Nov 1, 2016

කොටි ආයෙත් නැගිටිනවද?


උතුරේ ආයෙත් ගිනි දළු මතුවෙලා, එක එක කල්ලි ආයෙත් උතුරේ වැඩ පටන් අරගෙන, ඒවා කරන්නේ ආරක්ෂක අංශවලට විරුද්ධව, පොලීසියෙන් දෙමළ කොල්ලෝ දෙන්නෙක්ට වෙඩි තියලා මරලා දාපු එකට උතුර කුපිත වෙලා, බුද්ධි අංශ නිලධාරීන් දෙන්නෙක් පෙති ගහලා, දැන්නම් ආයෙත් යුද්ධයක් අත ලඟ.. මෙන්න මේ වගේ ප්‍රකාශ මේ දිනවල බොහොම සුලභව අහන්නට,දකින්නට පුළුවන්. ඇස් කණ් හොඳින් ක්‍රියාත්මකවෙන ඕනෑම කෙනෙක්ට, සවිඥ්ඥානිකව ඉන්න ඕනෑම කෙනෙක්ට මේ කියන්නේ මොනවා ගැනද කියලා කිසිම අපහසුවක් නැතිව අනුමාන කරන්න පුළුවන්. ඒකත් එක්කම මතුවෙන අනිත් කතාව තමයි වත්මන් ආන්ඩුව ජාතික ආරක්ෂාව පැත්තෙන් පණ මදිවීම නිසා බෙදුම්වාදී කොටි ආයෙත් නැගිටිනවා කියන එක. ඒකට අවශ්‍ය උත්තේජනය උතුරේ විවිධ පාර්ශව වගේම දකුණේ විවිධ පාර්ශවත් අඩු නැතිවම සපයලා දෙනවා. ඒ වගේම ඇතැම් මාධ්‍යත් ලුණු,ඇඹුල් අඩුවක් නැතිව හොඳට හොද්ද බොරකරලා දෙන්නේ ඇවිස්සෙන අය හොඳින් ඇවිස්සෙන්නත්, වාසි ඇති අයට වැඩි වාසිත් ලැබෙන විදිහටයි. ඒත් තිස් අවුරුදු ශාපලත් යුද ගින්දර එක්ක ජීවත්වුණු මිනිස්සු විදිහට බුද්ධිමත්ව සහ තර්කානුකූලව මේ සිදුවීම් දිහා බැලුවොත් අවි ආයුද අතට අරගෙන ඉවරකරන්න ඕන මහා සංග්‍රාම පවා ලේ බිඳක් හලන්නේ නැතිව ජයගන්න පුළුවන් කියලා අපේ ආසන්නම රටේ මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි හෙවත් මහත්මා ගාන්ධිතුමා භාවිතාවෙන්ම පෙන්නලා දුන්නා. ඒ වගේම දතට දත, ලෙයට ලෙය න්‍යායෙන් සටන් කරලා ත්‍රස්තවාදය නැතිකරන්නත් පුළුවන් කියලා තවත් පැත්තකින් අපේ රටේ ආරක්ෂක අංශවල මිනිස්සු පෙන්නලා දුන්නා. එහෙනම් මොකක්ද ආයෙත් මේ කොටි නැගිටින කතාව.

Oct 27, 2016

පූජිත ට කුජීත ලිපියක්




හිතවත් පූජිත මහත්මයා, (පොලිස්පති - සිරිලංකාව)

අපේ සීයා ඉස්සර කිව්වේ පොලීසිය පොරවල් වෙන්නට පටන්ගත්තේ සරදියල්ට පිංසිද්ධ වෙන්නට කියාය. සරදියල්ගේ පිහිටෙන් පොලීසිය වීරයන් වෙද්දී නිරායුධ මිනිස්සුන්ට වෙඩිතියලා පොලීසිය ඒ වීරකම අප්ඩේට් කරනවා ද කියලා අද සීයා ජීවත්වෙලා හිටියනම් කල්පනා කරලා බලාවි. හැබැයි සීයා මැරෙනකල්ම පොලීසිය එක්ක පුදුමාකාර තරහකින් හිටියේ ඔබතුමාලා වගේ නිලධාරී නිසා වෙන්න ඇති. කොහොමවුනත් කාකි කෝට් එකට කෙළගහන තත්ත්වයක් ඇතිවුනේ නිකන් නෙවෙයි කියලා අමතක කරන්න එපා. ඔබතුමා පත්වෙද්දි සමහරු කෑගැහුවේ හිටපු ජනාධිපතිතුමාට කඩේ ගිහින් නට්ටං වෙච්ච පොලිස්කාරයෙක් පොලිස්පති කරන්න හදනවා කියලා. ඒත් අපිනම් ඒක විශ්වාස කලේ නෑ. මොකද ඔබතුමාට එහෙම කඩේ යන්න තරම් දෙයක් පොලීසියේ ඉතිරිවෙලා තිබුණෙ නැති නිසා.

Sep 15, 2016

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ තවත් ජාතිවාදී මුහුණවරක් විතරයි


ජනතා විමුක්ති පෙරමුණ යනු ලංකාවේ වාමවාදී දේශපාලනයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්වූවාට කිසිඳු වරදක් නැත. එහෙව් වාමවාදීන් අද “වම“ භාවිතා කරන්නේ වැසිකිලියේදී පමණක්ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇතිවීමද වැලැක්විය නොහැකිය. එවැනි වාතාවරණයකදී ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන භාවිතාව පිළිබඳව සහ මතවාදීමය වශයෙන් ඔවුන්ගේ විතැන්වීම සම්බන්ධයෙන් කතා බහකට එක්වූයේ මීට දශක තුනකට පෙර සරසවි ශිෂ්‍යයෙක් ලෙස ජ.වි.පෙ ඉදිරිපෙළ නියෝජනය කරමින් සිපිරිගෙය තුල පවා ජ.වි.පෙ දේශපාලනයේ නිරතවූ සුවිශේෂී පුද්ගලයෙක්. ජ.වි.පෙ සම්බන්ධ සිවිල් සංවිධාන ගණනාවක් ප්‍රධාන ක්‍රියාකාරී චරිතයක් වූ හෙතෙම අද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්ව සාමාන්‍ය ජීවිතයක් ගතකරමින් සිටියි. එබැවින් ඔහුගේ අනන්‍යතාව හෙළිනොකර අදහස් පමණක් හෙළිදරව් කරීමට අදහස් කරන්නෙමි.

Jul 26, 2016

පාද යාත්‍රාව - එදා මහින්ද, අද රනිල් සහ මෛත්‍රී


විවිධ රටවල දේශපාලන ඉතිහාසය තුල නැවත නැවතත් සිදුවන නරක පෙරනිමිති (Bad Omens) ඇත. ලංකාවේද මේ නරක පෙරනිමිති සම්බන්ධයෙන් දෛවය පිළිබඳ විශ්වාස නොකරන දේශපාලඥයන් පවා දැඩි බියකින් කටයුතු කරන අයුරු අනේක වාරයක් දැක ඇත. පාද යාත්‍රා හෙවත් මහජන පෙළපාලි සම්බන්ධයෙන් විශේෂ පෙරනිමිත්තක් ලංකාවේ දේශපාලන ඉතිහාසය පරිශීලනය කිරීමේදී සොයාගත හැකිවේ.

ඒකාබද්ධ විපක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙරටුකරගෙන ඓතිහාසික මහනුවර සිට කොළඹ දක්වා “පාද යාත්‍රාවක්“ සංවිධානය කිරීමට මේ දිනවල කටයුතු කරමින් සිටින අතර දහසකුත් එකක් ප්‍රශ්න බල්ලාට දමා රටේ ජනමාධ්‍ය මෙන්ම දේශපාලඥයින්ද ආන්ඩු,විපක්ෂ භේදයකින් තොරව කියවන්නේ පාද යාත්‍රාව පිළිබඳවය. වර්තමාන ආන්ඩුවේ පිළිවෙත හෙළා දැකීම සමස්ත පෙළපාලියේ අරමුණවන අතර වැඩි පිරිසක් කොළඹට ගෙන්වාගෙන ආන්ඩුවට දැනෙන්නට යමක් කිරීම මහින්ද ප්‍රමුඛ පිරිසේ අරමුණ බව පැහැදිලිය. මෙය කොතෙක් දුරට යථාර්තයක් වේද යන්න පිළිබඳ නිවැරදි පුරෝකථනයක් සිදුකිරීමට නොහැකිය. කෙසේ වුවත් එය ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම මහින්ද රාජපක්ෂ නැමැති දේශපාලන චරිතයේ අනාගතය තීන්දු කරන “ජැක්-පොට්“ එකක් බවට පත්වෙන බවනම් ස්ථීරය.

Jul 23, 2016

මුරලි ඕස්ට්‍රේලියාවට දී පුකේ ඇඟිල්ල ගසා ගෙන සිටීම


දේශබන්දු මුත්තයියා මුරලිදරන් අද ඕස්ට්‍රේලියානු දඟ පන්දු යැවීමේ බලඇණියට පන්දු යවන ආකාරය කියාදෙමින් සිටියි. ලැජ්ජවිය යුත්තේ ඕස්ට්‍රේලියාව ද,මුරලි ද, නැත්නම් ලංකාවේ ක්‍රිකට් පරිපාලනය ද, නැත්නම් අපි ද කියා ගැටළුවක් මතුවී ඇත. බුද්ධිගලනය ගැන පර්යේෂණ වාර්තා පිටු ගණන් ලියන සහ ඒවායේ ප්‍රතිඵල විශ්ලේෂණය කර ලොරි ගණන් ප්‍රකාශ ඉදිරිපත් කරන බලධාරීන්ගේ රෙද්ද පල්ලෙන් බේරෙන අසූචි අස්සේ ලොව සුපිරිම දඟ පන්දු යවන්නාගේ උපදේශන සේවාව ලබාගැනීමට ලංකාවට නොහැකිවී ඇත. අප ලැජ්ජාවිය යුත්තේ කුමන මට්ටමකින්ද කියා අවබෝධකරගැනීමට එය ප්‍රමාණවත්ය.

Jul 22, 2016

මල්තුහින නැති යාපනය හරහා නාගදිපයට ගියෙමු

නල්ලූර් කෝවිල - නල්ලූර්,යාපනය

දඩ දඩස් සද්දය සහ කුචු කුචු හඬ කෝච්චියකට කොතරම් අනන්‍ය වුනත් කොළඹ සිට යාපනය ඉක්මවා කන්කසන්තුරේ හෙවත් KKS දක්වා දිවෙන අලූත් යාල් දේවියට ඒ ශබ්දය එතරම්ම හුරු නැතිබව දැනුනේ චීනයේ සිට මෙරටට පැමිණ,නළලේ තිලකයක් තබාගෙන ලංකාවේ යකඩ පීලි මත දිවයද්දී යාල් දේවිට මීට දශක කිහිපයකට නිහඬවූ හඬ අමතකවූ පරිද්දෙන්ය. වාඩිවෙන්නට ඉඩ නැති නිසාවෙන් පුළුල් දොර විවරය අසල බිම ඉඳගෙන යාපනය බලා දිවයන දුම්රිය පසුකරන සීමාව දෙස බලාඋන්නෙමු. වවුනියාව පසුවෙද්දි හමුවන බොහොමයක් දුම්රිය පොළ අලූතින් සකස්කරන ලද ඒවා වූ අතර මගීන්ගෙන් අඩුවක් නොමැතිව පැවතිනි. යාල් දේවියගේ ගමන අතරමග නතරවූයේ කුරිරු යුද්ධයේ අතුරු ප‍්‍රතිඵලයක් නිසාවෙන්ය. එය හුදෙක් දුම්රිය ගමනක නතරවීමක් පමණක් නොව උතුර සහ දකුණ අතර රුධිරයෙන් බැඳුණු නහරයක් කපා දැමුවාක් වැනි සිදුවීමක් විය. උතුර සහ දකුණ අතර තිබුණ සබඳතා ඈත්වීමට යාල් දේවියගේ ගමන අතරමග නතරවීම බෙහෙවින් බලපෑ අතර අද නැවත උතුර දකුණ යාකරන බැම්මක් පරිද්දෙන් දිනපතා ගමනේ යෙදෙන මේ සොඳුරු යකඩ ගොඩ නිසාවෙන් එදිරිවාදීව සටන්කල සිංහල-දෙමළ මුහුණු මෙන්ම හදවත්ද එකම මැදිරියකදී එකට හමුවේ.

Jul 1, 2016

කුලය,ජාතිය සහ සංවර්ධනය



වංශවත්යැයි පාරම්බාමින් ලෝකයට අඬබෙර ගැසූවත් බිත්ති කඩාවැටෙන තරමට දරීද්‍රතාව රජකරන වලව්වකට දීග ආ ලේලිය කන්න උයන්නට යමක් නොමැති තැන ලිප ගිනි මෙලවා තාච්චියක් තබා යකඩ හැන්ඳෙන් කබල්ගාන අයුරු දුටු නැන්දම්මා ලේලියගෙන් ඇසුවේ මොනවා කරනවාද කියයා. හැරෙන තැපෑලෙන් නැන්දම්මාගේ සහ සනුහරේම රෙදි ගැලවෙන්නට ලේලිය දුන් උත්තරය ’මං මේ වංශය කබල්ගානවා’ යන්නය. ලේලියගේ උත්තරය තුල තිබුණේ සාම්ප‍්‍රදායික කතාවක එන උපහාසත්මක සත්‍යය වුනත් ඇහැ කණ පේන වෙලාවක ඇස් දෙක ඇර බලන  ඕනෑම සිහිබුද්ධියක් ඇති ලංකාවේ මිනිහෙක්ට පේන්නට ඇතිදෙය නම් දශක ගණනාවක් තිස්සේ අපි කරමින් සිටින්නේද වංශය කබල්ගෑම මිස වෙන කෙහෙල්මලක් නොවන බවයි.

ලංකා ජන සමාජයේ කුලය,ජාතිය,ආගම හා සම්ප‍්‍රදායන් ගැන අනන්තවත් පට්ට පතුරුයන්නට විවේචනය කල අවස්ථාත්, කොතේ චූඩාමාණික්‍යයේ මුදුන් හුලේ තබා ඇගයූ අවස්ථාද දැක ඇත. කොතරම් තදින් ගැරහුවද,පහර දුන්නද එසේත් නැතිනම් නැතිබංගස්ථාන වනතුරු සමාජය දැනුවත් කලද තවමත් ගෝත‍්‍රවාදීත්වය ලංකා සමාජයේ පැලපදියම්වී තිබෙන්නේ බූවල්ලෙක් පරිද්දෙන්ය. එකී බූවල්ලාගේ අඩු විහිදී ඇති තැන් සොයාගන්නවාට වඩා කළුනික සෙවීම ලෙහෙසිවනු ඇතැයි පුද්ගලික අදහසයි. ආනන්ද කුමාරස්වාමී විද්වතාන් විසින් රචිත ’මධ්‍යකාලීන කලාශිල්ප’ කෘතියේ ලංකාවේ කුල සහ ජාතීන් පිළිබඳව විවරණය කරන්නේ වත්මන් සමාජය පිළිබඳ විවෘත මනසකින් බලන්නෙක්ට තවමත් ඒ තත්ත්වයේ ලොකු වෙනසක් නැතිබව අවබෝධරගත හැකිවනු ඇත. එහෙත් කතාකල යුත්තේ කෑලි කෑලිවලට කැඞීගොස් එක් එක් පැතිවලින් ගහමරාගන්න කුලගොත්වල ඇති ලක්ෂණ නොවේය ශ‍්‍රී ලංකාව නැමති ස්වයංපෝෂිතව පැවති රාජ්‍ය මේ තත්ත්වයට ඇදදමනු ලැබූ සහ තවදුරටත් ජරාජීර්ණ කරමින් ඇති ජාතිවාදය සහ කුලවාදය පිළිබඳවය.

Jun 16, 2016

සිරි අයියා යන්න ගියා..



දයාබර සිරි අයියේ.. අනිත් උන් ඔයාට සෝමේ මාමා කියද්දි,අංකල් කියද්දි,සෝමවංශයා කියද්දි අපි ඔයාට සිරි අයියා කියලා කිව්වේ වයස ගැනවත් නොහිතා. මීට අවුරුද්දකට කලින් ලිපියක් ලියද්දි ගහක් ගලක් වගේ හිටපු ඔයා හදිස්සියේම කාලක්‍රියා කරා කියලා අහද්දි එක පැත්තකින් බොහොම දුකක් දැනුනා. මොකද කොහොම වුනත් නිතර දැකපු මනුස්සයෙක් නිසා. දේශපාලනේ පැත්තකින් තියලා අප්සට් වෙලාවක දෙයක් ලියන්න හිතුනා.

May 1, 2016

සයිබර් සිහින බක්මහ උළෙලට පසු වචන කිහිපයක්....


2016 අවුරුද්දේ සයිබර් සිහින බක්මහ උළෙල හෙවත් සයිබර් අවකාශයේ බ්ලොග් රචකයන්, සමාජ ජාල පරීශීලකයන්, බ්ලොග් පාඨකයන් එක්ව වින්දනීයව සංවිධානය කරන අලුත් අවුරුදු උත්සහව වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේදී සාර්ථකව අවසන්වුණා. මුලින්ම එහි වැඩකටයුතු ඉතාමත් හොඳින් සහ දහසක් රාජකාරී අතරේ අතිරේක කාර්යයක් වන (කිසිඳු මූල්‍යමය හෝ වෙනත් ආකාරයක ප්‍රතිලාභයක් නොලැබෙන ස්වේච්ඡා සේවයක් වන) මේ වැඩසටහන සංවිධානය කරන්නට යෙදුන අපේ හිතවත් පිරිසට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

2011 අවුරුද්දේ නිර්මාණයවුණ සංකල්පයක් විදිහට එම වසරේ දෙහිවල එස්.ද.එස් ජයසිංහ ක්‍රීඩංගනයේදීත්, 2012 වසරේ වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේත්, 2013 වර්ෂයේ පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදීත්, 2014දී මහරගම තරුණ සේවා සභා ක්‍රීඩාංගනයේදීත්, 2015 දී නැවත වැල්ලවත්ත කුරේ ක්‍රීඩංගනයේදීත් සයිබර් සිහින බක්මහ උළෙල යථාර්තයක් බවට පත්වුණා. එතකොට 2016 පැවැත්වුනේ 6 වැනි වැඩසටහනයි. ඒ වගේම කුරේ පිටියේ පැවැත්වුණ තුන්වන වැඩසටහනයි. එදා ඉඳන්ම වෙනසක් නැතිව තිබෙන සහෝදරත්වය සහ සහභාගිත්වය පිළිබඳ අවංක සතුටක් තිබෙනවා. පුද්ගලිකව 2012 වර්ෂයේ ඉඳන් නොවරදවාම සයිබර් සිහින බක්මහ උළෙලට සහභාගිවෙන්නට ලැබීම නිසා මෙහි විකාශනය සහ වෙනස්කම් ගැන හොඳ අවබෝධයක් තිබෙනවා කියලත් කියන්න ඕන.

Apr 30, 2016

“කන්ද“ කඩා වැටෙයි සිතූ “කෙන්ද“ බලාපල්ලා




පත්තර රස්සාවට ඇවිත් එච්චර කාලයක් නැතිවුණාට පත්තර එක්ක හැප්පෙන ජීවිතේ හොඳ වගේම නරකත් එමට තියනවා. පහුගිය කාල පරිච්ඡේදෙම මුහුණ දුන්නේ හොඳට වඩා නරකට කිව්වොත් ඇත්තෙන්ම සර්ව සාධාරණයි. සමහර වෙලාවට දෙවි දේවතාවුන් විදිහට වෙස්වලාගෙන පුද සත්කාර ලබන, ලෝකෙට බණ කියාගෙන පාත්තර පුරවගන්න අය පට සළුපිලි ගලවලා දාලා ඉන්නකොට මහ පොළවේ පයගහල ඉන්න කාඩ යක්කු කියලා තේරෙන්න එච්චර පරක්කු වෙන්නේ නෑ. එහෙම වෙලාවට ජීවිතය බවට පත්වෙලා තියන පත්තර රස්සාව තවදුරටත් රස්සාවක්ම මිස ජීවිතය නෙවෙයි කියන තැනට නිරායාසයෙන්ම එන්නේ හිතට එන කාළකණ්ණි හැඟීම් සමුදාය එක්කම තමයි. කොහොමවුණත් බොරු වෙස්මූණු දාගත්ත දෙවිවරුන්ගේ පෙරේත ආත්මයන් දැකගන්න ලැබෙන්නත් ලේසි පහසු පින් කරලා බෑ.

පේ‍්‍රමකීර්ති එදා ගුවන් විදුලියේ හිටිද්දි කන්ද කෙන්ද කරනු පිණිසගීතය ලියන්නේ ඒ උපමා උපමේය අතරේ හැංගිලා තියන තමන්ගේ ජීවිතේ එදා මුහුණදෙමින් තිබුණ අත්දැකීම් විස්තර කරන්නත් එක්කයි. කොච්චර දක්ෂයෙක් සහ නිර්මාණාත්මක කලාකරුවෙක් වුනත් ඒකම පේ‍්‍රමකීර්තිගේ අවාසියට හේතුවෙන්නේ ඉස්සරහට ගමනක් යන්න වේගයෙන් අඩිය තියන මිනිහගේ කකුලෙන් අදින අමනයන් රැුළක් කොහෙත් ඉන්න නිසාමයි. එදා ගුවන් විදුලියේ තමන්ට පහර ගහන, කකුලෙන් අදින, චෝදනා කරන අමනයන්ට පේ‍්‍රමකීර්ති අතින් පයින් හෝ කේලාම්,පෙත්සම් වලින් හරි උත්තර නොදී නිර්මාණාත්මක විදිහට උත්තර දීපු නිසයි අද පේ‍්‍රමකීර්ති නැතිවුණත් නම ඉතිරිවෙලා තියෙන්නේ. හැබැයි ඔහු කිව්ව කතාව සදාකාලික සත්‍යයක් කියලා අපිට තේරුම්ගන්න වෙනවා. අන්ද මන්ද ඝන අඳුරේ කෙන්ද පටලැවීලා - කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලාකියලා කියන කතාව හැම කෙන්දකට වගේම හැම කන්දකටත් අදාලයි.

Apr 27, 2016

පුර අටවක - දෙවනි කොටස



කස්සප හාමුදුරුවන්ට අවශ්‍යවූයේ ලඟම තැනකට ගොස් මේ අනාරාධිත මුස්ලිම් ජාතිකයා කියන කතාවේ ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමටය. රැළියේ මතකය මුළුමනින්ම හිතෙන් තුරන්වී ගොස් අවසන්ය. හිතේ මතුව තිබූ ආගන්තුක හැඟීම් සමුදාය සමග පොරබදමින් සිටි කස්සප හිමියන්ගේ පසුපසින් වචනයකුදු නොදොඩා මුස්ලිම් ජාතිකයා ගමන් කරමින් සිටියහ. සුදු පැහැයෙන් සැරසුණු තරුණ ආරක්ෂකයන් කිහිපදෙනෙක්ම හිමියෙන් ඉදිරිපසින් සහ පිටුපසින් ගමන්කරමින් සිටියහ. නුගේගොඩ වෙළඳ සංකීර්ණයේ කඩයක් පවත්වාගෙන යන කස්සප හිමියන් හොඳින් හඳුනන ව්‍යාපාරිකයෙක්ගේ සාප්පුවක් පැත්තට උන්වහන්සේගේ පය එසවුණේ එතරම්ම අවබෝධයකින් නොවේය.

මීට සුළු මොහොතකට කලින් යකඩ කටින් හඬ ඇසුණු කස්සප හිමියන් නොසිතූ මොහොතක තමන්ගේ සාප්පුව පැත්තට පැමිණෙන බව දුටු කඩ හිමියා දැඩි විමතියකට පත්විය. එහෙත් පැමිණෙන පිරිසගේ මුහුණුවල ඇති අවිනිශ්චිතතාව නිසාවෙන් කුමක් හෝ ප්‍රශ්නයක් පැන නැගී ඇතිබව ව්‍යාපාරිකයා ඉක්මණින්ම තේරුම්ගත්හ. සාප්පුව තුළට පැමිණෙන ලෙසට හාමුදුරුවන් ඇතුළු පිරිසට ආරාධනා කර දඩිබිඩියේම සාප්පුවේ පිටිපස්සේ කොටසට ගොස් සුදු ඇතිරිල්ලක් ගෙනැවිත් හොඳම පුටුව තෝරාගෙන එහි අතුරා කස්සප හාමුදුරුවන් හට අසුන්ගන්නට ඉඩ සලසා දී දණ ගසා වැඳ ආචාර කල ව්‍යාපාරිකයා හාමුදුරුවන් ආමන්ත්‍රණය කරන්නට විය.

Apr 24, 2016

පුර අටවක - පළමුවැනි කොටස


නුගේගොඩ නගරයේ ජනාකීර්ණ කාර්යබහුලත්වය අඩුවක් නොවූ එදා එළිමන් රංඟපීඨය ආසන්න භූමියේ වූයේ වෙනදාටත් වඩා කලබලයකි. කසාවතින් සැරසි භික්ෂූන්, සුදුවතින් සැරසුනු ජනතාව සහ විවිධ වර්ණ සළුපිළි ඇඳගත් මිනිසුන් සවස්භාගයේ දැඩි දාහය ඉවසමින් එක රොත්තට එම ස්ථානයේ රැඳී සිටියහ. කහ පැහැති කොඩි සහ බෞද්ධ කොඩි ගුවනේ සරුවට ලෙලදෙමින් තිබුණු අතර යකඩ කටවල් තුළින් ජාතික අභිමාන ගී සහ මොහිදීන් බෙග් ගේ හඬ ගුවනට මුසුවෙමින් තිබිණි. කොහුවල දෙසින් පැමිණෙන රථවාහන මෙන්ම, නාවල දිසාවේ සිට පැමිණෙන වාහන නුගේගොඩ නගර මැද තිබූ ජන පෙළගැස්ම හේතුවෙන් එක පෙළට මාර්ගය අතරමැද තදබදයට හසුවී තිබිණි. දිගින් දිගටම ඇසෙන වාහන නළා හඬට යකඩ කටේ ශබ්දය නතරකල නොහැකි විය.

අති බහුතරයක් සිංහල බෞද්ධ ජනතාව පෙරටු කරගත් බොදු රැළිය ආරම්භ කරන්නට සියළු කටයුතු සංවිධානය කර තිබිණි. ගිහි පැවිදි කථිකයන් සහ ප්‍රභූවරුන් ඒ වනවිටත් වේදිකාවේ අසුන්මත රැඳී හුන් අතරම රැළිය ආරම්භවන තෙක් දෑස් දල්වාගෙන සවන් යොමාගෙන සිටි ජනතාව වේදිකාව මත සිටින්නන් දෙස අවධානයෙන් බලා සිටියහ. එවකට ලංකාවේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් සිදුවීම් ගණනාවකට සම්බන්ධ සංවිධානයක් විසින් මෙහෙයවන මෙම රැළියේ ප්‍රධාන කථා කිහිපයක්ම පැවැත්වීමට නියමිතව තිබිණි. ලේ කකියන මුහුණු සහිතව ජනතාව අපේක්ෂාවෙන් සිටියේ ඒ කතා මිස යකඩ කටින් ඇසෙනා ගීත නොවේය.

Apr 18, 2016

“අපේ ඉසව්වට“ අවුරුදු හයයි..!


හරියටම අද දවසට “අපේ ඉසව්ව“ බ්ලොග් අඩවියට අවුරුදු 6යි. අවුරුදු හයක් කියන්නේ ලෙහෙසි පහසු කාලයක් නෙවෙයි. 2010 අප්‍රේල් 18 ඉඳන් මේ දක්වාම නොනැවතී ක්‍රියාත්මක වෙන සිංහල බ්ලොග් අඩවියක් විදිහට අපේ ඉසව්ව ගැන නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. 2010 දි පටන් ගනිද්දි තිබුණු ප්‍රතිපත්තිමය කාරණා තවමත් ආරක්ෂා කරගනිමින් “නිදහස් අවකාශයක නිවහල් අදහස්“ යන තේමාවෙන් අපේ ඉසව්ව පාඨක ඔබ වෙත තිළිණ වෙනවා.

2010 අප්‍රේල් 18 ගාල්ල වටරැකදී ප්‍රථම වතාවට අන්තර්ජාලයට එක්කරපු අපේ ඉසව්වට ඒ නම ලබාදීමේ ගෞරවය හිමිවන්නේ මා සොයුරු ජනිත ප්‍රේමරත්නටයි. අන්තර්ජාතික භාෂාවෙන් බ්ලොග් කලාවේ අවුරුදු 2කට වැඩි කාලයක් නිරතවෙමින් ඉඳිද්දි ඔහුගේ ඉල්ලීමක් අනුව තමයි මුලින්ම අපේ ඉසව්ව ආරම්භකලේ. වසර හයක් ඇතුළත බොහෝ අත්දැකීම්, සහෘද පාඨක පිරිසක් අපේ ඉසව්ව බිහිකරලා අවසන්. බොහොමයක් ඇගයීම් වගේම ගැරහීම් එකතු කරපු මේ වසර හය ලේඛන කලාවේ වර්ධනයට සෘජු දායකත්වයක් දුන් බව ඉතාම සංවේදීව කිව යුතුමයි.

Apr 17, 2016

හැංඟි හැංඟි එබිකම් කලා - හොරැහින් ඔබේ හිත අස්සේ..


දැන් කොරියන් කතා හිස්ටීරියා තත්ත්වය කෙමෙන් මැකී යමින් පවතින අතර නැවතත් සුප්‍රසිද්ධ ඉන්දියානු කතා ප්‍රේමීත්වය මතුවෙමින් ඇත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාව සමග ඔරොප්පුවී ඉන්දියානු කලා ආනයනයන්ට සත්තමක් දමන්නට කටයුතු කල කාලයේ ඇතැම් නාලිකාවල පැය භාගය හමාර කළුපාට විතරක් දක්නට ලැබුණේ කාලයක් පත්තරවල ඡේද පිටින් “බලධාරියා විසින් කපා හරින ලදි“ යනුවෙන් තිබූ පරිද්දෙන්මය. 

ඒත් ඉන්දියානු මෙගා ටෙලි වලට සහ ෆිල්ම් වලට බකට් වැටුණද කොරියානු ආදේශකය සාර්ථක බව මුලින්ම පෙන්වා දුන්නේ ස්වාධීන් රූපවාහිනියේ “ෆුල් හවුස්“ කතාවත් එක්කය. සුප්‍රසිද්ධ කොරියන් පොප් ගායන තරුවක් සහ සුරූපි නිළියක් චරිතවලට පණ පෙවූ එම කතාවෙන් ලංකාවේ චැනල්වල කොරියන් බෙල්ට් එක පාඩු නැතිබව පෙන්වා දෙන්නට විය. ඊට පස්සේ ජාතික රූපවාහිනිය “සුජාත දියණිය“ “අභීත දියණිය“ වැනි කතා පෝලිම් ගස්සවද්දි අනිත් නාලිකාද නිකං සිටියේ නැත. ඉන්දියානු මෙගා බල්ලට දමා කොරියාවේ කුණු බක්කිවල තිබුණ ඩී.වී.ඩී තැටි පවා උස්සගෙන ඇවිත් චැනල්වල පෙන්වන්නට විය. දැන් ඒ අසනීපයද අවසන්වී ඇත. නැවත ඉන්දියානු මෙගාවාදිත්වය මතුවෙමින් ඇත.

Apr 16, 2016

ලසිත් මාලිංග හෙවත් Clear Sri Lankan Cricket Icon


ශ්‍රී ලංකාවේ ජනතාව වනාහී අනූරූපවාදිත්වය හෝ අනුප්‍රාප්තවාදිත්වය පිළිබඳ හර සංකල්ප සහමුලින්ම අමතක කරගෙන කටවටේ වක්කඩ කඩාගන්නා මිනිසුන් පිරිසක්බව අමුතුවෙන් කිවයුතු නැත. ලංකාවේ මිනිස්සු අතීතයේ පටන් අනුප්‍රාප්තිකයන්ගේ පෙර සිටි පුද්ගලයාගේ ලක්ෂණ අපේක්ෂා කරමින් නිරතුරුව ඉච්ඡාභංගත්වයට පත්වන පිරිසකි. 

බණ්ඩාරණායකගේ ලක්ෂණ සිරිමාවෝගෙන් බලාපොරොත්තුවී එසේ නොවුණ තැන සිරිමාවෝගේ ඔසරිය ගලවන්නට ශ්‍රී ලංකාකාරයෝ කතා කරමින් දුක්වූහ. ජේ.ආර් ගේ කියුම් කෙරුම් ප්‍රේමදාසගෙන් ඉටුනොවුණ තැන යූ.එන්.පී කාරයෝ විස්සෝපවූහ. විජේවීර තරම් සෝමවංශ රැඩිකල් නොවුණ තැන ජේ.වී.පී කාරයෝ විජේවීර කෙනෙක් අලුතෙන් සොයන්නට පටන්ගත්හ. ඒ දේශපාලනය නැමැති දහ අට සන්නිය පැත්තෙන් සිදුවූ දේ ය. 

Mar 12, 2016

අලි ඇතුන් තෑගි දෙන කාළකණ්ණි චින්තනය..!


මිනිසෙකු හෝ වෙනත් ජීවියෙකු භෞතිකව දේපලක් ලෙස හෝ වත්කමක් ලෙස ලොව කිසිම සංකල්පයක් තුල වර්තමානයේ මානුෂීය කරුණු මත පිළිනොගනී. එසේම “වහල්භාවය“ නැමති සංකල්පය ලෝකයෙන් තුරන් කිරීම (සැබෑ ලෙසම එය එසේ වී නොමැත) යම්තාක් දුරට මිනිසුන්ට වහල්භාවය හෙවත් යවත් පුද්ගලයෙකුගේ හෝ පාර්ශවයකගේ වත්කමක් ලෙස ජීවත්වීමට සිදුවීමෙන් ගැලවීමට හැකිවූවත් සත්ත්ව ලෝකයට එම අවස්ථාව ලැබී නොමැතිවීම ඉතා ඛේදනීය සත්‍යයකි. අදටත් ලොව පුරා සතුන් තෑගි ලෙස හුවමාරුවීම සහ මිනිසුන්ගේ වත්කම් ලෙස පවතින්නට සිදුවීම තුළින් අහිමිවීයන ඔවුන්ගේ සුන්දර ජීවිතය වෙනුවෙන් වන්දි ගෙවිය යුත්තේ කව්ද?

Jan 25, 2016

බෞද්ධ කතිකාවත ගැන පනත බුද්ධ ශාසනයේ අනාගත පැවැත්ම තීරණය කරාවි..


සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව පළමු ධර්ම සංගායනාව පවත්වා සම්බුද්ධ සාසනයේ අනාගත පැවැත්ම සුරක්ෂිත කලයුතුයි යන තීරණයට එළඹෙන්නට සිදුවීම ඉතිහාසය තුළ දැවැන්ත කතිකාවතක් නිර්මාණය කිරීමට හේතුවිය. විශේෂයෙන්ම චුල්ලවග්ගයට අනුව එදා ගෞතම බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් ඉක්බිති සුභද්ද භික්ෂුව විසින් ʼඇවැත්නි, සෝක නොකරව්, නොවැලපෙව් ඵ් මහා ශ‍්‍රමණයාගෙන් අපි හොඳින් මිදුනෙමු. මේ තොපට කැපය. මේ අකැපයැයි ඹහුගේ නීති පැනවීමෙන් අපි පීඩා වින්දෙමු. දැන් අපි යමක් කැමති නම් ඵය කරන්නෙමු. යමක් අකමැතිනම් ඵය නොකරන්නෙමු.ʼ ලෙසින් සිදුකරන ලද වගකීම් රහිත ප‍්‍රකාශයත්, එවකට සංඟ සමාජය තුළ විනය සම්බන්ධ මතුවෙමින් තිබූ ගැටළු සඳහා ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම උදෙසා කාශ්‍යප මහරහතුන් වහන්සේගේ නායකත්වයෙන් එම ධර්ම සංගායනාව පැවැත්විනි. එහිදී සංඟ සමාජයේ විනය දැඩිලෙස කතාබහට ලක්වුණු අතර එම සංගායනාව සඳහා එවකට රාජ්‍ය අනුග‍්‍රහයද ලදබව සඳහන්වේ.

ශ‍්‍රී ලංකාවේ බුද්ධ සාසනයේ පැවැත්ම දැඩි තර්ජනයකට ලක්ව ඇත්තේ අන්‍යාගමික තර්ජනවලටත් වඩා බෞද්ධ සමාජය තුළ ඇතිවෙමින් පවතින පිරිහීම් නිසාවෙන් බව නිහතමානීව පිළිගත යුතුය. සංඟ සමාජය තුළ විනය විරෝධී කල්ලි බිහිවීම මෙන්ම තවත් හේතු සාධක ගණනාවක් නිසාවෙන් බෞද්ධ සමාජයේ විනය පද්ධතිය මීට වඩා ශක්තිමත් විය යුතුයි යන ස්ථාවරයකට පැමිණ ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී ඇති බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විනය සම්බන්ධ පනත් කෙටුම්පත සහ ඒ සමගාමීව පැවැත්වීමට නියමිත බෞද්ධ කතිකාවත සම්බන්ධව අදහස් දක්වන්නේ ජාතික හෙළ උරුමයේ නායක, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඟනායක ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියන්.