Jun 13, 2017

මළ යකාගේ ආරූඪය - ආත්මීය සටහන්


ඉස්සරම දවස්වල. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහින් ඉවරවුණු කිට්ටුව නව යොවුන් කාලේ ඉඳන් දැළි රැවුල එක්ක යෞවන කාලෙට බල්ටියක් ගහන කාලේ හරි පොඩි දේටත් තරහා යන්න පටන් ගන්නවා. හොඳට කියන දේවල් ඇහුනෙත් වැරදි කියනවා වගේම තමයි. ඒ කාලේ වැඩියෙන්ම පේන්න බැරි උපදෙස් දෙන්න එන වැඩිහිටියෝ තමයි. ඒ නිසාම වැඩිහිටියෝ පෙනුනේ හිටියා වැඩි ඇත්තෝ විදිහට තමයි. පේන්නම බැරි අය අතර දකින්න කතා කරන්න වැඩියෙන්ම කැමති ඇත්තෝ වෙන්නේ උපදෙස් නොදෙන වගේම වැඩිදුර ඉගනීම් ගැන, රස්සා ගැන අහන්නේ නැති, හැබැයි විහිළුවට වගේ ලව් හුටපට ගැන අහන කතා කරන උදවිය තමයි.

ඔන්න ඔය කියන කාලේ ගත කරද්දි නෑදෑ හැත්ත බුරුත්තක්ම පරවේණි පදිංචියට ටැග් ගැහිලා හිටපු ගමක ජීවත් වෙන්න සිද්ධවුණ මට තිබුණ ප්‍රධානම ප්‍රශ්න ටිකත් කලින් කියපු ඒවම තමයි. දකින් දකින කෙනාගෙන් කෝටියක් උපදෙස්. අරක හොඳයි, මේක නරකයි. ඒකත් වැරදියි, මේකත් වැරදියි. ඔන්න ඔය වගේ හිසරද එක්ක විභාගේ ඉවරවෙලා ගෙදර ටිකක් නිදහසේ ගතකරපු කාලේ ගෙදර වහලයට ඉන්න බැරි තත්ත්වයක් උද්ගත වෙන්නේ ඔය කලින් කියපු කොට්ඨාශ දෙකෙන් පළවෙනි කොට්ඨාශයේ ඇත්තෝ නිසා. ගොඩක් වෙලාවට දිරවගන්නම බැරි කතාවක් ඇහුණම ගෙදරත් එක්කත් රණ්ඩුවක් හදාගෙන එළියට බහින්න වෙනවා. මොකද ගෙදර උදවියත් රටේ තොටේ මිනිස්සුන්ගේ අදහස්,උදහස් වලට එකත්පස්ව එකඟවෙලා මටම දෝශාරෝපණය කරනවා මිස මගේ පැත්තට කිසිම සහයෝගයක් නොදෙන නිසා.

එහෙම මළ යකා ආරූඪ වෙච්ච අවස්ථාවල කරන්නේ බයිසිකලෙත් අරගෙන දඩිබිඩියේ ගෙදරින් එළියට බැහැලා හතිදාගෙන පදින එක. හිතට ආපු ආවේගේ ටිකක් හරි අඩුවෙනකල් පුළුවන් තරම් හයියෙන් කඳු පල්ලම් වෙනසක් නැතිව පැදගෙන යන එක පුරුද්දක් වුණා. දාඩිය බිංදු ගලාගෙන යද්දි ඇඟට දැනුණ අමුතු කිතිය එක්ක ගොඩක් තරහා අඩුවෙලා හෘද ස්පන්දනයත් ටිකක් යථා තත්ත්වයට එන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙනකොට තවත් බයිසිකල් පැදගන්න බැරි තරමට මහන්සියි. බයිසිකලේ යාන්තමින් පැදගෙන, කන්දක් දෙකක් තල්ලු කරගෙන ගිහින් ගෙදර ඉඳන් කිලෝමීටරයක් විතර ඈතින් තියන වෙළ ගාවට ඇවිත් අන්තිමට නතර වෙනවා. මොකද එතන තමයි මළ යකා නැගීමෙන් පසු යකාගේ වාස භවන වෙන්නේ. 

පටු ප්‍රධාන පාර දෙපැත්තෙම සාර වෙල් යාය. මයෙ හිතේ අක්කර හාර පන්සීයකට වැඩියි. ගොයම් පැළ ලා කොළ පාටට වැඩෙන කාලෙට මුළු වෙල්යායම කොළපාට කාපට් එකක් වගේ. අතරින් පතර ගලාගෙන යන වතුර පාරවල් වල හීන් සද්දය හිතට පුදුමාකාර සහනයක් ගේනවා. ඔය නිල්ල පීදිලා තියන කාලෙට මළ යකාගේ ආරූඪය නැතිවෙලා යන්න ගතවෙන කාලේ අස්වැන්න කපලා කුඹුරු අතෑරලා තියන කාලේ ආරූඪය නැතිවෙලා යන්න ගතවෙන කාලෙට සාපේක්ෂව බොහොම අඩුයි. ඒ කියන්නේ කුඹුරේ ගොයම් නිල්ල සහ මළ යකාගේ ආරූඪය අතර තිබිලා තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. බයිසිකලේ පැදලා මහන්සියට දාඩිය බේරෙන ටී ෂර්ට් එකත් එක්කම වාඩි වෙන්නේ හරියටම වේල්ලේ මැද්දෑවට වෙන්න තියන කුඹුක් ගහ යට තියන පුංචි බෝක්කුව උඩින්. ඒකට යටින් ගලාගෙන යන වතුර පාර එන්නේ හරියටම ඊට කිලෝමීටරයක් විතර ඈතින් තියන වැවෙන්. වතුර පාර ගලාගෙන යන්නේ බොහොම මිහිරි සද්දයක් එක්ක. වරල් දිග සාරි ගප්පි, තිත්ත පැටව් වතුරේ ලස්සනට පීනද්දි බෝක්කුව උඩ වාඩිවුණාම ලස්සනට පේනවා.

හවස් වරුවේ ඉර බැහැගෙන යන වෙලාවට ඈත කිරළ යායට එහා පැත්තෙන් ඉර ගිනි බෝලයක් වගේ බැහැලා යනවා බලන්න පුදුමාකාර ලස්සනයි. වෙළේ ඉන්න කොක්කු ඩියුටි ඕෆ් වෙලා රංචු පිටින් ඈතට පියාඹගෙන යද්දි වෙළට ඉහත්තාවෙන් තියන පන්සලේ හවස පිරිත් සද්දේ ඇහෙන්න පටන් ගන්නවා. “එවං මේ සුතං ඒකං සමයං භගවා...“ මගෙත් තොල් දෙක හෙලවෙන්න පටන් ගන්නවා. ඒත් ටික වෙලාවක් යද්දි සූත්‍ර ගාථා අමතක වෙනවා. කොහෙද හරියටම දහම් පාසලකටවත් ගිය එකක්ද, ඒකත් මගදි කට්ටි පැනලා නතරවුණා. පළවෙනි හේතුව සරම් ඇඳගෙන යන එක එපාම කරපු වැඩක් නිසා, දෙවනි හේතුව අල්ලපු පන්තියේ ඉඳන් හැම ඉරිදම හිනාවුණ නංගි දහම් පාසලේ ප්‍රිපෙක්ට් කෙනෙක් එක්ක යාළුවුණ නිසා, තුන්වෙනි හේතුව ගෙදර ඉඳන් ටිකක් නිදාගන්න තිබුණ එකම දවස ඉරිදා වීම නිසා. ඒ ආදී හේතූන් මත දහම් අධ්‍යාපනය බංකොලොත් වුණ මට තරුණ මදය එක්ක මළ යකා ආරූඪ වෙන එක එක පැත්තකින් පුදුමයක් නෙවෙයි. ඒත් දහම් අවසානේ කරලා දහම් පාසලේම ගුරුවරු වුණ කොල්ලොත් පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ එන්නේ “උඹෙ අම්මට..“ කියාගෙන. ඉතින් තව කවර කතාද.

- ජනා - 2017.06.13 

3 comments:

  1. සැටිපිකේට් ඇත්ත ඈ..
    පිස්සු හැදෙන්නෙ පිස්සටත් නිදහසක්නැති හිංද

    ReplyDelete
    Replies
    1. නතිං ටු සේ මචං..පිස්සොත් බිසී වෙනවා ඒ කාලෙට

      Delete