May 30, 2011

සිහිනයක් අරන් එන්න...අන්තිම වතාවටත්...






මම පුරුදු විදියටම බලං ඉන්නවා ඉස්පිරිතාල හංදියේ නුග ගහ ලඟ
මම හැමදාමත් හිටපු තැන. එතන හරි පුරුදු තැනක් වගේ තාමත් දැනෙ‍නවා. මම දන්නෙ නෑ එතනට යන වාරයක් වාරයක් පාසා මගේ හිත කියාගන්න බැරිතරම් දේවල් කියනවා...
මේ තැන කොච්චර අපිට ලංවුණාද...
ජීවිතේ විඳගන්න අපි පටන් ගත්තු තැන...ආදරෙන් කතාකරන්න මුල පොත් තියපු තැන...ආදරෙන් අත් අල්ලගත්තු තැන...
අන්තිමට ඔයා අන්තිමම වතාවට මුණ ගැහුණු තැන...
ඒ නුග ගහ යට...ඒ තැන මම කොහොම අමතක කරන්නද...

අදටත් එතන රැඳෙන අය පුරුදු විදියට මාත් එක්ක හිනා වෙනවා
ඒ අය හිනාවෙන්නේ මගේ තනිකමටද කියලා මට වෙලාවකට හිතෙනවා...
කමක් නෑ...මම මෙතනට ආදරෙයි තාමත්...
ඔයාට තරම්ම නැතිවුණත්...මේ නුග හෙවණට මම හරි ආත්මීය 
බැඳීමකින් බැඳිලා ඉන්නවා...
ඔයයි මමයි ජීවිතේ ලොකු ගමනක් යන්න මෙතන ඉඳන් කතා කරකර
ගියාද...ඒ අතර අපි කොච්චරනම් හීන මැව්වද...
ඔයා හීන් එකින් එක ගැටගහද්දි 
එහෙමකරන්න එපා කිව්වේ මමයි...
ඒත් අද ඒ හීන සිහිකරලා දුක්වෙන්නේ මම
හීන මවපු ඔයා නැහැ....

මම ඉන්නවා...පුරුදු විදියටම...
ජීවිතේ අපිට කියලා දුන්නු හැමදේම එකට ගැටගහගෙන
ඒ අතීතේ සුවඳ අරගෙන කවදහරි
හීනයක් වෙලා හරි ඔයා එයි කියලා...
මම දන්නවා එහෙම එන්නේ නෑ කියලා
ඒත් මේ නුග හෙවණ එක්ක මං ඉන්නවා
කවදාහරි එහෙම එයි කියලා හිතාගෙනම...

May 23, 2011

ඇදුරන් වර්ජනය කරන කල සිසුන් බලා සිටිති....

දැන් සති දෙකක පටන් සරසවි ඇදුරුතුමන්ලා වර්ජනයේ නිරත වෙමින් සිටී. ඉල්ලීම වැටුප් වර්ධනය කිරීමයි. පලමු පියවර ස්වේච්ඡා තනතුරු වලින් ඉල්ලා අස්වීමයි. දෙවැනි පියවර සියලු අධ්‍යයන කටයුතු වලින්ද ඉවත් වීමයි. එය අදටත් එසේමය.උසස් අධ්‍යාපන ඇමතිතුමන්ද මේ ආරවුල ලිහන්නට මැදිහත් වන පාටක් ඇස් මානයේ නොමැත. අවුලෙන් අවුලට පත්කරනවා මිසක් තවමත් නිසි විසදුමක් නැත. මගේ මතය නම් අතීසාරයට අමුඩ ගසා වැඩක් නැත. ඒ අතර රජය මැයි මස වැඩ නොකල ආචාර්යවරුන්ට පඩි නොගෙවන බවද කියා ඇත. එසේනම් මේ මාසේ ආචාර්යවරුන් තවත් කුපිත වන බව නම් සහතිකය. එහෙත් තවමත් සංවාද මිස ක්‍රියා නැත. හරියටම කියනවානම් විසිල් පමණය...බල්ටි නැත..

  පසුගිය වසර ගණනාවක් තුල සරසවි සිසුන් ඉහේ කෙස් ගණනට පිකටින් කලහ. සත්‍යග්‍රහ කලහ.පන්ති වර්ජන විභාග වර්ජන කලහ. ඒ සිසු අයිතිවාසිකම් දිනාගන්නා අටියෙනි. පුරුද්දක් ලෙස ඔවුන් එම සියලු ක්‍රියාමාර්ග ගැනීමට පෙර ආචාර්යවරුන්ද දැනුවත් කලහ. බහුතරයක් ආචාර්යවරුන් පවසා තිබුණේ හරියට ඉගන්ගත්තොත් ඉබේම අයිතිවාසිකම් ලැබෙන බවත් පිස්සු නටන්නේ නැතිව ඉගන් ගනිල්ලා යන්නත්ය. සරසවි සිසුන් කරබාගෙන යන්නට ඇත. පුරුදු පරිදිම තම අයිතීන් වෙනුවෙන් දේශපාලන අතකොලු ලෙස හෝ ස්වාධීන මතාධාරීන් ලෙස වර්ජන හෝ උද්ඝෝෂණ කරන්නට ඇත. ආචාර්යවරුන් දේශනශාලාවලට පැමිණ ළමයි නොමැති බැවින් විසිල් පාරකුත් ගසාගෙන කැන්ටිම දෙසට හෝ තම කැබින් එකට යන්නට ඇත. එසේ ගොස් වාර්තා පොතේ තඩි අකුරින් මේසේ ලියන්නට ඇත "සිසුන් දේශනයට සහභාගී නොවුණු බැවින් දේශනය නොපැවැත්වුණි" එසේ ලියා පාඩුවේ ඉන්නට ඇත.

May 19, 2011

වේදනාත්මක සමුගැනීම....සමුගනිමු ඉලංන්දාරියා

  ඉලංදාරියා නොහොත් දිලුම් මා පුද්ගලිකව හදුනන්නා වූ චරිතයක් නොවේ එනමුත් මා බෙහෙවින් ඇලුම්කරන චරිතයක් ලෙස හැදින්වීම වඩාත් වටී. මා සිංහල බ්ලොග් අවකාශයට එක්වන්නේ 2009 වර්ෂයේ අගභාගයේදීය. සිංහල බ්ලොග් කලාවේ හය හතර ඉගනගත් දා පටන් මම ඉලංදාරියාගේ  අදහස් කියෙව්වේමි රස වින්දෙමි. ඒ ආර වෙනස් ආරකි. ඒ දිලුම්ගේ ආරය. එය ඔහු ජන්මයෙන් ලද පරිත්‍යාගයක් ලෙස හැදින්වීම යෝග්‍යවේ.
  දිලුම් වෙනුවෙන් කෙරුණු කර්තව්‍යයට අල්පමාත්‍රහෝ දායකත්වයක් දීමට ලැබීම මා බෙහෙවින් සතුටු වන කාරණයකි. ඔහු මෙරටට අවශ්‍ය තාරුණ්‍යයේ සැබෑ ලකුණකි. අදහස් හා මනුෂ්‍යත්වය නැමති ඵලින් බර වෘක්ෂය කඩා වැටීම අපට සැබවින්ම මහත් පාඩුවකි. එහෙත් සසර එලෙසය. දිලුම් සහෘදයා මතක පමණක් අපවෙත තබා ගොස් අවසන්ය. මෙ මොහොතේ සිහිවන්නේ එක් පද පෙලකි
    ඉක්මණින්ම යලිත් එතොත් මළවුණ‍්ගේ අවුරුදුදා
    මටත් නැවත එන්නට හැකි
    මළගිය ඇත්තන් කැටුවම
ජීවත් වන්නාවූ මළ මිනී මැද නොමියෙන මිනිසෙක් ලෙස ජීවත් වීමම පමණක් ඇති දිලුම් පිළිබද අපට ආදර්ශ සපයන්නට. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක අපි විදිති. එහෙත් අප දන්නා දහම අනුව මේ සසර කෙළවර කරගන්නට දිලුම්ට වරම් ලැබේවායි මගේ පැතුමයි!
  ඔබට අජරාමර නිවන් සුව!