කට්ට කෙළවරටම මහන්සි දවසක ඉස්කෝලේ ඇරිලා සී.ටී.බී එකේ අමර දුකක් විඳලා හන්දියෙන් බැහැලා මම ගෙදර එමින් හිටියේ. මහන්සියටයි,බඩගින්නටයි ගෙදරට දුවලා යන්න හිතුන වාර අනන්ත වුනත් අමාරුවෙන් බරබාගේ ඇදගෙන එනවා වගේ ගෙදර පැත්තට ගොඩවුනා. කඩුල්ලෙන් පනිනවා එක්කම ගේ පැත්තෙන් ඇහුණ සද්දෙන් තේරුනේ ගෙදර වාතාවරණේ එච්චර හොඳ නෑ කියලා.
අපේ අප්පොච්චා කවදාවත් අරක්කු සිගරට් කටේ තියපු කෙනෙක් නෙවෙයි. තැපැල් පියුන් කෙනෙක් විදියට අවුරුදු ගානක් තිස්සේ බයිසිකලෙන් කඳු පල්ලම්, ගම් ගාණකම ඇදපු අපේ අප්පොච්චා කවදාවත් අම්මා එක්ක ගෝරි දාගන්නේ නැති තැන්පත් මනුස්සයෙක්. අපේ අම්මා ඉඳලා හිටලා අල්ලපු ගෙදර සොපි නැන්දලා එක්ක බර බර දාගත්තට ඒවත් අද තරම් සද්දෙන් ගිගුම් දෙන මට්ටමේ කචල් නෙවෙයි.
කොල්ලොම තුන්දෙනෙක් වෙච්ච අපේ ගෙදර බැනුම් අහන්න තරම් වැඩක් කරන්න හිටියේ මම විතරයි. ලොකු අයියා ඉතාලි හීනයක් හිතේ තියාගෙන කොළඹට වෙලා ජොබ් කට්ටක් කරනවා, පොඩි අයියා කැම්පස් එකේ දෙවැනි අවුරුද්දේ..එහෙව් එකේ අපේ ගෙදර අම්මගේ සද්ද පූජාව මෙච්චර ප්‍රබල ඇයි කියලා මට ලොකු ප්‍රශ්නයක් ආවා. ගෙට ඇතුල් වෙන තැනම අම්මා කම්මුලේ අත තියාගෙන අඬ අඬ බෙරිහන් දෙනවා, අප්පොච්චා පඩි කොණේ වාඩිවෙලා වැඩිය සද්දෙ නැතුව බෙරිහන් දෙන අම්මට බනිනවා. මට හිතාගන්න බැරිව හිටියේ මොකක් නිසාද මේ රණ්ඩුව කියලා.