******************************************************
වාහනය පදවමින් සිටියත් නෙතත් හිතත් රැදුනේ රුවැති ඇය ලගමයි. වෙලාවකට බයත් හිතෙනවා වාහනේ කොහේ ගිහින් නවතියිද කියලා. කතරගම කොළඹ පාර නිසා වැල්ලමඩම හරියේ මුහුද තීරය ලගින් යන ප්‍රධාන පාරේ වාහන ගොඩක් එහෙ මෙහේ යනවා. වාහනේ සුක්කානම මත රැදුනු අත දහස් වාරයක් ඒ සුදු අත්දෙක අල්ලගන්න හැදුවා..ඒත් හිත ඒකට ඉඩදුන්නෙම නෑ. මම කෑ ගහපු නිසා බයවෙලා ඉන්න කෙල්ල තවත් බයවෙයි එහෙම කලානම්. ඉරූ ඉස්සරහ බලාගෙන වාඩිවෙලා හිටියා. හොරෙන්වත් මම දිහා බැලුවේ නෑ.මම විතරයි හොරාටවත් එයා දිහා බලන්නේ. රස්සන්දෙණිය අම්බලම ඉස්සරහින් යද්දි නිකමට වගේ කාර්එකේ ගුවන් විදුලිය ක්‍රියාත්මක කලා...
මේ නිහඩබව බිදින්න
තව මොනවහරි කියන්න
ඔය නෙත්අගින් සිනාසී
මා දිහා දැන් බලන්න...
වෙලාවට ගැලපෙනම සින්දුව යද්දි මටත් ඉරූටත් එකපාරටම දෙන්නගෙම මූණු බැලුනා..එකපාරටම ලස්සන හිනාවක් ගියා ඒ මූණේ..මටත් ඒත් එක්කම හිනාවක් ගියේ හිතේ තිබුණු දුක් දොම්නස් සේරම එක්කයි..ඒ වෙනකොට අපි හිටියේ රුහුණ කැම්පස් එක ඉස්සරහා. හවස දේශන ඉවරවෙලා කඩිමුඩියේ තමන්ගේ බෝඩිං වලට තනියම යන ළමයි සහ කිසිම කලබලයක් නැතුව අත් අල්ලගෙන කතාබහේ යන යුවලවල් අතරින් අපි හිමින් සීරුවේ ආවා.