අබරං පාන්දර ජාමෙට නාගෙන එහෙම ඇවිත් ගෙදර ඉස්තෝප්පුවේ වාඩි වුණේ කෝපි කෝප්පෙකුත් හදාගෙනමයි. පාන්දර හීතලට හිරිගඬු පිපෙද්දි කෝපි කෝප්පය අබරංගේ හීතල ටිකක් විතර අඩුකරලා දුන්නා. ගෙදර උන්දැයි පුතයි නෑගමනක් ගියපු නිසා මේ ටිකේ අබරං ගෙදර හිටියේ තනියම. කලින් දවසේ ගෙදර උන්දැගේ මල්ලි එහෙම නැත්නම් අබරංගේ මස්සිනා ගෙදර ආපු නිසා අබරංට පාළුවක් තිබුණේ නෑ. මොකද මස්සිනා සේතං කතාබහට බොහොම දක්ෂ මිනිහෙක්. ඒත් ඊයේ හවස ආපු මහන්සියටද කොහෙද වැඩි කතාබහක් නැතුවම රෑට පොල්සම්බෝලයි,පරිප්පුයි එක්ක සුදුහාලේ බත් පංගුවක්ම දෙසාබාපු සේතං කලින්ම නිදාගත්තා. ඒ විතරක් නෙවෙයි තාම උදේට නැගිටලත් නෑ.
ඉස්තෝප්පුවට වෙලා අබරං කෝපි කෝප්පේ අහවර කරනකොට වටින් ගොඩින් එළිය වෙන්න ගත්තා. ගෙදරට දාර විස්සක් තිහක් විතර එහායින් තිබුණ වැටට ඔබ්බෙන් තිබුණේ මහපාර. උදේ ඉදන්ම මහපාරේ එක එක වාහන එහෙට මෙහෙට යනවා අබරං පුරුදු විදියටම බලං හිටියා. ටිකකින් මහා සද්දකරගෙන වාහන ගණනාවක් අබරංගේ ගේ ඉස්සරහ ඇවිත් නතර කරා..දඩ බඩ ගාල පොලීසියේ බර ගාණක් ආයුධත් අරගෙන ඒ වාහන වලින් බැහැලා අබරංගේ ගේ ඉස්සරහ බැරියර් දාන්න පටන් ගත්තා. අබරං ඇස් දෙක නලලේ තියාගෙන මේක බලන් හිටියා.