කලකට ඉහත ඩඩ්ලි සේනානයක මැතිඳුන් අගමැති ධූරය හෙබවූ එක්සත් ජාතික පක්ෂ රජයේ පාලන සමයේ පාන් ගෙඩියේ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රටතුල දැඩි ආන්දෝලනයක් ඇතිවිය. ඒ මොහොතේ පාන් ගෙඩිය සම්බන්ධව ඩඞ්ලිගේ බොරු පොරොන්දුව විවේචනය කරන්නට එවකට කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ ’ඇත්ත’ පත්තරේ දේශපාලන කාටූනය ඩඞ්ලිට එල්ලකර තිබුණේ කණේ පහරකි. ඒ පාණ්ගෙඩියක් දෙඅතේ සිරස්ව තබාගෙන ත‍්‍රිභංග ලීලාවෙන් සිටින ඩඞ්ලිගේ කාටූනය යටින් ’පචබාහු’ ලෙසින් සඳහන් කරමින්ය. එවකට මේ කාටූනය දකින්නම ලක්ෂ ගණනක් දෙනා ඇත්ත පත්තරය මිලට ගෙන තිබිණි. ඒ කාටූනය යටින් තිබුණේ එකම එක අත්සනකි. ඒ මොටාගෙදර යි.
1933 අවුරුද්දේ පෙබරවාරි 16 මාතර නගරයට සැතපුම් තුනක් ඔබ්බෙන් මොටාගෙදර ගමේ උපන් මොටාගෙදර වනිගරත්න නමැති චිත‍්‍ර ශිල්පියා යනු අද මෙරට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම චිත‍්‍ර ශිල්පියා බවට අවිවාදයෙන් සඳහන්කල හැක. එහෙත් තවමත් ඔහුගේ නලියන දෙඅත මැජික් ශිල්පියෙක්ගේ දෑත් පරිද්දෙන් පින්සල සහ වර්ණ සමග මුසුව කැන්වසය මත සොඳුරු සිතුවම් මැවෙන්නේ නුදුරු දිනකදී චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වීම අරමුණු කරගෙනය. මොටාගෙදර ගම්මානයේ කෙළවරක ඇති මහාර්ඝ කලාගාරයක් බඳු ’කලාකෙත’ නම්වූ මොටාගෙදර වනිගරත්නයන්ගේ නිවහනට ගොඩවූයේ ඒ විප්ලවීය සිත්තරා සමග මොහොතක් අතීතයට පියමනින්නය.