු ලිංගික රසය විකුණා සල්ලි හම්බකිරීමක්ය. අපි මේ ලියනා ලිපිවලින්ද සිදුවන්නේ එක් පැත්තකින් ඉරාජ්ට තමන්ගේ නිෂ්පාදන අලෙවිකර ගැනීමට අවශ්‍ය සමාජ ආකර්ශණය ලඟාකර දීම විය හැකිය. එයට කම්නැත, නමුත් හෘද සාක්ෂියට එකඟව කිව යුතු කාරණා කිහිපයක් ඇත. ඉරාජ්ගේ ජීවන ගමන සහ ඉහත සඳහන්කල චන්දනගේ ගමන අතර ලොකු වෙනස්කම් ඇත, ඒ වගේම බොහෝ සමානකම්ද ඇත. ඉරාජ්ලා බිහිවන්නේද චන්දනලා බිහිවූ සමාජයේමය, මව් කුසින්මය. ඉරාජ්ලා බිහිවූ සමාජයේම තරුණයින් තමන්ගේ පරිගණක තාක්ෂණික ඥානය භාවිතාකර දෑස් නොපෙනෙන මිනිසුන්ට මග නොවැරදී අනතුරුවලින් තොරව ගමන්කිරීමට ජංගම දුරකතන වැඩසටහන් නිෂ්පාදනය කරමින් ජාත්‍යන්තර සම්මාන දිනාගනිමින් සිටියි, තවත් තරුණයින් තමන්ගේ නිර්මාණශීලී චින්තනය භාවිතාකර දරුවන්ගේ අධ්‍යාපනය වර්ධනය සඳහා නව ක්‍රමවේද හඳුන්වාදෙමින් ඒවා හරහා ලාභ උපයමින් සිටිති. ඔවුන් ඉපදෙන්නේද මව් කුසින්මය. ඔවුන් පයගසා සිටින්නේද ඉරාජ්ලා පයගසා සිටින සමාජයේමය, ඔවුන් බිස්නස් කරන්නේද ඉරාජ්ලා බිස්නස් කරන ආර්ථිකයේමය. එසේනම් අවුල තිබෙන්නේ කොතැනද යන්න සිතා බැලිය යුතුය.

ලංකාව ගූගල්වල සෙක්ස් සර්ච් කිරීමෙන් කප් ගහන්නට හේතුව අප මින් පෙරත් කියා ඇත. ලංකාවේ අති බහුතරයක් විවාහකයින් මෙන්ම අවිවාහකයින්ද සිටින්නේ බරපතල ලිංගික ඇරියස් සහිතවය. එයට හේතු ගණනාවක් ඇත. විවාහ ජීවිත තුල පවතින ගැටළු, සමාජ ආකල්ප, පුද්ගලික මතිමතාන්තර, අවබෝධයේ ඌනතා, කාර්යබහුල ජීවිතය ආදී තවත් කාරණා ගණනාවක් මෙයට බලපානු ඇත. මේ සම්බන්ධයෙන් සමාජ විද්‍යාඥකයින් ලංකාව තුල බොහොමයක් පර්යේෂණද සිදුකර එහි සොයාගැනීම් ඉදිරිපත් කර ඇත. ලංකාවේ සමාජයේ කාන්තාවන් බහුතරයකට ලිංගිකත්වය යනු තරුණකාලයෙන් අවසන්වෙන පොඩි ආතල් එකක් පමණි, කසාද බැඳ දරුවන් හැදූ පසු ලිංගිකත්වය හුදෙක් වදයක් පමණි. පිරිමින්ද කාන්තාවන්ගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් ඇති රුචි අරුචිකම් සහ ආකල්ප ගැන අවබෝධයක් නොමැතිව තමන්ගේ වුවමනාවන්ගැන පමණක් සිතා කටයුතු කිරීමෙන් විවාහ ජීවිත,සබඳතා කෙළවර වන තැනට පැමිණේ. එවිට පිහිටට එන්නේ විකල්ප ක්‍රමයන්ය. ඒ අතර අන්තර්ජාලය භාවිතයෙන් ලිංගික ජුගුප්සාජනක මූලාශ්‍රයන් සොයායන පිරිස අතර වැඩිපුර සිටින්නේ හිරිමල් යෞවනයන් නොව තරුණවිය ඉක්මවූ පිරිස්ය. රින්ගින් ටෝන් සහ කොන්සර්ට් ආදායම පහලට වැටී දේශපාලන පිමිබීම් හමුවේද ලද ආදායම් නොමැතිවීමෙන් බඩේ පාර වැදී සිටි ඉරාජ්ලාට අලුත් මාර්කට් එකක් වෙන්නේ අර පෙරකී ලිංගික අසහනකාරිත්වයයි. විශේෂයෙන්ම අමු අමුවේ ලිංගිකත්වය නිරාවරණය කරනවාට වඩා පෙන්නා නොපෙන්නා සිටීම වනාහි ආසියාතිකයන් තුල ලිංගික රසාස්වාදනයේ හිණිපෙත්තටම යා හැකි තැනක් නිසාවෙන් ඒ මාර්කට් එකේ වැඩි ලාභ ඇතිව ඉරාජ්ලා තේරුම්ගන්නට ඇත. යූ-ටියුබ් ඇතුළු සමාජ ජාල හරහා තමන්ගේ ලිංගිකත්වය උලුප්පා දැක්වෙන සංගීත වීඩියෝ හරහා ඉරාජ් අලෙවිකරන්නේ ඒ මාර්කට් එකටය. ඔබ මම විවේචනය කිරීම සඳහා හෝ ලබා දෙන view එකක් ක්ලික් එකක් ඉරාජ්ලාට ලාභ ගෙනදෙන ආයෝජනයකි. 

ඒ පැත්තෙන් බලන විට චන්දන සහ ඉරාජ්ගේ ඉරණම මෙන්ම ක්‍රියාකාරිත්වයේද ලොකු වෙනසක් නැත. ඉරාජ්ලාට මෙන්ම චන්දනලාටද වෙළඳපොල විවරකර දී ඇත්තේ ඔබ අපම මිස ඉන්දියන් කාරයන්වත්, ඇමරිකන්කාරයන්වත් නොවේය. එසේ මාර්කට් එකක් නිර්මාණය කරදීම තුලින් තවත් කොළු,බලු රැළක් තමන්ගේ සංගීත හැකියාව හීන් කෙඳිරිගාද්දී කාන්තා සිරුරේ ලිංගික රසාස්වාදනය නැමති මාර්ගය හරහා ලාභ උපයන්නට මොකක් හෝ ගීත වීඩියෝවක් අටවන තැනට පත්ව ඇත. කිස් එකේ සිට සංසර්ගය දක්වාම ද, එතනින් ඔබ්බට තව තව කොහේ යයිද යන්න අපි නොදන්නෙමු. එහෙත් සරලම තර්කයනම් ඉරාජ්ලා හෝ වෙනත් කණ්ඩායමක් නිෂ්පාදන බිහිකරන්නේ පාරිභෝගියන් සිටිනා තාක්කල් පමණි. ඒ මාර්කට් එක නැතිකරනවානම් නැතිකල හැක්කේද ලංකාවේ රසිකයන්ට පමණි. 

ඇත්තම කතාවනම් ලංකාවේ සංගීතයේ 70,80 දශකවලට පසු නිර්මාණාත්මක ගීත බිහිවන්නේ ඉතාම අල්ප ලෙසින්ය. පැරණි නිර්මාණකරුවන් අද නැවත සන්දර්ශන පවත්වන්නේ පැරණි ගී ගොන්නකට අලුත් ගී එකක් දෙකක් රිංගවාය. නමුත් රසිකයින් ඒවාට යෙමුවන්නේ පැරණී නිසාවෙන්ය. ලංකාවේ රසිකත්වයේ තරම විදෙස් ගායකයෙක් පැමිණි අවස්ථාවේ දිගුකල තනපට මාලාවෙන් හොඳින් ප්‍රදර්ශනය වූ අතර පුද්ගලික විශ්වාසයනම් ඉරාජ්ලා අදාල මාර්කට් එක සම්බන්ධයෙන් කල පළමු නිරීක්ෂණය වන්නේද එකී සිදුවීමයි. එසේනම් සැබෑ ලෙසම මඩු වලිගයෙන් ගැසිය යුත්තේ කසිකබල් සෙක්ස් ගීත වීඩියෝ නිර්මාණකරුවන්ටද නැතිනම් ඒවා බලා මෝල් කරගන්නා එවුන්ටද එසේත් නැතිනම් රටේ මාධ්‍යයටද කියා ගැටළුවක් ඇත. වැරදිකාරයන් බරගණනක් සිටින තැනකදී එක් වැරදිාකාරයෙක්ට පමණක් පහර දෙන්නට අවි අමෝරන බුද්ධිමත් රටවැසියන්ට පහත කතාව ලියාතබන්නට කැමැත්තෙමි.

වරක් ඉන්දියාවේ ස්ත්‍රී දූෂණ නඩු විභාගයකදී අදාල චූදිතයාගෙන් අදාල අපරාධය කිරීමට හේතුව විනිසුරු අසා සිටියි.

"ස්වාමීනි ඒ ගෑණු ළමයා හැමදාම වැඩට යන්නේ කොට ගවුම් ඇඳලා, දවසක් කොට ගවුමක් ඇඳලා පැත්තෙන් පලලා කකුල පේන විදිහට ඇඳගෙන ගියා. එදා තමයි මගේ අතින් මේ අපරාදේ වුනේ..ස්වාමීනි මම නිර්දෝෂයි..ඒ ගැණු ළමයා එහෙම කොටට ඇන්දේ නැත්නම් මගේ අතින් මේ වරද වෙන්නේ නෑ..ඒ නිසා ස්වාමීනි ඒ ගැණු ළමයාට දඬුවම් දෙන්න.."

ඉතින් මිත්‍රවරුනි ගෑණු ළමයාගේ මිනි ගවුම වැරදිකාරයා කරන තුරාවට ලාභ ලබන්නේ ඉරාජ්ලාමය..


2 comments:

  1. ඔබ මෙන්ම මා ද මේ සම්බන්ධයෙන් බ්ලොග් අවකාශය තුළ නඟන හඬ රටේ මහජනතාව බහුතරයක් අතරට ගෙනයාම පිළිබඳ ගැටළුවක් ඇතත් මෙවැනි කරුණු සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් හිතන සාම්ප්‍රදායික දෘෂ්ටියට සුළු හෝ බලපෑමක් කිරීමට ඔබගේ මෙන්ම මාගේ අදහස් ද බලපානු ඇතැයි මම සිතමි.

    ReplyDelete
    Replies
    1. සැබවින්ම ඉරංග. අවුරුදු 8ක් තිස්සේ මේ ප්‍රයන්තය තුලින් සුළු නොව එයට එහා ගිය වෙනසක් සිදුවෙමින් ඇතිබව පුද්ගලිකවම අත්විඳ ඇත්තෙමි. පුද්ගලික විශ්වාසයනම් එදා ගල්පුවරුව මත ගල්කටුව වැදී ප්‍රාථමික සිංහල අක්ෂර එහි ලියැවෙද්දී එහි කර්තෘවරයා එම ලියවිල්ල ආනගතයේදී අතීතය පිළිබඳ සාක්ෂි සපයන එකම ලියැවිල්ල බවට පත්වනු ඇතැයි කිසිවිටක නොසිතන්නට ඇත. එලෙසින්ම අපේ මේ අන්ත්ජලාගත ලියැවිල්ල වර්තමානයට වර්තමානය ගැන දෙවරක් සිතන්නට මෙන්ම අනාගතයට වර්තමානය සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ගන්නටද ද්වාරයක් විවරකර දෙනු ඇත.

      Delete