වැලිකඩ බන්ධනාගාරය හරි සුන්දර තැනකි.රැඳවියන්ට මෙන්ම නිලධාරීන්ටද සුන්දර බව එක ලෙස දැනේ. ඇතැම් රැඳවියන් එයින් පිටව යන්නට කිසිම කැමැත්තක් නැත. ඇතමුන් බැරිම තැන පිටව යන්නේ බන්ධනාගාර නිලධාරීන් බදාගෙන හොටු පෙරාගෙන අඬමින්ය. එය මෙරට බන්ධනාගාර ඉතිහාසයේ සුවිශිෂ්ට ලකුණකි. හිටපු හමුදාපතිතුමන්ද වැලිකඩ සිටින සමයේ ඔහු කොතරම් මොරාල් පිට හිටියාද යන්නෙන් මෙය තවත් ප්‍රත්‍යයක්ෂ වනවා නොවේද.
බන්ධනාගාර නිලධාරීන් බුල්ත් විටක් කද්දී එයින් කොටසක් රැඳවියන් ට ලබා දෙන්නේ බියකට නම් නොවේ. ඒ සහෝදරකමටය. ඔවුන් හැමදිනකම රැකියාවට එද්දී දකින්නේ “සිරකරුවෝ මනුෂ්‍යයෝය“ යන පාඨයයි. එය දකින නිලදරුවන්ට තනියම බුලත් විටක් කද්දී,අඩියක් ගහද්දීත් එය මතක්වීම සාමාන්‍යය. එවිට නෙතට නැගෙන කඳුලක් නිසාම රැඳවියන්ටද එයින් කොටසක් දීමට අමතක නොකරති. රැඳවියන්ද තමන්ට ලැබෙන “විසිට් එකෙන්“(කවුරුන් හෝ රැඳවියෙන් බැලීමට පැමිණෙනවිට රැගෙන එන දෑ) කොටසක් නිලදරුවන්ට දෙන්නේද එබැවින්. එසේම ඒකාකාරී රැකියා ජීවිතයෙන් මිදීමට නිලධාරීන් සිරකරුවන් සමග සිටින්නේ “මොත්තයෙන්ය“(සරල වචනයෙන් “ෂේප් න්‍යායෙන්“ය). එබැවින් සිරකරුවන්ට වැලිකඩ ගෙදර වගේ බව සත්‍යයකි.