ඈත හද්ද පිටිසර ගම්වලින් දහදුක් විඳගෙන සරසවි වරම් ලබන කොල්ලන්ට,කෙල්ලන්ට විශ්වවිද්‍යාල තුල ශිෂ්‍ය දේශපාලනය අමුතු රහක් එහෙමත් නැතිනම් ඊටත් එහා ගිය ආශ්වාදයක් වන්නේ නිරායාසයෙන්මය. අවුරුදු 18ක් තිස්සේ දිව නොගෑ දේශපාලනික පැණි හට්ටිය තුල ඇද වැටී හොල්මන්වීමට අතිශ්‍යය බහුතරයක් විශ්වවිද්‍යාල දරුවන්ට සිදුවන්නේ දේශපාලනය යනු කුමක්ද සහ “ලාංකේය“ දේශපාලනය තුල තමන්ගේ භූමිකාව කුමක්ද යන්න හරියාකාරව තෝරා බේරා ගැනීම සිදු නොකරන නිසාවෙන්ය. ඒ පිළිබඳ තර්ක තිබිය හැක. නමුත් එකසේ පිළිගත යුතු පරම සත්‍යය වන්නේ විශ්වවිද්‍යාල තුල ඇති දේශපාලනය රටේ සංවර්ධනයටවත්, අධ්‍යාපනයේ ආරක්ෂාවට වත් ඔය කියන තරම් දායකත්වයක් නොදන්වන බවයි.
වාමවාදී ව්‍යාපාර වල පොත්ත ඝන රතුය, දකින දකින පැත්තෙන් පෙන්නේ දෑකැති, කුළු ගෙඩි, ලේ, දහඩිය සහ ප්‍රතිපත්ති පමණක්මය. ඒ පොත්ත ඇතුලේ කුණුවී පණුවන් ගැසූ ගන්දස්කාර ලෝකයක් ඇති බව මෑතකාලීනව දරුණුවටම කියාපාන්නේ සුරේකා සමරසේන නම් කාලෝචිත මාධ්‍යවේදිනිය විසින් ලියා පලකරන “මේ කතාව“ නම් කුළුදුල් පොත තුලින්ය. ඇයගේ ඒ කතාව තුලින් පෙරකී වාමවාදී ව්‍යාපාරවල ඝන රතු පොත්ත හිල්වෙන්නට අනින කිණිස පහර නිසාවෙන් ඒ අභ්‍යන්තරයේ ඇති කුණු ටික ටික එළියට එන්නේ සාහත්‍යයටද කොකා පෙන්වමින්ය. පොත ආරම්භයේම “පොත පුම්බන්නා“ ට අනුව ( සාමාන්‍යයෙන් පොතක මුල්පිටු අතර පොත ගැන පෙරවදන් සපයන කර්තෘ නොවන පුද්ගලයන් සියල්ල සිදුකරන්නේ පොත පිමිබීමය) සුරේකා එල්ල කරන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්ය. “මේ කතාවේ“ එන ගාමක චරිතය අරුන්දතී බණ්ඩාර ලවා සුරේඛා එල්ල කරන මරාගෙන මැරෙන ප්‍රහාරය අතීතය,වර්තමානය, අනාගතය යන තුන්කල්හිම මහා විනාශයක් සිදුකරන “බංකර් බ්ලාස්ට්“ මාදිලියේ ප්‍රකාශනයක් ලෙස හැඳින්වීම වඩාත් උචිතය. ඒ මන්දයත් වාමවාදී දේශපාලනික ව්‍යාපාර ප්‍රතිපත්ති,විප්ලවය, රතු ස්මාරක වැනි සුන්දර වදන් පෙන්වා ගොඩනගාගෙන සිටින කුණු බංකර් බිඳවැට්ටීමට සුරේඛාගේ බෝම්බ ප්‍රමාණවත් බැවින්ය.