Showing posts with label පුවත්පත් ලිපි. Show all posts
Showing posts with label පුවත්පත් ලිපි. Show all posts

Sep 6, 2024

අලුත් පරපුර ඉල්ලන්නේ පරණ ජනාධිපති කෙනෙක්ද?

 


තව සති කිහිපයකින් ලංකාවේ ජනතාව ඉතා තීරණාත්මක තෝරාගැනීමක් කිරීමට සිදුවනු ඇත. එක පැත්තකින් එකී තීරණය සමස්ත රටේ ඉදිරි වසර කිහිපයේ ඉරණම තීරණය කරන තෝරාගැනීමක් පමණක්ම නොව, ඇතැම්විට රටේ අනාගත ඉරණම තීරණය කරන තෝරාගැනීමක් විය හැකිය. දැවැන්ත අර් බුද ගණනාවක් සමග පොරබදන, ඉතා අස්ථාවර අනාගතයක පෙර නිමිති ඇති රටක පාලකයා තේරීම ඒ තරමටම බරපතල තෝරගැනීමක් බව නැවත නැවතත් කිවයුතු නැත.

මීට මාසයකට පමණ පෙර ලංකාවේ වගේම ඇමරිකාවද තමන්ගේ ඊළඟ ජනාධිපතිවරයා තෝරාගැනීම සම්බන්ධයෙන් වන නිල නිවේදනය නිකුත් කරනු ලැබීය. ව්‍යවස්ථානුකූලව වත්මන් ඇමරිකා ජනපති ජෝ බයිඩ්න්ට දෙවැනි වරටත් මැතිවරණයට ඉදිරිපත්විය හැකි බැවින් ඩිමොක්‍රටික් පක්ෂයට ඔහු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්කල හැකිව තිබිණි. රිපබ්ලිකන් පක්ෂය පැත්තෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් තමන්ගේ දෙවැනි වරම අපේක්ෂාවෙන් තරගයට පිවිසෙන බවද ආරංචි මාර් ග ඔස්සේ වාර් තා විය.

May 8, 2019

පෙරළුෑ නැවුම් පසෙහි ඉපිද,කරමසෝ සහෝදරයන්ට සමුදුන් සිංහල සාහිත්‍යයේ රුසියානු ලකුණ



හැටේ දශකයේ මුල් භාගය යනු ලංකාවේ ,ලෙස බොහෝ දෙනෙක් අදටත් විශ්වාස කරති. හරියටම එදා යුරෝපයේ පුනර්ජීවනයෙන් පසු සාහිත්‍යය, දේශපාලනය ගැන පොදු සමාජයේ විවාද,කතිකාවත්,ප‍්‍රපංච බිහිවූවාක් මෙන් ලංකාවේද හැටේ දශකයේ සාහිත්‍ය පිළිබඳ දැඩි වාද විවාද බිහිවූ බව කිව යුතුය. ලියෝ ටොලස්ටෝයිගේ ”War and Peace”කෘතිය ලොව මේ තාක් බිහිවූ විශිෂ්ටතම නවකතාව ලෙස ලෝකයේම ගෞරවාදරයට පාත‍්‍රවී ඇත. එකල Daily News පුවත්පතේ සිංහල සාහිත්‍ය පිළිබඳව ඉංග‍්‍රීසි භාෂාවෙන් කෙරුණු සංවාදයකදී ගූණදාස අමරසේකර ශූරීන් කියා තිබුණේ හරියට ඉංග‍්‍රීසි භාෂාව හැසිරවීමට හෝ නොහැකි පරිවර්තකයින් සිටින ලංකාවේ ටොලස්ටෝයිගේ “War and Peace” වැනි කෘතියක් සිංහලට පරිවර්තනය කිරීම සිහිනයක් බවයි. එයට විරුද්ධව මත පලකල රෙජී සිරිවර්ධන පවසා තිබුණේ ලංකාවේ එවැනි සමත්කමක් කරන්නට හැකි පුද්ගලයින් අනිවාර්යයෙන්ම සිටින බවයි. ගුණදාස අමරසේකරගේ මේ උඩඟු කතාවට හිත රිද්දවාගත් පුද්ගලයෙක් විය. හෙතෙම ඒ වනවිටත් විදෙස් කෘතීන් ගණනාවක් සිංහල බසට පෙරලා තිබුණු අතර අමරසේකර ශූරීන්ගේ අභියෝගය තමන් බාරගත යුතුයයි තීරණයට එළඹිනි. අවසානයේ එය ’යුද්ධය සහ සාමය’ නැමැති අපූරු අනුවාදනයක් බවට පත්වන්නේ සිංහල සාහිත්‍යය තුල තමන්ට කල නොහැක්කක් නැතිබව සපථ කරමින්ය. හෙතෙම සිරිල් සී.පෙරේරා නම් විය. සිංහල සාහිත්‍යය තුල පරිවර්තන සාහිත්‍යය යම් තැනක සිටීනම් ඒ තැන වෙනුවෙන් අනූපමේය මෙහෙයක් ඉටුකලේ එතුමන්ය. 93 වැනි වසරේදී සිය ජීවිතය නැමැති කෘතියේ අවසන් ෙඡ්දය ලියා පලකල ඔහු සිංහල සාහිත්‍යයේ රුසියානු ලකුණ ලෙස හඳුන්වන්නේ නිකම්ම නොවේය.

Oct 25, 2017

මොටාගෙදර නම් විප්ලවීය සිත්තරා..


කලකට ඉහත ඩඩ්ලි සේනානයක මැතිඳුන් අගමැති ධූරය හෙබවූ එක්සත් ජාතික පක්ෂ රජයේ පාලන සමයේ පාන් ගෙඩියේ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රටතුල දැඩි ආන්දෝලනයක් ඇතිවිය. ඒ මොහොතේ පාන් ගෙඩිය සම්බන්ධව ඩඞ්ලිගේ බොරු පොරොන්දුව විවේචනය කරන්නට එවකට කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ ’ඇත්ත’ පත්තරේ දේශපාලන කාටූනය ඩඞ්ලිට එල්ලකර තිබුණේ කණේ පහරකි. ඒ පාණ්ගෙඩියක් දෙඅතේ සිරස්ව තබාගෙන ත‍්‍රිභංග ලීලාවෙන් සිටින ඩඞ්ලිගේ කාටූනය යටින් ’පචබාහු’ ලෙසින් සඳහන් කරමින්ය. එවකට මේ කාටූනය දකින්නම ලක්ෂ ගණනක් දෙනා ඇත්ත පත්තරය මිලට ගෙන තිබිණි. ඒ කාටූනය යටින් තිබුණේ එකම එක අත්සනකි. ඒ මොටාගෙදර යි.

1933 අවුරුද්දේ පෙබරවාරි 16 මාතර නගරයට සැතපුම් තුනක් ඔබ්බෙන් මොටාගෙදර ගමේ උපන් මොටාගෙදර වනිගරත්න නමැති චිත‍්‍ර ශිල්පියා යනු අද මෙරට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම චිත‍්‍ර ශිල්පියා බවට අවිවාදයෙන් සඳහන්කල හැක. එහෙත් තවමත් ඔහුගේ නලියන දෙඅත මැජික් ශිල්පියෙක්ගේ දෑත් පරිද්දෙන් පින්සල සහ වර්ණ සමග මුසුව කැන්වසය මත සොඳුරු සිතුවම් මැවෙන්නේ නුදුරු දිනකදී චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වීම අරමුණු කරගෙනය. මොටාගෙදර ගම්මානයේ කෙළවරක ඇති මහාර්ඝ කලාගාරයක් බඳු ’කලාකෙත’ නම්වූ මොටාගෙදර වනිගරත්නයන්ගේ නිවහනට ගොඩවූයේ ඒ විප්ලවීය සිත්තරා සමග මොහොතක් අතීතයට පියමනින්නය.

Jul 1, 2016

කුලය,ජාතිය සහ සංවර්ධනය



වංශවත්යැයි පාරම්බාමින් ලෝකයට අඬබෙර ගැසූවත් බිත්ති කඩාවැටෙන තරමට දරීද්‍රතාව රජකරන වලව්වකට දීග ආ ලේලිය කන්න උයන්නට යමක් නොමැති තැන ලිප ගිනි මෙලවා තාච්චියක් තබා යකඩ හැන්ඳෙන් කබල්ගාන අයුරු දුටු නැන්දම්මා ලේලියගෙන් ඇසුවේ මොනවා කරනවාද කියයා. හැරෙන තැපෑලෙන් නැන්දම්මාගේ සහ සනුහරේම රෙදි ගැලවෙන්නට ලේලිය දුන් උත්තරය ’මං මේ වංශය කබල්ගානවා’ යන්නය. ලේලියගේ උත්තරය තුල තිබුණේ සාම්ප‍්‍රදායික කතාවක එන උපහාසත්මක සත්‍යය වුනත් ඇහැ කණ පේන වෙලාවක ඇස් දෙක ඇර බලන  ඕනෑම සිහිබුද්ධියක් ඇති ලංකාවේ මිනිහෙක්ට පේන්නට ඇතිදෙය නම් දශක ගණනාවක් තිස්සේ අපි කරමින් සිටින්නේද වංශය කබල්ගෑම මිස වෙන කෙහෙල්මලක් නොවන බවයි.

ලංකා ජන සමාජයේ කුලය,ජාතිය,ආගම හා සම්ප‍්‍රදායන් ගැන අනන්තවත් පට්ට පතුරුයන්නට විවේචනය කල අවස්ථාත්, කොතේ චූඩාමාණික්‍යයේ මුදුන් හුලේ තබා ඇගයූ අවස්ථාද දැක ඇත. කොතරම් තදින් ගැරහුවද,පහර දුන්නද එසේත් නැතිනම් නැතිබංගස්ථාන වනතුරු සමාජය දැනුවත් කලද තවමත් ගෝත‍්‍රවාදීත්වය ලංකා සමාජයේ පැලපදියම්වී තිබෙන්නේ බූවල්ලෙක් පරිද්දෙන්ය. එකී බූවල්ලාගේ අඩු විහිදී ඇති තැන් සොයාගන්නවාට වඩා කළුනික සෙවීම ලෙහෙසිවනු ඇතැයි පුද්ගලික අදහසයි. ආනන්ද කුමාරස්වාමී විද්වතාන් විසින් රචිත ’මධ්‍යකාලීන කලාශිල්ප’ කෘතියේ ලංකාවේ කුල සහ ජාතීන් පිළිබඳව විවරණය කරන්නේ වත්මන් සමාජය පිළිබඳ විවෘත මනසකින් බලන්නෙක්ට තවමත් ඒ තත්ත්වයේ ලොකු වෙනසක් නැතිබව අවබෝධරගත හැකිවනු ඇත. එහෙත් කතාකල යුත්තේ කෑලි කෑලිවලට කැඞීගොස් එක් එක් පැතිවලින් ගහමරාගන්න කුලගොත්වල ඇති ලක්ෂණ නොවේය ශ‍්‍රී ලංකාව නැමති ස්වයංපෝෂිතව පැවති රාජ්‍ය මේ තත්ත්වයට ඇදදමනු ලැබූ සහ තවදුරටත් ජරාජීර්ණ කරමින් ඇති ජාතිවාදය සහ කුලවාදය පිළිබඳවය.

Apr 30, 2016

“කන්ද“ කඩා වැටෙයි සිතූ “කෙන්ද“ බලාපල්ලා




පත්තර රස්සාවට ඇවිත් එච්චර කාලයක් නැතිවුණාට පත්තර එක්ක හැප්පෙන ජීවිතේ හොඳ වගේම නරකත් එමට තියනවා. පහුගිය කාල පරිච්ඡේදෙම මුහුණ දුන්නේ හොඳට වඩා නරකට කිව්වොත් ඇත්තෙන්ම සර්ව සාධාරණයි. සමහර වෙලාවට දෙවි දේවතාවුන් විදිහට වෙස්වලාගෙන පුද සත්කාර ලබන, ලෝකෙට බණ කියාගෙන පාත්තර පුරවගන්න අය පට සළුපිලි ගලවලා දාලා ඉන්නකොට මහ පොළවේ පයගහල ඉන්න කාඩ යක්කු කියලා තේරෙන්න එච්චර පරක්කු වෙන්නේ නෑ. එහෙම වෙලාවට ජීවිතය බවට පත්වෙලා තියන පත්තර රස්සාව තවදුරටත් රස්සාවක්ම මිස ජීවිතය නෙවෙයි කියන තැනට නිරායාසයෙන්ම එන්නේ හිතට එන කාළකණ්ණි හැඟීම් සමුදාය එක්කම තමයි. කොහොමවුණත් බොරු වෙස්මූණු දාගත්ත දෙවිවරුන්ගේ පෙරේත ආත්මයන් දැකගන්න ලැබෙන්නත් ලේසි පහසු පින් කරලා බෑ.

පේ‍්‍රමකීර්ති එදා ගුවන් විදුලියේ හිටිද්දි කන්ද කෙන්ද කරනු පිණිසගීතය ලියන්නේ ඒ උපමා උපමේය අතරේ හැංගිලා තියන තමන්ගේ ජීවිතේ එදා මුහුණදෙමින් තිබුණ අත්දැකීම් විස්තර කරන්නත් එක්කයි. කොච්චර දක්ෂයෙක් සහ නිර්මාණාත්මක කලාකරුවෙක් වුනත් ඒකම පේ‍්‍රමකීර්තිගේ අවාසියට හේතුවෙන්නේ ඉස්සරහට ගමනක් යන්න වේගයෙන් අඩිය තියන මිනිහගේ කකුලෙන් අදින අමනයන් රැුළක් කොහෙත් ඉන්න නිසාමයි. එදා ගුවන් විදුලියේ තමන්ට පහර ගහන, කකුලෙන් අදින, චෝදනා කරන අමනයන්ට පේ‍්‍රමකීර්ති අතින් පයින් හෝ කේලාම්,පෙත්සම් වලින් හරි උත්තර නොදී නිර්මාණාත්මක විදිහට උත්තර දීපු නිසයි අද පේ‍්‍රමකීර්ති නැතිවුණත් නම ඉතිරිවෙලා තියෙන්නේ. හැබැයි ඔහු කිව්ව කතාව සදාකාලික සත්‍යයක් කියලා අපිට තේරුම්ගන්න වෙනවා. අන්ද මන්ද ඝන අඳුරේ කෙන්ද පටලැවීලා - කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලාකියලා කියන කතාව හැම කෙන්දකට වගේම හැම කන්දකටත් අදාලයි.

Jan 25, 2016

බෞද්ධ කතිකාවත ගැන පනත බුද්ධ ශාසනයේ අනාගත පැවැත්ම තීරණය කරාවි..


සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව පළමු ධර්ම සංගායනාව පවත්වා සම්බුද්ධ සාසනයේ අනාගත පැවැත්ම සුරක්ෂිත කලයුතුයි යන තීරණයට එළඹෙන්නට සිදුවීම ඉතිහාසය තුළ දැවැන්ත කතිකාවතක් නිර්මාණය කිරීමට හේතුවිය. විශේෂයෙන්ම චුල්ලවග්ගයට අනුව එදා ගෞතම බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් ඉක්බිති සුභද්ද භික්ෂුව විසින් ʼඇවැත්නි, සෝක නොකරව්, නොවැලපෙව් ඵ් මහා ශ‍්‍රමණයාගෙන් අපි හොඳින් මිදුනෙමු. මේ තොපට කැපය. මේ අකැපයැයි ඹහුගේ නීති පැනවීමෙන් අපි පීඩා වින්දෙමු. දැන් අපි යමක් කැමති නම් ඵය කරන්නෙමු. යමක් අකමැතිනම් ඵය නොකරන්නෙමු.ʼ ලෙසින් සිදුකරන ලද වගකීම් රහිත ප‍්‍රකාශයත්, එවකට සංඟ සමාජය තුළ විනය සම්බන්ධ මතුවෙමින් තිබූ ගැටළු සඳහා ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම උදෙසා කාශ්‍යප මහරහතුන් වහන්සේගේ නායකත්වයෙන් එම ධර්ම සංගායනාව පැවැත්විනි. එහිදී සංඟ සමාජයේ විනය දැඩිලෙස කතාබහට ලක්වුණු අතර එම සංගායනාව සඳහා එවකට රාජ්‍ය අනුග‍්‍රහයද ලදබව සඳහන්වේ.

ශ‍්‍රී ලංකාවේ බුද්ධ සාසනයේ පැවැත්ම දැඩි තර්ජනයකට ලක්ව ඇත්තේ අන්‍යාගමික තර්ජනවලටත් වඩා බෞද්ධ සමාජය තුළ ඇතිවෙමින් පවතින පිරිහීම් නිසාවෙන් බව නිහතමානීව පිළිගත යුතුය. සංඟ සමාජය තුළ විනය විරෝධී කල්ලි බිහිවීම මෙන්ම තවත් හේතු සාධක ගණනාවක් නිසාවෙන් බෞද්ධ සමාජයේ විනය පද්ධතිය මීට වඩා ශක්තිමත් විය යුතුයි යන ස්ථාවරයකට පැමිණ ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධ පනත් කෙටුම්පත සහ ඒ සමගාමීව පැවැත්වීමට නියමිත බෞද්ධ කතිකාවත සම්බන්ධව අදහස් දක්වන්නේ ජාතික හෙළ උරුමයේ නායක, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඟනායක ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියන්.

Nov 16, 2015

ඒ මහින්දගේ හැටි..


මහින්ද රාජපක්ෂ මහතා 2004 අවුරුද්දේ වේදිකාවක ජනතාව අමතමින් සිටින අතර කතාව අවසන්වූ විගසම එම ප‍්‍රදේශයේ සිටි ප‍්‍රකට රාජ්‍ය සේවකයෙක් මෙන්ම ශ‍්‍රී.ල.නි.ප කාර්යධරයෙක් ප‍්‍රසිද්ධ වේදිකාවේ සිටි මහින්දගෙන් ප‍්‍රශ්නයක් ඇසීය.

ඇයි ඔබතුමා පොදු පෙරමුණ ජේ.වී.පී එකත් එක්ක එකතු වෙනවට විරුද්ධ?

එයට සෘජුවම පිළිතුරක් නොදුන් මහින්ද රාජපක්ෂ කියා සිටියේ යන ගමන් එයට හේතුව කියන්නම් යනුවෙනි. කතාව අවසන්කර ඔහු යමින් ගමන් කිසිවක් නොකීබව සහතිකයක. ඒ මහින්දගේ හැටිය.

Oct 19, 2015

ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට අභාගයක් නොවන්නට..


ශිෂ්‍යත්වත විභාගය යන කඩයිම ලංකාවේ කිසිඳු දරුවෙක්ට රැකියාවක් සොයාදෙන හෝ උසස් අධ්‍යාපන වරම් ලබාදෙන අත්‍යාවශ්‍ය සුදුසුකමක් නොවන බව අපි ඉතා හොඳින් දන්නා කරුණකි. හුදෙක්ම අතීතයේ “අට පාස්“ සාධකය තරම්වත් අද “පහ පාස්“ සාධකය පුද්ගල ජීවිතයේ උන්නතියට දායකත්වය සපයන කරුණක් වී නොමැත. එවැනි තත්වයක් යටතේ දෙමව්පියන් විසින් තමන්ගේ සුරතල් දරුවන් අවුරුදු හතරේ, පහේ සිට ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගෙන සූදානම්වීම කොතරම් ප්‍රායෝගිකදැයි ප්‍රශ්නකර යුතුය.

            ශිෂ්‍යත්ව විභාගයේ ඇති එකම වටිනාකම ගම්බද හෝ දුෂ්කර පාසලක අධ්‍යාපනය ලබන පහ ශ්‍රේණියේ දරුවාට නගරයේ පාසලකට යන්නට වරම් ලැබෙනා එකම අවස්ථාව එය විය හැකි නිසාය. නමුත් ගම්බද පාසල්වල සහ නගරබද පාසල්වල පහසුකම්, අධ්‍යාපන තත්ත්වය වැනි සාධක අතර විෂමතාවක් ගොඩනැගීමට ඉඩදීම නිසාම එවැනි වටිනාකමක් පැමිණියා මිසක මීට දශක කීපයකට පෙර පැවති ග්‍රාමීය අධ්‍යාපන මට්ටම එසේම පැවතියානම් එම වටිනාකමද හුදෙක් පුස්සක් වන්නට ඉඩ තිබිණි. තවද පහ ශ්‍රේණියේ දරුවන්ට තමන්ගේ වසර පහක පාසල් අධ්‍යාපනයේ ප්‍රතිඵල මැනීමට යම්කිසි වැදගත් සන්ධිස්ථානයක් වන්නට ඉඩ තිබිණු ශිෂ්‍යත්ව විභාගය තුල එම මැනීමටද ඇති ඉඩකඩ ඇහිරී ඇත්තේ අසාමාන්‍ය තරඟය සහ පොරය නිසාවෙන්මය.