Aug 17, 2017

රනිල් වික්‍රමසිංහ Naughty Forty


සාමාන්‍යයෙන් කියන්නේ මිනිස්සු අවුරුදු 40 වයසට ආවම ටිකක් විතර නෝටි එහෙම නැත්නම් ශිෂ්ට සම්පන්න නොවන දේවල්වලට පෙළඹෙන්න ටිකක් වැඩි ඉඩක් තියනවා කියන එක. ඕක මේ ආසියාතික සමාජයේ එහෙම ලොකුවට පිළීගන්න වත් විශ්වාස කරනවත් සංකල්පයක් නෙවෙයි ( සමහරවිට ඒකට හේතුව වෙන්න ඇත්තේ ආසියාවේ එවුන් බඩගාන කාලේ ඉඳන වලපල්ලට යන දවස දක්වාම නෝටි එවුන් නිසාද විය හැකියි) ඒත් මේ බටහිර රටවල් පිළිගන්න නෝටි ෆෝටි කතාව නැත්නම් දඟකාර, නරක හතලිහේ කතාව රනිල් වික්‍රමසිංහ සිරිමතාණන්ට අදාල වෙන විදිහ ටිකක් කල්පනා කරන්න වෙනවා.

මේ දවස්වල කොළඹ පුරා බෝඩ් ගහලා, බැනර් ගහලා තියනවා රනිල්ගේ 40 ට අපේ සුබ පැතුම් කියලා. දන්න තරමින් අවුරුදු 70ටත් ලඟ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෝටි ෆෝටි පැනලා දැන් හොට බිම ඇනෙන කාලේ. ඒත් ඉතින් පුරාණ චීන රජවරු එහෙම අවුරුදු අසූව අනූවේදීත් නෝටි වී ඇඳ උඩම නැත්නම් ගෑණු බඩ උඩම වලකජ්ජ ගැසූ පුවත් අපමණ අසා ඇති නිසා 70 පැන්නත් රනිල්ටත් මහින්දලා මෙන් නොටි සෙවන්ටි වෙන්නත්  බැරි නැත. එහෙත් ලංකාවේ ආර්ථිකේ හදන්නම ඔළුව වෙහෙසලා පිස්සෙක් වගේ..පිස්සෙක් වගේ ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට කොහෙද නෝටි වෙන්න වෙලාවක්ද.

Aug 15, 2017

නයි දපනේ දාන මුගටි බැල්ම - ආත්මීය සටහන් 03


මීට කලින් ලියපු ආත්මීය සටහන කියවන්න නම් මෙතැනින් අවස්ථාව තියනවා. කොහොමහරි මීට අවුරුදු ගාණකට කලින් හා හා පුරා කියලා මුල්ම රස්සාව කරන්න තෝරගන්න සිද්ධවුනේ රාජ්‍ය නොවන සංවිධානයක. නැත්නම් එන්.ජී.ඕ එකක. ඒ කාලේ ලංකාවේ එන්.ජී.ඕ වලට එච්චර හොඳ කාලයක් නොවුනත් ප්‍රාදේශීය එන්.ජී.ඕ එකක ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක වැඩබාරගන්න ඉන්ටර්වීව් එක එක පැත්තකින් එච්චර අමාරුවුනේ නෑ, අනිත් පැත්තෙන් එච්චර ලේසි වුනෙත් නෑ. මොකද ඉන්ටර්වීව් එකට වාඩිවුණ අදාල රාජ්‍ය නොවන සංවිධානේ අධ්‍යක්ෂක තැන මට කිව්වේ අත්බෝම්බයක් අරගෙන අතේ පුපුරගන්න හිතෙන කතාවක්.

"පුතා මේක කාන්තාවන් සවිබලගැන්වීමේ ව්‍යාපෘතියක්..මේකේ ඔයා අයදුම්කරපු තනතුර නිර්දේශකරලා තියෙන්නෙත් ගෑණු කෙනෙක්ට..ඔයා හිතනවද ඔයාට කාන්තාවන්ගේ හැඟීම් තේරුම් අරගෙන මේ ජොබ් එක හොඳට කරන්න පුළුවන් කියලා."

Aug 10, 2017

අපේ මන්ත්‍රීතුමාගේ සුන්වූ බලාපොරොත්තුව - ආත්මීය සටහන් 02


ඒ දවස්වල එක දවසක් ඉස්කෝලේ ගිහින් එනවා කියන්නේ සෑහෙන්න ලොකු ව්‍යාපෘතියක්. ඒ දවස්වල කිව්වේ ඉස්කෝලේ පහ වසරෙදි විතර. උදේ 6 ට වත් අඩුම ගානේ නැගිටින්න ඕන. ගෙදරට පහළින් තියන ළිඳ ලඟට යන්න ඕන, බඹ 11 ක් විතර ගැඹුර ලිඳෙන් වතුර ඇදලා රෑ නින්දේ මලවිකාර ටික හෝදලා දාන්න ඕන. පස්සේ හරකා මස්කඩේට දක්කන්න කලින් ඇඳුම් එහෙමත් අන්ඳවනවා වගේ නිල්පාට කලිසං කොටේ එක්ක සුදුපාට ෂර්ට් එක අඳින්න ඕන. සපත්තුනම් දානේ අපිට ඕන දවසට. ඒකට අභිමතානුසාරී බලය ඉස්කෝලෙන් අපිට පවරලා තිබුණා ඒකමතිකවම. ඔහොම ඇඳගෙන කන්න දෙන දෙයක් එහෙමත් ඔතාගෙන බෑග් මල්ලට දාගෙන හපුතලේ යනවා වගේ වැනි වැනි ගෙදර ඉඳන් මීටර් පන්සීයක් විතර දුරින් තියන පොඩි ඉස්කෝලෙට යන්න ඕන. සීමන් සීයලගේ වෙරළු ගහ, හන්ඳියේම තියන ගුළු ගහ, හන්දියට එහායින් තියන පෙට්ටි අඹගහ, ඊටත් එහායින් තියන බට් අඹගහ ඉස්කෝලෙට පොඩ්ඩක් මෙහාට වෙන්න පාර අයිනේ තියන කාබරංකා ගහ වගේ ස්ථාන ගණනාවක් පහුකරලා හවස මුණගැහෙන්නම් කියලා යන එක ලේසි පහසු වැඩක් නෙවෙයි.

ඔය හැමදේටම වඩා ඒ දවස්වල අමාරුම වැඩක් තිබුණා. හරියටම ඉස්කෝලේ වැට මායිමට මෙහා පැත්තේ තිබුණ කඩකාමර දෙකෙන් වම් පැත්තේ කඩකාමරේ තිබුණේ බාබර් සාප්පුවක් (දැන් නම් සැලූ....න්) දකුණු පැත්තේ කඩේ තිබුණේ ටේලර් සාප්පුවක්. ඔන්න ඔය ටේලර් සාප්පුවේ හිටියා මහ අලුගුත්තේරු කොල්ලෙක්. උගේ නම තමයි සම්පත්. අපේ තාත්තාගේ හිත මිත්‍රයෙක්ගේ පුතෙක් වෙච්ච මේ සම්පතා උදේ 7 ට විතර ටේලර් සාප්පු ඇරලා කටබලියං ඉන්නේ මම ඔතන ඉස්සරහින් ඉස්කෝලෙට යනකන්. මගේ අවාසනාවකටදෝ මන්දා ප්‍රධාන පාරෙන් යනවා ඇරෙන්න වෙන විකල්ප පාරක්වත් තිබ්බේ නෑ. ඔය සම්පතා ටේලර් කෙනෙක් වුණාට මොකද ඕකට තිබ්බේ මහා එපාකරපු කටක්. හැමදාම මම උදේ බැරි බැරි ගානේ ශිෂ්‍යත්වේ කාලේ ඉස්කෝලේ යද්දි මේ යකා කඩේ ඉඳන් කියනවා ගමටම ඇහෙන්න.

Aug 2, 2017

රාවණාගේ ලංකාපුරය සීගිරියද?




හින්ඳුන්ගේ මූලග‍්‍රන්ථයක් ලෙස සැලකෙන මහාභාරතය පෙරදිග ඉතිහාස වෘත්තාන්තය පිළිබඳ තතු කියන වැදගත් මූලාශ‍්‍රයක් ලෙස අදටත් විශ්වාස කෙරේ. මහාභාරතය තුලින් රාම නැමති වීර චරිතය සහ රාවණ නම්වූ එදිරිවාදී චරිතය ගොඩනගා ඇති අතර විවිධ විද්වතුන් මේ රාම සහ රාවණ පුවත විවිධාකාරයෙන් විග‍්‍රහ කරති. ඇතමෙක් සඳහන් කරන ආකාරයට රාම සහ රාවණ යනු සජීවී සත්‍ය වෘත්තාන්තයක චරිත නොව එය උපදේශ ග‍්‍රන්ථයක එන නිමිති දෙකක් පමණක් බවට තර්කයක් ගොඩනගා ඇත. ඒ අනුව රාමයනු හොඳබවත්, ’රාවණයනු නරකබවත් මත පලකර ඇත. එහෙත් රාමායණය හුදෙක් නිමිත්තක් ලෙස සලකා පසෙකට දැමිය හැකි මිත්‍යාවක් නොව, ඉන් එහා ගිය සාධක ඒ තුළින් හමුවීම නිසා තවත් විද්වතුන් පිරිසක් එය දක්ඛිණ පෙරදිග ඉතිහාසය නැමති ද්වාරය විවර කරන යතුරක් බවට හඳුන්වති.

රාවණ සම්බන්ධ ඉතිහාසය ලාංකිකයන්ට වැදගත්වන්නේ රාවණ නම් චරිතයක් ලංකාව තුල විසුවේ නම් එය ලංකාවේ ඉතිහාසය ගවේශණය කරන්නන්ට ඉහළ පිටුවහලක් බවට විවාදයක් නැත.