පාන්දර ඉර එලිය සෑහෙන්න සැරට කාමරේ ජනේලෙන් ඇතුලට එනවා. ඉරිදා කියලා ඉර නිවාඩු ගන්න එකක්ද, කිසිම ඉස්පාසුවක් නැතිව උදේ හයේ විතර ඉඳගෙන හවස හයවෙනකම් තුන්සිය හැටපස් දවසෙම වැඩ කරන ඉර ඉරිදට නිවාඩු ගත්තනම් හොඳයි කියලා හිතෙන අය අතරේ ඉන්න එක්තරා කොල්ලෙක් කාමරේ ඇඳේ පෙරලි පෙරලි නිදි. කොට්ටෙන් මූණත් වහගෙන නිදි, නැගිටින්න කිසිම වුවමනාවක් නෑ වගේ. ගැටළුවක් නෑ..මොකද ඉරිදා දවස නිසා.
“චූටි පුතා....චූටි පුතා....නැගිටින්නේ නැද්ද...දැන් අටහමාරටත් ලඟයි....හා හා නැගිටිනවා දැන්...“
අම්මගේ සද්දෙට චූටි පුතාගේ එක කණක් විතරක් ලාවට හෙලවුණා. ඒත් ඇඟේ අනිත් කොටස් සැපසේ නින්දේ. අම්මා ඊළඟට කාමරේ ඇඳ ලඟටම ඇවිත් දෙවනි සහ අවසන් නිවේදනය නිකුත් කලා.
“චූටි පුතා...නැගිටිනවා දැන්....අද මොකක්ද වැඩක් තියනවා කිව්වා නේද අටට....පොඩි හාමුදුරුවන්ට පොරොන්දු උනා නේද අද මොකක්ද කොරන්න එනවා කියලා...දැනටමත් අටහමාරයි...“