මා විසින් සයිබර් අවකාශය සහ දේශීය මෙන්ම විදේශීය සිංහල මුද්‍රිත මාධ්‍ය ප්‍රකාශන කීපයක් අරඹයා ලේඛනයේ යෙදෙමින් සිටි සිරිලංකාවේ වත්මන් තත්වය අලලා ලියවුණු “ඇත්තකියන්නන්ට ගල් ගැසීමේ න්‍යාය“ නැමති ලිපිය ප්‍රසිද්ධියට පලකිරීමට පෙරාතුව නිවස තුලින්ම මතුවූ දැඩි විරෝධය සහ වාරණය හේතුවෙන් අකුලාගන්නට සිදුවිය. එසේ කුටුම්භය තුලම වාරණයකට හේතුවූයේ අන්කවර කරුණක්වත් නොව තවදුරටත් නිවැසියන්ට මා යහතින් ජීවත්වනු දැකීම අවැසි වූ නියාවෙන්ය. ඔවුන්ගේ පොදු මතය වන්නේ රටේ අතිබහුතරයක් දෙනා මෙන් දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන සිටීමේ න්‍යායට අනුගතවන ලෙසයි. එය සඳහා උත්සහයක නිරතවීමේ පොරොන්දුව මත ලේඛනයකට නැවත අවස්ථාව සම්පාදනය කරගත්තේ බලධාරීන් විසින් කපාදැමූ මාතෘකා සීමාවෙන් පිට රචනයේ යෙදෙන පරිද්දෙන්ය.
Oct 31, 2012
Oct 25, 2012
ප්‍රින්සිපල් කර්නල් වූ පසු නාට්‍යයේ හොඳම කොටසයි
විදුහල්පතිතුමා කර්නල් වී ඇත. එය හරිම අපූර්වජනක සිදුවීමකි. යුද්ධය කාලයේ ගෙදරටවී කකුල් දෙකත් උඩ තබාගෙන හැමදාම පත්තරේ කියවූ විදුහල්පතිතුමා අද කර්නල්ය. එයනම් මාරය. ඊටත්වඩා මාරම දෙය වන්නේ තුවක්කුවේ කොකා කොහෙදවත් හරියට නොදන්නා විදුහල්පති තුමා කර්නල්වීමය. දැන් දැන් අපේ රට නූතන fantasy පුරය නිසාවෙන් මේවා සාමාන්‍ය දේවල්ය. කෙසේ වෙතත් කර්නල් පට්ටම ලැබූ ප්‍රින්සිපල් විද්‍යාලයට සම්ප්‍රාප්තවීම ඉතාමත් ඉහලින් සිදුවිය. වෙනදා තොරණ් ගසා සාම්ප්‍රදායික නැටුම් නටා මහ ඉහලින් කරන පිලිගැනීමේ උත්සව වෙනුවට මෙවර ගුරු සංගමයේ නවතම යෝජනාවක් අනුව ආචාර සමාචාර දැක්වීමේ උලෙලක් සංවිධානය කෙරිණි. ගුරුවරුන් සියල්ලම ළමයින් සමග එක්වී ආචාර පෙලපාලිය සංවිධානය කෙරිනි. විදුහල්පති තුමා එදා කර්නල් සූට් එක පිටින් විද්‍යාලයට ආවේ ඩිපෙන්ඩරයක හිටගෙනය. වෙනදා මග යන්නට පණ නැතිව වැනි වැනී ඉස්කෝලේ දොරටුවෙන් එන විදුහල්පතිතුමා එදා ආවේ කෙලින් හිටවූ පුවක් ගහක් මෙන් සෘජුවය. බලන්නට බැරිතරමට අභිමානය බේරෙයි. මූණේ හිනා මානයකවත් නැත.
Oct 24, 2012
කසාවත සහ බැට් පිත්ත
අපේ අම්මා දනට පිනට බොහෝම බරය. එබැවින් ඇය තමන්ගේ ජන්ම දිනය දා තම දෑතීන්ම පිලියෙල කල දක්ෂිණාව සංඝගත කිරීමේ වගකීම මට පැවරීය. එයට සහයට ලඟ ඥාතියෙක්වන ගුණසේන මාමා ද කැටුව යන්නට තීරණය කලෙමි.
“හාමුදුරුවෝ කී නමක්ද?“
“දහ නමක්“
ගුණසේන මාමා ඇසූ පැනයට අම්මා පිලිතුරු දුන්නේ භක්තියෙනි. එය අසා ගුණසේන මාමාගේ නලලද රැලි වැටුණි.
“දැන් එහෙනම් දාන දෙන්නත් ලේසි නෑ..මේ ගමේ ඉන්න දුප්පත් මිනිස්සු එදා වේල හොයාගන්නෙත් අමාරුවෙන්..කොහොමද මන් දන්නේ නෑ හාමුදුරුවෝ දහනමකට දානේ දෙන්නේ...“
අම්මා කතාකලේ එයට විරුද්ධවය.
“ඒ වුනාට ඉතින් මේ ගෙදර මහ මිනිස්සු ඉන්න කාලේ ඉඳන් දීපු මාසේ දානේනේ..ඒවා එහෙම කියලා අතාරින්න පුළුවන්ද“
Oct 21, 2012
රෑ සමනලියකගෙන් පාර අසාගෙන..
දුර ගමන් සේවා රාත්‍රී බස් රථයේ මගීන් තරමක ප්‍රමාණයක් අසුන්ගෙන සිටියහ. කීපදෙනෙක් හැරෙන්නට අන් සියල්ලම පසුවූයේ නින්දේය. නින්ද නොයන අය අතර මා මෙන්ම මගේ මනසද විය. පසුවන වීදි පහන් ආලෝකය සහ නිවෙස්වල මන්දාලෝකය හැරෙන්නට සිතිවිල්ලකට පාදක වන යමක් අවට නොවීය. අධික වේගයෙන් ගමන් ගන්නා බස් ර ථ යේ අඩක් විවෘත කවුලුවෙන් ගලන සීතල වාත ධාරාව හිරගඬු පිපෙන තරමට දරුණු විය. බස් රථය නිසොල්මනේය. මා අසුනේ අනෙක් පස වූයේ යුවතියකි. පැහැපත් රුවකින් හෙබි විචිත්‍රවත් ඇඳුම් ආයිත්තමින් සැරසි ඇය කොහි යන්නේදැයි නොදන්නෙමි. මා බසයට ගොඩවන විට ඇය අසල අසුනින් වාඩිවූ බව පමණක් මතකයේ රැඳී ඇත. ඇයද නිසොල්මනේ මද දුරක් ගමන් කල අතර අවධානය රැඳුනේ කවුළුවෙන් පිටතටය.
බසයේ සිටි ඇතැම් පිරිමින් ඇය දෙස වුවමනාවටත් වඩා බලන අයුරු දුටුවේ එක් වරක් දෙවරක් නොවේ. බොහොමයක් පිරිම කාර්යාල සේවය නිමවී අගනුවරින් නික්මෙන පිරිස් බවට අනුමාන කල හැකි විය. මෙම බස් රථය ඔවුන්ට හුරුපුරුදු බව පෙනුනේ ඔවුන් අසුන්ගෙන සිටිනා අයුරින්මය. මෙම බසය තුල සිටි එකම කාන්තාව ඇය නොවුණි එසේම එකම තරුණියද ඇය නොවුණි. නමුත් ඔවුන් ඇය දෙස වරින් වර බැල්ම හෙලන අයුරු නෙත් කොණෙන් මාද දුටිමි. මට එය කුකුසක් ඇ ති කල හැකි කරුණක් විය.
Oct 20, 2012
හන්තාන සිසිල දුන් එකම එක සිව් වසර
හන්තාන ගැන පේරාදෙණිය ගැන බොහොමයක් සාහිත්‍යධරයන් අතින් ලියවුණු නිර්මාණවල බරිත සාමාන්‍ය අගය ගෙන බැලුවම හන්තාන කියන්නේ නිර්මාණයකට කොතරම් සුන්දර වස්තු බීජයක්ද කියලා ඕනෑම හිතකට වටහා ගන්න පුළුවන්. ප්‍රේමය හෝ වේවා සෞන්දර්ය හෝ වේවා හන්තානට උරුම වෙන්නේ වෙනස්ම ආකාරයකට. එයටම අනන්‍ය ආකාරයකට. ඈත තියාම උදෑසන මීදුම් සළුවේ දැවටෙන හන්තාන දැක්කම කෙනෙක්ට හිතන්න පුළුවන් කඳුකරයට උරුම ගස් වැල් කටුපඳුරු වලින් වැහිලා ගිහ පස් කන්දක් මෙච්චර ආදරය හෝ සෞන්දර්ය වපුරන්නේ කොහොමද කියලා. ඒක තමයි භෞතික විඳීමකට වඩා ආධ්‍යාත්මික විඳීමක ප්‍රබලත්වය. භෞතිකව විඳින දේවල් වලින් නොලැබෙන තෘප්තිය ආධ්‍යාත්මිකව විඳින්න පුළුවන් කියන එකට හන්තාන හොඳ සාධකයක්.
පේරාදෙණියේ සරසවිය තුල නිතර ඇස ගැටෙන පෙම් කතාවලට තුන්වෙනි පාර්ශවයක් විදියට හන්තාන නොගැටෙන්නේ බොහොමත් කලාතුරකින්. මෙහෙම හන්තානේ සුන්දරත්වය සිය පෙම්කතාවට මුසු කරන ආදරණීය හිත අතරින් කීයෙන් කීයක්නම් විතරක්ද ජීවිතය පුරාවට භෞතිකව රැඳෙන්නේ. වැලිගම ප්‍රදේශයේ දරුවන්ට සිප්සතර උගන්වන පේරාදෙණිය සරසවියේම උගත් වැලිගම “තුන්වෙනි පරපුර“ සංවිධානයේ හිතවත් රුවින් බුද්ධික සහෘදයා තුන්වෙනි පරපුර සංවිධානයේ නිල සඟරාව වන “ප්‍රබුද්ධ ලංකා“ සඟරාවට මෙවර අපූරු ලිපියක් එක්කරලා තිබුණා. එයින් කියවුනේ ආදරය යනු වෙන්ව ගිය පසු දැනෙන දෙයක් බවයි..ඔබ එයට විරහව ලෙස නම් යෝජනා කරන්නට පුළුවන්. රුවින් දකින විදියට ආදරය යනු සැබෑ ලෙසම වෙන්ම ගිය පසු දැනෙන දෙයකි. ලොව අමරණීයව ඇත්තේ වෙන්ව ගිය ආදර කතා මිස එක්වුණු කතා නොවන බව ඔබ දන්නවා ඇති, එසේම ආදරය සදාකාලික වන්නේ එක් නොවුණහොත් බව සම්මත ප්‍රකට කියමනකි.
Oct 10, 2012
නොකියවූ Che සහ කියවූ Che
හරිත විප්ලවය පොත රාක්කයේ තිබුණත් හමුදාවෙන් හෝ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන දසවද දුන් කාලයක් තිබුණි. එම යුගයේ “චේ“ යනු ත්‍රස්තවාදියෙකි. ජනතාවගේ කෝණයෙන් ඒ කාලයේ සිටියේ “චේ ගුවේරා කල්ලිය“. ජනතාවට පිරභාහරන් සහ චේ ගුවේරා අතර වෙනසක් නොදැනුනි. ඒ මන්ද චේ දර්ශනය ලංකාවට රැගෙන ආ නියෝජිතයන් ලංකා මායිමේදී චේ කෙලසා දමා වෙන යමෙකුට පණදී තිබුණ බැවින්ය. නමුත් ලංකා සමාජයේ එවකට සිටි සීමිත පිරිසක් ලංකා මුහුදු සීමාවේ වැටෙන් එපිට ලෝකය පිලිබඳ අවබෝධයක් සහ දැනුමක් සහිතව සිටි අතර ඔවුන්ට චේ පිළිබඳව ස්වචින්තනයට අනුගත වූ අවබෝධයක් විය. එම නිසාවෙන් ඔවුන් “චේ“ දුටුවේ වෙනස් ආකාරයකටය, එසේම මෙරට පන්ති දේශපාලනයේ නිරතවූ පිරිස් “චේ“ දුටුවේ තම ගුරුවරයා කියූ ආකාරයටය.
එකල එහෙන් මෙහෙන් රහසේ හුවමාරු වූ පොත් සහ පත්‍රිකාවල “චේ“ ගේ ඡායාරූප දුටු ඇතමෙක් දුටුවේ පිස්සෙක් වගේ රැවුලක් වවාගෙන මිලිටරි මාදිලියේ තොප්පියක් පැලඳගෙ, තඩි සුරුට්ටුවක්ද කටේ ගසාගෙන උජාරුවෙන් සිටින විදේශිකයෙක් ලෙසයි. මෙම සෑම ජන චින්තනයකටම පාහේ සාධාරණ හේතුවක් තිබුණි. නමුත් වර්තමාන සමාජයට “චේ“ හැදෑරීමට වුවමනාවටත් වඩා සම්පත් පවතී. නමුත් එසේ සම්පත් තිබියදීත් “චේ“ දර්ශනයේ අල්පමාත්‍රයක්වත් මීට දශක දෙකකට තුනකට පෙර කාලයේ තරමටවත් හැදෑරීමට සහ අනුගමනයට සමාජය හුරුවී නැත්තේ ඇයිද යන්න විශාල ගැටළුවකි.
Subscribe to:
Posts (Atom)