Showing posts with label පුර අටවක. Show all posts
Showing posts with label පුර අටවක. Show all posts

Apr 27, 2016

පුර අටවක - දෙවනි කොටස



කස්සප හාමුදුරුවන්ට අවශ්‍යවූයේ ලඟම තැනකට ගොස් මේ අනාරාධිත මුස්ලිම් ජාතිකයා කියන කතාවේ ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමටය. රැළියේ මතකය මුළුමනින්ම හිතෙන් තුරන්වී ගොස් අවසන්ය. හිතේ මතුව තිබූ ආගන්තුක හැඟීම් සමුදාය සමග පොරබදමින් සිටි කස්සප හිමියන්ගේ පසුපසින් වචනයකුදු නොදොඩා මුස්ලිම් ජාතිකයා ගමන් කරමින් සිටියහ. සුදු පැහැයෙන් සැරසුණු තරුණ ආරක්ෂකයන් කිහිපදෙනෙක්ම හිමියෙන් ඉදිරිපසින් සහ පිටුපසින් ගමන්කරමින් සිටියහ. නුගේගොඩ වෙළඳ සංකීර්ණයේ කඩයක් පවත්වාගෙන යන කස්සප හිමියන් හොඳින් හඳුනන ව්‍යාපාරිකයෙක්ගේ සාප්පුවක් පැත්තට උන්වහන්සේගේ පය එසවුණේ එතරම්ම අවබෝධයකින් නොවේය.

මීට සුළු මොහොතකට කලින් යකඩ කටින් හඬ ඇසුණු කස්සප හිමියන් නොසිතූ මොහොතක තමන්ගේ සාප්පුව පැත්තට පැමිණෙන බව දුටු කඩ හිමියා දැඩි විමතියකට පත්විය. එහෙත් පැමිණෙන පිරිසගේ මුහුණුවල ඇති අවිනිශ්චිතතාව නිසාවෙන් කුමක් හෝ ප්‍රශ්නයක් පැන නැගී ඇතිබව ව්‍යාපාරිකයා ඉක්මණින්ම තේරුම්ගත්හ. සාප්පුව තුළට පැමිණෙන ලෙසට හාමුදුරුවන් ඇතුළු පිරිසට ආරාධනා කර දඩිබිඩියේම සාප්පුවේ පිටිපස්සේ කොටසට ගොස් සුදු ඇතිරිල්ලක් ගෙනැවිත් හොඳම පුටුව තෝරාගෙන එහි අතුරා කස්සප හාමුදුරුවන් හට අසුන්ගන්නට ඉඩ සලසා දී දණ ගසා වැඳ ආචාර කල ව්‍යාපාරිකයා හාමුදුරුවන් ආමන්ත්‍රණය කරන්නට විය.

Apr 24, 2016

පුර අටවක - පළමුවැනි කොටස


නුගේගොඩ නගරයේ ජනාකීර්ණ කාර්යබහුලත්වය අඩුවක් නොවූ එදා එළිමන් රංඟපීඨය ආසන්න භූමියේ වූයේ වෙනදාටත් වඩා කලබලයකි. කසාවතින් සැරසි භික්ෂූන්, සුදුවතින් සැරසුනු ජනතාව සහ විවිධ වර්ණ සළුපිළි ඇඳගත් මිනිසුන් සවස්භාගයේ දැඩි දාහය ඉවසමින් එක රොත්තට එම ස්ථානයේ රැඳී සිටියහ. කහ පැහැති කොඩි සහ බෞද්ධ කොඩි ගුවනේ සරුවට ලෙලදෙමින් තිබුණු අතර යකඩ කටවල් තුළින් ජාතික අභිමාන ගී සහ මොහිදීන් බෙග් ගේ හඬ ගුවනට මුසුවෙමින් තිබිණි. කොහුවල දෙසින් පැමිණෙන රථවාහන මෙන්ම, නාවල දිසාවේ සිට පැමිණෙන වාහන නුගේගොඩ නගර මැද තිබූ ජන පෙළගැස්ම හේතුවෙන් එක පෙළට මාර්ගය අතරමැද තදබදයට හසුවී තිබිණි. දිගින් දිගටම ඇසෙන වාහන නළා හඬට යකඩ කටේ ශබ්දය නතරකල නොහැකි විය.

අති බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව පෙරටු කරගත් බොදු රැළිය ආරම්භ කරන්නට සියළු කටයුතු සංවිධානය කර තිබිණි. ගිහි පැවිදි කථිකයන් සහ ප්‍රභූවරුන් ඒ වනවිටත් වේදිකාවේ අසුන්මත රැඳී හුන් අතරම රැළිය ආරම්භවන තෙක් දෑස් දල්වාගෙන සවන් යොමාගෙන සිටි ජනතාව වේදිකාව මත සිටින්නන් දෙස අවධානයෙන් බලා සිටියහ. එවකට ලංකාවේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීම් ගණනාවකට සම්බන්ධ සංවිධානයක් විසින් මෙහෙයවන මෙම රැළියේ ප්‍රධාන කථා කිහිපයක්ම පැවැත්වීමට නියමිතව තිබිණි. ලේ කකියන මුහුණු සහිතව ජනතාව අපේක්ෂාවෙන් සිටියේ ඒ කතා මිස යකඩ කටින් ඇසෙනා ගීත නොවේය.