Showing posts with label අත්දැකීම්. Show all posts
Showing posts with label අත්දැකීම්. Show all posts

Feb 18, 2022

බොහෝ දේ කියාදුන් කාලයක් - Time teaches everything

 


මං හිතන්නේ පහුගිය මාස 6ටම මම මගේ යූ ටියුබ් චැනල් එකට එකම වීඩියෝ එකක්වත් දාන්න වුණේ නෑ. ඒ ජීවිතේ මට මුහුණදෙන්න සිදුවෙච්ච බොහොමයක් දේවල් නිසා. හරියටම පහුගිය අවුරුද්දක් වගේ කාලයක් කියන්නේ මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු කාලයක්. ඒ කාලේ ගතවුණේ මාව සහ මගේ ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්. මට හිතුනා එක පැත්තකින් මම මේ කොටුවෙලා ඉන්න තැනින් අඩියක් එළියට තියලා ආයෙත් චැනල් එක පටන්ගන්නත් එක්ක වීඩියෝ එකක් දාන්න, ඒක එක පැත්තකින් පාපොච්චාරණයක්, නැත්නම් ආත්ම කථනයක්. ඒ වගේම මට හා සමාන සිදුවීම්වලට මුහුණ දෙන ඕන කෙනෙක්ට පුංචි හරි උදව්වක් වේවි ඒකෙන් ගොඩ එන්න.

May 21, 2015

කපුගේ නැමති සංගීතය


කපුගේ මියයන විට මම පොඩි කොල්ලෙකි. ඔහුට අදටත් කපුගේ කියා කියන්නට මට කිසිඳු අවසරයක් නැත, ඔහු විශාරද ගුණදාස කපුගේ මහතාමය. ඒ ගෞරවයේ කිසිඳු අඩුවක් නැත. එහෙත් මම ඔහු කපුගේ කියා සහෝදරත්වයෙන් අමතමි. කපුගේ නැමති සංගීතය පිළිබඳ ලංකාවේ පත්තර පිටු පිරෙන්නට ලියා තිබෙනු දැක ඇත්තෙමි. ඒත් කපුගේ යන සංගීතය දැනෙන සමාජ ස්ථරය තුල සිට කපුගේ දකිනවා මිස සැපපහසු කාමර තුල සිට කපුගේ ස්පර්ශ කල සමාජය දැකීම පට්ටපල් බොරුවකි. 

   කපුගේ මියගිය දවසේ මගේ පොඩි අයියා පොඩි දරුවෙක් මෙන් හඬාවැටෙන අයුරු මම අත්වින්ඳෙමි. යන්තම් අවුරුදු දහයක් දොළහක් වූ මට උසස් පෙළත් පැන්නූ පොඩි අයියා හඬා වැටෙන්නේ ඇයිදැයි ගැටළුවක් විය. විශේෂයෙන්ම අඩුම තරමේ අපේ ගමේ සංගීත සංදර්ශනයකටවත් අඩිය නොතැබූ කපුගේ අභාවය ගැන පොඩි අයියා විස්සෝප වීම හරස්පද ප්‍රහේලිකාවක් විය. මොහිදීන් බෙග් සැත්කමකට භාජනය කරන්නට සිහිනැති කොට අවසානයේ සිහිය ගන්නට නොහැකිව මියගිය දවසේ අපේ ආච්චි හඬා වැටුණු අයුරු තාත්තා කියා ඇත. එයට ප්‍රධාන හේතුව වූයේ බෙග් ගැයූ බොඳු බැති ගීත වලට ආච්චි ගැලරියේ සිට සාදුකාර දුන් රසිකාවියක් වීම නිසා වන්නට ඇත. ඒත් පොඩි අයියා කපුගේ අභාවය නිසා අඬාවැටීම මා හට පෙනුනේ කැමිලස්ගේ කොමඩි කාටුන් එකක් ලෙසටය.

Apr 23, 2015

සයිබර් සිහින බක්මහ උළෙල 2015 - නොකී කතා


ගියවර සයිබර් සිහින බක්මහ උළෙල සමාප්තවී කුණු බැනුම් අසන්නට සතියක් පුරාම සිදුවූ යම් දෙයක් ඇත. එයනම් සයිබර් සිහින බක්මහ උළෙලේ නොකී කතා ලිපියයි. එය වනාහි ඉල්ලාගෙන කෑමක් ලෙස යථෝක්ත සත්‍ය ලෙසම ඉදිරිපත්කල හැක. නමුත් ඒ කෑම නිසාවෙන් පශ්චාත් සයිබර් සිහින බක්මහ උළෙල සමය ඉතා විවෘත මෙන්ම රසවත් කාලපරිච්ඡේදයක් වූයේ අදාල ලිපිය තුල පලවූ ජවනිකා සොයා යාමට ගත් උත්සහය නිසාවෙනි. කෙසේ වෙතත් මෙවරද නොකී කතා නොකියාම සිටියහොත් පලක් නොවන නිසාවෙනි.

   නමුත් හැමදේටම පෙරාතුව 2015 සයිබර් සිහින බක්මහ උළෙල පිළිබඳ කතා කිරීමේදී බොහෝ දෙනෙක් පැවසූ පරිදිම සාර්ථකව සහ දැඩි කැපවීමකින් එය අවසන් කල හැකිවූ බව පැවසිය යුතුමය. එය නන් අයුරින් සහය දුන් සංවිධායක කමිටුව ඇතුලු පිරිසට ස්තූතිවන්ත විය යුතුය. මන්ද 5 වැනි සංවත්සරික සයිබර් සිහින බක්මහ උළෙල ලෙහෙසියෙන් පැත්තකට දැමිය හැකි ඉසව්වක් නොවූ බැවින්ය. 

   දැන් නොකී කතා කිව යුතු වේලාවයි. මෙහි එන සිදුවීම් සත්‍ය සිදුවීම් වන අතර හෘදයාබාධ, උදරාබාධ, ක්ෂණික කෝපය වැන භයානක රෝගාබාධ ඇති පාඨකයන් මෙය කියවීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි.

Apr 29, 2014

“සුනිල් අයියා“ ගේ සටන් ජවනිකාව - Review of an expected movie


සුනිල් අයියා අපේ ගමට සිටි වීරයාය. ගමේ ඕනෑම ආරවුලකදී නිතැතින්ම සිහිවන චරිතය සුනිල් අයියාය. ඔහුට ගම්මුන් බොහෝ දෙනෙක් ගෞරව කලේ ගමතුල නිල නොලත් පොලිස්කාරයාගේ භූමිකාව ඔහුගෙන් ඉටුවන බව ගම්මුන් බහුතරයක් විශ්වාස කල නිසාවෙනි. වැඩුණු දේහදාරී ශරීරයත්, ගැඹුරු හඬත් නිසාවෙන් ඔහු පිළිබඳ මතය සත්‍යාපනය කිරීමට එයම සාධයකයක් විය. ගමේ එකෙක් කොහේදී හෝ ගුටි කෑවත් මතක් වූයේ “සුනිල් හිටියනම් ඕක වෙන්නේ නෑ“ යන යෙදුම් වලින්ය. එබැවින් සුනිල් යන සාධකය කොතරම් දුරට ගමේ පොදු ධාරාව තුල නිදන්ගතව තිබෙන්නක්ද යන්න ඔබට වටහාගත හැකිවනු ඇත.

එකල හින්දි සිනමාව සහ සිංහල සිනමාවේ සටන් ජවනිකා දැඩි ලෙස ගැමි ජනතාවගේ සිත් තුල වීරත්වයක් බිහිකල සමයක් විය. හින්දි සිනමාවේ සටන් ජවනිකා රූපවාහිනියෙන් නැරඹූ අපි චිත්‍රපටයේ වීරයා පිළබඳ ඇතිකරගත් “මහා පොර“ සංකල්පය හිතේ තබාගෙන ජීවිත්විය. සිංහල චිත්‍රපට තුලද මහා පොරවල් බිහිවන සටන් ජවනිකා තිබුණද ඒවාටත් වඩා හින්දි චිත්‍රපටවල නළුවන් අපිට පොරවල් විය. සුනිල් අයියාද අපට පෙනුනේ පියවි ඇසින් දැකිය හැකි එවැනි පොරක් ලෙසය. හින්දි චිත්‍රපටවල රූපරාමුවල දකින නළුවාගේ වීර භූමිකාව අප දුටුවේ සුනිල් අයියා තුලින්ය. සුනිල් අයියා පාරේ යනවිට ඔහුගේ ක්‍රියාකාරකම් දැකීමෙන් අප එහි සමාන අසමානකම් පිරික්සන්නටද විය. ඒ හැම කරුණකින්ම සුනිල් අයියා යන වීර චරිතය හුදෙක්ම හින්දි චිත්‍රපටවල හෝ සිංහල චිත්‍රපටවල වීරයාගේ චරිතයට එහාගිය සජීවීබවකින් අත්විඳින්නට අපට හැකිවිය.

Sep 9, 2013

පන්සලේ භූත ගුහාවේ යකාට වුණු අකරතැබ්බ


ලියන්න යන්නේ අද අපේ අහල පහල වුණ සිද්ධියක්. අහල පහල දේවල් ලියන්න ගියාට මොකද දැන් සෑහෙන්න අවදානමක් තියනවා ඒකෙත්. මොකද පොඩ්ඩක් හරි ගැස්සුණෙත් ගමට බැහැලා ඉවරයි. ඒක තේරුණේ පහුගිය දවසක ගමට බැස්සම ගමේ ගොඩක් අය මගේ බ්ලොග් රාජයා පුරුද්දක් වශයෙන් කියවන බව. 

   වැඩිය ඕන නෑ ගිය සතියේ හංදියේ කඩේට ගියපු වෙලාවේ කඩේ අංකල් කාරයා කියනවා.."අහා පුතා...ඔයා අර ඉන්ටර්නෙට් එකට ලියන ඒවා හරි ෂෝක්නේ..මම කියෙව්වා අර මැජික් කරන සිද්ධිය ( ප්‍රශ්න තුනක් අසා හිතේ රහස් එලියට ගන්නා අපූරු ක්‍රමය)  ක මරුනේ..කව්ද අප්පා ඒ යාළුවා..ඒ විතරක්නම් මදැයි තව ගමේ ඉන්න ආන්ටි කෙනෙක් කියනවා හංඳියෙදි මුණගැහිලා...පුතා අර ඉන්ටර්නෙට් එකේ ලියන ආටිකල් අපේ දුව කියවනවා..මටත් පෙන්නුවා පහුගිය දවසක..හොඳට ලියනවනේ පුතා..අර දයාසිරිගේ ලිපිය (දයාබර දයාසිරි එන්න මල් පිපීදැයි බලන්න) බොහොම හොඳයි..
 
ඔන්න ඕක නිසා ගමේ ඒවා ලියන්න වෙන්නේ පරිස්සමින් තමයි.. කොහොම වුනත් මේ සිද්ධිය වෙන්නේ අපේ අහල පහල පන්සලක. ගමේ නව යොවුන් තරුණයේ ටික පොසොන් වලට පන්සලේ භූත ගුහාවක් හදන්න සූදානම් කලාලු. දන්නවනේ භූත ගුහාවක් කියන්නේ ගුහාවක් හදලා ඇතුලේ හොල්මන් කරන්න කට්ටිය සෙට් කරන එක. ඉතින් වැඩේ නැගලා යනවා. මීටර් තුන්සීයකටත් වැඩි දිග තියන ගුහාවේ ඇතුලේ එක එක හොල්මන් වැඩ තියනවා. ඇතුල් වෙද්දිම නයෙක් ඇස් දෙක  රතුපාට පත්තු වෙන. ඊළඟට සොහොන් පිට්ටෙනියක්..මල මිනී නැගිටලා එනවා මස් හැලි හැලි..ඔය වගේ ගොඩක් ඒවා අස්සේ ඇතුලේ ශබ්ද ප්‍රයෝග එහෙමත් දාලා බොහොම බය ඇතිවෙන විදියට හදලා තිබුණා.

Aug 30, 2013

ප්‍රශ්න තුනක් අසා හිතේ රහස් එළියට ගන්නා අපූරුම ක්‍රමය


මේක මගේ මිත්‍රයෙක් කරපු වැඩක්. ඒක නිසා එතුමාට උපහාර වශයෙන් මේක ඉදිරිපත් කරන්න කැමතියි. සිද්ධිය වුණේ මීට අවුරුද්දකට විතර කලින්. අගනගරේ සුප්‍රසිද්ධ හෝටලයක තිබුණ සාදයක් ඉවරවෙලා සාදෙට ආපු ඇත්තෝ ආගිය තොරතුරු කතා කරමින් ඉන්නවා. එතන තිබුණේ බොහොම උද්යෝගයෙන් අඩු පාළු ස්වභාවයක්. මගේ මිත්‍රයට මේ පාළුව කියන දේ පාඩුවේ තියෙන්න ඉන්න බැරි පුද්ගලයෙක්. මිනිහත් මේ සාදේ ආරාධිතයෙක් විදියට ඇවිත් හිටියා. 

   ඔහොම ඉඳලා ඉඳලා මේ අප්‍රිය පාළුව තව දුරටත් විඳගන්න බැරිවෙච්ච මගේ මිත්‍රයා නැගිටලා කට්ටියගෙම අවධානය ගන්න මෙහෙම දෙයක් කලා.

"සුභ සන්ධ්‍යාවක් නෝනාවරුනි මහත්වරුනි...දැන් බොහෝ වෙලාවක් තිස්සේ නිසංකලංකව තිබුණ මේ සාදයේ මම වෙනසක් කරන්න අදහස් කලා..."

පාටියේ හිටපු එකෙක් මෙහෙම නැගිටලා බෙරිහන් දෙද්දි සේරම හොල්මන් වෙලා බලන් හිටියා. සමහරු කන බොන දේවල් පවා නවත්තලා හිටියා. ඊට පස්සේ මගේ මිත්‍රයා කියපු දේට කට්ටිය තවත් හොල්මන් වුණා.

Aug 27, 2013

සොඳුරු සුකුමල අලුත් ටීචර්


සහන කාලපරිච්ඡේද (Relief Periods) සඳහා බොහෝවිට යොදවන්නේ අලුත් ගුරුවරුන්. විශේෂයෙන්ම මීට අවුරුදු කීපයකට කලින්නම් අලුත් ගුරුතුමියන්. උපාධි පත්වීම් ලබපු හෝ විද්‍යාපීඨ සුදුසුකම් ලබපු අය ඉස්කෝලෙට ආපු ගමන් දෙන කට්ට තමයි සහන කාලපරිච්ඡේද. මේ අයට බොහෝවිට ලැබෙන්නේ ප්‍රාථමික පන්ති, නමුත් ඉහල පන්ති ලැබෙන අවස්ථාත් නැත්තෙම නෑ. මේ එහෙම අවස්ථාවක වුණ දෙයක්.

  මෙහෙම අලුතෙන් පිරිමි පාසලකට ආපු බොහොම හැඩරුව ඇති, ඉඟසුඟ ගත හැකි මිටින් වන් වූ සොඳුරු ගමනකට හිමිකම් කියන සුන්දර ටීචර් කෙනෙක් 11 ශ්‍රේණියට උගන්වන්න ආවා. මුල් දවස්වල බොහොම සාමකාමීවිදියට සහන කාලපරිච්ඡේදවල කොලු ගැටව් එක්ක කටයුතු කලා. ඒත් පන්තියේ ළමයි ටික ටික ටීචර්ගේ හැඩ බලලා වැඩ නොකරද්දි තරුණ ටීචර්ටත් ටිකක් මල පැන්නා. ටීචර් කරේ ළමයින්ට සහන පීරියඩ් වලත් වැඩ දෙන එක සහ සැර වැර දාලා පාලනය දරදඬු කරපු එක. 

Aug 25, 2013

ලෝකේ ලොකුම වැරදි දෙක


මිතුරන් දෙදෙනෙක් අවන්හලක පොඩි කතිකාවක නිරත වෙමින් හිටියා. දෙන්නගේ මාතෘකාව වුණේ වර්තමාන ලෝකය පිළිබඳවයි. දෙදෙනාම කතාකලේ ලෝකෙට වෙලා තියන වින්නැහිය ගැනයි. කොහොමහරි කතාව බොහොම දුරදිග ගියා. විවිධ මාතෘකා යටතේ විවිධ අන්තවලට කතාව ඇදිලා ගියා.

"උඹ දන්නවද මචං ලෝකේ තියන ලොකුම වැරදි දෙක මොකක්ද කියලා?"

අනිත් මිත්‍රයා ටිකක් කල්පනා කරලා ඔළුව වනලා දන්නේ නෑ කිව්වා.

"නෑ මචං.."

හීන් හිනාවක් දාපු පලවෙනි මිත්‍රයා ආයෙත් කතා කරන්න පටන් ගත්තා.

"පලවෙනි වැරැද්ද තමයි මචං ලෝකේ මෝඩ මිනිස්සුන්ට ආයුධ දීපු එක"

Jul 13, 2013

දෑවැදි මල්ල සියතින්ම වියන යුවතිය


ඇය මට මුණ ගැසෙන්නේ ගාල්ල නගරයට නුදුරු අවන්හලකදීය. ඒ සිය ජීවිතය ගැන මා දැනගන්නට රිසි වූ සියල්ල මා හට පැවසීම උදෙසා පමණක්ය. ඇය රැකියාව කලේ ගාල්ලට නුදුරු කර්මාන්ත පුරයක පිහිට කම්හල් ගොන්නේ එක් කම්හලකය. ඇයගේ රැකියාව වායුසමනය කල කාර්යාලයක සැප පුටුවක් මත හිඳ සුරතල් ඇඟිලි තුඩින් කරන යමක් නොවීය. දහඩිය පෙරාගෙන පිට කොන්දේ වේදනාව ඉවසාගෙන යන්ත්‍රයක් සමග ඔට්ටු වෙමින් ඇය පාවහන් මසන්නීය. ඒ සමගින් ඇය ජීවිත කඩතුරාවද සෙමෙන් මසන්නීය.

"නංගිගේ ගම්පලාත කොහේද...ඇයි මෙහෙට ඇවිත් මෙහෙම රස්සාවක් කරන්න ගත්තේ"

මගේ පැණයට ඇය පිලිතුරු දුන්නේ දිගු හුස්මක්ද ගෙනය. ඒ සුසුම් පොද ඇගේ ආවර්ජනයට උත්තේජනයක් සැපයුවාද නැතිනම් සිතේ ද්වාරය විවර කිරීමට උත්සුක වුවාද මම නොදන්නෙමි.

May 3, 2013

දන්න කතාවක නොතේරුණ පැත්ත


එක්තරා නගරයක් හැඩි දැඩි මෙන්ම මදක් සෙල්ලක්කාර තරුණයෙක් විය. මේ තරුණයා සෑම දිනකම පාහේ ආදරය පතා පස්සෙන් යන රූබර මෙන්ම ඉතා ආඩම්බර තරුණියක්ද විය. තරුණයා විවිධවූ ආකාරවලින් තරුණියගේ පසුපස පැමිණෙමින් ප්‍රේමය පතා සිටියද තරුණිය කිසිවිටක සිය සිතැඟි වෙනස් කලේ නැත.තරුණයාට කලහැකි යමක් නොවීය.

    දිනක් තරුණයාට මේ කටයුත්ත එපා විය.තමන් මෙසේ පස්සෙන් ගියත් තමන්ව තඹයකට මායිම් නොකරන තරුණියට හොඳ පාඩමක් ඉගැන්විය යුතුයැයි තරුණයාට සිතුණි. ඔහු කලේ තමන්ගේම හැඩි දැඩි මිතුරෙක් ලවා ඇය උපකාරක පන්ති නිමවී ගෙදර යන මොහොතේ මගරැක සිට හොඳට රිදෙන්නට කම්බුල් පහරවල් කීපයක් දෙන ලෙස යොමු කිරීමයි. මිතුරාද එම කටයුත්තට එකඟවී මගරැක සිට තරුණිය එනවිටම පැන කම්බුල් පහරවල් කීපයක් දුන් අතර තරුණයාද එය දුරක සිට බලා සිටියේය. ටික වේලාවකින් අතිශ්‍යයින්ම බියට සහ කෝපයට මෙන්ම ලැජ්ජාවට පත්ව කම්බුල් පහරවල් කන තරුණිය දෙස  බලා සිටි තරුණයාට එක ගලින් කුරුල්ලන් දෙදෙනෙක්ම දඩයම් කල හැකි අදහසක් මතුවිය. ඔහු සැනෙකින් වීරයාගේ චරිතයට පණ පොවමින් තමන් විසින්ම යෙදවූ තමාගේ මිතුරා සහ තරුණිය අතරට පැන මිතුරාට නොරිදෙන්නට එහෙත් දැඩි පහරවල් ලෙස පෙනෙන සේ පහර කීපයක් එල්ල කලහ.

Nov 5, 2012

කියවන්නෙක්ගෙන් ලද ලිපියක්...


අද උදෑසන දෛනික විද්‍යුත් ලිපි පරික්ෂාව සිදුකරන විට මගේ විද්‍යුත් ලිපි ගබඩාවට අලුත් මෙන්ම නන්නාඳුනන්නෙක්ගෙන් ලිපියක් ලැබී තිබිණි. කියවූ විගස මුලින් දැඩි කලකිරීමකුත්, පසුව සැනසිල්ලකුත් පසුව යථාර්ථය පිලිබඳව ඇල්මකුත් ඇතිවිය. එබැවින් අනන්‍යතාව හෙලි නොකර අදාල ලිපිය ඔබට ඉදිරිපත් කිරීමට තීරණය කලෙමි.

අයියේ,

මම අයියගේ බ්ලොග් එක දැන් අවුරුද්දකට වඩා කාලෙක ඉඳන් කියවනවා. අයියගේ බ්ලොග් එක හොඳයි..ඇත්තටම මට කියවන්න හොඳයි..මම හිතන්නේ අයියා දැන් අවුරුදු දෙකකට වඩා කාලයක් බ්ලොග් ලියනවා නේද? ඒත් බලන්නකෝ අයියගේ බ්ලොග් එකේ විසිට්, රෑන්ක් අඩුයිනේ මාරෙට..ඒ මොකද ඒ. අයියා එච්චර කල් බ්ලොග් ලියලත් ඇයි කට්ටිය මේකට නොඑන්නේ..අයියා බ්ලොග් එක ප්‍රොමෝට් කරන්නේ නැද්ද..මම හිතන්නේ අයියා ඒක ගැන හිතුවොත් හොදයි.

Oct 24, 2012

කසාවත සහ බැට් පිත්ත


අපේ අම්මා දනට පිනට බොහෝම බරය. එබැවින් ඇය තමන්ගේ ජන්ම දිනය දා තම දෑතීන්ම පිලියෙල කල දක්ෂිණාව සංඝගත කිරීමේ වගකීම මට පැවරීය. එයට සහයට ලඟ ඥාතියෙක්වන ගුණසේන මාමා ද කැටුව යන්නට තීරණය කලෙමි. 

“හාමුදුරුවෝ කී නමක්ද?“

“දහ නමක්“

ගුණසේන මාමා ඇසූ පැනයට අම්මා පිලිතුරු දුන්නේ භක්තියෙනි. එය අසා ගුණසේන මාමාගේ නලලද රැලි වැටුණි.

“දැන් එහෙනම් දාන දෙන්නත් ලේසි නෑ..මේ ගමේ ඉන්න දුප්පත් මිනිස්සු එදා වේල හොයාගන්නෙත් අමාරුවෙන්..කොහොමද මන් දන්නේ නෑ හාමුදුරුවෝ දහනමකට දානේ දෙන්නේ...“

අම්මා කතාකලේ එයට විරුද්ධවය.

“ඒ වුනාට ඉතින් මේ ගෙදර මහ මිනිස්සු ඉන්න කාලේ ඉඳන් දීපු මාසේ දානේනේ..ඒවා එහෙම කියලා අතාරින්න පුළුවන්ද“

Jul 28, 2012

අසාධ්‍ය ලෙඩාගේ අන්තිම ඉල්ලීම

කාලෙකට පස්සේ අහපු කතාවක රසය දෙන්න හිතුවේ ටිකක් ලේ පිරිසිදු කරගන්න එක්ක. මොකද මේ දවස්වල රටේ වාතාවරණය නිසාවෙන් ගොඩක් අය ඉන්නේ පිපිරි පිපිරි.ඉතින් කාලීන හා සමාජ මෙන්ම කලාව සම්බන්ධ ලිපිවලින් ටිකක් එපිටට ගිහින් සාමාන්‍යකරණීය කරපු කතාවක් ඉදිරිපත් කරන්න හිතුවේ ඒකයි. මේ කතාව සමහරවිට අහලත් ඇති, මගේ කණට ඇහුණෙත් ටිකක් කාලෙකට ඉස්සර. මෙන්න මේකයි කතාව. එක තරුණයෙක් හිටියලු බොහොම මහන්සියෙන් අලුත් රැකියාවක් එහෙම හොයාගෙන බොහොම ධෛර්ය සම්පන්නව මාසෙට ගාණක් හොයාගෙන  ජීවත් වෙන. ඉතිං දවසක් මේ තරුණයා කාර්යාලයේ වැඩකරගෙන හිටිද්දි දුරකතන ඇමතුමක් ආවලු තරුණයාගේ ගෙදරින්, ඒ පණිවුඩයෙන් කිව්වේ මේ තරුණයාගේ ලඟම ඥාතී කෙනෙක් වෙන මාමා කෙනෙක් අසාධ්‍යවෙලා රෝහලේ ඉන්නවා කියලත් ඒ මාමට මේ තරුණයා ඉක්මණින් මුණගැහෙන්න ඕන කියලත්. මේ පණිවුඩේට තරුණයා ටිකක් කලබල වුනා. මොකද මේ මාමා තරුණයට බොහොම ආදරෙන් සලකපු කෙනෙක්.කොහොම වුනත් තරුණයට මේ මාමාව බලන්න කාලෙකින් යන්නත් බැරිවෙලා තිබුණේ. අන්තිමට තරුණයා රෝහලේ මාමා ඉන්න කාමරේට ගියා.

  මාමා බලාගන්න හිටපු කීපදෙනා තරුණයා එක්ක කතා කරලා මේ තරුණයාට මාමව බලන්න ඉඩ දුන්නා.

“මේ දැනුත් අංකල් ඔයා ආවද කියලා ඇහුවා..“

May 14, 2012

කඩුපුල් මල් පිපිලා ගෙදර මිදුලම සුවඳයි...

කඩුපුල් මල් මම ඇත්තටම දැකලා තිබුණේ නැහැ. නමුත් මීට වසර අටකට පමණ පෙර මගේ පියාණන් ගෙනැවිත් නිවස යාබද මහෝගනී ගහක් අසල ගස්ක කොටයක් මත ඉතාමත් සුරැකිව සහ ආදර බරිත සාත්තු සප්පායම් වලින් සැනසී මීට දින කීපයකට කලින් එහි ප්‍රධාන පත්‍රයකින් මල් හට ගන්නට පටන් ගත්තා. එහි මුල්ම මල් දෙක අද දවස පුරා ටිකෙන් ටික විකසිත වන්නට වුනා. ඔබටත් දැකගන්නට මම එහි ඡායාරූප ටිකෙන් ටික පියවරෙන් පියවර ජංගම දුරකතනයට ලබාගත්තා.එතරම්ම පැහැදිලි නැතිවුනත් බලන්න කැමති සහ නොබලපු හැමෝටම මෙය අලුත් දෙයක් වෙයි. මොකද කඩුපුල් කියන්නේ රාත්‍රියේ පිපී රාත්‍රියේම පරවෙන දුරලභ මල් විශේෂයක්.


මේ උදේ 7 ට විතර තත්වය..


මේ උදේ 8.30ට විතර..කෙමෙන් කෙමෙන් පොහොට්ටුව විශාල වෙනවා


May 13, 2012

වේදනාත්මක සමුගැනීම...හිතවත් OBSERVER නික්මයාම...


සනත් විජේවර්ධන හෙවත් OBSERVER එහෙමත් නැත්නම් ඔබා මාමා. අද උදෑසන ජීවිත කරළියෙන් සමුඅරන්. විශ්වාස කරන්න අමාරු වුනත් පිලිගන්නට සිදුවන ජීවිත කටුක සත්‍යයට නැවත වතාවක් මුහුණ දෙන්න අපට සිදුවෙලා. පසුගියදා පැවති සයිබර් සිහින බක්මහ උලෙල අවස්ථාවෙත් සුපුරුදු කෙලිදෙලෙන් තමන්ගේ දරු මුණුපුරන් වගේ පිරිසක් එක්ක විටෙක කෙලිලොල් තරුණයෙක් හා විටෙක තාත්තා කෙනෙක් වගෙන් හිටපු ඔබා මාමා අද උදේ සියිබර් අවකාශය විතරක් නොවෙයි මුළු ජීවිතයම දාලා ගිහිල්ලා. හොඳ සහ වටිනා මිනිසුන්ගේ ආයුෂ අඩුයි. ඒ වගේම ඔවුන්ගේ නාමය සදා රැඳෙන බව සත්‍යයක්.

  වෙනදා දහසක් දේ එක පෙලට ලියන්න පුළුවන් උනත් අද වචන ගලන්නේ නෑ. කම්පනයත් එක්කම වචන සිරවෙලා. ඔහු මිය යන්න පැය දෙකකට කලින් “අපේ ඉසව්වේ“ මීට පෙර ලිපියට ප්‍රතිචාර දක්වමින් “නිවාඩු නිසා කියවන්න වුනේ නෑ...ඉක්මණට කියවනවා අතහැරුනු ටික“ කියලා ලියලා තිබුණා..එහෙම ප්‍රතිචාර දක්වලා තමයි ඔහු උදෑසන ව්‍යායාම කරන්න යන්නට ඇත්තේ. ඒත් යලිත් කවදාවත් ඔබා මාමට මගහැරුණු ටික කියවන්න ඉඩක් නොලැබේවි. අපිට කලින් ඔහු ජීවිතේ තවත් ගමනක් ගිහින්.

ආදරණීය සනත් විජේවර්ධන හෙවත් ඔබා මාමේ...ඔබට අජරාමර නිවන් සුව!

May 1, 2012

සුදු තාප්පයක් උඩ වනාපු කබායක් වගේ...

මේ කතාව සත්‍යම සිදුවීමක්.මෙහි සිදුවීම පටු අර්ථයකින් නොදැක සරල විදියට හා ප්‍රායෝගික විදියට බලන්න කියලත් ඉල්ලීමක් කරනවා මුලින්ම..සිද්ධිය මේකයි..ලංකාවේ කොල්ලෙක් විදේශගත වෙලා බොහොම මහන්සියෙන් ඉතා හොඳ මුදලක් එහෙමත් උපයාගත්තලු. ලංකාවෙන් යද්දි වැටට හිටවපු පොල් පිත්ත වගේ හිටපු මේ කළු කොලුවා ලංකාවට එද්දි තඩි කළු යකෙක් වගේ පොරක් වෙලාලු..උදාහරණය ක් මතක් කරනවනම්...හරියටම අපේ...රු..නෑ.. නෑ උදාහරණ ඕන නෑ. කොහොමහරි තඩි කළු පොරක්ලු ලංකාවට ආවේ. ඇවිත් බොහොම ඉක්මණට ගේ එහෙම පිලිවලක් කරලා හොඳ වටින වාහනේකුත් අරගත්තාලු. පස්සේ ඉතින් කොළුවට ඕන වුනේ පෙලවහක් කරගන්නලු. රට යන්න කලින් කොලුවගේ යහපත් චර්යාවේ හොඳකමට රට ගිහින් ලක්ෂ ගාණක් හොයන් ආවත් ගමේ කෙල්ලෝ නෙවෙයි කොල්ල දිහා හැරිලාවත්  බැලුවේ. මොකද ලංකාවේ ඉන්න කාලේ කොල්ලගේ වැඩ ගැන වැඩියෙන්ම දැනගෙන හිටියේ කෙල්ලන්ගේ අම්මලා.

  ලඟ පාතින් හරි ගියපු නැති තැන කොල්ලා වෙන පලාතකින් වැඩට බැහැලා.වාහනේ පෙන්නලා, අව්කණ්ණාඩි එහෙම දාලා ජැන්ඩියට හිටිය තඩි කළු කොල්ලට කොහොමහරි පෙර පිනකට වගේ සුදු කිරිපාට ලස්සන කෙලි පොඩ්ඩක් සෙට් වුණාලු. මේක කොල්ලට ඉවසා දරාගන්න බැරිතරම් ප්‍රීති ජනක දෙයක් වුනාලු. බඳින්නත් කලින්ම කෙල්ලව ගෙදර අයට පෙන්නන් එක්කගෙන ආවලු. ඇවිත් නිකන් හිටියේ නෑ තමන්ව තඹේකට ගණන් ගත්තේ නැති ගමේ කෙල්ලන්ටයි, උන්ගේ අම්මලාටයි පේන්න දවසෙම කලේ ගම පුරා රවුම් ගහපු එක. නිකන් නෙවෙයි කෙල්ලව බදාගෙන නිකන් කැරොල් කරත්තේ යනවා වගේ දෙන්නා ගමේ පාරවල් පුරා කැඩුනු කවලං ඉංග්‍රීසි සිංහල යොදාගෙන කතාකර කර යනවා.

Apr 16, 2012

මා බාල කාලේ සිංහල අවුරුද්දේ මතක


මේ පාර අවුරුදු කොහොමද කියලා යම් කෙනෙක් ඇහුවම පුරුද්දට අවුරුදු ජයයි කියවුණා මිසක් වෙනදා වගේ ඇඟට සහ හිතට දැනුනු අවුරුද්දක් නොවන බව ඔබටත්  දැනෙන්න ඇති. එයට හේතු සාධක වුනු කාරණා බොහොමයක් අතරේ සමාජය කෙමෙන් කෙමෙන් සංස්කෘතික හා ජාතික වශයෙන් වැදගත්කමක් ඇති උත්සව ඇල්මැරුණු ස්වභාවයෙන් සමරන බව පෙනෙන්න තිබෙනවා. එහෙම හුදෙකලා අවුරුද්දක් ගෙවෙද්දි කාර්යබහුල ජීවිතයක් ගත කරන්න සිදුවෙලා තිබෙන මටත් සිහිවුණේ කුඩා කාලයේ අවුරුදු සමරපු විදියයි.

    දකුණේ මාතර ප්‍රදේශයේ කොහොමත් සිංහල අලුත් අවුරුද්ද බොහොම ඉහලින් සමරනවා. මිනිස්සුන්ට කොතරම් අගහිඟකම් තිබුණත් අවුරුද්ද වෙනුවෙන් කොහොමහරි තමන්ගේ අරමුදල් කළමණාකරණය කරගෙන බොහොම ජයට අවුරුදු සමරනවා. ඉස්සර අලුත් අවුරුදු ලිත ලැබුණ ගමන් අපි පෙරලලා බලන්නේ අවුරුද්ද කවද්ද සහ අවුරුදු චාරිත්‍ර යෙදිලා තියන නැකත් වෙලාවන්. ඒ නැකත් වෙලාවන් බලලා අම්මා කියන වදන් පෙලක් තියනවා...“ ආ...මෙදා සැරේ අවුරුදු කන්න  තියෙන්නේ රෑට...උයන්නනම් හොඳට වෙලාව තියනවා..නැත්නම් ගිය අවුරුද්දේ කිරිබත වඩවා ගන්නවත් වෙලාවක් තිබුණෙ නෑ“ මෙතනින් ඉඟි කරන අවුරුද්දට කලින් ලැබෙන පාසල් නිවාඩුවෙන් පස්සේ තමයි සිංහල අවුරුද්ද කියන එක හොඳටම දැනෙන්නේ. අවුරුද්දට වත්ත පිටිය සුද්ද කරලා ගෙදර සායම් පිරියම් කරලා ගෙවල් හෝදනකොට අපිට පැවරෙන රාජකාරි බොහොම කැමැත්තෙන් කරන්නේ අවුරුද්දේ තමන්ට ලැබෙන වතාවතක් කරනවා වගේ.

Feb 2, 2012

මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා....


මාතර ගඟ යනු නිල්වලා ගඟයි.එහි කිඹුලන් අඩුවැඩි වශයෙන් වෙසෙනා බව ශ්‍රී ලාංකිකයන් පමණක් නොවෙයි ලෝකවාසී සත්ව විද්‍යාව පිළිබඳ ඇල්මක් දක්වන්නාවූ අත්‍ය බහුතරයක් දෙනා දන්නා කරුණකි. පසුගිය දිනකද මාතර කද්දූව ප්‍රදේශයේ කාන්තාවක් දියනාමින් සිටියදී කිඹුලෙක් විසින් ඇදගෙන යාම හේතුවෙන් නැවත වතාවක් මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ කතාව කරළියට පැමිණියහ. කිඹුලිය ගැන කතාකිරීමට කලින් මාතර නිල්වලා ගඟ ගැන මදක් කතා කිරීම වඩාත් වටී.
  
  මාතර නිල්වලා ගඟ ආරම්භවන්නේ මාතර දෙනියාය හා රත්නපුරය වෙන්වෙන සීමාවේදීය. නැත්නම් සිංහරාජ ලෝකඋරුම රක්ෂිතයේ කඳුකර තෙත්බිම් ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයේ ජල මූලාශ්‍ර එක්වීමෙන් ඒවා දක්ඛිණ දිශාවට ගලාඒමෙන් නිල්වලා ගඟ නිර්මාණය වේ. ආරම්භක ජල පෝෂක සීමාවේදී කුඩා ඇලක් ආකාරයෙන් ඇරඹුණත් කිලෝමීටර සියයකට ආසන්න දුරක් සයුර බලා බඳ ලෙලවමින් පැමිණෙන නිල්වලා ගංකොමළිය මාතර නගරය ආසන්න තොටමුණ වෙරළ සීමාවෙන් භාරත් සයුරු කුමරු තුරුලට වදින්නීය. මාතර නිල්වලා ගඟ පුළුල්වීම ආරම්භවෙන්නේ අකුරැස්ස ගොඩපිටය ප්‍රදේශය ආසන්න වෙත්මය.එය කද්දූව,නාවිමන පෙදෙස් පසුවෙද්දී තවත් පලල වේ.

Jan 20, 2012

කාන්තාව සහ අරක්කු බෝතලය..

මත්පැන සහ මත් භාවිතය එකහෙලාම ප්‍රති ක්ෂේප කරන නමුත් කාන්තාව හා අරක්කු බෝතලය ගැන පුංචි අදහසක් ඉදිරිපත් කරන්න හිතුවේ රසවත් අදහසක් පමණක්ම විදියට බාරගන්න කියන කාරුණික ඉල්ලීම ත් කරන ගමන්මයි. මේ මාතෘකාව කතාවුනේ සිංහල බ්ලොග්කරුවන් පසුගිය දිනක ගාල්ල රූමස්සලට එකතුවුන දවසේ. මේ කතාවට සම්බන්ධ වුනු කීප දෙනෙක් හිටියා. ඒ අතර ලිෂාන් අයියා, රංග අයියා, සිංහයා,රෙප් මහත්තයා,චිරාන් ලඟ පාත හිටියා වගේ මතකයක් තියෙනවා. කොහොම වුනත් මට මතක කතාව විතරයි. මේ කතාවේ සාරය වුනේ කාන්තාව හා අර ක්කු බෝතලය අතර තියන සම්බන්ධතාවය පිළිබඳවයි.ඇත්තටම ඒ අදහස ඇහුනම මටත් හිතුනා කොච්චර සමානකම්ක තියනවද කියලා.

පලමුවැන්නා - ඇය උඹ තාම බඳින අදහසක් නැද්ද?

දෙවැන්නා - නෑ බං..අපොයි ඔය ගෑණු ලංකරගත්තාම හරි අමාරුයි..

තෙවැන්නා - සහතික ඇත්ත බන් ඒ කතාව..ඊට වඩා දාහකින් සැපයි මේ බෝතලේ..(අතේ තිබෙන ජින් බෝතලය පෙන්නමින්)

Jul 17, 2011

හමුවුණා...අනේ හමුවුණා...

මාතර කොටු දොරකඩ ලගට ගියෙත් නිකං බාගෙට මැරිලා වගේ. අම්මපා මේ රස්නේ නම්. කියලා වැඩක් නෑ ඉර අතිජාත මිත්‍රයෙක් වගේ ලගටම ඇවිත් දස වද දෙනවා. කණ පැලෙන්න හීතල දවසටනම් මේ ඉර පැත්ත පලාතක් බලන්නේ නෑ මගේ. ඒත් අදනං ඉන්නවා මටම වද දෙන්න. දිසාපති කාර්යාලයට යන්නේ අද ලොකු වැඩක් කරගන්න තියන නිසා. කොච්චර වෙලාවක් ගියත් දෙයියම්පා වැඩේ කරගන්නේ නැතුවනම් එන්නේ නෑ. දවස් ගණනක් තිබුණු වැඩ කන්දරාව නිසා මේකට එන්න වුනෙත් නෑ. ඒත් අදනං කරගෙන මිසක් යන්නෙත් නෑ. හෙමින් හෙමින් කොටුවට ප්‍රධාන දොරෙන්ම ඇතුල් වුනා.