Showing posts with label ආත්මීය සටහන්. Show all posts
Showing posts with label ආත්මීය සටහන්. Show all posts

Feb 1, 2020

බඩගින්නට වඩා කොළුගින්න දරුණුයි සදාදර "කේක් පටි"


බ්ලොග් එක ආයේ ලියන්න පටන්ගත්තා කියන මුහුණු පොතේ සටහනකින් පලකරපුවම පරණ බ්ලොග් හිතවතුන් ටික වටවෙලා පරණ රහ හාරවුස්සන්න පටන්ගත්ත එකෙන්ම දැනුනා අපිට මොකක්හරි අතෑරුණා නේද කියන. එක එකම රහක් තිබුණ එවුන් ටිකක් එකම තැනකට වෙලා එක එක විදිහේ ලියවිලි වලින් අපි ගතකරපු තැනක් තිබුණා. කමක් නෑ..ඒ අතීතය අතීතයේම තැනක තිබුණාවේ..

ඒත් ඔය 'අතීතය' කියන වචනය කියන එක ඇහුණ ගමන් පුදුමාකාර කරුමයක්. මොකද ඔය කී වර්ඩ් එක සර්ච් බාර් එකේ වැදුණු ගමන්ම නොදැනීම් සර්ච් බට්න් එක ප්‍රෙස් වෙනවා. ඊට පස්සේ තත්තර දශම ගාණකට එන සර්ච් රිසාල්ට් එකේ දිග කිලෝමීටර් ගණනාවක් දිගයි. එහෙම තැනක තියන තවත් එක සිද්ධියක් මතක් වුණේ පහුගිය දවසක ලංකාවේ සුප්‍රසිද්ධ හෝටලයක ඉඳගෙන අහන්න අකමැති මාතෘකාවක් ගැන දීර්ඝ දේශනයකට සවන්දෙන අතරේ හෝටලයේ සේවක මහත්මයෙක් මේසේ උඩින් ගෙනැත් තිබ්බේ තඩි කේක් දීසියක්. වෙලාව හවස තුනට විතර ඇති, නිදිමත රතු කට්ට දෙකඩ කඩලා. දවල් කාපු ඒවයේ රස්නේ යන්න වුනෙත් නෑ. දැන් කොහෙට කියලා කේක් කන්නද. ඒ නිසා කේක් දීසිය දිහා නොබලාම හිටියා. ඒ අතරේ හිත දුවලා ගියෝ මීට අවුරුදු දහඅටකට විස්සකට විතර කලින් අතීතෙට. ඒ කියන්නේ අලුත් සහශ්‍රයේ මුල්ම දවස් ටිකට.

Jan 30, 2020

ඉන්දියානු සමාජයීය මඩගොහොරුව ප්‍රේමයේ කහ දියරයෙන් තෙත්කල 'ප්‍රේම්චාන්ද්'


උර්දු බසින් 'මුන්ෂි' යනු ගුරුවරයා හෙවත් ආචාර්යවරයා වේ. අතීත ඉන්දියාවේ නැගෙනහිර සහ නිරිත දිග පළාත්වල උර්දු බසට මුල්තැන ලැබුණු සමයන්හි මුන්ෂි යන වදන භාරතය තුල සුප්‍රකට වදනක්ව පැවතිනි. මුන්ෂි ප්‍රේම්චාන්ද් ඉන්දියානු ලියවිල්ලට සැබෑ ලෙසින්ම ගුරුවරයෙක් වූ බව ඔහුගේ ඉතිහාසය සාක්ෂි දරණු ඇත. හින්දි බසින් සහ උර්දු බසින් ලේඛනයේ යෙදුනු ප්‍රේම්චාන්ද් ඉන්දියානු සාහිත්‍යයේ ප්‍රමුඛතම ලේඛකයා බවට අදටත් පිළිගන්නා කරුණක් වන හෙයින් ඔහුගේ ඉතා කෙටි ජීවිත කාලය තුලින් උගතයුතු පාඩම් බොහොමයක් තිබේ.

Aug 15, 2017

නයි දපනේ දාන මුගටි බැල්ම - ආත්මීය සටහන් 03


මීට කලින් ලියපු ආත්මීය සටහන කියවන්න නම් මෙතැනින් අවස්ථාව තියනවා. කොහොමහරි මීට අවුරුදු ගාණකට කලින් හා හා පුරා කියලා මුල්ම රස්සාව කරන්න තෝරගන්න සිද්ධවුනේ රාජ්‍ය නොවන සංවිධානයක. නැත්නම් එන්.ජී.ඕ එකක. ඒ කාලේ ලංකාවේ එන්.ජී.ඕ වලට එච්චර හොඳ කාලයක් නොවුනත් ප්‍රාදේශීය එන්.ජී.ඕ එකක ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක වැඩබාරගන්න ඉන්ටර්වීව් එක එක පැත්තකින් එච්චර අමාරුවුනේ නෑ, අනිත් පැත්තෙන් එච්චර ලේසි වුනෙත් නෑ. මොකද ඉන්ටර්වීව් එකට වාඩිවුණ අදාල රාජ්‍ය නොවන සංවිධානේ අධ්‍යක්ෂක තැන මට කිව්වේ අත්බෝම්බයක් අරගෙන අතේ පුපුරගන්න හිතෙන කතාවක්.

"පුතා මේක කාන්තාවන් සවිබලගැන්වීමේ ව්‍යාපෘතියක්..මේකේ ඔයා අයදුම්කරපු තනතුර නිර්දේශකරලා තියෙන්නෙත් ගෑණු කෙනෙක්ට..ඔයා හිතනවද ඔයාට කාන්තාවන්ගේ හැඟීම් තේරුම් අරගෙන මේ ජොබ් එක හොඳට කරන්න පුළුවන් කියලා."

Aug 10, 2017

අපේ මන්ත්‍රීතුමාගේ සුන්වූ බලාපොරොත්තුව - ආත්මීය සටහන් 02


ඒ දවස්වල එක දවසක් ඉස්කෝලේ ගිහින් එනවා කියන්නේ සෑහෙන්න ලොකු ව්‍යාපෘතියක්. ඒ දවස්වල කිව්වේ ඉස්කෝලේ පහ වසරෙදි විතර. උදේ 6 ට වත් අඩුම ගානේ නැගිටින්න ඕන. ගෙදරට පහළින් තියන ළිඳ ලඟට යන්න ඕන, බඹ 11 ක් විතර ගැඹුර ලිඳෙන් වතුර ඇදලා රෑ නින්දේ මලවිකාර ටික හෝදලා දාන්න ඕන. පස්සේ හරකා මස්කඩේට දක්කන්න කලින් ඇඳුම් එහෙමත් අන්ඳවනවා වගේ නිල්පාට කලිසං කොටේ එක්ක සුදුපාට ෂර්ට් එක අඳින්න ඕන. සපත්තුනම් දානේ අපිට ඕන දවසට. ඒකට අභිමතානුසාරී බලය ඉස්කෝලෙන් අපිට පවරලා තිබුණා ඒකමතිකවම. ඔහොම ඇඳගෙන කන්න දෙන දෙයක් එහෙමත් ඔතාගෙන බෑග් මල්ලට දාගෙන හපුතලේ යනවා වගේ වැනි වැනි ගෙදර ඉඳන් මීටර් පන්සීයක් විතර දුරින් තියන පොඩි ඉස්කෝලෙට යන්න ඕන. සීමන් සීයලගේ වෙරළු ගහ, හන්ඳියේම තියන ගුළු ගහ, හන්දියට එහායින් තියන පෙට්ටි අඹගහ, ඊටත් එහායින් තියන බට් අඹගහ ඉස්කෝලෙට පොඩ්ඩක් මෙහාට වෙන්න පාර අයිනේ තියන කාබරංකා ගහ වගේ ස්ථාන ගණනාවක් පහුකරලා හවස මුණගැහෙන්නම් කියලා යන එක ලේසි පහසු වැඩක් නෙවෙයි.

ඔය හැමදේටම වඩා ඒ දවස්වල අමාරුම වැඩක් තිබුණා. හරියටම ඉස්කෝලේ වැට මායිමට මෙහා පැත්තේ තිබුණ කඩකාමර දෙකෙන් වම් පැත්තේ කඩකාමරේ තිබුණේ බාබර් සාප්පුවක් (දැන් නම් සැලූ....න්) දකුණු පැත්තේ කඩේ තිබුණේ ටේලර් සාප්පුවක්. ඔන්න ඔය ටේලර් සාප්පුවේ හිටියා මහ අලුගුත්තේරු කොල්ලෙක්. උගේ නම තමයි සම්පත්. අපේ තාත්තාගේ හිත මිත්‍රයෙක්ගේ පුතෙක් වෙච්ච මේ සම්පතා උදේ 7 ට විතර ටේලර් සාප්පු ඇරලා කටබලියං ඉන්නේ මම ඔතන ඉස්සරහින් ඉස්කෝලෙට යනකන්. මගේ අවාසනාවකටදෝ මන්දා ප්‍රධාන පාරෙන් යනවා ඇරෙන්න වෙන විකල්ප පාරක්වත් තිබ්බේ නෑ. ඔය සම්පතා ටේලර් කෙනෙක් වුණාට මොකද ඕකට තිබ්බේ මහා එපාකරපු කටක්. හැමදාම මම උදේ බැරි බැරි ගානේ ශිෂ්‍යත්වේ කාලේ ඉස්කෝලේ යද්දි මේ යකා කඩේ ඉඳන් කියනවා ගමටම ඇහෙන්න.

Jun 13, 2017

මළ යකාගේ ආරූඪය - ආත්මීය සටහන්


ඉස්සරම දවස්වල. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහින් ඉවරවුණු කිට්ටුව නව යොවුන් කාලේ ඉඳන් දැළි රැවුල එක්ක යෞවන කාලෙට බල්ටියක් ගහන කාලේ හරි පොඩි දේටත් තරහා යන්න පටන් ගන්නවා. හොඳට කියන දේවල් ඇහුනෙත් වැරදි කියනවා වගේම තමයි. ඒ කාලේ වැඩියෙන්ම පේන්න බැරි උපදෙස් දෙන්න එන වැඩිහිටියෝ තමයි. ඒ නිසාම වැඩිහිටියෝ පෙනුනේ හිටියා වැඩි ඇත්තෝ විදිහට තමයි. පේන්නම බැරි අය අතර දකින්න කතා කරන්න වැඩියෙන්ම කැමති ඇත්තෝ වෙන්නේ උපදෙස් නොදෙන වගේම වැඩිදුර ඉගනීම් ගැන, රස්සා ගැන අහන්නේ නැති, හැබැයි විහිළුවට වගේ ලව් හුටපට ගැන අහන කතා කරන උදවිය තමයි.

ඔන්න ඔය කියන කාලේ ගත කරද්දි නෑදෑ හැත්ත බුරුත්තක්ම පරවේණි පදිංචියට ටැග් ගැහිලා හිටපු ගමක ජීවත් වෙන්න සිද්ධවුණ මට තිබුණ ප්‍රධානම ප්‍රශ්න ටිකත් කලින් කියපු ඒවම තමයි. දකින් දකින කෙනාගෙන් කෝටියක් උපදෙස්. අරක හොඳයි, මේක නරකයි. ඒකත් වැරදියි, මේකත් වැරදියි. ඔන්න ඔය වගේ හිසරද එක්ක විභාගේ ඉවරවෙලා ගෙදර ටිකක් නිදහසේ ගතකරපු කාලේ ගෙදර වහලයට ඉන්න බැරි තත්ත්වයක් උද්ගත වෙන්නේ ඔය කලින් කියපු කොට්ඨාශ දෙකෙන් පළවෙනි කොට්ඨාශයේ ඇත්තෝ නිසා. ගොඩක් වෙලාවට දිරවගන්නම බැරි කතාවක් ඇහුණම ගෙදරත් එක්කත් රණ්ඩුවක් හදාගෙන එළියට බහින්න වෙනවා. මොකද ගෙදර උදවියත් රටේ තොටේ මිනිස්සුන්ගේ අදහස්,උදහස් වලට එකත්පස්ව එකඟවෙලා මටම දෝශාරෝපණය කරනවා මිස මගේ පැත්තට කිසිම සහයෝගයක් නොදෙන නිසා.