කාමරය පුරා ගිගුරුම් දෙමින් ඇසෙනා
හඬවල් ගණනාවකි. ඒ හැම හඬකම ඇත්තේ උස් කෑගසුමකි, නැත්නම් විලාපයකි, ගෝරනාඩුවකි. ඒ සියලුම හඬ මිශ්‍රවී එක්
එක් සංඛ්‍යාතවලින් කාමරයේ බිත්තිවල හැපී නගන්නාවූ ශබ්දය ඉතා අමිහිරිය, කර්ණකාශ්ඨකය. බිත්තිවල වදින සෑම හඬක්ම එක්
කණෙකින් ඇතුලුවී හිස්කබල තුල ඒ මේ අත වැදී මොළයට තදින් පහර දේ. ඒ පහරවල වේදනාව
ස්නායු දිගේ හෘදය වස්තුව දෙසට වේගයෙන් ගමන් කරයි. ඒ වේගය නිසාවෙන් රුධිර ගමනයද
වේගවත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස හෘදය වස්තුවේ ගැස්මේ වේගය සියයට ගණනාවකින් වැඩිවූ
බව මට දැනුණි.
“වැරදියි...වැරදියි..වැරදියි..නරුමයා..නරුමයා...නරුමයා...අධමයා...අධමයා..අධමයා..“
ඒ සියලු වාග් මාලාවන් වචන මාත්‍රයෙන්
පැහැදිලි කිරීම්ද සමග විශාල අරගලයකය. හිස බදාගෙන විඳගැනීමට නොහැකි තරමට ඒවා
වේගවත්ය, එමෙන්ම ශක්තිමත්ය. මෙලෙස මොහොතක්
ගතවන්නට ඇත. බැරිම තැන හැඳි වස්ත්‍රය පිටින්ම කාමරයෙන් එළියට බසින්නට සිත්විය.
ඉන්පසු දිගු සාලයෙන් පිටවිය. පසුව කොරිඩෝවෙන් හා ඉස්තෝප්පුවෙන්ද පිටවිය. වචන වලට
වඩා මා ඉස්සර විය. පාද චලනයන් යුහුසුළු විය.
මිදුල පසුකර පියවර ගණනාවක් තබද්දීත්
කාමරයේ බිත්තවල දෝංකාරය ඇසෙන්නට විය. ඒ හඬ නොඇසී යන තෙක් වේගයෙන් පා තබා ඇවිදින්නට
විය. හෘද ස්පන්ධනය තවත් වේගවත්ය, හත
වැටීම් එක ලඟ එක එන්නට එන්නට ලංව දැනේ. ඇතැම්විට හතිවැටීම් දෙකක් දැන් දැන් එකට
එක්ව විශාල හතිවැටීම් නිර්මාණය කරමින් ඇතිබව දැනුණි. අතුරු මාර්ගයේ පුරන් කුඹුරු
දෙක මැදින් මා වේගවත් ගමනේය.
‘චූටි පුතේ...‘
අම්මාගේ හඩ කොහේ හෝ ඈතකින් ඇසෙන්නට
විය. ගමන නතර කර ඒ මේ අත බැලුව නමුත් රුවක් නොවීය. ඒ හඬ ආවේ හිත ඇතුලෙන්ම යන සැකය
සනාථ විය. හිත ඇතුලෙන් මතුවෙමින් ආ ඉකිය පිට වන්නට අවකාශයක් නොවුණු තැන උගුරෙන් ආ
ගැස්ම සමගින් ඇස්දෙක කඳුළුවලින් පිරුණි. ඇහිපිය පුපුරා යන තරමට ඒ කඳුළු ප්‍රබල
විය.
අඩිය ඉක්මණ් කර මා නැවත පටන් ගන්නට ඇත.
බොහෝ දුරක් ගතවන තෙක්ම මාර්ගය හරිහැටි නොපෙනුන බවත් තද මීදුමක් මැද්දෙන් මා ගමනේ
යෙදෙන බවත් සිතාගනිමින් ගමනේ යෙදෙන්නට ඇත. ගමන් වේගය ඉඳහිට වැඩවීම් අඩුවීම් වූවද
රබර් පාවහන්වල ශබ්දය හැරෙන්නට එය නිශ්චය කරගත හැකි යමක් නොවීය. එසේ මා බොහෝ දුර
ගමන් කරන්නට ඇත.
ඇතැම් තැන්වල මිනිසුන් මා දෙස බලනු
දකින්නට ලැබුණේ ඇස්වලට උඩින් තිබූ ඝන මීදුම ඉවත්ගිය ගිය පසුවය. ඇතැම් මුහුණුවල
විශ්මය, ඇතැම් මුහුණුවල සැකය මෙන්ම අවිනිශ්චිත
බවද දක්නට ලැබිණි. එහෙත් ඒ සියලු දේ අවශේෂ සිතිවිලි ලෙසින් මතකයෙන් තත්පරයෙන්
දහයෙන් පංගුවකටත් අඩු කාලයකින් මකා දමා මා ගමනේය. තවත් හෝරාවක් හෝ දෙකක් මා හැරෙන
හැරෙන අත ගමන් කරන්නට ඇත.
සිහින් වැසි පොදු වැටී තිබුණා මතකය.
දැන් එය දොඹගෙඩි තරම්ව අහසින් වැටී මාගේ හිස මෙන්ම වස්ත්‍රද තෙමෙමින් ඇද හැලෙද්දී
කුමක්දෝ සහනයක් දැනෙන්නටද විය. වැස්සට අකමැති මට වැස්සට කැමතිවෙන්නටම විය. වැසි
අඩුවෙන තෙක්ම මා ගමනට විරාම නොදුණි.
සැඳෑ අඳුරේ සේයාවන් පෙනෙන තෙක් මා
ගමනේය. කුරුල්ලන් කැදලි සොයා පියාසර කරද්දී මා කැදැල්ලෙන් බොහෝ ඈතය. ඒ හැබෑවටම
කැදැල්ලද කියා කුරුල්ලන් පවා නොදන්නේ තාවකාලික කැදැල්ලක් මිස ස්ථිරසාර කැදලි උන්හට
අරුම බැවින් විය යුතුය. මාගේ ගමන් වේගය අඩුවන්නට විය. වෙහෙස යම්තාක් දැනුණු අතර
බොහෝ වේලාවක් තිස්සේ දෝංකාර දුන් වාග් මාලාවන් නොඇසුණ නිසා මා ප්‍රකෘති තත්වයෙන්
පරිසරය විමසන්නට විය.
‘ආදර හැඟුම් - ආදර හැඟුම් - නුපුරුදුයි
මට නුපුරුදුයි....‘
අමරදේවයන්ගේ ළගන්නා ස්වරය කොහේ හෝ සිට
අවකාශයට මුසුවෙයි. වෙනදා නොදැනුණු තරම් සොඳුරු ලෙස ඒ හඬ ඇසෙන්නට විය. ශ්‍රවණාරාධනා
මුලින්ම රසවිඳි විදුලකර සරසවියේ රංග ශාලාවේදී සජීවීව ඇසුණාටත් වඩා හෘදයාංගමව ඒ හඬ
ශ්‍රවණය විය. බිත්තිවල හැපී වචන වලින් හිස්කබල පසාරුකර ඇති තැන් පිරිමදිමින්
ඇසෙන්නට විය.
තද නිල් පැහැති රථයක සියුම් තිරංග හඬ
ගීතයේ හඬට බාධාවක් විය. මා පසුකරගිය රථය සෙමෙන් පසුගමනෙන් මාවෙත ලංවූ අතර රියන්
කිහිපයක පරතරයක් තබා නතරවිය. එයින් බට කාකි පැහැ නිලඇඳුම් හැඳගත් නිලධරුවන් කිහිප
දෙනෙක් මා වෙත පැමිණියහ.
‘කොහෙද යන්නේ තමුන්..‘
‘මම ගමනක් යනවා..‘ මාගේ පිළිතුරු අංග
සම්පූර්ණ නොවීය
‘කොහෙද ගමන..?‘
‘ගන්න ජාතික හැඳුනුම්පත..‘
ඔවුන්ගේ විමසුම්සහගත, නොරිස්සුම්සහගත සහ සැකමුසු බැලුම් මැද
අමරදේවයන් නිහඬවිය. කිහිපදෙනෙක් එක්වර අසන්නාවූ ප්‍රශ්න නිසා නැවතත් හිසතුල මින්
හෝරා කීපයකට පළමුව ඇසුණු වචන දෝංකාර දෙන්නට විය.
‘ලඟට යන්නේ..‘
‘හරි කෝ දෙන්න බලන්න අයිඩින්ටි එක..‘
සාක්කුවට අත් දමා බැලූවද එහි කිසිවයක්
නොවීය. සාක්කු දෙකම සාධාරණය. ඒවා ගෙදරදී හිස්ය, බොහෝ දිනවලදී හැඟීම් විරහිතවනා පරිද්දෙන්ම සාක්කු දෙක හිස්වීම
ස්වාභාවිකය. හිස් සාක්කු දෙක නිලදරුවන් දකින්නට ඇත.
‘නෑ නේද..එහෙනම් කරුණාකරලා ජීප් එකට
නගින්න..‘
‘ඇයි ඒ..?‘ විමතියට පත් මා හට අසන්නට වෙන පැනයක් නොවීය.
‘අපිට තමුන්ව සැකයි..හදිසි නීතිය යටතේ
අපිට තමුන්ම අතඅඩංගුවට අරගන්න පුළුවන්..දැන් යමු..‘
වාද කිරීම නිශ්ඵලය. එය වටහාගෙන බොහෝ
කාලයක් ගතවී ඇත. වාසිටියේ තෙල් බැම්ම මත සිට සිය ගණනක් සමග ගැඹුරු දේශපාලනික කාරණා
ගැන, දර්ශනය ගැන, කලාව ගැන ඇතිතරම් වාද හරඹ කරගෙන ඇත. වාදීභසිංහ වෙසින් කෙරුණු වාදයන්
පසුකාලයේ වාසිටියෝ කොහේදී හෝ මගහැරෙන්නට ද ඇත. ඒ නිසා පසුකලෙක වාද කිරීම නිශ්ඵල බව
පමණක් ලියා තබාගත්තෙමි.
කාකි නිලදරුවන්ට අවනතව නිල් පැහැති
ජීප් රියේ විවෘතවූ පිටුපස දොරෙන් ඇතුලට ගොස් වාඩිවුනෙමි. අරක්කු ගඳ, දහඩිය ගඳ, පුස්ගඳ මිශ්‍ර අපුල ගන්ධයක් එයින් වහනයවිය. මොහොතකට එය හුරුවනතෙක්
හුස්ම සීමා කලෙමි.
‘චූටි පුතේ..දවල්ට කාලද..‘
අම්මාගේ හඬ කොහේදෝ සිට නැවත ඇසෙන්නට
විය. උදරය තුලින් ඇසෙන ඉකිබිඳුම් හඬ මතක් කර දුන්නේ දහවල බත මගහැරුණු බවය..
‘නෑ අම්මේ..‘ දෙතොල් සෙලවුණා පමණි. වචන
පිටනොවුණි. එහෙත් නිලදරුවන් එයද සැකමුසු නෙතින් බලා සිටියහ. ඔවුන්ගේ දෙඅත් ටී
පනස්හයට කිටි කිටියේ තදවිය. ඔවුන් සීරුවෙන්ය.
‘බත් ඩිංගිත්තක් බෙදන්නද..‘ අම්මාගේ හඬ
ඈතින් ඇසෙන්නට විය. එයට හා කියන්නද එපා කියන්න කියා නිනව්වක් නොවීය. ජීප් රථය
ගේට්ටුවකින් ඇතුල් කල නතරවී නිහඬවිය. නිලදරුවන් මා කැඳවාගෙන ගොඩනැගිල්ල තුලට
පිවිසීය. මා පැනයන්නට හෝ දඟලන්නට උත්සහයක් නොගන්නාබව හැඳින තිබුණ නිසාදෝ ඔවුන් මා
හට නිදැල්ලේ ඒ තුලට යන්නට ඉඩ සලසා දී ගමන් මග පමණක් පෙන්නා දුනි.
මා බංකුවක් උඩ වාඩිවී තදින් හුස්ම
ගන්නට පටන් ගනිද්දී මා රැගෙන ආ නිලදරුවා එහි සිටි දෙඋරේ තරු සහිත තවත් ඉහළ
නිලදරුවෙක්ට ගතු කියන අයුරු පෙණිනි. ඔහු ඉදිරියේ රැඳී සිටි මැදි වයසේ අඹු සැමි
යුවල තදබල වාදයක ය. බිරිඳගේ හිසේ තුවාලයකි. අරක්කු ගඳ මුවින් වහනය වන සැමියා හේතු
කියන්නට විය. පැමිණිල්ල සටහන් කරගෙන ඔවුන් වෙනතකට යොමු කරන ලද තරු සහිත නිලදරුවා
මා දෙස බලා ඒ දෙසට කැඳවන්නට විය.
මම ඔහුට අවනතව අසලට ගියෙමි. පොතේ අලුත්
පිටුවක් පෙරලමින් මේසය දෙස බලාසිටි නිලදරුවා මා දෙස සෘජුව බලා විස්තර අසන්නට විය.
‘මහත්මයාගේ නම‘
‘බුවනෙක‘
‘මොනවද කරන්නේ?‘
‘රෝයල් බ්‍රවුන් කොම්පැණියේ අලෙවි
කළමණාකරු‘
නිලදරුවා එක්වරම දෑස් යොමුකලේ මගේ දෑස්
දෙසය. මම මේසය දෙසට නෙත් යොමා සිටියෙමි. කුමක්දෝ අසරණ කමක්, නැත්නම් අපහසුතාවයක් දැනෙන්නට විය. පොලීසියකට
ආවේ වසර ගණනාවකට පසුව නිසා වන්නට ඇත.
‘මහත්මයා මෙහේ එක්කගෙන එන්න හේතුව
සැකසහිත පුද්ගලයෙක් විදිහට නම්කරලා ලැබුණු දුරකතන ඇමතුම් කීපයක් නිසා..ඒ
වගේම..තව..අනන්‍යතාව හෙළිකරන්නට අපොහොසත්වීම.. ‘
සිහින් සිනාවක් මුවේ ඇඳුණද එය මාගේ
මුහුණෙන් සැනින් අතුරුදහන් වූවා විය යුතුය. ඉදිරියට කුමක් අසනු ඇතැයි යන්න
බලාපොරොත්තුවෙන් පසුවිය.
‘මහත්මයා කොහේද යමින් හිටියේ..ඇරත්
හැඳුනුම්පතවත් ලඟ නැතිව..මේ වැස්සේ..ඇරත් පැමිණිල්ල කරපු කෙනා ඇවිල්ලත්
ඉන්නවා..සැකයි කියලා බොහොම තදින් කිව්වා..මං හිතන්නේ මහත්තයා ගැන ඒ පැමිණිලිකාරයා
ගොඩක් වෙලා ඔබ්සර්ව් කරන්න ඇති..‘
මම හිස හරවා බැලීමි. පැමිණිලිකරුයැයි
විශ්වාසකල හැකි පුද්ගලයා මා පසුපස බංකුවේ විය. මා ඔහු දෙස බලා සිනාසුනි. හෙතෙම මා
දෙස රවා බැලීය. මම මදක් බලා සිට නැවත නිලදරුවා දෙස බැලීමි. ඔහු මගේ දෙස සෘජුව
බලාසිටිනු දුටුවෙමි.
‘මහත්මයාට මොකුත් ප්‍රශ්නයක්
ද..නැත්නම් මොකුත් අසනීපයක්ද?‘
ඉතා විනීතව සහ සුහදව ප්‍රශ්න අසන මේ
නිලදරුවා උප පොලිස් පරීක්ෂකවරයෙක් බව දුටුවේ එවිටය.
‘මහත්තයා කොහෙද යමින් හිටියේ..‘ මා
පිළිතුරු දෙන්නට තීරණය කලෙමි.
‘එස්.අයි මහත්තයා..මම ගෙදරින් එළියට
බැහැලා යමින් හිටියේ. ඇත්තම කිව්වොත් හිතට නිවනක් ලැබෙනකල් ඔළුව හැරෙන පැත්තකට
යමින් හිටියේ..ඒ අතරෙයි මාව එක්කගෙන ආවේ..‘
නිලදරුවා පුටුවේ මදක් පසුපසට වී මා
තවත් කියන්නාවූ දෙයක් ශ්‍රවණය කරන්නට මෙන් සූදානම් විය.
‘තියන තියන අඩියක් ගානේ සහනයක්
දැනුනා..දකින දකින ගහක්, කොලක්, මලක් ගානේ හිතට නිදහසක් දැනුනා..කාර් එකේ කළුපාට කණ්ණාඩියෙන් ලක්ෂ
වාරයක් දැකලා තිබුනු ගස් වැල් අද ඊට වඩා හෘදයාංගමව දැනුනා..ඒ නිසයි ගමන දුර
වුණේ..‘
තත්පර කීපයක් මා දෙස බලාසිටි නිලදරුවා
සිහින් සිනාවක් පලකර යමක් කියන්නට සූදානම් විය.
‘සමහර වෙලාවට මටත් ඔහොම්ම
හිතෙනවා..හිතෙනවා විතරක් නෙවෙයි ටිකක් එළියට බැහැලා යනවත් එක්ක..ඒත් ලඟම තියන
කඩයක් ලඟට හරි රෙස්ට් හවුස් එකක් ලඟට හරි විතරයි..මේ මූණත් තහඩුව අඳුනන අය වැඩි
නිසා..‘
මොහොතකට වචන නතරකර නිලදරුවා හිස දෙපසට
වැනීය. එහි අරුථ කුමක්දැයි මා හට සිතාගනු බැරිවිය.
‘දුමක් හරි සැර ජාතියක් හරි ඇඟට වැටිලා
හැරිලා ආයෙත් එනවා..එච්චරයි..‘
නිලදරුවා කෙටි සුසුමක් හෙලා වචන පෙල
අගට විරාම ලකුණ තැබීය. පොත වසා දැමූ ඔහු මා අමතන්න විය.
‘මහත්තයා ගෙදර යන්න දැන්..මතක් කරලා
ගෙදරටම යන්න..හොඳද‘
නිලදරුවා අසුනින් නැගිටින්නට විය. මමද
අසුනින් නැගිටිද්දි පාදවල සියුම් වේදානාවක් දැනෙන්නට විය. කාලෙකින් ඇවිද්ද පය ප්‍රතිඵලදායකය.
මා නැගිටිද්දී පැමිණිලිකරු කලබලයෙන් නිලදරුවා අසලට පැමිණියේය.
‘සර්..ප්‍රශ්න කලාද..ත්‍රස්තවාදියෙක්ද?‘
පොත් සහ ලිපිගොනු කීපයක් එක්රැස්
කරමින් සිටි නිලදරුවා හිස දෙපසට කල එසේ නොවන වග පසක් කලහ.
‘ඒ වුණාට සර් මහ වැස්සේ තෙමි තෙමි
හෙමින් අඩිය තියලා යනවා මම හොඳටම බලාගෙන හිටියා..අර මහ වැස්සේ කවුරුත් දුවද්දි
එහෙම යන එක සැක නැද්ද සර්..‘
පැමිණිලිකරු තවමත් සාක්ෂි ගොනු
කිරීමේය. නිලදරුවා පොත් සහ ලිපිගොනු කිහිපය එක් අතකට හිරකරගෙන හිස්වැස්ම
පැලඳගත්තේය. පුටුව පසෙකට කර යන්නට සැරසෙද්දී පැමිණිලිකරු වෙතට ලංවිය.
‘අයිසේ..තෙමෙන්න ඕන මනුස්සයෙක් වහිද්දි
දුවන්නේ නෑ..‘
පවසා යන්නට පිටත් විය. ඒ ගමන අතර මග
යමක් මතක් වී නැවත නතර වී වටපිට බලන්නට විය.
‘මහත්තයට යන්න විදිහක් නැතිව
ඇතිනේ..අයිසේ ජයසුන්දර..මෙන්න මේ මහත්තයාගෙන ගෙදර තියන තැන අහලා ගෙදර ලඟින්
බස්සනවා..‘
ජයසුන්දර සැලියුට් එකක් ගසා එසේ කරන
බවට පොරොන්දු විය.
‘මේ..ජයසුන්දර..ගෙදර ලඟින් බස්සන්න
එපා..ගෙදර කිලෝමීටරයක් විතර මෙහායින් බස්සලා එනවා‘
හඬ මදක් බාල කර එසේ කියා ඔහු
ගොඩනැගිල්ල තුලට වැද නොපෙනී ගියේය.
- නිමි -
අගනා කතාවක්
ReplyDelete...................................
සිතුවිලිfm සින්ඩියත් එක්ක එකතු වෙන්න
https://sithuvilifmsindiya.blogspot.com
මම නම් ෆුට්සයිකල් පදින්න යනකොටත් මේ ටිකේ ලයිසන් එක සාක්කුවේ දාගෙන ගියේ. කතාව කියවල ඒක මතක් උනේ එක පාරටම.
ReplyDeleteඉන්ස්පෙක්ටර්ගේ කතාව නම් හරි තමා. වැස්සේ තෙමෙන්න ඕනේ මනුස්සයෙක් දුවන්නේ මොකටද නේද..
මිනිස්සු බං....
ReplyDelete