Jul 20, 2017

මැරුණම දුක හිතෙන්නේ බල්ලෝ ගැන විතරමද?



පසුගිය දිනවල ලංකාවේ මාධ්‍යවල මෙන්ම දන මන තුඩ තුඩ රැව්දුන් මාතෘකාව වූයේ මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ නිදැල්ලේ සිටි සුනඛයන් රැසක් විෂ ශරීරගත කර මරා දැමීම සහ වෙනත් ප්‍රදේශයක වළදැමීමේ පුවතය. ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනයට පමණක් නොව සරසවි ශිෂ්‍යයන්ට පවා බරපතල වාග් විවේචන එල්ලවනු දැකිය හැකිවිය. කිසිඳු තර්කයක් නැත එය අමුම අමු නින්දිත ඝාතනයකි. මැරෙන්නේ සතාද මනුෂ්‍යාද යන සාධකය ඝාතනය යන වචනයනයට වෙනස් අර්ථයක් හිමිවන්නේ නැත. ඒ නිසා විෂ ශරීරගත කර සතුන් පිරිසක් මරා දැමීම කෲරතර ඝාතනයකි. ඒ සඳහා නීතියෙන් දඬුවමක් නැතත් ස්වභාව ධර්මයා විසින් දඬුවම් පැමිණවීම කවදා හෝ සිදුවනු ඇත.

විශේෂයෙන්ම බුද්ධ දර්ශනය ප්‍රමුඛ කොටගත් රටක් ලෙස යම් පුද්ගලයෙක් බෞද්ධයෙකු ලෙසින් පිළිපදින්නා වූ ප්‍රථම ප්‍රතිපදාවේ පළමුවැනි සංකල්පය වන්නේද "පාණාතිපාතා" හෙවත් පණඇති සත්ත්වයින්ගේ පණ නැසීම උල්ලංඝනය කිරීම හේතුවෙන් මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය සාධාරණය. සමාජ ජාලවල, මාධ්‍යවල පලවුණු වේදනාවිඳ මිය ගිය සුනඛයන්ගේ ඡායාරූප වලින් හදවත තෙත්වූ සංවිධාන,පුද්ගල කණ්ඩායම්, පුද්ගලයින් එල්ලකර චෝදනා ප්‍රධාන ලෙසම මානව වර්ගයා සතු සංවේදීත්වය පදනම් කරගත් ප්‍රතිචාරයන්ය.


ලංකා ගැමි සමාජයේ දරුවන් වූ අපි කුඩා කල සෙල්ලමට මෙන් කිතුල් පිත්ත සහ ගැඩිවිලි පණුවන් හෝ පාන් කැබලි ගෙන ඇළක් දොළක් ගානේ මාළු බාන්නට යන්නට සූදානම් වන විට අපේ වැඩිහිටියන් ලඟට කතාකල දුන් පළමු උපදෙස වූයේ සතුන් නොමරණ ලෙසය, දෙවනි උපදෙස වූයේ සතෙක්ට ආහාරයක් ප්‍රදානය කරන ලීලාවෙන් උන් මරා එයින් නොනැවතී මැරූ සතුන්ගේ මාංශ පරිභෝජනය ඊටත් වඩා බරපතල අකුසල කර්මයක් ලෙසින්ය. අදටත් කිසිඳු විනෝදාත්මක මොහොතක අතට බිලී පිත්තක් නොඑන්නේ අන්න ඒ ඔවදනේ බරපතලකම නිසා මෙන්ම සැබෑ ලෙසම ඒ ඉදිරිපත්කල තර්කයේ වැදගත්කමක් ඇති නිසාය. 

ඒත් පසුගිය සමයේ සිදුවූ පෙරකී සිදුවීම නිසා බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාර දැක මතුවූ කුකුස හෝ නොපැහැදිලිබව නම් මැරුණාම දුක හිතෙන්නේ බල්ලන් ගැන පමණක්ද යන්නය. පිළිතුර නැත යන්නය. අපේ බොහොමයක් දෙනෙක්ට පූසන්, අලින්, කොටියන් වැනි සතුන්ද මියගිය විට උන් ගැන දුක සිතේ. ඒ දුකට කවිද ලියවේ, එපමණක්ද නොවේ පරිසර සංවිධානද අවි අමෝරාගෙන යනු ඇත. එහෙත් දවසකට ලංකාව තුල ඔබේ අපේ පරිභෝජනය වෙනුවෙන් මර හඬ තලද්දී බෙල්ල කැපෙන කුකුළන්ගේ සංඛ්‍යාව ගැන ඔබට අවබෝධයක් තිබේද? මරණ බයෙන් බෙරිහන් දෙද්දී ලේ ලීටර් ගණන් බිම හෙලමින් බෙලි කැපී මියයන ගවයන් සංඛ්‍යාව ගැන ඔබ දැනුවත්ද? මාස වසර ගණනක් තිස්සේ අහාර,පාන,බෙහෙත් දෙමින් නඩත්තු කර බර වැඩිම අවස්ථාවේ ඔළුවට පොළු පහරවල් ගසා ලේ ගලා ගොස් මැරෙන තෙක් එල්ලා තබන සූකරයන් ගණන ගැන ඔබ දැනුවත්ද, බඩට වේලක් නැතිව ගම්මාන පාසා ඇවිදින විට හදිසියේ හමුවන වරක මදුලක්, අල ගෙඩියක් හපන්නට ගොස් හක්ක පටක් එකකට හකු පාඩා කුඩු වී පැය ගණනක් තිස්සේ මර විලාප දෙමින් කැලෑ පුරා දුවගොස් වතුර පොදක් බොන්නට වත් නොහැකිව වැටී මියයන සූකරයින්, මුවන්, ගෝනුන්, මීමින්නන් සංඛ්‍යාව ගැන ඔබ අසා තිබේද? නැත ඔබ අසා තිබිය නොහැක, එසේ අසා තිබුනත් එය ඔබේ හදවතට දැනෙනා විදිහ වෙනස් නිසා උන් ලක්ෂ ගණනින් මැරුණද හදවත් එතරම් තෙත්වන්නේ නැත.

කෘෂිවිද්‍යාව සම්බන්ධයෙන් උපාධියක් හදාරන්නෙකුට "සත්ත්ව විද්‍යාව" නැමති විෂය පද්ධතිය හදාරන්නට ඇතැම්විට සිදුවේ. මේ විෂය ධාරාවේදී මසට ඇතිකරන ආර්ථික සත්ත්වයින් බෝ කිරීමේ සිට මරා මස් කිරීම දක්වා හදාරන්නට සිදුවේ. ඒ නිසාම ඇතැම් සිසුන් මෙම විෂය පද්ධතිය මගහරිනු ලබයි. සරල උදාහරණයක් ලෙස මසට ඇතිකරන (බ්‍රොයිලර්) කුකුලෙකුගේ ජීවන චක්‍රය සලකා බැලිය යුතුය. කුඩා පැටියෙක් ලෙස ලක්ෂ ගණන් කුකුළන් සමග ඇතිදැඩිවන අතර මාස ගණනක් තිස්සේ කුකුල් ආහාර, ජලය, බෙහෙත් දෙමින් ඇති දැඩි කරනු ලබන අතර විටින් විට බර මනිනු ලබයි, ගැටුම් සහ තුවාල වලක්වාලීමට විශේෂ උපක්‍රම භාවිතා කරයි. කුකුළාගේ බර උපරිමවන කාලසීමාව සහ ඒ අවස්ථාවේ වෙළඳපොලේ කුකුළ් මස් ඉල්ලුම,මිල යන කාරණා සලකා බලා ප්‍රශස්තම දිනයේදී මේ කුකුළන් ලක්ෂ ගණන් මරා දමනු ලබයි. ඉතා ඛේදජනකම කාරණය වන්නේ එම කුකුළන් මරනු ලබන දිනය අදනම් බොහෝ විට අද දින උන්ගේ ආහාර වේල සහ පෙරදින ආහාර වේල අදාල ගොවිපලේ පාලකයන් විසින් එම සතුන්ට ලබාදෙනු නොලැබේ (එයට හේතුව වන්නේ එම ආහාර වේල් තුලින් කුකුළන්ගේ බර වර්ධනය නොවන නිසා ලක්ෂ ගණන් කුකුළන්ට එක් ආහාර වේලක් දෙකක් දෙන්නට යන වියදම අපතේ යැවීමක් ලෙස ඔවුන් සිතන බැවින්ය) එසේනම් මෙසේ මරණයට පත්කරන සතුන් බොහොමයක් මිය යන්නේ බඩගින්නේය. බඩගින්නේ බෙලිකපා මරාදමන සතුන් ඔබේ මගේ මේසට ආහාරයක් වී පැමිණෙති. අප රසකර කර බුදින්නේ, බයිට් එකට ගන්නේ, රෝස්කර කකුල්, පිහාටු බෙලි වෙන්කොට ආහාරයට ගන්නේ පෙරකී ලෙස බඩගින්නේ මිය යන සතුන් බව අමතක නොකරන්න. 

ඌරන් සම්බන්ධයෙන්ද ඇත්තේ එවැනිම දුක්ඛදායක කතාවකි. එහි අවසානයේ ඌරන් මර දමන්නේ බර වැඩිම තැනදී හිසේ එක් සංවේදී ස්ථානයකට දරුණු පොලු පහරක් දීමෙන්ය. ඒ පොළු පහරෙන් එක්වර ඌරා මිය නොයන අතර හිසෙන් ලේ ගලන ඌරා වේදනාවෙන් මරහඬ දෙද්දී පසුපස පාදවලින් ගැටගසා එල්ලා තබන්නේ ලේ ගලා මියයනු තුරුය. එසේ කරන්නේ ලේ ගලායාමෙන් මරණයට පත්වන ඌරාගේ මස් වඩා රසබවට ඇති මතය නිසාවෙන්ය. ගවයන්,එළුවන්,හාවන් (ඔබ අඹේවේල ගොවිපලට ගොස් ඇතිනම් එහි හාවන් ඇතිකරන්නේ හුරතලයට නොවන බව වටහාගනු ඇත), පාත්තයන්, තාරාවන්,මසුන් ඇතුළු බොහෝ සත්ත්වයන් ගණනාවකට අත්වන්නේ ඉහත කී ඉරණමය. දවසකට එවැනි සතුන් ලක්ෂ ගණනාවක් කෲර ලෙස මරණයට පත්කර ජාතියේ ආහාර වේල්වලට, වෙනත් ආහාර සහ නිෂ්පාදන බවට පත්කරනු ලබයි. ඒත් ඒ සතුන් සම්බන්ධ එතරම් දුකක් ජාතියට නැත. බල්ලා සහ පූසා ගෙදර සුරතලයට හැදෙන මිනිසාට ලඟ සතුන් බැවින් උන් මියගිය විට හෝ මරාදැමුණු විට මිනිසා අතිශ්‍යයින්ම සංවේදීය. ඇතැම්විට කඩුපොළු අතට ගන්නටද එවැනි කාරණා හේතු වේ. එහෙත් කුකුළෙක්, ඌරෙක්, හරකෙක් කියූ පමණින් සිහිවන්නේ පිගානක් මත තෙල් බේරෙන මස් කැබැල්ලක් හෝ රෝස්වෙන මස් කැබැල්ලක සුවඳ සහ රසය මිස පෙරකී සංවේදී මිතුරුකම නොවේය. එක්දිනක් හෝ කුකුළු පැටවෙක් ආදරයෙන් ඇතිකල පුද්ගලයෙක්ට කුකුළ් මස් කැබැල්ලක් කන්නට හිතහදාගැනීමට ඉතා අසීරුය. එහෙත් ලක්ෂ ගණනක් දිනකට එවැනි සතුන් මරාදමන රටක අපි සත්ත්ව කරුණාව ගැන ලොරි ටෝක් සපයන්නෙමු. බොක්කේ දඩමස් තබාගෙන හක්කේ බුදුරැස්වල එළියෙන් ශාන්තිවාදී ඇක්ටින් දැම්මාට ප්‍රතිඵලයක් නැත.

මුන්නේශ්වරම් කෝවිලේ වසරකට සිදුවන මහා සත්ත්ව බිලිදීමට එරෙහිව රටේ හඬක් නැගුනි. දැන් එය නවතා ඇතිද යන්න හරියාකාරව නොදන්නෙමු. එසේම මෙම ලිපියේ ඉහළින්ම ඇති ඡායාරූපය අදාල වන්නේ චීනයේ වාර්ෂිකව පැවැත්වෙන යූලින් සුනඛ මස් උත්සවයටය.  ලෝකය පුරා සත්ත්ව සංවිධාන දැඩි විරෝධයක් එල්ලකරද්දී පවා වසරකට වරක් පොසොන් මාසය පුරාම චීනයේ විවිධ වර්ගයේ සුනඛයින් ලක්ෂ ගණන් මිනිසුන්ගේ බඩට යන්නේ ආහාරයක් ලෙසින්ය. ඒ නිසා මොරටුවේ සිදුවීම චීනයේ සිදුවුණානම් චීනාට එය එච්චර ගාණක් නැත. එයට හේතුව වන්නේ චීනාට බල්ලා ආහාර වේලක් නිසාය, අපේ රටේ ජනතාවටද වැඩියෙන් දුක හිතෙන්නේ තමන් ආහාරයට නොගන්නා සතුන්ගේ ඝාතනයන් ගැන පමණි. කුකුළෙක්, හරකෙක් මැරුණාට එතරම් දුකක් නැත. එහෙත් අපි අදහන්නේ පරපණ නැසීම අකුසල කර්මයක් ලෙසය. මිනිසුන් බල්ලන්ටත් වඩා අන්ත ලෙස කපා කොටාදමනා රටක, කිරිදරුවන් පෙතිගසා මරාදමන රටක පරපණ නැසීම ගැන කවර කතාද. 

හුදෙක් මේ ලිපියේ අරමුණ වන්නේ මොරටුවේ මරාදැමුණු බල්ලන් වෙනුවෙන් වේදනාත්මක විවේචනයන් දැක්වූ පුද්ගලයන් හෝ සංවිධානවලට අපහාස කිරීම නොවේය. එසේ හඬ නැගිය යුත්තේ බල්ලන්,පූසන්,අලින් ගැන පමණක් නොවන බව මතක්කර දීමට සහ එසේ කළයුත්තේ මන්ද යන්නට හේතූන් පෙන්වාදීමටය. මෙය කියවා අවසන් වන බොහෝ දෙනෙක් අනිවාර්යයෙන්ම කරනු ලබන ප්‍රකාශයක් ඇත.

"අපි මස් කන එක නැවැත්තුවා කියලා ඔය සත්තු මරණ එක නතර වෙනවද අනේ..,"

සහතික ලෙසම එයට පිළිතුර නැත යන්නය. සත්තු මරා දමන එක නතර නොවනු ඇත. එහෙත් ආර්ථික විද්‍යාවේ ඉල්ලුම්,සැපයුම් සංකල්පය ගැන දන්නා ඕනෑම කෙනෙක්ට අනුව පාරිභෝගිකයන් මස් පරිභෝජනයෙන් වැලකීමේ වර්ධනයේ ප්‍රතිඵලය වන්නේ මස් සඳහා ඇති වෙළඳපොල ඉල්ලුම අඩුවීමයි. මිල න්‍යායට අනුව ඉල්ලුම අඩුවනවිට සිදුවන්නේ වෙළඳපොලේ අදාල නිෂ්පාදනය සඳහා ඇති මිල අඩුවීමය, මිල අඩුවීම අදාල නිෂ්පාදනයේ නිෂ්පාදන පිරිවැයට වඩා පහත වැටෙද්දී අදාල නිෂ්පාදනය සිදුකිරීමට ව්‍යාපාරිකයා පෙළඹෙන්නේ නැත. එය තියරි තර්කයක් වුවත් මෙහි ප්‍රායෝගික සත්‍යයක් ඇතිබවට ඕනෑතරම් උදාහරණ අපේ ආර්ථිකයෙන් ගතහැකිය. ඒ නිසා අඳුරට සාප නොකර කලයුත්තේ එක පහනක් හෝ දැල්වීමය. විස්තීරණ සමාජයක ආහාර රටාව සහ තෝරාගැනීම් කෙටිවීම නිසා එය මදක් අපහසු වුවත් කල හැකිය. 

අවසාන ලෙස කිව යුත්තේ මොරටුවේ සුනඛයන් මරාදැමීමේ සිදුවීමට දැක්වූ විරෝධය බලුකරුණාවෙන් පමණක් නොනවත්වා අනිත් සතුන්ගේ ජීවිත ගලවාගැනීමටද යොමුකරන ලෙසය. සත්වයෙක්ගේ ප්‍රාණයක් යනු ලොකු කුඩා සෑම සත්වයෙක්ටම මෙන්ම අපට හිතවත් සහ හිතවත් නැති සෑම සත්වයෙක්ටම පොදුය ඒ නිසා අපිට හිතවතුන් මරාදමද්දී සංවේදීව ඝර්ජනා කිරීමටත් අපේ ආහාරයක් වන සතුන් ලක්ෂ ගණන් මරාදමද්දී අඳ,ගොළු,බීරන් සේ බත්පංගුවේ සැඟවීම පසෙකලා කටයුතු කල යුතුය. විරුද්ධවනවානම් ඒ හැම ඝාතනයකටම විරුද්ධවිය යුතුය. එසේ නැතිනම් මුඛ දොර සහ අපර දොර වසාගෙන පෙර සේම කල්ගත කළ යුතුය.

ඡායාරූපය - www.nedeljnik.rs වෙබ් අඩවිය
විශේෂ ස්තූතිය - තොරතුරු ලබාදුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ ආදී සොයුරන් දෙදෙනාට

(කර්තෘ අනුමැතියකින් තොරව උපුටාගැනීම තහනම්)


9 comments:

  1. කර්තෘ අනුමැතියකින් තොරව උපුටාගැනීම තහනම්..... ඇ ...යි ! ගත්තොත් නඩු දාන්නද ?

    කවුද මේ ගූ හොරකම් කරන්නේ එහෙනම් ඉතින් ඌ ත් හොඳ පිස්සෙක්

    ReplyDelete
  2. obata malu gena adahasaak nedda

    ReplyDelete
    Replies
    1. තියනවා සහෝදරයා..මාළු ගැන කතාව ගොඩක් දෙනෙක් දන්නවා, නොදන්න කතා ටිකයි ලිව්වේ මෙතනදි

      Delete
  3. obata maalun gena hithune nedda

    ReplyDelete
  4. ඔය බල්ලන්ව මරල කෑවනම් අවුලක් නෑ,නිකං මරල දාපු එක තමයි අවුල.
    ප.ලි මිනිසා සර්වභක්ෂක සතෙකි,ඉතින් බලෙන් ශාක භක්ෂක වීම සෞඛ්‍යයට අහිතකරයි.

    ReplyDelete
  5. මහත්තයා බල්ලෙක්ද?

    ReplyDelete