ඉස්සරම දවස්වල. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහින් ඉවරවුණු කිට්ටුව නව යොවුන් කාලේ ඉඳන් දැළි රැවුල එක්ක යෞවන කාලෙට බල්ටියක් ගහන කාලේ හරි පොඩි දේටත් තරහා යන්න පටන් ගන්නවා. හොඳට කියන දේවල් ඇහුනෙත් වැරදි කියනවා වගේම තමයි. ඒ කාලේ වැඩියෙන්ම පේන්න බැරි උපදෙස් දෙන්න එන වැඩිහිටියෝ තමයි. ඒ නිසාම වැඩිහිටියෝ පෙනුනේ හිටියා වැඩි ඇත්තෝ විදිහට තමයි. පේන්නම බැරි අය අතර දකින්න කතා කරන්න වැඩියෙන්ම කැමති ඇත්තෝ වෙන්නේ උපදෙස් නොදෙන වගේම වැඩිදුර ඉගනීම් ගැන, රස්සා ගැන අහන්නේ නැති, හැබැයි විහිළුවට වගේ ලව් හුටපට ගැන අහන කතා කරන උදවිය තමයි.
ඔන්න ඔය කියන කාලේ ගත කරද්දි නෑදෑ හැත්ත බුරුත්තක්ම පරවේණි පදිංචියට ටැග් ගැහිලා හිටපු ගමක ජීවත් වෙන්න සිද්ධවුණ මට තිබුණ ප්‍රධානම ප්‍රශ්න ටිකත් කලින් කියපු ඒවම තමයි. දකින් දකින කෙනාගෙන් කෝටියක් උපදෙස්. අරක හොඳයි, මේක නරකයි. ඒකත් වැරදියි, මේකත් වැරදියි. ඔන්න ඔය වගේ හිසරද එක්ක විභාගේ ඉවරවෙලා ගෙදර ටිකක් නිදහසේ ගතකරපු කාලේ ගෙදර වහලයට ඉන්න බැරි තත්ත්වයක් උද්ගත වෙන්නේ ඔය කලින් කියපු කොට්ඨාශ දෙකෙන් පළවෙනි කොට්ඨාශයේ ඇත්තෝ නිසා. ගොඩක් වෙලාවට දිරවගන්නම බැරි කතාවක් ඇහුණම ගෙදරත් එක්කත් රණ්ඩුවක් හදාගෙන එළියට බහින්න වෙනවා. මොකද ගෙදර උදවියත් රටේ තොටේ මිනිස්සුන්ගේ අදහස්,උදහස් වලට එකත්පස්ව එකඟවෙලා මටම දෝශාරෝපණය කරනවා මිස මගේ පැත්තට කිසිම සහයෝගයක් නොදෙන නිසා.