Nov 10, 2017

සක්මන් යාගය - 4 වැනි කොටස




මුළු කොළඹම අඳුර ගිලගන්න වෙලාවේෙ බම්බලපිටියට නුදුරින් පිහිටලා තියන මිත්‍රගේ බෝඩිම් කාමරයේ එදා ගොඩක්ම රෑ වෙනකල් විදුලි එළියක් දැල්වෙමින් තිබුණා. කැළණිතිස්ස බලාගාරෙට එල්ලවුණ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා දවස් දෙකක් තිස්සේ විදුලිය නැතිවෙලා තිබුණ එකත්, ඊටත් වඩා භයානක විදිහට කොළඹ ගෙන්දගම් පොළව උඩ පයගහලා යන මිනිසුන්ගේ හිතේ හොල්මන් කරන්න පටන්ගත්ත මරණ භය කියන එක නිසා රාත්‍රියට කොළඹ වෙනදටත් වඩා නිශ්ශබ්ද තැනක් බවට පත්වෙමින් තිබුණා. 

බොහොමයක් වෙලාවට අගනගරේ පාරක් පාරක් ගානේ හතු පිපෙන්න වගේ මතුවෙමින් තිබුණ හමුදා පොලිස් බංකර් තොගය මිනිස්සුන්ගේ ඒ අවිනිශ්චිතතාවය කියන ගින්නට හරි අගේට පිදුරු දැම්මා. දකුණේ පත්තුවෙමින් තියන ගින්න කොළඹටත් ඇවිත් තිබුණ නිසා ආරක්ෂක අංශ සීරුවෙන් හිටියේ උතුරේ, දකුණේ කියලා වෙනසක් නැතිව රාජකාරිය කරන්න.

එහෙව් කාලෙක මිත්‍රගේ බෝඩිමේ රෑ ලයිට් එකක් පත්තුවෙලා තියන එක මිත්‍රට ප්‍රශ්නයක් නොවුණට ඒක ප්‍රශ්නයක් වුණ බොහෝ දෙනෙක් හිටියා. ප්‍රශංශා සහ නිත්‍යා එක්ක ගංඟාරාමේ සීමාවේ ඇවිදින අතරම කතාකරපු දේවල් නින්ද මිත්‍ර කරා නොගෙන එන බැරියර් එකක් වෙලා තිබුණා. ඒත් මිත්‍ර උත්සහ කලේ මොකක්මහරි කල්පනාවක් දාගෙන ඒ හැමදේම නිරවුල් කරගෙන නිදාගන්න.

Nov 7, 2017

සක්මන් යාගය - 3 වැනි කොටස


පසුගිය කොටස් සියල්ල මෙතැනින් කියවන්න


සීනි ෆැක්ටරිය එක්ක කාර්මික ජනපදයක් වෙලා අම්පාර දියුණු වෙන්න එච්චර කාලයක් ගති නොවුණි. කර්මාන්තය ආශ්‍රිතව ජීවීකාව කරගත් ලක්ෂ ගණනක් ජීවත්වෙන ප්‍රදේශයක් ලෙස අම්පාර දියුණු වෙද්දී බොහෝ දෙනෙක් එදා සිතුවේ අම්පාර කවදහරි කොළඹත් පරදා කරනවා යනුවෙනි.

ඒ හැඟීම් ඇස්වහ කටවහ බවට පත්වුණා දේ සැක හිතෙන තරම් වේගයෙන් සීනි ෆැක්ටරිය කඩාගෙන වැටෙන්නට පටන් ගත්හ. මිත්‍රගේ ගම ෆැක්ටරියට වැඩි දුරක් නැති විසිදෙකේ කොළණිය. මිත්‍රගේ තාත්තා ජීවත් වුනේ ෆැක්ටරියේ උක් පටවන ට්‍රැක්ටර් ඩ්‍රයිවර් රස්සාවෙන්. 

ඒත් ෆැක්ටරිය එන්න එන්ම කඩාගෙන වැටෙද්දි පස්සෙ පත්වුණ ආන්ඩුව කලේ තමන්ව ආන්ඩු බලයට පත්කරන්න ලක්ෂ ගණන් වියදම් කරමු මුදලාලි කෙනෙක්ට ෆැක්ටරිය කුණු කොල්ලෙට විකුණලා දාපු එක.

“තිලකෝ..මටත් හෙට අනිද්දා ගෙදර නවතින්න වෙන පාටක් තියෙන්නේ..“

Nov 5, 2017

සක්මන් යාගය - 2 වැනි කොටස


පළමු කොටස මෙතැනින්


අඩ හෝරාවක් වත් ගතවෙන්න පෙර ඔහු සහ ඇය සිටි වාට්ටුව සොයා ගැනීමට නිත්‍යා සමත්විය. වාට්ටුවේ ඇඳක් ඇඳක් පාසා කලබලයෙන් සොයාබැලූ නිත්‍යාට අවසානයේ ඇය ලඟින් ඔහු සිටි තැන සොයාගැනීමට ද හැකිවිය. දුර සිටම කලබලයෙන් දිව එන ඩෙනිමකින් සහ සරල ටී ෂර්ට් එකකින් සැරසී එන නිත්‍යා අඳුනාගැනීමට ඔහුට ටිකක් වේලා ගතවිය.

ඔහු හිතන්නට ඇත්තේ නළලේ තිලක තියාගෙන, පා සලඹේ “චල් චල්“ හඬ “චලස් චලස්“ අනුසාරයෙන් දිව එන, සල්වාර් ඇඳුමකින් සැරසී බිම බලාගෙන එන නිත්‍යා කෙනෙකි. ඔහු එතැනින් අසමත් ය.

“මයි ගෝඩ්...ප්‍රශී ප්‍රශී..ඔයාට කොහොමද?“

ලඟ සිටි ඔහු දෙසද නොබලා නිත්‍යා ඇයගේ දුක්සැප විමසන්නට විය. ඇත්තටම ඔහු ඇයගෙන් මීට වඩා පිළිගැනීමක් බලාපොරොත්තු විය. නිත්‍යාගේ යෙහෙළියගේ සුවය වෙනුවෙන් මෙතරම් කට්ටක් කන තමන්ව අඩුම තරමින් අගයාවි කියා හෝ සිතා සිටිය නමුත් නිත්‍යාට ඒ ගැන නිනව්වක් නැත. මේකි නම් පුදුම ඩයල් එකක්..ෂික්..ඔහුට දැන් නිත්‍යා ගැන පුංචි අමනාපයක් ඇත.

Nov 2, 2017

සක්මන් යාගය - 01 කොටස



දහවල විසින් ගෙන එන සියලු ස්වාභාවික ප්‍රහාරයන් මිනිසා වෙත එල්ල කරමින් සිටියි. කොළඹ අහස යට හෙවණක් මෙන්ම නිවනක් ද නැතිව, තොර තෝංචියක් නැතිව දුවන කකුල්වල සිට පැටළුණු අවුල් ජාලාවක එක කොණක් ලිහාගනිමින් තවත් දෙකොණක් පටලවාගනිමින් ජීවිතය ගතකරන ශීර්ෂවලට ද ඒ ස්වාභාවික ප්‍රහාරයන් බලපෑම් කරයි. ඒ සියල්ල මැද ඔහු ප්‍රධාන මාර්ගය ඔස්සේ පා ගමනින් පසුකර යමින් සිටියේ කොටුව දුම්රිය ස්ථානයයි. 

නුවර ගොස් දළදා වැඳ මාලිගයේ පත්තිරිප්පුවේ ලස්සන ගැන හිත මත් කරගෙන, අනුරාධපුරයේ නැතිනම් පොළොන්නරුවේ ගල්කණු අතර ඇවිදිමින්, ඒවා අතපත ගාමින් මුතුන් මිත්තන්ගේ වැඩකිඩ ගැන පම්පෝරි ගසා අවසානයේ සුද්දා තනා දුන් දුම්රිය මාර්ගයේ, කසිකබල් මට්ටමටත් එහාගිය දුම්රිය පෙට්ටි කිහිපයක නැගී කොළඹට ඇවිත් වැස්සට අව්වට හෙවණට ඉන්නේ සුද්දා විසින්ම තනාදුන් දුම්රිය ස්ථානයේ වහල යටය. 

"ඔහු" ට “කොළඹ කොටුව දුම්රිය ස්ථානය“ යන නම දකින දකින වාරයක් පාසාම සිහිවූයේ මෙයයි. අද වෙනසකට තිබුණේ ඒ ඉදිරිපිට ගසා තිබූ අට්ටාලය වෙනස් වී තිබීමයි. මීට දින කිහිපයකට පෙර තිබූ “අධ්‍යාපන අයිතීන් කප්පාදුව නවතා දමව්!“ යන අට්ටාලය වෙනුවට අද, “රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුපට අත නොතබනු!“ අට්ටාලය ඉදිවී ඇත. ඒ බැනරය යට කිහිප දෙනෙක් එරමිණිය ගොතාගෙන බවුන් වඩමින් සිටියහ.